අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ


ලක්දිවට බුදුදහමේ පහළ ලැබුවෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අවුරුදු 237 කට පසු  පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකයි. මේ සඳහා මූලික අඩිතාලම දමන ලද්දේ ධර්මශෝක රජතුමා තම හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජතුමා වෙත එවන ලද දූත පිරිසයි. මේ පිරිස එතෙක් මෙතෙක් මෙරටට පැමිණි කාර්යශූරම දූත පිරිස ලෙසින් හැඳින්වේ. තමන්ට පැවරී ඇති කාර්යයන් පිළිබඳ මනා වැටහීමකින් යුක්ත වීමත් කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමත් අති විශිෂ්ට නායකත්වයත් මෙයට හේතු සාධක විය.

පැමිණි කාර්ය සාර්ථකව ඉටුකළ හැකි පසු විපරම් කරමින් එහි සාර්ථකභාවය තහවුරු කළ එතෙක් මෙතෙක් පැවති දූත ගමන් වලින් සාර්ථකම දූත ගමන ලෙසින් මෙය හැඳින්විය හැකිය. අද දක්වා මෙරට බෞද්ධයන් බුක්ති විඳින්නේ එහි ප්‍රතිඵලයයි. ලක්දිව ජන සමාජය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට නම් පැමිණෙන දිනය හා වේලාව කලින් නොදන්වා පැමිණීම සුදුසු යයි සිතූ මිහිඳු හිමියෝ ඒ සඳහා යොදා ගත්තේ සිංහලයන් ගේ නැකැත් කෙළි දිනයයි.
එකල සිංහල රජවරුන් ගේ ආවේණික සිරිතක් වූ මුව දඩයමේ යෙදෙමින් සිටි රජතුමා තිගැස්සී අහස දෙස බැලුවේ තිස්ස - තිස්ස නමින් තමා අමතන්නේ කවරෙක්දැයි සිතමින් දැඩි කුතුහලයකින් යුතුවය. 

රජතුමා දුටුවේ අම්බස්ථල මුදුනේ කසාවතින් සැරසී සිටි මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල මහ රහතන් වහන්සේත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා අනාගාමී භණ්ඩුක උපාසකතුමාත්ය.

තමා මහරහතන් වහන්සේ නමක් වීමත් උත්පත්තියෙන් රාජ වංශිකයකු වීමත් නිසා පළමුව රජතුමා ගේ මුල් නමින් ඇමතූවද පසුව මිහිඳු මහ රහතන් වහන්සේ රජ කෙනෙකුට ලබාදිය යුතු උපරිම ගෞරවය දී රජතුමා ඇමතූහ.

සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවෙව අනුකම්පාය
ජම්බු දීපා ඉධා ගතා
මහරජතුමනි, අපි ධම්ම රාජයාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ වෙමු. තොප කෙරෙහි වූ අනුකම්පාවෙන් මෙහි පැමිණියෙමු යි කීහ. පසුව එතැනට පැමිණි රාජ පිරිස බලා සිටියදීම මිහිඳු හිමියෝ රජතුමාගෙන් ප්‍රශ්න කීපයක් ඇසූහ. රජතුමා ද නොපැකිල පිළිතුරු දුන්නේ ය.
මිහිඳු හිමි - මේ ගස කුමක්ද? රජතුමනි
රජතුමා - අඹ ගසකි හිමියනි
මිහිඳු හිමි
- මේ හැර තවත් අඹ ගස් තිබේද? රජතුමනි
රජතුමා - එසේය ස්වාමිනි බොහෝ ඇත
මිහිඳුහිමි - ඒ බොහෝ අඹ ගස් හැර තවත් ගස් තිබේද? රජතුමනි
රජතුමා - අඹගස් වලට වඩා වෙනත් ගස් ඇත හිමියනි
මිහිඳු හිමි - ඒ බොහෝ අඹ ගසුත් වෙනත් ගසුත් හැර තවත් ගස් තිබේද? රජතුමනි
රජතුමා  - ඇයි ස්වාමිනි මේ අඹ ගස
මිහිඳු හිමි - රජතුමාට නෑයෝ සිටිත්ද?
රජතුමා - බොහෝ අය සිටිති හිමියනි
මිහිඳු හිමි  - නො දෑයෝ?
රජතුමා  - නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
මිහිඳු හිමි - නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
රජතුමා  - ඇයි හිමියනි මේ මම

රජතුමා දුන් පිළිතුරු වලින් සතුටට පත් මිහිඳු හිමියෝ රජතුමා ගේ ප්‍රඥාවන්ත බව පසක් කර ගෙන රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. එම දහම් ශ්‍රවණය කිරීමෙන් බුදුදහම කෙබඳු ආගමක දැයි මනා වැටහීමක් ලබාගත් රජතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ වූහ. එදිනම මිහිඳු මහ රහතන් වහන්සේ සමග දූත මෙහෙවරෙහි සපැමිණි අනාගාමී භණ්ඩුක උපාසකතුමා පැවිදි උපසම්පදා ලැබ රහත් වූහ. පසුව මිහිඳු හිමියන් ඇතුළු පිරිසට රජ මැදුරේ දානයකට ආරාධනා කළ රජතුමා තම පිරිස සමග අනුරාධපුරය බලා පිටත් විය.
පසුදින රජ මාලිගයේ දානයට වැඩම කරවීම සඳහා රජතුමා රථයක් පිටත්කර යැවූ නමුත් එය ප්‍රතික්ෂේප කළ මිහිඳු හිමියෝ සිය පිරිස සමග අහසින් අනුරාධපුරයට වැඩම කළ සේක. එසේ අහසින් බට ස්ථානය සිහිවීම පිණිස පසුව පඨමක චේතිය නම් සෑයක් බඳවන ලදී.

මිහිඳු හිමියන් ඇතුළු පිරිස රජ මාලිගයට වැඩම කර දන් වැලඳීමෙන් පසු එහි සිටි විශාල පිරිසට පේතවත්ථු, විමාන වත්ථු, පංච සංයුක්තය මාතෘකා කොට දම් දෙසූහ. එහිදී මහානාග යුව රජු ගේ දේවිය වූ අනුලා බිසව සෝවාන් විය. ඉන්පසු මිහිඳු හිමියෝ දේවදූත සූත්‍රය ද නන්දන උයනේදී බාල පණ්ඩිත සූත්‍රය ද දේශනා කළ සේක. පසුව රජතුමා ගේ ආරාධනයෙන් මිහිඳු හිමි ඇතුළු පිරිස ගිමන් ඇරීම පිණිස මහමෙවුනා උයනට වැඩම කළේය. (එම ස්ථානය සිහිවීමට පසුව එහි නිවන්තක චේතිය නම් සෑයක් කරවන ලදී.

බුද්ධාලම්බන පී‍්‍රතියෙන් ප්‍රමෝදයට පත් රජතුමා විසින් පසුදින මහමෙවුනා උයන සඟසතු කොට පූජා කරන ලදී. එහිදී අනුලා දේවිය සකෘදාගාමි ඵලයට පැමිණ මහණවීමට කැමැත්ත පළ කළාය.
රජතුමා විසින් පුදන ලද දෑ සමන් මල් වට්ටිය මිටි අටක් ලෙසින් වෙන්කළ මිහිඳු හිමියෝ ඒවා අට තැනකට විසිර වූහ. අටමස්ථාන තනන ලද්දේ එම ස්ථාන වලයි. අනුරාධපුර අටමස්ථාන වන්නේ
1. මාලක සීමාව
2. ගිනිහල් පොකුණ (සංඝ පරිභෝජනය සඳහා තැනවූ)
3. ජය ශ්‍රී මහා බෝධිය
4. පොහොය ගෙය
5. දානය බෙදා ගන්නා ස්ථානය
6. දානය වලඳන ස්ථානය
7. රුවන්වැලිසෑය
8. ඉසුරුමුණිය
මහින්දාගමනයෙන් පසු අප රටට ලැබුණු තවත් සංස්කෘතික අංගයක් වන්නේ ස්ථූප ඉදිකිරීම හා වන්දනාවයි. ඉන්දියාවේ ඇති පැරණිම ස්ථූපය වන සාංචි ස්ථූපයේ ආකෘතියක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට ඇතැයි විද්වතුන් ගේ මතයයි. ශ්‍රී ලංකාවේ ස්ථූප තැනීම ආරම්භ වූයේ ඉන් පසුවයි. ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු ස්ථූපය ථූපාරාමයයි. එය ධ්‍යානාගාර හැඩයෙන් යුක්ත අතර ප්‍රමාණයෙන් එතරම් විශාල නැත. පසුකලකදී වඩා විශාල රුවන්වැලි සෑය, අභයගිරිය වැනි මහා සෑ ඉදිවිය. ඉන්දියාවෙන් ආභාෂය ලැබුවත් ලංකාවේ ස්ථූප කලාවේ විශේෂ ලක්ෂණයක් වූයේ සතර දොරටු වලට මුහුණලා ඇති වාහල්කඩය. ක්‍රම ක්‍රමයෙන් බුදුදහම ව්‍යාප්ත වීම නිසා සදහම් ශ්‍රවණය කිරීමෙන් ඒ ගැන පැහැදි බුදුදහම වැළඳගත් කුමාරවරුන් හා සිංහල කුල පුත්‍රයන්ට වාසය පිණිස ලෙන තැනවීම ආරම්භ වූයේ ද මේ කාලයේදී ය. ඉතිහාස වාර්තා තබා ගැනීමේ සම්ප්‍රදාය මෙරට ආරම්භ වූයේ ද මහින්දාගමනයෙන් පසුවය. දීප වංසයෙන් ආරම්භ වූ ඉතිහාස වාර්තා ඇතුළත් ලේඛන කලාව පසුව මහාවංසය, බෝධි වංසය, ථූපවංසය දක්වා ව්‍යාප්ත වූයේද ඉන් පසුවය.

සිංහල භාෂාවේ දියුණුවට ද මිහිඳු මහරහතන් වහන්සේ කළ සේවය ඉමහත්ය. බුදුදහම මුලින්ම ප්‍රචලිත වූයේ මාගධී හා පාලි භාෂා වලිනි. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මෙරට බුදුදහම ප්‍රචලිත කිරීමට ලක්දිවවාසීන් ගේ මවු බස වූ සිංහල භාෂාවට යොදා ගත්හ. ධර්මදූත කාර්ය උදෙසා මිහිඳු මා හිමියෝ කෙතරම් කැපවීමකින් කටයුතු කළේද යන්න එයින්ද පැහැදිලි වේ.

No comments:

Post a Comment