බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය (දුරුතු පොහොය)




"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ."

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක.

ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ යුද්ධ කිරීම පිණිස කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍යය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා යක්ෂයින් පළවා හැර ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක. එලෙස යක්ෂයින් දමනය කර ගිරිදිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු විය යුතු මූලික කරුණු රාශියක්ම සම්පූර්ණ කළ සේක.
මහියංගන සෑරදුන්

බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතුන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතුන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත් රියන් චෛත්‍යයක් කළෝය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යය වන අතර දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී කරන ලද චෛත්‍යය අද මහියංගණ සෑ රදුන් ලෙස ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වු බවත්, ඒ අනුව මෙරට බෞද්ධයෝ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර පැතිරෙන්නට වු බවත් ය.

මුල් කාලයේ දී ලක්දිව බුදු සසුනේ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සැලකිය හැකි බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබා ගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවීය . තවද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයක් සමඟම ය.

දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදු සසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින ඍද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම් ආරම්භ කළේද එ දිනමය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදි වීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවති මිථ්‍යා විශ්වාස දුරු කර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අභිපාය අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදුදහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල්ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුවද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර පවත්වනු ලැබේ.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

අප මෙවර දුරුතු පුරපසළොස්වක පොහෝ දින දාන , ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවක් සිදු කරමින් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන පසක් කිරීමට පිළිවෙතින් පෙළ ගැසෙමු.


අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයේන් උපුටා ගැනීමකි

2018 සුබ නව වසරක් වේවා!!!... Happy New Year...........


Sri Padaya ශ්‍රී පාද වන්දනාවේ යන ඔබ මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න

සැදැහැ සිතින් සිරිපා කරුණා කරමු



"මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ
සංස්කෘතියේ අභිමානය පෙන්වයි"

ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම විටෙක අති දුෂ්කරය. එහෙත් බාල, මහලු වන්දනා කරුවෝ ශ්‍රද්ධාව පෙරදැරි කොටගෙන කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීම ආශ්චර්ය ජනකය. අනුහසින් යුතු මෙම පුදබිමේ සිට ගලායන සිව්මහා ගංගාවෝ ලක් දෙරණ පෝෂණය කරන අයුරු අසිරිමත් ය. මේ නම්, සැනසුම ගෙන දෙන පරිසරයක් හා ජල සම්පත උරුම කරදෙන ඓතිහාසික ස්ථානයක් ද වේ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුද්ධත්වයට පත්විමෙන් අටවෙනි වස වෙසක් පුර පසළොස්වක පෝ දින රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ මනිඅක්ඛික නා රජුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය ද එය වේ. එහි දී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීම පරිදි සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවීම මෙරට සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි වැදගත් ම සන්ධිස්ථානයකි.

පැරැන්නෝ ශ්‍රී පාදස්ථානය හැඳින්වීමට විවිධ නම් භාවිත කළහ. වර්තමානයේ දි ශ්‍රී පාදය, ශ්‍රී පාද කන්ද, සිරිපාදෙ, සමනොළ කන්ද, සමනලකන්ද, සමන්ගිර, සුමණකූට, සමන්තකූට, ශ්‍රී පාදස්ථානය යන ව්‍යවහාර පවතී. සමන් දෙවියන්ගෙ රට, සමන් දෙවියන්ගෙ අඩවිය යනුවෙන් ද අසන්නට ලැබේ. මින් ශ්‍රීපාදකන්ද, ශ්‍රීපාදය, සිරිපාදෙ වැනි යෙදුම් සම්බුදුරදුන්ගේ ශ්‍රී පාද ලාංඡනය නිසාම භාවිත වන අතර අන් නාමයන් සුමන සමන් දෙවියන් පාදක කොට ඇති වූ බව පෙනේ.

බුදුරජාණන් වහන්සේ වැඩම කරවා සම්බුදු පාද ලාංඡනය පිහිටුවීම හා ඊට සමන් දෙවියන්ගේ ද සම්බන්ධය සත්‍යය නිසා ශ්‍රී පාදස්ථානය වෙත සැදැහැවතුන් පැමිණෙනුයේ කාගේ හෝ ඉල්ලීමක් නිසා නොවේ. මෙවන් ඓතිහාසික කන්දක් තරණය කර වන්දනාවේ යෙදෙන වෙනත් ස්ථානයක් ලොව නොමැත.

පැරැණි සිරිත් අනුව යමින් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරේ. 2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සඳහා පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ශ්‍රී සර්වඥ ධාතු කරඬුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩමවීමේ පෙරහර දෙසැම්බර් 2 වන දා (සෙනසුරාදා) අලුයම ආරම්භ වීමට නියමිතව තිබිණි. ඒ නිමිත්තෙන් ගල්පොත්තාවල රජ මහා විහාරයේ දී දෙසැම්බර් 01 වන දා සවස 5 ට ගිලන්පස බුද්ධ පූජාව හා දේව පූජාව ද, සවස 6.30 ට දේව පූජාව සිදු කිරීම ද, රාත්‍රී 7 ට පිරිත් දේශනාව ඇරඹීම ද, රාත්‍රී 8.15 ට පුද පූජා වන්දනා සඳහා දේවා ප්‍රතිමා නිරාවරණය කිරීම ද, පසු දා අලුයම දක්වා පුද පූජා වන්දනා සිදු කිරීමට ද නියමිතව තිබිණි. දෙසැම්බර් 2 වන දා අලුයම කරඬුව හා දේව ප්‍රතිමා වහන්සේලා මෙසේ තැන්පත් කිරීම හා පෙරහර පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව තිබිණි. හැටන් පෙරහර, පලාබත්ගල පෙරහර සහ බළංගොඩ පෙරහර පිටත්වීමට නියමිතව තිබිණි.



ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරයේ සමන් දේව මන්දිරයේ කුටියේ තැන්පත් කර තිබෙන ප්‍රතිමා වහන්සේ කරඬුව රථයේ තැන්පත් කර පැල්මඩුල්ල හන්දියට පෙරහර පැමිණේ. එහි දී බළංගොඩ පාර, රත්නපුර පාර ලෙස පෙරහර දෙකක් පැමිණේ. රත්නපුර මාර්ගයේ පෙරහර රත්නපුරදී පළාබත්ගලින් එක් කොටසක් ද අනෙක් කොටස ගිනිගත්හේන හරහා නල්ලතන්නියට ගමන් කරයි. රත්නපුර මාර්ගයෙන් පැමිණෙන පෙරහර බළංගොඩ මාරතැන්න බගවන්තලාව, නෝර්වුඩ්
මස්කෙළිය හරහා හැටන්පාරෙන් පැමිණෙන පෙරහරට එකතු වේ. ඉන්පසු පෙරහර ශ්‍රී පාද මළුව වෙත ගමන් කරනු ලැබේ. ප්‍රදක්ෂිණාව පමණක් වෙනස්වුව ද දේව මන්දිරයේ කුටියේ දී මෙන් ශ්‍රී පාද මළුවේ එම ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරනු ලැබේ.

සැදැහවත්හු බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එම අවස්ථාවන් සඳහා සහභාගි වෙති. ඊට තොරණ, බොදුධජ, බැනර් ආදියෙන් උපහාර පුදන අතර පුද පූජාදියෙන් එම ආගමික කටයුතුවලට සම්බන්ධ වේ.

සිරිපා වන්දනා වාරය එසේ ආරම්භවීමෙන් පසු සෑම බදාදා සහ සෙනසුරාදා දිනයන්හි කෙම්මුර පූජා පැවැත්වේ. එය පෙර සිට පැවත එන සිරිතකි. සධාතුක කරඬුව සහ දේවප්‍රතිමා වහන්සේලා සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා සුවඳ පැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා සමය අරඹයි එය 2018 වෙසක් පෝය දක්වා පැවැත්වේ.

පසළොස්වක පොහොය හයක් මාස පහක් පුරා එම පින්කම පැවැත්වේ. එහිදී නායක කාරකාදීන් ඇතුළු සමස්ත ජනතාවට ම ආශිර්වාද පිණිසත් එම පින්කම සිදුවේ. මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වයි.

වන්දනාකරුවන් සඳහා රජය ඉදිරිපත් වී මහජන සුබ සිද්ධියට කටයුතු සිදු කිරීම ද සුවිශේෂී ය. මහජනතාව විශාල පිරිසක් එකතු වන ස්ථානයක් ලෙස රාජ්‍ය පරිපාලන, ආරක්ෂක, ආදී විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය ශ්‍රී පාදස්ථානය වෙත ලැබේ.

බැතිමතුන්ගේ ශ්‍රද්ධා ගෞරවයට හානියක් නොවන ලෙස බැතිමතුන්ගේ ආරක්ෂාව, ජල පහසුකම්, විදුලි ආලෝකය, ගමනා ගමන සෞඛ්‍යාරක්ෂක ආදී විවිධ පහසුකම් රජයෙන් ලබා දී තිබේ.

අපේ රටට සාමය සහජීවනය පිණිස නිතර රත්නත්‍රයේ පිහිට තිබිය යුතු බව පෙනෙන කරුණකි. දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය කාලයකි. සර් ජෝන් කොතලාවල අමාත්‍යතුමා, විමලසුරේන්ද්‍ර බලාගාරය මගින් භාරය ඔප්පු කිරීම සඳහා විදුලිය නොමිලයේ සපයා තිබේ. ශ්‍රී පාදස්ථානය වෙත ජල පහසුකම් සලසන ලද්දේ 1962 දී ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ කාලයේදී ය.

2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය යුගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිලක් මාරපන අපේ දායක අමාත්‍යතුමා පළාබත්ගල මාර්ගයේ පියගැටපෙළ සකස් කිරීම අරඹා පියගැටපෙළ දාහතරදාහකට අධික ප්‍රමාණයක් තනවමින් එම මාර්ගය පිළිසකර කරවී ය.

මහගිරිදඹය ආරම්භ වන ස්ථානයේ අහස්ගව්ව අසල සිරිපා වන්දනාවාරයේ දී පැවැත්වෙන බත් දන්සල සෑම වන්දනා වාරයක දී ම පැවැත්වීම ද අදහස වී ඇත. සිරිපා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී පැමිණිය යුතු ය. එමෙන් ම සංගීත භාණ්ඩ ආදිය රැගෙන ඒමෙන් ද වැළකිය යුතු ය.

ගෞරවයෙන් වන්දනාවට, පැමිණෙන සියලුදෙනාට ආශිර්වාදය සැලසේ. පරිසරයට, ගහකොළට, ඇළට දොළට, සතා සිව්පාවාට හානි කිරීමෙන් ද වැළකිය යුතු ය. නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ද කාරුණිකව සිහිපත් කරමි.

ශ්‍රී පාදස්ථානාධිපති 
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක 
ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත 
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

සිරි මහ බෝ සමිඳුන් වැඩම කරවූ උඳුවප් පුර පොහෝ දිනය






සිරි සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම වීම ද, මෙහෙණි සසුන ඇරඹීම ද, සිරි පා වන්දනාව පටන් ගැනීම ද වැනි වටිනා ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිදුවී ඇත.

ගොවිතැනින් ජීවත් වූ ලක්වැසියා සීතල කාලය ඇරඹෙන මාස් කන්නයේ උඳු වගා කළ බැවින් මේ මාසයට උඳුවප් යනුවෙන් කියන ලදැයි පැවසේ. ගොවිතැනින් ඉසුරුමත් වූ ලක්වැසියා උසස් ආගමික දිවිපෙවෙතකට යොමු වූයේ සඟමිත් මහ රහත් තෙරණින් වහන්සේ ගේ වැඩමවීමත් සමඟ ම ය . එතුමියගේ කුළුණු බර මෙත් සිත නිසා ම ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමට හැකි වූ අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වඩමවන ලද සිරි මා බෝ සමිඳුන්ගේ අනුහස නිසා මෙරට සදහම් දිවයිනක් වීමේ කටයුත්ත ද සිදුවිය.

අනුබුදු මිහිඳු මා හිමියන් සිරිලකට වැඩම කිරීමෙන් පසු දේශිත මුල්ම බණ දෙසුම් ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියත්, එසේ කිරීම භික්ෂූන්ට නුසුදුසු යැයි මා හිමියෝ දෙසූ සේක. ඒ අනුව කාන්තාවන් පැවිදි කරවීමට සඟමිත් මහ රහත් තෙරණිය වැඩම කරවා ගැනීමටත්, ඒ සමඟ ම සිරි මා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීමටත් තීරණය විණි.

ඒ අනුව දෙවන පෑතිස් රජු තම බෑණනුවන් වූ අරිට්ඨකුමරු ඇතුළු දූත පිරිසක් දම්සෝ රජු වෙත පිටත් කර යවා මිහිඳු මාහිමියන්ගේ අදහස් ඉදිරිපත් කරවීය. තම පුතණුවන් වූ මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීමට ගරු කළ දම්සෝ මහ නිරිඳු මූලික කටයුතු සම්පාදනය කරන්නට විය. සැදැහැසිතින් බෝසමිඳු පුදා තෙලිතුඩකින් ශාඛාව වෙන් කළ යුතු තැන ඇන්ඳා පමණි. ආශ්චර්යයකි! විවිධ ප්‍රාතිහාර්ය පාමින් දකුණූ ශාඛාව රන් පාත්‍රයේ පිහිටියේ ය. ඉන් අනතුරුව දම්සෝ නිරිඳු බෝ සමිඳුන්ගේ රැකුමට අටළොස් කුලයක පිරිසක් සමඟ සිය දියණිය වූ සඟමිත් තෙරණිය උත්තරා ,හේමා, පසාදපා, අග්ගිමිත්තා, දාසකා වේග්ගු, පබ්බතා, මත්තා, මල්ලා හා ධම්මදාසියා යන තෙරණිවරුන් දස නම ද සමඟ මෙ ලක්දිවට එවීය.

මේ උතුම් කුළුණුබර මෙහෙණිවරු ලක්දිව පැවිදි වීමට බලා සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කොට සිරිලක මෙහෙණි සසුන පිහිටුවන ලද්දේ අද වැනි උඳුවප් පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව දෙවන පෑතිස් රජු සිය ඇත්හල සමීපයේ මෙහෙණවරක් ඉදිකොට තෙරණිවරුන්ට පුද කළ අතර එය ‘හත්ථාල්හක මෙහෙණවර’ යනුවෙන් ප්‍රසිද්ධ විය. ලක්වැසි කාන්තාවන් හා මෙරට මෙහෙණි සසුන වෙනුවෙන් සිය දිවිය පිරිනැමූ සඟමිත් තෙරණිය වයස අවුරුදු පනස්නවයේ දී උත්තිය රජුගේ නව වැනි වසරේ දී එම මෙහෙණ වරේ දී ම පිරිනිවන් පා වදාළාය. රජු විසින් ශ්‍රී දේහයට පුද සත්කාර කර සත්වැනි දින ශ්‍රී මහා බෝධිය අසල ශ්‍රී දේහය ආදාහනය කොට ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් ද කරවීය.

උඳුවප් පුන් පොහෝ දින ඇරඹෙන සිරිලක තවත් එක් මා හැඟි පින්කමක් නම් සිරිපා වන්දනාවයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමන්ගිර මුදුනේ පිහිටා ඇති අතර උඳුවප් පුන්පොහෝ දා පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුන් වහන්සේත්, සමන්දේව ප්‍රතිමාවත් මහ පෙරහරින් සිරි පා මලුව තෙක් වැඩම කරවීමෙන් මෙම සුවිශේෂ වන්දනාව ඇරඹේ.

උඳුවප් පොහෝදා බොහෝ බෞද්ධයෝ වන්දනා කිරීමට අනුරාධපුරයට යාමට අමතක නොකරති. එක් අතකින් සිරි පා කරුණාව ඇරඹීමත්, අනෙක් අතින් ජය සිරිමා බෝසමිඳුන් වැඩම වූ දිනය වීමත් නිසා ලක් වැසියෝ ඉතාමත් ම සැදැහැ සිතින් මේ වන්දනා කටයුතුවලට යොමු වෙති. ඔවුන් විශේෂයෙන්ම අනුරාධපුර වන්දනාවට යොමු වන්නේ සිරිමා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නට ය. ආදි කාලයේ පටන් පැවත එන ඒ පැරණි සිරිත අද පවා දැක ගැනීමට පුළුවන.
ලක්දිව බොහෝ පෙරහර පැවැත්වෙන මාසයක් ලෙසද උඳුවප් මාසය හඳුන්වා දීමට පුළුවන. විශේෂයෙන්ම ලංකාවේ ගම් නියම්ගම් රාශියකම සංඝමිත්තා පෙරහර පැවැත්වෙන්නේ උඳුවප් පුන් පොහෝ දින ය. මේ අතර මාතර වෙහෙරහේනේ උඳුවප් මහ පෙරහර ඉතා අලංකාර නර්තනාංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයකි.

උඳුවප් පොහෝදා ලාංකික කාන්තාව ආගමික විමුක්තිය අත්පත් කරගන්නට අවස්ථාව ලද නිසා එක් අතකින් බලන කල එය සුවිශේෂ මංගල අවස්ථාවක් ලෙස සැලකීම් වරදක් නැත. නමුත් අප ලාංකික බෞද්ධයන් ලෙස කල්පනා කළ යුතු වන්නේ සිරි සංඝමිත්තා මහ රහත් තෙරණියන්ගෙන් උරුම වූ මහබෝධි සංස්කෘතිය හෙවත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය මැනවින් ආරක්ෂා කර සිරිලක බුදුසසුන වසර පන්දහසක් කල් පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.

ආචාර්ය, 
රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයේන් උපුටා ගැනීමකි

සර්වඥ ජීව කේශ ධාතූන්,අස්ථි ධාතූන් වහන්සේලා හා මහරහත් ධාතූන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා (Relic of the Buddha)


නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ජීව කේශ ධාතූන්,අස්ථි ධාතූන් වහන්සේලා හා මහරහත් ධාතූන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා මෙහි දැක්වේ.