මුනි සිරිපා කරුණා කරමු


"අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය."

වසරකට වරක් ඇරඹෙන සිරිපා වන්දනා වාරය මෙවර ද උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ කෙරේ. එතැන් පටන් මාස හයක කාලයක් පුරා දෙස් විදෙස් වන්දනාකරුවන් සිරිපා වන්දනාවට ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සහභාගි වෙති.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ හ. සබරගමු වැසි වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් පන්සිය නමක් මහ රහතන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා වදාළ හ. ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ.
ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වන කරුණු බොහෝ වේ. අති දුෂ්කර ගමනක් ගෙවා ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණීම ඉන් එක් කරුණකි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය, රාජධානියේ සිට පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර ආදී ඒ ඒ රාජධානි සමයන්හ ිදී මහ රජවරුන්ගේ ගෞරවයට, පූජෝපහාරය ට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට විවිධ පුද පුජා සිදුකර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම සන්නස්, තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ.
මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සුමන සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අද පවා සැදැහැවතුන්ගේ මහත් ගෞරවෝපහාරය ට ලක් වේ.
අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.
මෙරට පමණක් නොව ලොව නන් දෙසින් පැමිණෙන වන්දනා කරුවෝ සිරිපා වන්දනා වාරය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙති. ගතට, සිතට සහනය, සැනසීම ළඟා කර දෙන සිරිපා වන්දනා වාරයේ දී පුරාතනයේ විසූ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර ස්වකීය දේපළ තම දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනා කළහ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව, මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදාවී ඇත. බොහෝ විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ නැතහොත් ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. අතීත මුතුන් මිත්තෝ ‘වට වන්දනාව‘ යන නාමයෙන් සති ගණනක් පුරා රට පුරා පිහිටි සොළොස්මස්ථාන ප්‍රධාන පූජනීය සිද්ධස්ථාන වන්දනා කිරීමට කටයුතු යෙදූහ. ඊට නිරන්තරයෙන් සිරිපා වන්දනාව ද ඇතුළත් වූ වන්දනා චාරිකාවක් වූ හ.
ඒ සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියකු වූ අතර ඔහු හෝ ඇය “නඩේ ගුරා” යනුවෙන් හැඳින් වූ හ. වෙසෙසින් ම එම වන්දනා ගමන සංවිධානය කළේ වාර ගණනාවක් පුරා එබඳු වන්දනා ගමන් සංවිධානය ඊට පෙර ද සංවිධානය කළ පළපුරුදු අයෙකි. නඩේ ගුරාගෙන් බැහැරව වන්දනා පිරිස කිසිවක් කළේ නැත. එතරම් ම වන්දනා පිරිස නඩේගුරා ට අවනත වූ හ. සිරිපා වන්දනාවට පේ වුහ. කැප වුහ. ඇප වුහ.
සිරිපා වන්දනාවට යන සැදැහැවතුන්ට සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනා පිරිසක් හමු වූ විට “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” එමෙන්ම සිරිපා වන්දනා කිරීමට යන ඒ පිරිස ද ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.’ ආදී වශයෙන් ඔවු නොවුන්ගේ සිත් පහන්වන අයුරෙන් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම දක්නට ලැබෙන, ඇසෙන සුලභ දසුනකි. ඒ අයුරෙන් අන්‍යොන්‍ය වශයෙන් සුහදත්වයෙන් වන්දනාවේ යෙදෙන සුවිශේෂී පුදබිමකි ශ්‍රී පාදස්ථානය. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතය යි. දෙස් විදෙස් සැදැහැවතුන් පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානය කි. අසිරිමත් සම්බුදු පහසින් තෙවරක් ම පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අනුහසින් යුත් ස්ථානයකි.
පලාබත්ගල විහාරය, නල්ලතන්නි බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරය යන විහාරාරාමයන්හි අධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.
පැරැණි සිරිතට අනුව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේ මහත් පුද පෙරහරෙන් ගෞරවයෙන් සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා, සුවඳපැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා වාරය ආරම්භ වනු ඇත.

කවර කෙනකුට වුව ද, මහත් කරුණාවෙන්, ඕනෑකමෙන් සුමන සමන් දෙවි කරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වන මහඟු අවස්ථාවකි.
ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සියලු දෙනාට ආශීර්වාදය සැලසේ. ගහ කොළට, ඇළට, දොළට සතා සිව්පාවාට, පරිසරයට හානි කිරීමෙන් ද වැළකී සිරිපා වන්දනා කරමු.

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය


" දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි."
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ දඹදිව සිට ලක්දිවට වැඩමවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙම උතුම් බෝධි ශාඛාව අප වෙත ලැබුණු බව වංස කථාවල සඳහන් වෙයි.
ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධි ශාඛාව එහි සිට අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්,පුද සත්කාර’ සඳහා නතරකොට තබා තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ පුද පෙරහර, මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.
මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූ බව මහාවංසයෙහි දැක්වෙයි. මේ අනුව ශ්‍රී මහා බෝධි රෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ප්‍රභූ ජනයා ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදු වූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදුදහම ලංකාවට හඳුන්වාදීමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. සිංහල බෝධිවංසයෙහි දැක්වෙන පරිදි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීන් නටමින් , ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබේ. ඒ බැව් එහි මෙසේ දැක්වෙයි.
නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින් බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසින් අත් පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථියෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා.......
දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙලින් පූජා පැවැත් වූ හ යි, සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධ විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.
දුටුගැමුණු රජු විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු ඉතා සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ බෝධි සිනාන පූජා” යන වචනය යි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකි ය. ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු කළ ආකාරයේ බෝධි පූජා පෙරහරක් ද බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නො කොට බෝධි පූජා පැවැත් වීය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බොධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. “වඩ්ඪමාන බෝධි” යන නමින් ද ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු ද බෝධි පූජා කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනිම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූ හ.
පුරාතන යුගයේ දී වැස්ස ලබා ගැනීම සඳහා ද, රටට ආරක්ෂාව ලබා ගැනීමටද, රාජ රාජ මහා මාත්‍යාදීහු බෝධි පූජා සිදු කළ හ. ස්ථාන අටක හා දහසයක් බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේ ය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩා කොඩි එසවීම, තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදුවැලි ඉසීම යනාදිය පෙන්වාදිය හැකි ය.
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට සැපත් වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා , දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා , මහාදේවී, පදුමා,හේමසා, උන්නලා ,අංජලී සහ සුමා යන භික්ෂුණීන් ද සිටි බව දීපවංසයෙහි සඳහන් වෙයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමාධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරාධම්ම සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංසය සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලාගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එම මෙහෙණ අසපුවෙහි ම වාසය කළා ය.
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන්, අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත් කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජයේ ඇරඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.
ඌරුගමුවේ අස්සජි හිමි
උපුට‍ා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

ආනන්ද මහ රහතන් වහන්සේ

Ananda Maha Rahathan wahanse ආනන්ද මහ රහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි එවන් අසිරිමත් රහතන් වහන්සේ නමක් ගැන මෙසේ සටහන් තබමු. ඒ තමා ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා ඔබ වහන්සේ මුණ ගැසීමට පැමිණ සිටිනවා’ කියා. ‘හොඳයි ආසනයක් පනවා වාඩිවෙන්න කියන්න’ තථාගතයන් වහන්සේ පැවසූ විට ඒ හිමියෝ නැවතත් එතැනින් පොළොවේ කිමිදී නැවතත් සුමන කුමාරයා ළඟින් මතුවුණා. මෙය දුටු මේ කුමාරයා විශ්මයට පත්වෙනවා. මේ හිමියන් අද්භූත කෙනෙක්. විශ්මිත කෙනෙක් යැයි සිතා අහනවා ‘ස්වාමිනී ඔබවහන්සේ මේ වාගේ බලසම්පන්න කමක් ලබා ගත්තේ කෙසේද’? සුමන හිමියන් වදාළා ‘සංසාරයේ මම මහත් වූ පින්කම් බොහෝ සිදුකරලයි මෙවැනි සෘද්ධි උපදවා ගත්තේ’. එවිට මේ කුමාරයාගේ සිතේ අධිෂ්ඨානයක් ඇතිවුණා මමත් මේ වගේ සෘද්ධිමත් කෙනෙක් වෙන්න ඕන කියලා. එදා සිට මේ කුමාරයා නොයෙක් ආත්මභාව ලබා බොහෝ පින්දහම් කරගෙන සංසාරය පුරාවට ආවා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තුසිත දෙව්ලොවින් චුතව අමිතෝදන ශාක්‍යයාට පීතෘභාවය ලබාදෙමින් මනුලොව ඉපදුනා. තම ඥාති වර්ගයා මහත් අමන්දානන්දයට පත් වූ මේ කරුණ නිසා ‘ආනන්ද’ යැයි නම තිබ්බා.

ආනන්ද කුමාරයා බොහෝ සැපසේ හැදී වැඩී කාලයකට පසු තරුණ වියේදී ගෞතම සසුනේ පැවිදි වුණා. පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වුණා.

අපගේ් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 20 යනතුරු ස්ථිර උපස්ථායකයන් වහන්සේ නමක් සිටියේ නැහැ. එක එක කාලයේදී එක එක තෙරුන් වහන්සේලා උපස්ථාන කර තිබෙනවා. උන්වහන්සේට අවුරුදු 55 වෙද්දී සංඝයා රැස්කර වදාළා මම දැන් මහළුයි. මට ස්ථිර උපස්ථායකු අවශ්‍යයි කියා. එවිට ඒ සඳහා සාරිපුත්ත මොග්ගල්ලාන, අනුරුද්ධ, රේවත ආදී රහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. නමුත් තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට ළඟ සිටි හිමිනමක් ආනන්ද හිමියන්ට කියනවා ඔබවහන්සේත් මේ සඳහා ඉදිරිපත් වන්න කියා. ආනන්ද හිමියන් පවසනවා සුදුසුනම් මට ලැබෙයි කියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබලා ආනන්දයන් උනන්දු කළයුතු නැහැ. ආනන්ද මෙය බාර ගනියි යනුවෙන්. එවිට ආනන්ද හිමියන් කියා සිටියා ස්වාමිනි එසේනම් මට වර අටක් ඉල්ලීමට අවසර දෙන්න. ඒ තමා

ආයාචනා වර සතර

1. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි
2. භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි
3. භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි
4. භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි.

ප්‍රතික්‌ෂේප වර සතර


5. මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි
6. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි
7. ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි.
8. මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි.

ඔබ වහන්සේ මෙයට එකඟ වන සේක්වා කියා ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ එයට අවසර දුන්නා. ඉන්පසු ආනන්ද හිමියන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම භාණ්ඩාගාරික බවට පත්වුණා.



බුදුරදුන්ට අවශ්‍ය උණු පැන්, සිහිල් පැන් පමණක්‌ නොව අසනීප වූ අවස්‌ථාවලදී කැඳ බත්, බෙහෙත් ආදිය සැපයුනේ ද ආනන්ද හාමුදුරුවන් අතිනි. බුදුරදුන් වැඩසිටිය ගඳකිළිය හා අවට ඇමදීම සිදු කෙරුණේද ආනන්ද හිමියන් අතිනි. එපමණක්‌ නොව රාත්‍රී කාලයේදී බුදුන් වැඩ සිටිය ගඳකිළිය වටා එළියක්‌ ගෙන වරින් වර ගමන් කළේ බුදුරජාණන් වහන්සේ කතා කළහොත් ඊට පිළිවදන් දීම සඳහාය. මෙසේ ආනන්ද හාමුදුරුවන් විසින් බුදුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය තෙක්‌ම දිවා රෑ දෙකෙහි බලා ගත්තේ තම පණ දෙවෙනිකොට ගෙනය. ආනන්ද හාමුදුරුවන් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම කාලය ගෙවමින් සත්පුරුෂ ආශ්‍රයෙහි උපරිම ඵල ප්‍රයෝජනයන් නෙළා ගත්හ.



දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ ඝාතනයට නාලාගිරි ඇතා එවූ විට බුදුරජාණන් වහන්සේ බේරා ගැනීමට ආනන්ද හාමුදුරුවෝ බුදුන්වහන්සේ හා ඇතා අතරට පිවිසි අතර බුදුරජාණන් වහන්සේ සිය සෘද්ධි බලයෙන් ආනන්ද හාමුදුරුවන් එතැනින් ඉවත් කළ සේක.

මහා ප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට සම්බුදු සසුනේ පැවිදි බව ඉල්ලා සිටීමේදී බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්‌ෂේප කළද ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කරුණු කියා භික්‍ෂුණි සාසනය ආරම්භ කිරීමට කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි නැති විටදී උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස බෝධීන් වහන්සේ නමක්‌ දෙව්රම් වෙහෙරෙහි රෝපණය කිරීමට කටයුතු කළේ ද ආනන්ද හාමුදුරුවන්ය. "ආනන්ද බෝධිය" නමින් ප්‍රකට වූ එම බෝධිය පිහිටි ස්‌ථානය අදටත් දැක බලාගත හැකිය.



බලවත් අසනීපයට පත්ව අසාධ්‍යව සිටි පූතිගත්තතිස්‌ස හිමියන්ගේ ශරීරය පුරා ගෙඩි හටගෙන පසුව ඒවා බෙලිගෙඩි තරමට විශාලවී පැලී සැරව ගලමින් සිවුරු තෙත්ව තිබූ අවස්‌ථාවක සිය ශිෂ්‍යන්ද උන්වහන්සේට නොසලකා සිටිය අවස්‌ථාවක බුදුන්වහන්සේ ඒ හිමියන්ට උපස්‌ථාන කරන විට ඊට සහාය වූයේ ආනන්ද හාමුදුරුවන්ය. විශාලා මහනුවර පැවැති තුන් බිය දුරු කිරීමට බුදුන්ගේ උපදෙස්‌ පරිදි රතන සූත්‍රය දේශනා කරමින් නගරය වටා පිරිත් පැන් ඉසිමින් විශාලාවට ශාන්තිය උදා කිරීමටද ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට සහාය වූහ.




ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ වෙතින්  ලැබ තනතුරු 5



1 “මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති)      මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.


2 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන්           අතුරෙන් අග්‍රයි.


3 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.


4 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන්       අතුරෙන් අග්‍රයි.


5 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

මෙසේ තනතුරු රාශියක්‌ ලැබූ ආනන්ද හාමුදුරුවන් අතිශය නිහතමානී වෙමින් තනතුරු නිසා තමන් බැබළෙනවා වෙනුවට තමන් නිසා තනතුරු බැබළවූහ.

ආනන්ද හිමියන්ගේ සිහිබුද්ධියේ ද බහ්‍රශ්‍රැත භාවයේ ද තත්ත්වය ඉතා හොඳින් ප්‍රකට වූයේ ප්‍රථම ධර්ම සංගායනාවේ දී ය. ධර්මධර ත්‍රිපිටකධාරී බහුශ්‍රැත ෂඩ් අභිඥාලාභී මහරහතුන් පන්සියයක් දෙනා වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනු ලබන කල්හි එහි දී සූත්‍ර පිටක අභිධර්මපිටක දෙක ම පිළිබඳ විස්සජ්ජක (පිළිතුරු දෙන) භික්ෂුව වශයෙන් මහ සංඝයා විසින් සම්මත කරනු ලැබුවාහු ආනන්ද හිමියෝ ය. උන් වහන්සේ ප්‍රශ්න විචාරක මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන එකුන් පන්සියයක් මහ රහතුන් වහන්සේ ම විස්මයට පත් වන අයුරින් තථාගත ධර්මය පිළිබඳ විසඳීම් කළ සේක.

ආනන්ද හිමියන් මෙසේ ධර්මය සංගායනා කරන කල්හි එහි පැමිණ සිටියා වූ ඇතැම් දේවතා කෙනෙක් ආනන්ද හිමියන් පිළිබඳ ව සැක පහළ කළහ. එනම් “මේ ආනන්ද ස්ථිවිර තෙම තථාගතයන් වහන්සේ විසින් ධර්ම භාණ්ඩාගාරික වශයෙන් එතදග්‍ර පාලියෙහි තබන ලදි. දැන් මෙතරම් ශ්‍රේෂ්ඨ අන්දමින් මහ සඟ පිරිස මැද විජිනි පතක් ගෙන ආසනාරූඪ ව ධර්ම දේශනා කරන්නේ සර්වඥ බවට වත් පැමිණියේ වනැ’ යි කියා යි.

දෙවියන්ගේ සිත්හි පහළ වූ මේ සැකය දුරු කරනු වස් තමන් වහන්සේ සම්බුදු නොවූ බවත්, මේ සියලු ධර්මය තථාගතයන් වහන්සේගෙන් අසා, උගත් බවත් අඟවනු පිණිස “ඒවං මේ සුතං ඒකං සමයං භගවා” ආදියෙන් නිදාන පාඨයක් ඇතුළත් කළහ. දෙවියන් තමන් වහන්සේ පිළිබඳ ව සිතන එවැනි සිතිවිලිවලින් තමන් වහන්සේට ගෞරවයක් ලැබීම නුසුදුසු බව සැලකීම ද උන් වහන්සේ තුළ පැවති තවත් උදාර ගුණයක් ලෙස සැලකිය යුතු ය. ආනන්ද හිමියන් විසින් කරන ලද මේ ධර්ම සංගායනාව පිළිබඳ කථාව සම්බුදුසස්න පවත්නා තෙක් ම ලෝකයා අතර අමරණීයත්වයෙන් පවතිනු ඇත.

ගිහියන්ට හා පැවිද්දන්ට ධර්මය උගැන්වීමෙන් ද ධර්ම ප්‍රචාරය කිරීමෙන් ද ධර්මධර බහ්‍රශ්‍රැතයන් දහස් ගණන් ඇති කරවීමෙන් දැ යි යන ක්‍රමයෙන් සම්බුද්ධ ශාසනයට මෙතරම් සේවයක් කළ ශ්‍රාවක නමක් නැතැ යි ප්‍රකාශ කිරීම සෙසු තථාගත ශ්‍රාවයකයන්ට අගෞරවයක් ද නොවනු ඇත. දෙවැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය දැරුවාහු ආනන්ද හිමියන්ගේ අතැවැසි (ගෝල) මහතෙරුන් වහන්සේලා ය. තථාගත පරිනිර්වාණයෙන් සියක් වසරක් ගිය කල වජ්ජිපුත්තක භික්‍ෂූන් විසින් ඉපදවූ ‘දස වස්තුව’ පිළිබඳ විනිශ්චයක් කොට එය අකැප වස්තූන් ලෙස සම්මත කොට කාලාසෝක රජුගේ දායකත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව කළා වූ පන්සියයක් මහරහතුන් වහන්සේලා අතුරෙන් ප්‍රධාන අට නමට ඇතුළත් වූ සබ්බකාමී, සාළ්හ, රේවත බුජ්ජසෝහිත, කාකණ්ඩකපුත්ත යස, සාණාවාසී සම්භූත යන මහ තෙරවරුන් වහන්සේලා ආනන්ද හිමියන්ගේ අතැවැසි මහ තෙරවරහු වූ හ. මෙයින් පෙනෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ සහායෙන් සිදු කළ බවත් දෙවැනි ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ අතැවැසි තෙරුන් විසින් සිදු කළ බවත් ය.

මේ සම්බුදුසස්නෙහි ආනන්ද හිමියන් ලෙසින් රහත් වූ භික්‍ෂුවක් ද නැත. උන් වහන්සේ රහත් වූයේ ප්‍රථම ධර්මසංගායනාව පවත්වන්නට ආරම්භ කළ නිකිණි අව දියවක් දා අලුයම් වේලේ දී ය. එදිනට පෙරදින මහා කාශ්‍යප හිමියෝ ආනන්ද හිමියන් අමතා “ආනන්දයෙනි, ධර්ම සංගායනාව පවත්වන්නේ සෙට යි. තොප රහත් නුවූ හෙයින් එයට එක් විය ද නොහැක්ක. සම්බුදුහු ධර්ම භාණ්ඩාගාරය තොප අත තබා වදාළහ. එහෙයින් වීර්ය කරන්නැ”යි ඉල්ලා සිටියහ. ආනන්ද තෙරණුවෝ ද තුන්යම් රාත්‍රියෙහි සක්මන් කොට රහත් විය නුහුණු හෙයින් අලුයම් වේලෙහි මඳක් කය සතපා වීර්ය කෙරෙමියි සිතා දෙපා සෝදා සයනය වෙතට පැමිණ සයනය මත අත තැබීමත් දෙපය එසවීමත් රහත් වීමත් යන මේ තුන ම ඒ ක්‍ෂණයෙහි විය. නොහිඳ, නොසිට, නොනිදා, නොඇවිද රහත් වූ කෙනෙක් මේ ආනන්ද තෙරුන් හැර තවත් නැත්තා හ. අහෝ ආශ්චර්යයකි! ධර්ම ශක්තියක මහත.

රහත් වීම එසේ මෙන් ම, ආනන්ද හිමියන් මෙන් පිරිනිවන් පෑ අන් කෙනෙක් ද මේ බුදුසස්නේ තවත් නැත.

ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ එකසිය විසි අවුරුදු වයස් වූ පසු තමන් වහන්සේගේ ආයු පිරිහී ගිය බව දැන “ඇවැත්නි, මම මෙයින් සත්වන දා පිරිනිවන් පාන්නෙමි යි” දැන්වූ සේක. එවිට භික්‍ෂූහු “අහෝ! තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බහුශ්‍රැත ධර්මධර ආනන්ද හිමියෝ පිරිනිවන් පානා සේක. දෙවැනි බුදුහු ද නිවන්පුර වඩනා සේකැ” යි කියන්නට වන්හ. මෙසේ කටින් කට මේ කථාව පැතිර යෑමෙන් උන් වහන්සේගේ ඥාතිවරු-විශේෂයෙන් රෝහිණී නදිය දෙපස විසූ ශාක්‍ය කෝලිය දෙකුලයට අයත් ඥාතිවරු “ස්වාමීනි, සම්බුදු රජාණන් වහන්සේ අපගේ ඥතිවරයා වුව ද පිරිනිවන් පානා පිණිස කුසිනාරාවට වැඩියහ. එනිසා නුඹ වහන්සේ වත් අපේ ගමෙහිදී පිරිනිවන් පානා සේක්වා” යි ඉල්ලා සිටියහ. එතෙර වැසියෝ “ස්වාමීනි මෙතෙර දී පිරිනිවන් පානු මැනව” යි කී හ. මෙතෙර වැසියෝ ද “ස්වාමීනි, අපගේ පැත්තෙහි පිරිනිවන් පානු මැනැව” යි අයැද සිටියහ.

ආනන්ද තෙරණුවෝ ඒ අසා, ‘දෙතෙර වැසියෝ ම මට උපකාරී ව සිටියහ. මා එක් පැත්තක පිරිනිවන් පෑවේ නම් අනෙක් පැත්තේ අය ධාතු ඉල්ලා සිටිනු ඇත. එවිට තවත් ධාතු කෝලාහලයක් විය හැකි ය. එහෙයින් දෙතෙර වැස්සන්ට ම පහසු වන අයුරින්, ප්‍රසාදය යෙදෙන අයුරින් පිරිනිවන් පෑ යුතු’ යි සිතූ සේක.

මෙසේ සිතා සත්වන දිනයෙහි හෙවත් තථාගතපරිනිර්වාණයෙන් සතළිස් වන හවුරුද්දෙහි වෙසක් පුර පසළොස්වක දා රෝහිණී නදිය මැද අහසෙහි පලක් බඳ වැඩ හිඳ, දෙපස එක් වූ පිරිසට ධර්මදේශනා කළ සේක. අවසානයෙහි, “මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රය කරන ලදි. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන ලදි. එහෙයින් ම සම්පූර්ණයෙන් කෙලෙස් බර බහා තබන ලදි. (සියලු කෙලෙසුන් නැසීම). නැවත මාගේ ඉපදීමක් නැත” යි ප්‍රකාශ කළහ.

ඉක්බිති මහ තෙරණුවෝ “මාගේ සිරුර මැදින් බිඳී කොටස් දෙක ගඟ දෙපසට වෙන් ව වැගිරේවා!” යි අධිෂ්ඨාන කොට, තේජෝ ධාතු කසිණ සමාපත්තියට සමවැද අනුපාදාපරිනිබ්බාණයෙන් පිරිනිවන් පෑ සේක. සිරුරෙන් ගිනිදැල් මතු වී දැවී අධිෂ්ඨාන බලයෙන් දෙකඩ ව ගඟ දෙපසට වැටුණේ ය.

මහජනයා දැවෙන සිරුර දෙස බලා හඬා වැලපුණාහු තථාගතයන් වහන්සේ පිරිනිවි දින මෙන් මහත් ශෝකයක් පළ කළහ. “අහෝ! සම්බුදුරදුන්ගේ පා-සිවුරු ගෙන ගිය, සම්බුදුරදුන් පසුපස ගමන් කළ ආනන්ද හිමියන් සිටින කල බුදුරදුන් වැඩ සිටිනා සේ විය. දැන් ඉතින් දෙවැනි බුදුරදුන් වහන්සේ ද පිරිනිවි සේක. අපි කෙසේ ඉවසමු ද?” ආදීන් කිය-කියා ශෝකයෙන් වැලපුණාහු, ගඟ දෙපසට වැටුණු ධාතු ගෙන චෛත්‍ය කරවූ හ. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ තරම් බුදුන්ගේ ධර්මය ලෝකයාට බෙදාදීමට පුරෝගාමී වූ තවත් කෙනෙක්‌ සම්බුද්ධ සාසනයේ දක්‌නා නොලැබෙන තරම්ය.


ආනන්ද ථෙරග‍ාථ‍ා

‘‘ආතාපී නිපකො චාපි, සම්පජානො පතිස්සතො;
සොතාපත්තිඵලං පත්තො, සෙඛභූමීසු කොවිදො.’’


‘‘කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, මනා දැනුම් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ශෛක්‍ෂ්‍ය භූමියෙහි දක්‍ෂවූයේ, සෝවාන් ඵලයට පැමිණියේ වෙමි.’’


‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමභිනීහරිං
තාහං භූමිමනුප්පත්තො, ඨිතා සද්ධම්මමාචලා


‘‘මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් කොට (යමක්) ප්‍රාර්ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියේ, සසුනෙහි නිශ්චලව සිටියේ වෙමි.’’

‘‘මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි’’


‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.’’


‘‘බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.’’


‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.


‘‘මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.’’


උපුටා ගැනීම අන්තර්ජ‍ාලය ඇසුරිනි.

බක්කුල මහ රහතන් වහන්සේ

Bakkula Maha Rahathan Wahanse බක්කුල මහ රහතන් වහන්සේ


ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.


විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා “බක්‌කුල” ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.


3. බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.
2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´
´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´
´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´
´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.
´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.

36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.
´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
සතරවැනි බක්කුල සූත්‍රයයි. ( 3 – 4 )

බක්කුල මහ රහතන් වහන්සේ දිනක් භාවනා කරද්දී දකිනවා, උන් වහන්සේගේ ආයුෂ ගෙවී අවසන්. ඒ මොහොතේ භාවනාවෙන් නැඟිට, ස්වාමීන් වහන්සේලා සැමගේම කුටිවලට ගිහින් ඇමැතුවා.‘ආයුෂ්මතුනි, එළියට වඩින්න. අද මා පිරිනිවන් පානවා යනුවෙන් තම කුටියෙහි යතුර සංඝයාට දී, භික්ෂූන් වහන්සේලාට අවවාද කර, ස්වාමීනි, මා පිරිනිවන් පානවා යනුවෙන් අහසට පැන නඟින්න පෙර අධිෂ්ඨානයක් කළා. ‘මගේ පැවිදි ජීවිතය තුළ කිසිකෙනෙක් ලවා මා උපස්ථානයක් කරවාගෙන නැහැ. කාටවත් මගේ කය කරදරයක් වෙලා නැහැ. මේ මොහොතේ පිරිනිවන් පෑ පසුවවත්, මගේ දේහය තව කෙනෙකුට කරදරයක්, බාධාවක් නොවේවා’ යනුවෙන් අධිෂ්ඨානයක් කළා. ඒ වගේම අනාගතයේ දෙව්, මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන, වැඳුම් පිදුම් කරන සිව්වණක් ශ්‍රාවකයන්ට, මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර, අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී, ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා.

උපුටා ගැනීම අන්තර්ජ‍ාලය ඇසුරිනි.

අංගුලිමාල මහ රහතන් වහන්සේ


Angulimala Maha Rahathan Wahanse අංගුලිමාල මහ රහතන් වහන්සේ

මාහට අසන්නට ලැබුනේ මේ විදියට යි.  දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන සිටියා.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත‍්‍රය ගෙන සැවැත් නුවර පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිඬුසිඟා වැඩ අවසන් කොට තමන් වහන්සේ ගේ සෙනසුන අස්පස් කොට තබා පා සිවුරු ගෙන අංගුලිමාල සොරා සිටින ප‍්‍රදේශයට දිවෙන මාර්ගයෙහි බැසගත්තා.

එවිට ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවියත් අංගුලිමාල සොරා සිටින ප‍්‍රදේශයට දිවෙන මාර්ගයෙහි ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

දෙවෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු අතට හසුවෙලා විනාශ වෙනවා.” දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

තුන්වෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” තුන්වෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

එවිට දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව අංගුලිමාල සොරා දැක්කා. දැක මෙහෙම හිතුනා. “භවත්නි, ආශ්චර්යයක් නෙව. භවත්නි, අද්භූතයි නෙව. මේ මාර්ගයෙහි පුරුෂයන් දහය බැගින් සැදී, විස්ස බැගින් සැදී, තිහ බැගින් සැදී, හතළිහ බැගින් සැදී, පනහ බැගින් සැදී කණ්ඩායම් හැටියට යි එන්නේ. ඔවුනු ත් මගේ අතට අහුවෙලා විනාශ වෙනවා. එහෙම එකේ මේ ශ‍්‍රමණයා තනිව ම දෙවැන්නෙක් නැතිව මාව අභිබවා යන්නට වගෙයි මේ එන්නෙ. හොඳයි, මේ ශ‍්‍රමණයා ගේ ජීවිතය ද විනාශ කරන එක තමයි කරන්න තියෙන්නෙ.”

ඉතින් අංගුලිමාල සොරා කඩු පළිහ ගෙන දුනු හියවුරු බැඳ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් හඹා යන්නට පටන් ගත්තා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙවැනි වූ ඉර්ධි ප‍්‍රාතිහාර්යයක් කොට වදාළා. එනම්, භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකෘති ගමනින් ශාන්තව වඩිද්දී අංගුලිමාල සොරා සියළු ආකාර වීරිය ගනිමින් වේගයෙන් හඹා එද්දී ත්, භාග්‍යවතුන් වහන්සේට ළං නො වන හැටියට යි. එවිට අංගුලිමාල සොරාට මෙහෙම හිතුණා. “භවත්නි, ආශ්චර්යය යි නෙව. භවත්නි, අද්භූත යි නෙව. මං කලින් වේගයෙන් දුවන හස්තියාව ත්, ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන අශ්වයා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන වාහනය ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන මුවා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. එහෙත් දැන් මං මේ ප‍්‍රකෘති ගමනින් යන ශ‍්‍රමණයාව අල්ලා ගන්නට සියළු වෙර වීරිය ගෙන හඹා ගිය ත් ළං වෙන්නට බැහැ නෙව.” කියා සිටිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “එ්යි ශ‍්‍රමණය, සිටුව. එ්යි ශ‍්‍රමණය, සිටුව.” “පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න.”

එවිට අංගුලිමාල සොරා හට මෙය සිතුණා. “මේ ශාක්‍යපුත‍්‍ර ශ‍්‍රමණ වරුන් සත්‍යවාදී යි. සත්‍යය ප‍්‍රතිඥා දෙනවා. නමුත් මේ ශ‍්‍රමණයා යද්දී ම මෙහෙම කියනවා. ‘පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න’ කියලා. ඉතින් මං මේ ශ‍්‍රමණයා ගෙන් ඔය කාරණාව අසන්නට ඕන.” කියලා අංගුලිමාල සොරා භාග්‍යවතුන් වහන්සේට ගාථා වලින් පැවසුවා.

“ගච්ඡං වදේසි සමණට්ඨිතෝම්හි – මමං ච බ‍්‍රෑසි ඨිතමට්ඨිතෝ’ති,
පුච්ඡාමි තං සමණ එ්තමත්ථං – කථං ඨිතෝ ත්වං අහමට්ඨිතෝම්හි.

එ්යි ශ‍්‍රමණය, ඔය යන ගමන් නේද සිටියා කියල කියන්නෙ? සිටින්නා වූ මට නේද නො සිටිනවයි කියන්නෙ? එ්යි ශ‍්‍රමණය, මේ කථාවේ තේරුම යි මං දැන් අහන්නෙ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මං මේ විදිහට නො ඉන්නෙ කොහොම ද?

ඨිතෝ අහං අංගුලිමාල සබ්බදා – සබ්බේසු භූතේසු නිධාය දණ්ඩා
තුවඤ්ච පාණේසු අසඤ්ඤතෝසි – තස්මා ඨිතෝහං තුවමට්ඨිතෝසි.

අංගුලිමාල, මං ඉන්නෙ මෙන්නෙ මෙහෙමයි. හැම තිස්සේ ම හැම සතුන් කෙරෙහි ම වද දීම් අතහැරල, එ් වුණාට ඔබ නො සිටින්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. එ් නිසා මං නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.

චිරස්සං වත මේ මහිතෝ මහේසි – මහාවනං සමණෝ පච්චුපාදි,
සෝ’හං චරිස්සාමි පහාය පාපං – සුත්වාන ගාථං තව ධම්මසුතං.

ඇත්තෙන් ම පූජනීය මහා ඉසිවරයෙක් වන ඔය ශ‍්‍රමණයන් වහන්සේ මට අනුකම්පාවෙන් ම යි මේ මහ වනයට වැඩියේ. ධර්මය ගැන කියවෙන ඔය ගාථාව ඇහුවට පස්සේ මා වෙනස් වුණා. මේ පව් හැම එකක් ම අත්හැරලා මං ධර්මයේ හැසිරෙනවා.

ඉච්චේව චෝරෝ අසිමාවුධං ච – සෝබ්භේ පාපතේ නරකේ අන්වකාරි,
අවන්දි චෝරෝ සුගතස්ස පාදේ – තත්ථේව නං පබ්බජ්ජං අයාචි.

අංගුලිමාල සොරා මෙහෙම කියල කඩුව ත්, අනිත් ආයුධ ත් කන්දෙන් පහළට වීසි කළා. සුගතයන් වහන්සේ ගේ සිරි පතුල් ළඟ ඇද වැටුණා. උන්වහන්සේගෙන් මහණ වෙන්නට අවසර ඉල්ලා හිටියා.

බුද්ධෝ ච ඛෝ කාරුණිකෝ මහේසි – යෝ සත්ථා ලෝකස්ස සදේවකස්ස,
තමේහි භික්ඛූ’ති තදා අවෝච – එ්සෝ’ව තස්ස අහු භික්ඛුභාවෝ.

මහ ඉසිවර බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවන්තයි. සදේවක ලෝකයාට ම නිවන් මග පෙන්නා දෙන ශාස්තෘන් වහන්සේ යි. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට “භික්ෂුව, මෙහාට එන්න” කියා වදාළා. එ්ක තමයි ඔහු ගේ උතුම් පැවිදි බව.

ඉක්බිති ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසු ශ‍්‍රමණයන් කොට ගත් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර චාරිකාවෙහි වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් සැවැත් නුවරට වැඩම කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ අරමෙහි වැඩ විසුවා. එසමයෙහි පසේනදී කොසොල් රජු ගේ අන්තඃපුර දොරටුවේ රැස් වූ මහාජනයා උස් හඬින් මහ හඬින් ඝෝෂා කළා. “දේවයන් වහන්ස, ඔබ ගේ රාජධානියෙහි අංගුලිමාල නම් සොරෙක් සිටියි. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. දේවයන් වහන්ස, එ් සොරාව වළකාලන සේක්වා!”

එවිට පසේනදී කොසොල් රජු පන්සීයකින් යුතු අශ්ව සේනාවක් සමඟ සැවැත් නුවරින් නික්මුණා. ගිනි මද්දහන වේලෙහි දෙව්රම කරා පිටත් වුණා. යානභූමිය යම් තාක් ද, එතෙක් වාහනයෙන් ගොස් එයින් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වූ පසේනදී කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් මහාරාජ, කිම? සේනිය බිම්බිසාර මහධේශ්වරයන් කිපුණා වත් ද? විසල් නුවර ලිච්ඡවීන් කිපුණා වත් ද? වෙනත් ප‍්‍රතිරාජයෙක් කිපුණා වත් ද?”

“අනේ නැහැ ස්වාමීනී, මගධේශ්වර සේනිය බිම්බිසාර රාජයන් කිපිලා ත් නොවෙයි. විශාලාවෙහි ලිච්ඡවීන් කිපිලා ත් නොවෙයි. අන්‍ය ප‍්‍රතිරාජයෙක් කිපිලා ත් නොවෙයි. ස්වාමීනී, මාගේ විජිතයෙහි අංගුලමාල නම් සොරෙක් ඉන්නව නෙව. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා නෙව. ස්වාමීනී, මං මේ යන්නෙ එ් සොරාව වළක්වන්නට යි.”

“පින්වත් මහාරාජ, ඉදින් යම්හෙයකින් කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වී සිටින, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකමින් වැළකී සිටින, බොරුවෙන් වැළකී සිටින, එක්වේල වළඳන, සීලවන්ත වූ බඹසර සුරකින කල්‍යාණ ධර්ම ඇතිව එ් අංගුලිමාල සිටිනවා දුටුවොත් ඔබ මොකද කරන්නේ?”

“ස්වාමීනී, එහෙම නම් අපි වන්දනමානන කරනවා. දැක හුනස්නෙන් නැගිටිනවා. අසුනෙන් පවරනවා. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පුදනවා. ඒ භික්ෂුවට ධාර්මික ආරක්ෂාව සපයනවා. එහෙත් ස්වාමීනී, දුස්සීල වූ, පවිටු ස්වභාව ඇති පුද්ගලයෙකුට මෙබඳු සීල සංවරයක් කෙසේ නම් ඇතිකරගන්නට ද?”

එවේලෙහි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වාඩි වී සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා ගේ දකුණු අතින් අල්ලා ගෙන අවුත් මෙය වදාළා. “පින්වත් මහාරාජ, ඔය ඉන්නේ ඒ අංගුලිමාල තමයි.”

එවිට පසේනදී කොසොල් රජතුමාට භයක් ඇතිවුණා. තැති ගැනීමකුත් ඇතිවුණා. ලොමුඩැහැ ගැනීමකුත් ඇතිවුණා. භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජු භය වී, තැතිගෙන, ලොමුඩැහැගෙන සිටින බව දැන පසේනදී කොසොල් රජුට මෙය වදාළා. “පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! ඔබට ඒ භික්ෂුව ගෙන් කිසි භයක් වන්නේ නැහැ.” එතකොට පසේනදී කොසොල් රජුහට යම් භයක්, තැතිගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් තිබුණා ද, එය සංසිඳී ගියා. ඉක්බිති පසේනදී කොසොල් රජු ආයුෂ්මත් අංගුලිමාලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් අංගුලිමාලයන් ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, අප ගේ ආර්යයන් වහන්සේ අංගුලිමාලයන් ද?” “එසේය පින්වත් මහාරාජ” “ස්වාමීනී, ආර්යයන් වහන්සේ ගේ පියාණන් කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත ද? මෑණියන්දෑ කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත දෑ ද?” “පින්වත් මහාරාජ, මාගේ පියාණන් ගර්ග නම් වෙයි. මෑණියන්දෑ මන්තානි නම් වූ දෑ ය.” “ස්වාමීනී, මන්තානිපුත‍්‍ර වූ ගර්ග ආර්යයන් වහන්සේ මේ ශාසනයෙහි ඇලී වසත්වා! මන්තානිපුත‍්‍ර ගර්ග වූ ආර්යයන් වහන්සේට මං සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර සපයන්නට උත්සාහ ගන්නම්.”

එකල්හි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ආරණවාසීව පමණක් සිටිමින්, පිණ්ඩපාතයෙන් පමණක් යැපෙමින්, පාංශුකූල චීවරය පමණක් පොරවමින්, තුන්සිවුර පමණක් ඇතිව සිටියා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසේනදී කොසොල් රජුහට මෙය පැවසුවා. “පින්වත් මහාරාජ, කම්නැත. මට තුන්සිවුරු සම්පූර්ණව තියෙනවා.”

එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දමනය නො වූ වන් දමනය කරන සේක් ම යි! ශාන්ත නො වූ වන් ශාන්ත බවට පත් කරන සේක් ම යි! නො පිරිනිවී ගිය සතුන් පිරිනිවන් බවට පත් කරන සේක් ම යි! ස්වාමීනී, එ් අපි යමෙකුව දඬුමුගුරෙන් වේවා, ආයුධයෙන් වේවා දමනය කරන්නට අසමර්ථ ද, එහෙත් ඔහුව භාග්‍යවතුන් වහන්සේ දඬුමුගුරෙන් තොරව, ආයුධයෙන් තොරව දමනය කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් අපි යන්නම්. අපට ඉතින් බොහෝ කෘත්‍ය තියෙනවා නෙව. බොහෝ රාජකාරී තියෙනවා නෙව.” ”පින්වත් මහාරාජ, යමකට කාලය නම් එය දැනගත මැනැව.” එකල්හි පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා.

දිනක් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ගෙන සැවැත් නුවර පිණ්ඩපාතයෙහි වැඩියා. සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී එක්තරා ස්ත‍්‍රියක් ගැබ්ගෙල සිරවී, දරු ප‍්‍රසූතිය කරගත නො හැකිව, වේදනාවෙන් කෑ ගසනා අයුරු දකින්නට ලැබුණා. එසේ දැක මෙය සිතුණා. “භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!” කියල. එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩ වළඳා අවසන් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව හිඳගත් ආයුෂ්මත් අංගුලිමාලයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මෙහි මං පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන සැවැතෙහි පිඬු සිඟා වැඩියා. ඉතින් ස්වාමීනී, සැවැතෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී දරුගැබ සිරවී දරුවා වදනු නො හැකිව විලාප දෙන එක්තරා ස්ත‍්‍රියක් දකින්නට ලැබුණා. දැක මෙය සිතුණා. ‘භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!’ කියල.”

“එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ ඒ ස්ත‍්‍රිය වෙත යන්න. ගිහින් ඒ ස්ත‍්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“අනේ ස්වාමීනී, එය මට බොරුවක් නො වන්නේ ද? ස්වාමීනී, මා විසින් දැන දැන බොහෝ ජීවිත විනාශ කොට තිබෙනවා.” “එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ ඒ ස්ත‍්‍රිය වෙත යන්න. ගිහින් ඒ ස්ත‍්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“එසේය ස්වාමීනී,” ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ ස්ත‍්‍රිය සිටි තැනට වැඩියා. වැඩමකොට ඒ ස්ත‍්‍රියට මෙය පැවසුවා. “පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!” එවිට ස්ත‍්‍රිය සුවපත් වුණා. ගර්භය සුවපත් වුණා. (සුව සේ දරුවා බිහිවුණා)

එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුණා. අප‍්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත‍්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන ඒ උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා.

ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත‍්‍රය ද ගෙන සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. එවැනි වෙලාවක දී වෙනත් තැනකට ගසන ගල් පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන දඬු මුගුරු පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන කැට කැබිලිති පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. එතකොට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ බිඳුණු හිසින් යුතුව, ලේ වැගිරෙද්දී, බිඳුණු පාත‍්‍රය ඇතිව, ඉරී ගිය සඟල සිවුරු ඇතිව, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. එවිට දුරින් ම වඩින ආයුෂ්මත් අංගුලිමාලයන් දකින භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් අංගුලිමාලයන්ට මෙය පවසා වදාරණවා. “පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසවන්නට තිබුණා ද, පින්වත් බ‍්‍රාහ්මණය, ඔබට  කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ.” ඉතින් හුදෙකලාවෙහි භාවනා කරමින් විමුක්ති සුඛ විඳිමින් සිටින ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ඒ වේලාවෙහි මේ උදානය වදාළා.

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

කවුරු හරි කලින් දහමේ හැසිරෙන්නට පමා වෙලා හිටිය ත්, පස්සෙ කාලෙක අප‍්‍රමාදීව දහමේ හැසිරුණොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

කවුරු හරි කෙනෙක් තමන් ගේ පව් කුසල් බලයෙන් නැති කරල දැම්මොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන්සඳක් වගේ.

යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ,
සෝ’මං ලෝකං පභසේති අබ්භා මුත්තෝ’ච චන්දිමා.

කොයි තරම් තරුණ භික්ෂුවක් වුනත් ශීල, සමාධි, ප‍්‍රඥාවේ යෙදෙනවා නම් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

දිසා’හි මේ ධම්මකථං සුණන්තු – දිසා’හි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ,
දිසා’හි මේ තේ මනුජේ භජන්තු – යේ ධම්මමේවාදාපයන්ති සන්තෝ.

මගේ සතුරන්ට ත් ඇසෙන්නට ඕන මේ චතුරාර්ය සත්‍යය ධර්මය ම යි. මගේ සතුරන් හැසිරෙන්නට ඕන ශීල, සමාධි, ප‍්‍රඥාවේ ම යි. මගේ සතුරො ත් ඇසුරු කරන්නට ඕන මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය පෙන්නා දෙන සත්පුරුෂ උතුමන්ව යි.

දිසා හි මේ ඛන්තිවාදානං – අවිරෝධප්පසංසිනං,
සුණන්තු ධම්මං කාලේන  – තඤ්ච අනුවිධීයන්තු.

ඉවසන ගුණයෙන් යුතු, මෛත‍්‍රියට ප‍්‍රශංසා කරන  උතුමන් ගේ ධර්මය ම මාගේ හතුරෝ ද අසත්වා! ඒ උතුම් ධර්මය ම අනුගමනය කරත්වා!

න හි ජාතු සෝ මමං හිංසේ – අඤ්ඤං වා පන කිඤ්චනං,
පප්පුය්‍ය පරමං සන්තිං – රක්ඛෙය්‍ය තසථාවරේ.

 මාගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නො කරත්වා! දැන් අංගුලිමාල පරම ශාන්තියට පැමිණිලා ඉන්නෙ. තැති ගන්නා සතුනුත්, තැති නො ගන්නා රහතුනුත් රකිනවා.

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා.

වතුර අදින අය තමන් කැමැති දිශාවට වතුර ගෙනියනවා. හී වඩුවන් ඊතල වල ඇද හැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමැති විදිහට ලී නවනවා. අන්න ඒ විදිහට බුද්ධිමත් කෙනා තමන් ගේ ජීවිතය දමනය කර ගන්නවා.

දණ්ඩේනේකේ දමයන්ති – අංකුසේහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථේන – අහං දන්තෝම්හි තාදිනා.

සමහර උදවිය දඬු මුගුරු වලිනුත්, හෙණ්ඩුවෙනුත්, කසයෙනුත් තමයි අනුන්ව දමනය කරන්නේ. ඒ වුණාට දඬු මුගුරු නැතිවයි, අවි ආයුධ නැතිවයි අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ මාව දමනය කළේ.

අහිංසකෝ’ති මේ නාමං – හිංසකස්ස පුරේ සතෝ,
අජ්ජාහං සච්චනාමෝම්හි – න නං හිංසාමි කිඤ්චනං.

ඉස්සර මට අහිංසක කියල කීවෙ අනුන්ට හිංසා කරද්දී ම යි. ඒත් දැන් මං කාටවත් හිංසා නො කරන ඇත්තට ම අහිංසක කෙනෙක්.

චෝරෝ අහං පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
වුය්හමානෝ මහෝඝේන – බුද්ධං සරණමාගමං.

මං ඉස්සර අංගුලිමාල නමින් ප‍්‍රසිද්ධ වෙච්ච හොරා. මාව සංසාරෙ සැඩ පහරට අහුවෙලා ගහගෙන යන කොට තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුණේ.

ලෝහතපාණී පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
සරණාගමනං පස්ස – භවනෙත්ති සමූහතා.

ඉස්සර මං අත්වල ලේ තවරාගෙන ප‍්‍රසිද්ධ වෙලා හිටියේ අංගුලිමාල නමින්. එහෙත් උතුම් තිසරණයට පැමිණීමේ ආනිශංසය බලන්න. සියළු භව රැහැන් මුලින් ම කපලා දැම්මා.

තාදිසං කම්මං කත්වාන – බහුං දුග්ගතිගාමිනං,
ඵුට්ඨෝ කම්මවිපාකේන – අනණෝ භුඤ්ජාමි භෝජනං.

මගේ අතින් අපායට යන්නට බොහෝ පව් සිද්ධ වුණා. එහෙත් දැන් මං විපාක විඳින්නෙ මේ ජීවිතයේ දී විතරයි. අනුන් ගේ දානෙ මං වළඳන්නෙ ණය නැතිව යි.

පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.

අඥාන ජනතාව බාහිර වැඩ කටයුතුවලට මුළු ජීවිතය ම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප‍්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නෙ උතුම් ධනයක් රැක ගන්නවා වගෙයි.

මා පමාදමනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං,
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති පරමං සුඛං.

ධර්මයේ හැසිරීම පිණිස ප‍්‍රමාද වෙන්නට එපා! කාම සැපයේ ම ඇලී වාසය කරන්නට එපා! අප‍්‍රමාදීව භාවනා කරන කෙනා තමයි උතුම් සැපය ලබා ගන්නෙ.

ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
සංවිභත්තේසු ධම්මේසු – යං සෙට්ඨං තදුපාගමං.

සම්බුදු සසුනට මං ආපු එක කොයි තරම් හොඳයි ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදල දෙන ඒ චතුරාර්ය සත්‍යය ධර්මය තුළිනුයි මං උතුම් නිවනට පත් වුණේ.

ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා – කතං බුද්ධස්ස සාසනං.

බුදුරජාණන් වහන්සේ ගේ සසුනට මං ආපු එක කොයිතරම් හොඳ ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නො වෙයි. මා ත‍්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

සාදු! සාදු!! සාදු!!!

(අංගුලිමාල සූත්‍රය – මජ්ඣිම නිකාය 02)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

රාහුල මහරහතන් වහන්සේ

Rahula Maha Rahathan Wahansa රාහුල මහරහතන් වහන්සේ

අප මහ බෝසතාණන් වහන්සේ පදුමුත්තර බුදුහිමි ජීවමානව සිටිය දී එම බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී ජටිල නම් රැටියෙක් ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිත ව සිවුරු පූජා කිරීම සිදු කළහ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගෞතම බෝසතුන්ට දස වැනි නියත විවරණය ලබා දුන් සේක.

එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන, එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වු, නරශ්‍රේෂ්ඨ වු, තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන්වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස්වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් අවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේදී මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදුනුවණින් බලා පවසා වදාළා.

අතිශයින් ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි අති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා, දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවිය ම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වු ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී” නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති’සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්,රිදී, වෛරෝඩි ආදි වටිනා දේ පහළ වුණා. මේ අයුරින් බුදුරදුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.

රාහුල මහරහතන් වහන්සේ ගේ ප්‍රාර්ථනාව ඉටුවුන භවය මේ මහා භද්‍ර කල්පයේ ඒ වන විට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වැනි වියේ දී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වු මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයේ “පඨවින්ධර’ නම් නා රජෙකු ව ඉපදී සිටිය දී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ, මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වැනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. පුතු උපත ගැන සැළ වු මහ බෝසතාණන් "රාහුලයෙක් උපන්නා. තවත් බන්ධනයක් ඇතිවුණා" යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.
එදා පටන් තම මෑණියන් වු යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇති දැඩි වුණා. 

රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වන විට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්‍රාතිහාර්යය’ පවත්වා ඥාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබළමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා.
“පුතා මුත්තණුවන්ගෙන් පස්සේ රජකම උරුම වෙන්නේ ඔබේ පියතුමාටයි. නමුත් එතුමා රජකම් කරන්නට එන්නේ නෑ. ඒ නිසා ඊළඟට ඔටුන්න හිමි මගේ පුතාට යි. පියතුමා සතු මහ නිදන් වස්තු රාශියකුත් තියෙනවා. එතුමා නුවරින් පිටවෙන්නට කලින් දුවලා ගිහින් පියතුමාගෙන් පුතාට දෑවැද්දක් හැටියට ඒ ඔක්කොම වස්තුව ඉල්ලාගන්න. යන්න, දුවලා යන්න, “කියමින් යසෝදරා බුදුහාමුදුරුවන් වෙත පුතු පිටත් කළා.

වේගයෙන් දිව ගිය ළදරු රාහුල කුමරුට සන්සුන් ගමනින් වඩිනා බුදුහාමුදුරුවන් සමීපයට ළඟා වීමට වැඩි වේලාවක් ගත වුණේ නෑ. උන් වහන්සේ පුතුගේ සුරත අල්ලාගත්තා. සන්සුන්ව පියවර තබන පියාණන් සමඟ පුතු ද නිහඬව ඉදිරියට පා නැගුවා. මේ දසුන දුටු මග දෙපස රැඳී සිටි දහස් ගණන් පිරිසගේ හදවත් දාරක ස්නේහයෙන් පිරී ඉතිරී ගියා. සත්අවුරුද්දක් අහිමි ව තිබුණු පිය සෙනෙහස රාහුල පුතුට යළි ලැබී ඇති අයුරු දුටු ඇතැමුන්ගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරුණා.
“ඔබේ හෙවණේ ඉන්න විට මගේ ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. පියාණනි,” කියමන් කුමරු හිස ඔසවා බුදුපියාණන්ගේ මුහුණ දෙස බැලුවා.

“පුතාට විතරක් නො වෙයි, මා ළඟ ඉන්න ඕනෑම කෙනෙකුගේ ගත – හිත දෙකට ලොකු සුවයක් දැනෙනවා” යැයි බුදුහාමුදුරුවන් පවසද්දී ඒ වදන් වැටහුණු බව ඇඟවීමට මෙන් සුරතල් සිනාවක් පෑ කුමරු “පියාණනි” ඔබට ලොකු වස්තුවක් තිබෙන බව අම්මා කීවා. ඒ ඇත්තද?” යි ඇසුවා.

“ඒ කථාව ඇත්තක් පුතා, මීට අවුරුද්දකට කලින් ගයාවේ ඇසතු ගහක් මුලදී ලැබුණ ඉතා වටිනා වස්තුවක් මා සන්තකව තිබෙනවා. ඒ තමයි සප්තාර්ය ධනය” පුතු දෙස බලා මඳ සිනාවක් පාමින් බුදුහාමුදුරුවෝ වදාළා.
“හොඳයි”. මම එය පුතාට දෙන්නම්, හැබැයි මාත් එක්ක ආරාමයට ගිහින් මහණ වුණොත් තමා එය ලබාගන්නට පුළුවන් වෙන්නේ. මගේ පුතා කැමති ද මහණ වෙන්න?” යනුවෙන් අසමින් බුදුහාමුදුරුවෝ කුමරු දෙස බැලූහ. ඔහු එයට කැමති බව ඇඟෙව්වේ කිරිසුදු දසන් පෙන්නා සිනා සී හිස වැනීමෙනි.

රාහුල පුතු බුදු පියාණන්ගේ අත අල්ලාගෙන යන අයුරු යසෝදරා සොම්නසින් බලා සිටියා. පුතු වහා ම ආපසු එති යි ඇය සිතුවා . එහෙත් ඔහු බුදු හාමුදුරුවන් සමඟ ඈතින් ඈතට යන බව ඇය දුටුවා. ‘මගේ බුදුහිමි දින කීපයකට කලින් නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළ අන්දමට මගේ පුතාත් පැවිදි කරයිද? යන සැකය ඇයට ඇති වුණා. ඒ නිසා ඇය, පුතා බුදු හාමුදුරුවන් සමඟ ගිය බව සුදොවුන් රජුට වහාම දැන්වූවා .

පුත් කුමරු කැඳවාගෙන නිග්‍රෝධාරාමයට වැඩි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන් ඇමතූහ. “සාරිපුත්ත , මේ මගේ පුතා – රාහුල , මා සමඟ පැමිණියේ මා සන්තක වස්තුව ලබාගන්නටයි. ඔහු මෙලොව එළිය දුටු දවසේ මා අභිනිෂ්ක්‍රමණය කළ නිසා පියකු වශයෙන් මගෙන් ලැබිය යුතු දරු සෙනෙහස හෝ මගපෙන්වීම් ඔහුට ලැබුණේ නෑ. බුදුවරයකු සතු මහා කරුණාවෙන් ලෝවැසි සියලු දෙනාම දරුවන් මෙන් සලකා ඒ සැමටම සෙත සලසන මම මගේ ම පුතාටත් සෙත සැලසිය යුතු යි.

“සාරිපුත්ත , රාහුල පැවිදි වීමට කැමැතියි. ශ්‍රද්ධාව, සිල්වත්කම, පව් කරන්නට ලජ්ජාව හෙවත් හිරිය, ඒ සඳහා බිය හෙවත් ඔත්තප්පය, දැන උගත්කම හෙවත් ශ්‍රැතමය ඥානය, පරිත්‍යාගශීලි භාවය හා ප්‍රඥාව යන සප්තාර්ය ධනය තමයි ඔහුට දීමට මා සතුව ඇති වස්තුව, ඔහුගේ ජීවිතය සැපවත් වන්නේ එයිනුයි. ඒ නිසා රාහුල පැවිදි කරන්න” යැයි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දැන්වූහ. ඒ අනුව උන් වහන්සේ කුමරු පැවිදි කළා.
රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේයි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි.

රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත් ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වු ඔබ පස්කම්සැප අත්හැර දමා දුක කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් අසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වී ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින් ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැති ව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න.
රාහුල හිමියන් ද භාග්‍යවතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධා්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින් ම ආශා කළා. උදෑසන ම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන, “මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’ය සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුරජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබු අවවාද අනුශාසනා අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදි සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.

සාරිපුත්ත ජාතික අධ්‍යාපන
විද්‍යා පීඨයේ
තණමල්විල රාහුල හිමි

සීවලි මහ රහතන් වහන්සේ

Seewali Maha Rahathan Wahanse සීවලී මහරහතන් වහන්සේ

 අප ගෞතම බුදුරජාණන් වහන්සේට මහ ශ්‍රාවකයින් අසූ නමක් සිටි බව බුදුදහමෙහි සඳහන් වේ. මහා ශ්‍රාවක තනතුරු යනු බුදු පසේබුදු, අග්‍රශ්‍රාවක යන තනතුරුවලට පසුව ඇති මහා තනතුරය. එම තනතුරක් ලැබීම සඳහා කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. එසේ මහා ශ්‍රාවක තනතුරක් ලැබීමට පෙරුම් පිරූ සීවලි මහ රහතන්වහන්සේ මෙලොවට බිහිවීමට පෙර වසර හතක්ම මව් කුසේ සිටි බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.
කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.

එතැන් සිට අති දිර්ඝ කාලයක් මුළුල්ලේ භවයක් භවයක් පාසා සුගති සම්පත් විද “විපස්සි නම් බුදුරජාණන් කාලයේ පිටිසර ගමක මෙතුමා උපන්නේය. තමාගේ ස්වාමීයා වෙත කිරිත් මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා හා විශාල කණ්ඩායමක් එක්වි මහා දානෝත්සවයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලාට පිළියෙල කරන බව දැක‍්කේය. එම මහා දානයට කිරිත් මී පැණිත් පුජා කිරිමට මෙතුමාට අවස්ථාව ලැබුනේය. එම කිරි හා මී පැණි පුජා කළ අවස්ථාවේදීද මෙතුමාගේ ප්‍රාර්ථනාව වුයේ ප්‍රත්‍ය ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබා ගැනිමට සමත්වේවා යනුයි.

එක් දානයක දී නුවරවාසීන්ට දානයදීමට දී කිරි නොමැති විය. තරගයෙන් පරිදීවි යැයි බියට පත් නගරවාසීන් කිනම් මුදලකට හෝ දී කිරි සොයාගෙන එන ලෙසට පුරුෂයකු යැවීය. නගරයේ කිසිදු තැනක කිරි සොයාගත නොහැකි වූ එම පුරුෂයාට අවසානයේ දී ඉහත කී දී කිරි වෙළෙන්දා හමුව ඔහු වහාම කහවනුවක් දී කිරි ටික මිලදී ගැනීමට සූදානම් විය. එතරම් මුදලක් දී එම කිරි ටික මිලදී ගැනීමට විශේෂ හේතුවක් ඇතැයි සිතූ වෙළෙන්ඳා කහවනු දෙකක් ඉල්ලීය.

එයට ද එම පුරුෂයා එකඟ විය. එවිට වෙළෙන්ඳා කහවනු තුනකට මිල කළේ ය. එයට ද එම පුරුෂයා එකඟ විය. මේ ආකාරයෙන් කිරිවල මිල කහවනු 1000 දක්වා ඉහළ නැංවීය. එතරම් අධික මිලකට ද කිරි ටික මිලදී ගැනීමට එම පුරුෂයා එකඟවූ විට මෙතරම් අධික මිලක් දී එම කිරි මිලදී ගැනීමට වෙළෙන්ඳා හේතු විමසීය.
පුරුෂයා සියලු පුවත් පැවැසූ විට වෙළෙන්ඳාට ද බුදුහාමුදුරුවන්ට දානය දීමට ආශාවක් ඇතිවී තමාගේ දෑතින් එම කිරි බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට අවසර දෙන්නේ නම් තමා එම කිරි තොගය නොමිලේම දීමට කැමැති යැයි පැවැසීය. එම පුරුෂයා එයට එකඟවූයෙන් වෙළෙන්ඳා විපස්සී බුදුරාජණන් වහන්සේ වැඩ සිටි දාන ශාලාවට ගොස් තම දෑතින්ම කිරි පූජා කළේය. එසේම එම පිනින් උප උපන් ජාති දක්වා ලාභයන්ගෙන් හා යසසින් වේවායි ප්‍රාර්ථනා කළේය.

ඉන්පසු තව තවත් පින් දහම් කොට අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ දී කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් රජ දියණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් පසු එම කුමරියට මෙම කුමරුවාගේ පිනෙන් අරුම පුදුම දේ සිදුවන්නට වූවාය. වැපිරීමට ඇති බිජ ඇය ස්පර්ෂ කළ විට එක බීජයකින් බීජ සිය දහස් ගණන් පැන නගින්නේය. අටුවෙන් ධ්‍යාන ගත් විට අටුව නැවත ධ්‍යානවලින් පිරෙන්නේය.

සීවලී මහරහතන්වහන්සේට හා උන්වහන්සේගේ මෑණියන්ට විපාක්දුන් පූරුවේ කල අකුසල කර්මය

සුප්පාවාසා බිසව ගැබ් ගත් දාට පසු දා නුවර සිව් දිසායෙන් ම තුටු පඬුරු රැසක් ලැබිණ. රජ මැදුරේ ගබඩා ධාන්‍යවලින් පිරිණි.
“කිසි කලෙක නොලැබූ තරම් සම්පත්වලින් රජ මැදුර පිරෙනවා. මෙය නම් ඔබේ කුසට ආ දරුවාගේ පිනට සිදුවන දෙයක්. වහා ලිච්ඡවී රජතුමා කීවේය.
සුප්පාවාසා බිසව සොම්නසින් ඉපිළ ගියාය.
“සත්තකින් ම මට දැනෙනවා මගේ කුසට පැමිණ සිටින්නේ මහා පින්වන්තයෙක්. මගේ පුතාට බුදු සරණයි. දම් සරණයි. සඟ සරණයි. ඇය කීවාය.
දරු ගැබ සෙමින් වැඩිණ. දස මසක් ගෙවුණ ද දරුවා නොලැබිණ. විසි මසක් ගෙවී ගියද දරුවා නොලැබිණ. තුන් වසරක් ගෙවිණ. සත් වසරක් ගෙවිණ. දරවා නොලැබිණ. මව අති මහත් වූ වේදනාවකට ගොදුරුව සිටියාය. ගැබ තුළ දඟලන දරුවා ඇසට නොපෙනුන ද ඇගේ සිතට පෙනිණ.
“අනේ මේ දරුවාත් මහා දුකක් විඳිනවා ඇති” ඇය සිය සැමියාට කීවාය.
“මොනවා කරන්නද තව ටිකක් ඉවසාගෙන ඉන්න” ඔහු කීවේය.
“අවුරුදු හතක් ඉවසුවා. මා තවත් ඉවසාගෙන ඉන්නම්.”
තවත් මාස හතක් ගෙවිණ. ඒ මාස හත ගෙවී යාමත් සමඟම සුප්පාවාසාට විලි රුදාව හට ගති. දරවා ගැබ්මඟ සිරවිය. ඇයට ඉවසුම් නොදෙන වේදනාවක් ඇතිවිය. ඇය අසල ඉකිබිඳිමින් සිටින මහා ලිච්ඡවී රජුට කළ යුත්තේ කුමක්දැයි නිනව්වක් නොවීය.
සුප්පාවාස සිය සැමියා දෙසට හැරුණාය.
“මේ ගැන බුදු රජාණන් වහන්සේට දන්වන්න” ඇය කීවාය. රජ මැදුරේ දූතයෙක් බුදු රජාණන් වහන්සේ හමුවීමට ගියේය. පුවත දැන්වූයේය. “සුප්පාවාස සුවපත් වේවා. නීරෝගී වේවා! දරු උපත හොඳින් සිදුවේවා. බුදුහු වදාළහ. ඒ සමඟ සුප්පාවාසාගේ වේදනාව දුරුවිය. දරුවෙක් මෙලොවට පැමිණියේය. සත් අවුරුදු වියැති සාමාන්‍ය දරුවකු මෙන් මේ පුතා ඇවිදීමට, කතා කිරීමට සමත් වූයේය.
ීවලී යන නම ඔහුට තැබිණ.

සීවලී කුමරු සත් අවුරුදු සත්මස් සත් දිනක් දරු ගැබ තුළ සිරවී සිටියේ ඇයි? ඔහුගේ මව සත් දිනක් ඉතා බරපතල ලෙස විලිරුදාවෙන් පෙළුනේ ඇයි? මේ ප‍්‍රශ්නවලට පසු දිනෙක බුදු රජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.
සීවලී පෙර රජකම් කළ සමයෙක එක් කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට සටනක් කළේය. රාජ්‍යය යටත් කරගත නොහැකිවිය. මේ නිසා ඒ රටට ආහාර එන මාර්ග වසා දැමීය. සත් අවුරුදු සත් මසක් මාර්ග පාලනය කරමින් රැකවල් දැමූවේය. එයින්ද පලක් නොවිණ. ඒ නුවරට ආහාර සපයන උමඟක් ගැන ඒ රජුගේ මවට අසන්නට (මවට) ලැබිණ. ඒ උමඟ වසා දමන්නැයි ඇය සිය පුත් රජුට උපදෙස් දුන්නාය. සත් දිනක් තිස්සේ ආහාර නොලැබ කුපිත වූ රට වැස්සෝ සිය රජු මරා සතුරු රජුට යටත් වී ආහාර ලැබෙන මාර්ග විවෘත කරවා ගත්හ.
මේ පාපය නිසා ඒ රජුට දුගතිගාමීව අපා දුක් විඳින්නට සිදුවිය. මේ භවයේ දී ද දරු ගැබ තුළ සත් අවුරුදු සත් මසක් සිරවී දුක් විඳින්නට සිදුවිය. මවුබිසවට ද සතියක් තිස්සේ උමඟ වසා රට වැසියන් කුස ගින්නේ තැබූ පාපය නිසා දුගති ගාමීව අපා දුක් විඳින්නට සිදුවිය. මේ භවයේ දී ද ඇගේ ගැබ් ගෙළ සිරවූ දරුවා නිසා සතියක් තිස්සේ ඉතා දරුණු ලෙස විලි රුදායෙන් පෙළීමට ඇයට සිදුවිය.

සීවලී කුමරු පැවිදි දිවියට එළඹීම හා රහත් වීම

සීවලී කුමරු බිහිව සත්වැනිදා මහා ලිච්ඡවි රජ මැදුරේ දී බුදු රදුන් ප‍්‍රමුඛ මහ සඟ රුවනට දානයක් පිරිනැමිණ. දානය අවසන සුප්පාවාසා බිසව සිය පුතු සමඟ බුදු හිමියන් සහ භික්ෂූන් වහන්සේගේ පා වැඳීමේ යෙදුණාය. මුලින්ම බුදු සිරි පා වැඳගත් සීවලී කුමරු පසුව සැරියුත් හිමියන් අසලට පැමිණයේ ය.
“කොහොමද සැප සනීප?” සැරියුත් හිමි සීවලී කුමරුගෙන් ඇසීය.
“මොන සැපක්ද? අවුරුදු හතකටත් වැඩි කාලයක් ලේ පිරුණු කළ ගෙඩියක් ඇතුළේ එහාට මෙහාට ඇඹරී ඇඹරී මා දුක් වින්දා. මොන සැපයක්ද? “ කුමරු පිළිතුරු දුන්නේය.
“පැවිදි වී සියලු දුක් නැති කර ගන්නට ඔබ කැමැතිද?” සැරියුත් හිමියෝ ඇසූහ.
“මා කැමැතියි. පැවිදි ව දුක් නැති කර ගන්නට හැකිනම් කොයි තරම් හොඳ ද?”
සීවලී කුමරු විහාරයට කැඳවා ගෙන ගිය සැරියුත් හිමියෝ මෙසේ කීහ.
“සත් වසරකටත් වැඩි කාලයක් මවු කුසේ සිරවී වින්ද දුක හොඳින් සිහිපත් කරන්න.” යි කියමින් උන්වහන්සේ කුමරුගේ පළමු කෙස් රොද කපා අතට දුන්නේය. එය දකින විටම සීවලී කුමරු සෝවාන් ඵලයට පත් වූයේය. දෙවන කෙස් රොද අතට ගැනීමත් සමඟ සකෘදාගාමී ඵලයට පත්විය. තෙවැනි කෙස්රොද අතට ගැනීමත් සමඟ අනාගාමී ඵලයට පත්විය.

සියලු කෙස් කපා අවසන් වීමට පෙර සියලු කෙලෙසුන් ගෙන් දුරුවෙමින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිලිසිඹියාපත් මහ රහත් බවට පැමිණියේය. රහත් වූ දින පටන් සීවලී මහ රහතන් වහන්සේට දාන මානවලින් අඩුවක් නොවීය. එපමණක් නොව ත්‍රිපිටකධාරි බවට ද පත්වුහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් විමට පසුවය.

මේ සීවලි මහ රහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යයද ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පුජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. “ මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දීත් ලැබේද? මෙය පරික්ෂාකර බැලිය යුතුයයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමග 1 වර හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පුජා කළහ. 2 වර පාණ්ඩව පර්වතයටද 3 වර අචිරවති ගංතෙර අසලටද 4 වර සාගර තලයටද 5 වර හිමවන්තයටද 6 වර ඡද්දන්තයයටද 7 වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේට දිව්‍යමය ආහාර පුජා කළහ.

8 වර තිස් දහසක් භික්ෂුන් හා සීවලී මහරහතන් සමග බුදුරජාණන් වහන්සේ ඛදිරවනිය රේවත ස්වාමීන් දකින්නට දින 15 ක් ගමන යද්දී සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍යානු භාවයෙන් දෙවියෝ බිමට බැස මිනිස් වෙසින් උන්වහන්සේලාට දානය දුන්හ. ආපසු වඩින විටද එහි ගත කළ දින 15ටද යන දින 45 තුළ සිවුපසය දුන්හ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී සිවුවණක් පිරිස මැදදී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූසේක.

උන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රවුසේක. 

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.