ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සමඟ සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කළ වගයි




ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන, සංඝමිත්තා මහ රහත් තෙරණිය ගැන, ලංකා භික්ෂුණී සංඝයාගේ ආරම්භය හා සිංහල කාන්තා ප්‍රබෝධය ගැන වඩ වඩාත් කතාබස් කෙරෙන උඳුවප් පොහෝ දිනය සිංහල බෞද්ධයාගේ ජීවිතයට සෞභාග්‍යය කැන්දන ශ්‍රේෂ්ඨ දිනයකි.

පොසොන් පොහෝ දින මිහින්තලා කන්දෙන් පැන නැඟී ලක්දිව දස අතට විහිදී ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාවෙන් නැහැවී ගිය සියලු ම සිංහලයෝ කෙටි කලක් තුළ බෞද්ධයන් බවට පත්වූහ. අධර්මයෙන් වෙලී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් අඳුරු වී පැවති මේ රට ධර්මය රජකරන ධර්මද්වීපයක් බවට පත් කළෝ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය.ඒ උතුම් ශාසනික මෙහෙවර නිසා බොහෝ සිංහලයෝ බුදු සසුනෙහි පැවිදි වන්නට වූ හ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් දහම් අසා මගඵල පසක් කරමින් මුලින් ම ආර්ය ශ්‍රාවක බවට පත්වීමට වාසනාව ලද්දේ අනුලාවන් ප්‍රධාන අන්තඞපුර ස්ත්‍රීහු ය. නමුත් ඒ වන විට ලක්දිව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා වැඩ නො සිටි බැවින්, ඔවුන්ට තම ගෞතම බුදු සසුනේ පැවිදිවීමේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට නො හැකිව තිබුණි.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව අනුව, දෙවනපෑතිස් නිරිඳුන් දඹදිව ධර්මාශෝක මහා රාජයාණන් වෙත රාජකීය දූතයන් පිටත්කර හරින ලද්දේ ඒ අනුව ය.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නො මැති බැවින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වැඩම කරවනු මැනවි. එසේ ම මීට පෙරත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධි රාජයාණන්ගේ ශාඛාවක් ද වැඩමවනු මැනව....”
සන්දේශය රැගෙන රාජකීය දූත පිරිස දම් සෝ නිරිඳුන් වෙත එළැඹුණු කල්හි, එහි වූ පණිවුඩයෙන් රජතුමාගේ හද ශෝකයෙන් බර වන්නට විය. සිය පුත්‍ර රත්නය වූ මහින්ද කුමාරයාත්, මුණුපුරා වූ සුමන කුමාරයාත් උතුම් පැවිදි බව ලබා ඒ වන විට ලක්දිවට වැඩම කොට මාස කීපයක් ගත වී තිබුණි. පුත්‍ර වියෝවෙන් උපන් ශෝකය තුනී කරමින් වැඩ සිටි තමන්ගේ දුහිතෘ වූ සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට කැමැත්තක් නො දැක්වී ය.

“පියාණෙනි, මාගේ සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් මා බලාපොරොත්තුව සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීන්ට සිදුවනු ඇත.” සංඝමිත්තා තෙරණින් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමෙන් පහ වූ ශෝක ඇති රජතුමා "දියණියන් වහන්ස, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට ම සේවය පිණිස වේවා.! එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟ ම බෝධිරජාණන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙන වඩිනු මැනවි. මම එයට කටයුතු පිළියෙල කොට දෙන්නෙමි” කී ය.

රජතුමා ට තවත් ගැටලුවකි. “කෙසේ ද මා ලක්දිවට වැඩම කිරීම පිණිස බෝධි ශාඛාව සිඳලන්නේ.....? එය කෙසේවත් කළ නො හැක්කකි. “ධර්මාශෝක අධිරාජ්‍යයා රාජ මාලිගාවේ මහා සංඝයා විෂයයෙහි මහා දානයක් සංවිධානය කළේ ය. දන් පිරිනමා අවසානයේ මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළ යුතුදැයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විමසී ය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනාව වූයේ, තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කළ යුතු ම බවයි.

“ලංකාවේ රෝපණය කිරීම පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක අධිරාජ්‍යයා එළැඹුණු කල්හි, බෝධි ශාඛාව තමන් විසින් ම ගැලවී රන් කටාරමේ පිහිටාවා!” බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැදී සිටීවා.!
සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කොණෙහි, පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා!”
පිරිනිවන් මංචකයේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ මෙම අධිෂ්ඨානයන් අසා සතුටට පත් රජතුමා දහස් ගණන් මහරහතන් වහන්සේලා ද, අභිසෙස් ලද දහසකට අධික රජ දරුවන් ද අප්‍රමාණ ජන සමූහයක් ද, සමඟින් බෝධීන් වහන්සේ වෙත එළැඹුණේ පැලලුප් නුවර සිට සැරසූ සත් යොදුන් මහ පෙරහරිනි.
රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා දෑත් බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ කොටස ඉතිරි කොට සියලුම ශාඛාවෝ අන්තර්ධාන වූ හ. මේ අසිරිමත් පෙළහරින් අතිශය සතුටට පත් රජතුමා “දඹදිව රාජ්‍යයෙන් පුදමි” යි අභිසෙස් කළේ ය. නැවතත් සුගන්ධයන් පූජා කොට තුන් වරක් පැදකුණු කොට අට තැනක දී ඇගිලි බැඳ බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කළේ ය. ඉක්බිති මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රනින් කළ මනරම් කටාරම තැබ්බවී ය.

රුවන් පුටුව මතට නැගී රන් තෙලි කූරක් ගෙන බෝධි ශාඛාවේ ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම විය යුතු නම්, එසේ ම සර්වඥ ශාසනයෙහි මාගේ සැකයක් නැති බව සත්‍යයක් නම්, බෝධි ශාඛාව තමන් වහන්සේ ම බිඳී රන් කටාරමෙහි පිහිටාවා!” යි අධිෂ්ඨාන කළේ ය. සියල්ල එසේ ම සිදු විය. අසිරිය දුටු මහාසංඝයා වහන්සේ ඇතුළු සියල්ලෝ ම සාධුකාර පැවැත්වූහ. බෝධි ශාඛාව මුල් සියයකින් යුක්තව කටාරමෙහි පිහිටි සේක. මහා පොළොව කම්පා විය. නා නා ප්‍රකාර වූ ප්‍රාතිහාර්යයන් පහළ වන්නට විය. මිනිස්, දෙව්, බඹ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව ම ඒකාලෝක විය. බෝධි ශාඛාවේ ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙන්නට විය. රජතුමා දෙවන වතාවට ද බෝධිය රාජ්‍යයෙන් පුදා අභිසෙස් කොට මහා බෝධි පූජා පැවැත්වී ය.

බෝධීන් වහන්සේ සමඟ එකළොස් නමක් තෙරණින් වහන්සේලා ඇතුළු සංඝමිත්තා තෙරණින් වහන්සේත්, මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන ලාංකීය රාජකීය දූත පිරිසත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පිරිස වූ සොළොස් කුලයක පරිවාර ජනයාත් රැගත් නෞකාව සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේ ය. දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධීන් වහන්සේ පුදමින් එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. බෝධි රාජයාණන් වහන්සේ ඔසවාගෙන කරවටක් ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ ම කරත්වා යි” කියා නැව පිටත් කරවී ය.


මහා පෙරහරින් නැව් නැංග වූ මහා බෝධි ශාඛාව අතරමග දී දෙවියන්ගේත්, නාගයින්ගේත් නොයෙක් පුද පූජා ලබමින් ලක්දිව දඹකොළ පටුනට වැඩම කරවූ එදින උඳුවප් මහේ පුරපසළොස්වක සඳ අහස් ගැබ මෝදුවෙමින් තිබුණි. නැව වෙරළට සැපත් වූ පසු දේවානම්පියතිස්ස රජතුමා ද කරවටක් ජලයට බැස උතුම් බෝධි ශාඛාව ද, සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද, සොළොස් කුල පරිවාර ජනයා ද මහත් හරසරින් පිළිගෙන මනහර පෙරහරින් යුතුව ගෞරව භක්ති පෙරදැරිව රාජකීය සම්මාන සහිතව දෙපස සැරසූ මාර්ග ඔස්සේ අනුරපුර මහමෙව්නාව උයන වෙත වැඩම කරවී ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි, පෙර තුන් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවන් ද සුපිහිටි සුපින්වත් භූමියේ උභතෝ සංඝයාගේ සාධු නාද මධ්‍යයේ මිහිකත කම්පා කරවමින් බෝධි ශාඛාව පිහිටුවා වදාළ සේක. සවණක් ඝන බුදුරැස් විහිදුවමින් පෙළහර පාන බෝධීන් වහන්සේගේ ආශ්චර්යය දුටු රජතුමා ලක් රජයෙන් බෝධීන් වහන්සේ පිදී ය. අනුරාධපුර උතුම් පින්බිමෙහි, ජය සිරිමා බෝ සමිඳුන් මුල් බැස ගත්තේ එසේ ය. සිරිමා බෝ සමිඳුන්ගේ ඒ උතුම් ආනුභාවය, උතුම් ආශීර්වාදය සිංහල ජාතියේත්, සිංහල දේශයේත් මුල්බැස ගියේ ය.

එදා මෙදා තුර ගෞතම බුදු සසුන සුරකිමින්, සිංහල දේශයට, සිංහල ජාතියට, සමස්ත ලෝකයට ම ආශීර්වාදයක් වෙමින් උතුම් සිරිමා බෝධීන් වහන්සේ අනුරපුර පින්බිමේ උඩමළුවේ නිරුපද්‍රිතව වැඩ සිටිති. ඒ උතුම් සිරිමා බෝ සමිඳුන්ට, උඳුවප් මස පුන් පොහෝ දින ලක්දිවට වැඩම කොට, ලක්දිව භික්ෂුණී සංඝයා ඇති කළලක්දිව බුදු සසුනේ උන්නතිය උදෙසා ම කැප කරමින්, හෙළ කතුන්ගේ පරමාදර්ශය බවට පත් වෙමින් සසුන් කෙත ශෝභමාන කළ සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන ඒ සියලු අරහත් තෙරණින් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.!

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අසිරිමත් සිරිපා වන්දනා වාරය



අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති.
සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ.

අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පැමිණ අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ.තථාගතයන් වහන්සේ සමන් දෙව්රදුන්ගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීලමාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ සේක. මිස දිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.

අපේ රටේ පමණක් නොව ලොව නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවෝ සිරිපා වන්දනාවාරය පැමිණෙන තෙක් නොඉවසිල්ලිමත්ව බලා සිටිති. ගතට සිතට සහනය සුවය ළඟා කර දෙන සිරිපා වන්දනාවාරයේ දී එදා අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර තම දේපළ පවා දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනාකාරී වූ හ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදා වී ඇත. ඇතැම් විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ ඊටත් වඩා ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. සමන් දෙවිරදුන්ගේ අඩවියෙහි දී කටවරද්දා ගැනීමෙන් වැළකී වන්දනාවට පැමිණීමට ද වග බලා ගත්හ. අතීතයේ දී අපේ මුතුන් මිත්තෝ දින සති ගණන් ගෙවමින් යන වන්දනා චාරිකා සංවිධානය කළහ. ඊට සිරිපා වන්දනාව ද නිරන්තරයෙන් ඇතුළත් විය.වෙහෙරක කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන පුදබිමක් ලොව වෙනත් තැනක තිබේදැයි සිතා බැලිය යුතු වේ. උතුම් ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලොව අන්කිසි තැනකට නොදෙවෙනි සංකේත දෙකක් ද වේ. එකක් නම් මොහඳුරු දුරු කරන පහන් ආලෝකය වූ දොළොස් මහේ පහනයි. අනෙක නම් පැමිණ වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරයයි. දොළොස් මහේ පහනින් තෙල් බිඳක් රැගෙන ගොස් නොයෙක් ලෙඩ දුක් සුවකර ගැනීමට ද උපයෝගී කරගනු ලැබේ.

සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියෙකු ද විය. ඔහු හෝ ඇය හැඳින්වූයේ (නඩේ ගුරා) කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ය. ජාති, ආගම් ආදී වාද භේද කිසිවක් දක්නට නොලැබෙන සිරිපා වන්දනා කරන බැතිමතුන් ‘වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනාකරුවන්ට ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ආදී වශයෙන් ඔවුනොවුන් සිත් පහන් වන අයුරින් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම ද සුලභ ය.

ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන්, සුහදත්වයෙන් වන්දනා කරන සුවිශේෂී පුදබිමක් වන ශ්‍රී පාදස්ථානය අසිරිමත් මහ පුදබිමකි. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතයයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානයකි ශ්‍රී පාදස්ථානය.

අසිරිමත් සම්බුදු පහසින් පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අසිරියකි. ගතට සැනසුම දෙන පරිසරයක් මෙන්ම, ජල සම්පත උදාකරන මෙවන් ස්ථානයක් වෙනත් නොවේ.
පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ වන්දනා සහ ප්‍රදර්ශනය දෙසැම්බර් 20 වනදා ආරම්භ වී පසුදා අලුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ දී සිදු කෙරිණි. අනතුරුව සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ඓතිහාසික ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කෙරිණි.
පළමු පෙරහර හැටන් මාර්ගය ඔස්සේ 21 වන දා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයෙන් පෙරවරුවේ ගමන් ඇරඹීමට නියමිතව තිබිණි. ඒ කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කරවනැල්ල, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය හරහා ය. දෙවන පෙරහර පලාබත්ගල මාර්ගය ඔස්සේ 21 වන දා අලුයම ගමන් අරඹා පැල්මඩුල්ල, ගනේගම, පාතකඩ, ලෙල්ලුපිටිය, සබරගමුව සමන් දේවාලයට ගොස් ගල්කඩ්වමල්වල පාර ඔස්සේ පලාබත්ගල ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබිණි.

තෙවන පෙරහර බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වන දා උදෑසන ආරම්භ කිරීමට නියමිත වූ අතර පැල්මඬුල්ල නගරය ඔස්සේ කාමරංගපිටිය, ඕපනායක, බලන්ගොඩ පින්නවල බගවන්තලාව පාරෙන් මස්කෙළිය හරහා නල්ලතන්ණිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි .

22 වන දා උතුම් පූජනීය වස්තූන් ශ්‍රී පාද මළුවට වැඩම කර ශ්‍රී පාද භාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් නහවා පුද සිරිත් පවත්වා අලුයම 5.20 ට පහන් ආලෝක පූජාව ද පූජනීය වස්තූන් තැන්පත් කිරීම ද සිදුකර ලොවට ආශීර්වාදය පිණිස සිරිපා වන්දනා වාරය ආරම්භ වේ.

බෞද්ධ පත්‍ර කලා විශාරද, 
සීසර් සුදුසිංහ