Ananda Maha Rahathan wahanse ආනන්ද මහ රහතන් වහන්සේ

බිනර මහේ ශාසනික වැදගත්කම්



බුද්ධ නියමයට අනුව සෑම උපසපන් භික්ෂූන් වහන්සේ නමක් ම වස් තුන් මාසයෙහි වස් සමාදන් ව බුද්ධ නීතියට අනුව කටයුතු කළ යුතු ය. එම වස් කාලයෙහි එළඹෙන අවසාන මාසය වන්නේ බිනර මාසය යි.

වස් තුන් මාසයෙහි අවසාන මාසය වන නිසාම බිනර මාසය භික්ෂූන් වහන්සේලාට ඉතාමත් ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි උන්වහන්සේගෙන් භාවනා වැඩීමට කමටහන් ලබාගත් බොහෝ භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය අවසන් වන විට නිවන් මඟ පසක් කර ගැනීමට සමත් වූහ. මේ නිසා බිනර මාසය ද ඇතුළු සෑම වස් කාලයක් ම ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අතිශය ප්‍රයෝජනවත් කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

වැසි සමය ක්‍රමයෙන් ගත වෙමින් සරත් කාලය උදා වන්නේ ද බිනර පුර පසළොස්වක පොහෝ දා පටන් ය. මේ තැන් පටන් පරිසරයද අලංකාර වෙමින් ඉතා සුන්දර කාලයක් ලොව පුරා ඇති වෙයි. පරිසරයේ තිබෙන අලංකාරත්වය නිසා බොහෝ විට ලෞකික සුන්දරත්වයට සිත යොමු වන අවස්ථා ද එමට ය. මේ බව දත් බුදුරජාණන් වහන්සේ,
‘සරත් කාලයේ හටගත් කුමුදු මලක් අතින් පොඩිකර දමන්නා සේ තම සිතෙහි උපන් ස්නේහය දුරු කර දැමීම පිණිස මාර්ගය පෙන්වා දී ඇති බැවින් නිවනට යොමු කරන ආර්ය මාර්ගයේ ම ගමන් කළ යුතු බව‘. අප තේරුම් ගත යුතු ය.’
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ වෙත පැමිණ කාන්තාවන් උදෙසා බුදු සසුනේ පැවිද්ද ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ඇගේ ඉල්ලීම තුන් වතාවක් ම ප්‍රතික්ෂේප කළ සේක. ඉන් අනතුරුව උන්වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩි සේක.

මහා ප්‍රජාපතී ගෝතමිය ද ඊට පෙර රෝහිණී ගංතෙර පැවිදි වූ ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් පන්සියක් සමඟ හිස කෙස් බූ ගා කහවත් හැඳ යොදුන් පනස් එකක් දුර මග ගෙවා පයින් ම කූටාගාර ශාලාවට පැමිණියහ. එසේ පැමිණ නැවත වතාවක් පැවිදිවීමට අවසර ඉල්ලා සිටි නමුත් බුදුරජාණන් වහන්සේ එය අනුමත නො කළ සේක.

මේ වන විට බිනර මස පුර පසළොස්වක පොහෝ දින උදාවෙමින් පැවතුණි. ගෝතමි ඇතුළු ශාක්‍ය කුමාරිකාවන් හඬමින් සිටින බව දුටු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, කාන්තාවක් ගිහි ගෙයින් නික්ම තථාගතයාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයෙහි පැවිදිව සෝවාන්, සකෘදගාමී, අනාගාමී යන අර්හත් මාර්ගඵල ලබාගත හැකි ද? එවිට බුදුරජාණන් වහන්සේ,

‘ආනන්ද කාන්තාවක් ගිහි ගෙයින් නික්ම තථාගතයාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයෙහි පැවිදිව සෝවාන් සකෘදගාමී අනාගාමී හා අර්හත් මාර්ගඵල ලබා ගත හැකි ය.’ යනුවෙන් දේශනා කළ සේක. මෙයින් ධෛර්යට පත් ආනන්ද හිමි කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට සුදුසු බුද්ධිය පිළිබඳ සාධකයට අමතරව ‘අම්මා’ නමැති සාධකය ද ගෙන හැර හා ඒ උතුම් බිනර පුන් පොහෝ දින කාන්තාවන්ට පැවිදි වීමට අවශ්‍ය කරන අවසරය ලබා දුන්හ.

බිනර පොහෝ දින ලංකාවේ වෙහෙර විහාර ගණනාවකම පෙරහර මංගල්‍යයන් පවත්වනු ලැබේ. ඒ අතර මහියංගනය රජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර පෙරහර, කළුතර මහා බිනර පෙරහර, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල, දෙමටමල් විහාරයේ වාර්ෂික බිනර පෙරහර වැනි පුණ්‍ය මංගල්‍යයන් විශේෂයෙන්ම සඳහන් කළ යුතු ය. බිනර පුන් පොහෝ දිනයෙන් පසු වස් කාලයේ අවසන් සමය උදාවන බැවින්, මේ මාසය මුළුල්ලේ ම බුදුරදුන් වදාළ නිවන් මග අනුගමනය කරමින් වඩාත් කැප වීමෙන් ධර්මානුකූලව කටයුතු කිරීමට ගිහි පැවිදි දෙපක්ෂය ම අදිටන් කර ගත යුතු ය. ඒ තුළින් මේ මනුෂ්‍ය ආත්මභාවය තුළ සැනසීමේ මාවතට යොමු වීම, පණ්ඩිතයා විසින් සම්පූර්ණ කර ගත යුතු කරුණකි.

අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ මහාචාර්ය, 
ආචාර්ය, රාජකීය පණ්ඩිත, 
නැදලගමුවේ ධම්මදින්න හිමි