නිවැරදි සල් ගස හඳුනා ගනිමු

'ඉන්දියන් සල්' සහ 'කාලතුවක්කු උණ්ඩ ගසේ' මල්

 කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"

ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඇතැම් ශාක වන්දනාමානයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන්නේ ඉතිහාස පත පොතේ සඳහන්, ආගමික සංසිද්ධි ආශ්‍රයෙන් කියවෙන මෙන්ම ජනප්‍රවාදයේ එන ඇතැම් සුවිශේෂී සිදුවීම් හා බැඳී පැවැත්වීම හේතුවෙනි.

ගෞතම බුදු රදුන්ගේ තෙමඟුල හා සම්බන්ධ රුක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුහත් උපත මෙන්ම බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේ සෙවන දුන් බව පැවසෙන සල් ගස ඊට එක් උදාහරණයකි.

"අමර නයනා සල් ගස යට බලන්න, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?" යනුවෙන් කලක් පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතට ඇතුළත්වූ ගද්‍ය කොටස ද සල් ගස හා බැඳුනු අතීත මතක අවදි කරයි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිබහුතරය සල් ගස ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබෙන ආකාරයේ කඳේ මල් සහ වටකුරු ගෙඩි හටගන්නා ශාක විශේෂයකටය. එහි උද්භිද විද්‍යාත්මක නාමය Couroupita guianensis වේ.



එනමුත්, Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගස' නමැති ශාක විශේෂය, සල් ගස ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් වරදවා වටහාගනු ලැබ ඇති බව උද්භිද විද්‍යාඥයෝ පවසති.

"සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක්,"

"ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි," යනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම උද්භිද විද්‍යාඥයකු සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

'කාලතුවක්කු උණ්ඩ ගස' බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1881 වසරේදී බව මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

1893-1900 කාලය තුළ සම්පාදනය කෙරුණු 'Flora of British Ceylon' නමැති ග්‍රන්ථාවලියට පෙර ලියවුනු 'Flora of British India' නමැති අත්පොතේ හඳුන්වා දීමේ ශාකයක් වශයෙන් හෝ 'කාලතුවක්කු උණ්ඩ ගස' පිළිබඳ සඳහනක් නොමැති බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

'කාලතුවක්කු උණ්ඩ ගස', සල් ගස ලෙස වරදවා වටහා ගැනීම ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තය තුළත් දැකිය හැකි බව කී මහාචාර්යවරයා," මට හිතෙන විදිහට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දෙන්න ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්න ඇති. නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ අඩුම තරමේ ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක්,"
හය වෙනි ජෝර්ජ් රජු ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය.

1901 වසරේ අප්‍රේල් 14 වෙනි දින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණි එවක බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ හය වෙනි ජෝර්ජ් රජු විසින් එහි 'කාලතුවක්කු උණ්ඩ ගසක්' රෝපණය කරනු ලැබීය.

එවක 'කාලතුවක්කු උණ්ඩ ගස' සඳහා 'සල්' නමැති නාමය භාවිත නොකෙරුණු බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.


"ඒ ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය. කුරෝපිටා කියලා නම් කරන්න ඇත්තේ ඒ කාලේ මේකට සිංහල නමක් තිබුනේ නැති නිසා වෙන්න පුළුවන්,"

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සල් ගස කුමක්ද?






සල් ගස සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ 'ශාල' යනුවෙනි. එය පාලි බසින් 'සාල' ලෙස හැඳින්වේ.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
"නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"

කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස
නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස

නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

1980 වසරේ පෙබරවාරි 25 වෙනි දින නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේවි රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ඇති 'ඉන්දියන් සල්' ගසේ (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita guianensis) දක්නට ඇති ව්‍යුහාත්මක සහ බාහිර වෙනස්කම් මොනවාද?

'ඉන්දියන් සල්' ගස (Shorea Robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita Guianensis) බාහිර ස්වරූපය.

මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන පරිදි ඉන්දියන් සල් ගසේ:








තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැක.
පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවන අතර තරමක් ලා පැහැයක් ගනී
මල් තරමක් සුදු පැහැයෙන් යුක්ත වන අතර මලේ පත්‍ර ඇතුළට නැමී පවතී. අතු අග මල් හට ගනී.
කඳ මත ගෙඩි හට නොගන්නා අතර කඩල ඇටයකට සමාන ප්‍රමාණයකින් යුත් එහි ගෙඩි පියාපත් සහිතය (හොර ගෙඩිවලට සමාන ආකාරයකට)පරෝහණ කාලය ඉතා කෙටිය (දින හතක් ඇතුළත රෝපණය කළ යුතුය)මල් හට ගන්නේ අප්‍රේල් මාසයේය. මීට වසර අටකට පමණ ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර සිහිපත් කළේය.

කෙසේ නමුත් සිදුහත් උපත හා බැඳුනු ශාක සම්බන්ධයෙන් නේපාලය තුළත් විවිධ මත පවතින බව කී මහාචාර්යවරයා, "ඇතැම් කරුණු තිබෙනවා මතභේදත්මකයි. ඒ ගැන කතා කරන්න ගියොත් අපි විෂය පථයෙන් එළියට යනවා. උද්භිද විද්‍යාඥයන් වශයෙන් අපට කියන්න පුළුවන් වෙන්නේ ශාකයක ජීව විද්‍යාත්මක සහ ජීව භූගෝල විද්‍යාත්මක තොරතුරු පමණයි,"

ශ්‍රී ලංකාවට 'කාලතුවක්කු උණ්ඩ ගස' හඳුන්වා දුන් වසර 1881 ට ඉහතදී රචනා කරන ලද සංදේශ කාව්‍ය තුළ 'සල් මල්' නමින් හැඳින්වෙන්නේ 'කටු ඉඹුල්' මල් විය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ මතය වී තිබේ.

සිංහරාජය වෙනුවෙන් කැපවුණු අනූ වියැති 'මාටින් මාමා'
"කටු ඉඹුල්වලට ඉන්දියාවේ කියන්නේ සල් මල් කියලා. ඒකට 'සල් මලියා මලබරිකා' කියන උද්භිද විද්‍යාත්මක නම දුන්නෙත් ඒ ස්වදේශික නම භාවිත කරලා. ඒකෙ මල් බිම වැටුනම පලසක් වගේ. ඒක කවි ලියන්න වටින ලස්සන ගහක්,"

එසේම 'සල්' නමින් ආරම්භවන ප්‍රදේශ 'හල්' යන වචනයෙන් බිඳී පැමිණ ඇතැයි සිතිය හැකි බවත් මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.


සුනෙත් පෙරේරා
BBC සිංහල - කොළඹ සිට
31 ජූලි 2018

උපුටා ගැනීමකි.

Navam Poya නවම් පෝය

අගසව් තනතුරු පිරිනැමූ නවම් පෝදා

 

ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් වන සිදුවීම් සතරකට මුල් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකි ය.

බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ.

මහා සංඝ සම්මේලනයක්

බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලලුා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය.

විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලා ගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳමඩල සේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

අගසව් තනතුරු පිරිනැමීම

මෙම ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහි දී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙලින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකල ද භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. “බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති”යි ඇතැම් භික්ෂූහු චෝදනා කළහ.

මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සිටිය දී මෑතක දී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සාධාරණ නො වන බව ද ඇතැම්හු ප්‍රකාශ කළහ.

මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරදුන් බෝසත් අවධියේ සිට උපකාරවත් වූ ඡන්න හිමියන් ය. තනතුරු ප්‍රදානයේ දී තමන් වහන්සේ අමතක කළ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරි භික්ෂුව ලෙස ඡන්න හිමියන් පෙරට ඒම මේ සමඟම සිදුවු බව පෙනේ.

අර්බුදයට විසඳුමක්

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා රැස් කරවා

“මහණෙනි.” පස්වග භික්ෂූහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු සහ තුන් බෑ ජටිල භික්ෂූහු යන සියලු දෙනාම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අග සව් තනතුරු පතාම පින් කළහ”. යනුවෙන් අගසව් දෙනමගේ, අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්වූ හ.

එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළහ. මෙම අගසව් පදවි ප්‍රදානය ප්‍රමුඛව ස්වකීය ශ්‍රාවකයන් වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්ෂූ සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුවූයේත් නවම් පුර පසළොස්වක පොහෝ දිනෙක ය. බුද්ධත්වයෙන් මුල් විසි වසර තුළ භික්ෂූන් වහන්සේලා හික්මවීමට කිසිදු විනය නීතියක් පැනවීමක් සිදු නොවුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුලු වරදක් හෝ සිදු නොකළ පිරිසකි.

ස්වකීය භික්ෂු ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූහ. එබැවින් බුදු රජාණන් වහන්සේ එම මුල් විසි වසර පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. නවම් පොහෝ දිනෙක මුල්ම වරට ඇරඹි එම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව මෙසේ ය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු පව් දුරලීම, කුසල් ඉපිදවීම හා වැඩීම, තම සිත පිරිසුදු කරගැනීම යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා ශ්‍රමණයෙක් නොවේ.

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට උපවාද නොකිරීම ද , හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බව ද, විවේක සෙනසුන්හි ඇල්ම ද, සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

අනුවේදනීය සිදුවීමක්

අසූ වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමි ද සමඟ රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්කාරය අත් හළ බවත් ඡන්ද , විරිය, චිත්ත, වීමංසා යන සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුව ද මෙලොව ජීවත් විය හැකි බවත් පැහැදිලි කළහ. එලෙස තෙවරක් ම පැහැදිලි කළ ද ආයු කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය.

බුදුරදුන් ආයු සංස්කරණය අත්හැරීමේ පුවත ඇසූ සැණින්ම ආනන්ද හිමි චිත්ත වික්ෂිප්ත භාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමි යි, තීරණය කෙළේ ද නවම් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීය සිදුවීමකි.

ඌරුගමුවේ
අස්සජී හිමි