ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සමඟ සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කළ වගයි




ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන, සංඝමිත්තා මහ රහත් තෙරණිය ගැන, ලංකා භික්ෂුණී සංඝයාගේ ආරම්භය හා සිංහල කාන්තා ප්‍රබෝධය ගැන වඩ වඩාත් කතාබස් කෙරෙන උඳුවප් පොහෝ දිනය සිංහල බෞද්ධයාගේ ජීවිතයට සෞභාග්‍යය කැන්දන ශ්‍රේෂ්ඨ දිනයකි.

පොසොන් පොහෝ දින මිහින්තලා කන්දෙන් පැන නැඟී ලක්දිව දස අතට විහිදී ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාවෙන් නැහැවී ගිය සියලු ම සිංහලයෝ කෙටි කලක් තුළ බෞද්ධයන් බවට පත්වූහ. අධර්මයෙන් වෙලී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් අඳුරු වී පැවති මේ රට ධර්මය රජකරන ධර්මද්වීපයක් බවට පත් කළෝ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය.ඒ උතුම් ශාසනික මෙහෙවර නිසා බොහෝ සිංහලයෝ බුදු සසුනෙහි පැවිදි වන්නට වූ හ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් දහම් අසා මගඵල පසක් කරමින් මුලින් ම ආර්ය ශ්‍රාවක බවට පත්වීමට වාසනාව ලද්දේ අනුලාවන් ප්‍රධාන අන්තඞපුර ස්ත්‍රීහු ය. නමුත් ඒ වන විට ලක්දිව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා වැඩ නො සිටි බැවින්, ඔවුන්ට තම ගෞතම බුදු සසුනේ පැවිදිවීමේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට නො හැකිව තිබුණි.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව අනුව, දෙවනපෑතිස් නිරිඳුන් දඹදිව ධර්මාශෝක මහා රාජයාණන් වෙත රාජකීය දූතයන් පිටත්කර හරින ලද්දේ ඒ අනුව ය.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නො මැති බැවින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වැඩම කරවනු මැනවි. එසේ ම මීට පෙරත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධි රාජයාණන්ගේ ශාඛාවක් ද වැඩමවනු මැනව....”
සන්දේශය රැගෙන රාජකීය දූත පිරිස දම් සෝ නිරිඳුන් වෙත එළැඹුණු කල්හි, එහි වූ පණිවුඩයෙන් රජතුමාගේ හද ශෝකයෙන් බර වන්නට විය. සිය පුත්‍ර රත්නය වූ මහින්ද කුමාරයාත්, මුණුපුරා වූ සුමන කුමාරයාත් උතුම් පැවිදි බව ලබා ඒ වන විට ලක්දිවට වැඩම කොට මාස කීපයක් ගත වී තිබුණි. පුත්‍ර වියෝවෙන් උපන් ශෝකය තුනී කරමින් වැඩ සිටි තමන්ගේ දුහිතෘ වූ සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට කැමැත්තක් නො දැක්වී ය.

“පියාණෙනි, මාගේ සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් මා බලාපොරොත්තුව සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීන්ට සිදුවනු ඇත.” සංඝමිත්තා තෙරණින් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමෙන් පහ වූ ශෝක ඇති රජතුමා "දියණියන් වහන්ස, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට ම සේවය පිණිස වේවා.! එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟ ම බෝධිරජාණන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙන වඩිනු මැනවි. මම එයට කටයුතු පිළියෙල කොට දෙන්නෙමි” කී ය.

රජතුමා ට තවත් ගැටලුවකි. “කෙසේ ද මා ලක්දිවට වැඩම කිරීම පිණිස බෝධි ශාඛාව සිඳලන්නේ.....? එය කෙසේවත් කළ නො හැක්කකි. “ධර්මාශෝක අධිරාජ්‍යයා රාජ මාලිගාවේ මහා සංඝයා විෂයයෙහි මහා දානයක් සංවිධානය කළේ ය. දන් පිරිනමා අවසානයේ මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළ යුතුදැයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විමසී ය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනාව වූයේ, තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කළ යුතු ම බවයි.

“ලංකාවේ රෝපණය කිරීම පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක අධිරාජ්‍යයා එළැඹුණු කල්හි, බෝධි ශාඛාව තමන් විසින් ම ගැලවී රන් කටාරමේ පිහිටාවා!” බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැදී සිටීවා.!
සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කොණෙහි, පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා!”
පිරිනිවන් මංචකයේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ මෙම අධිෂ්ඨානයන් අසා සතුටට පත් රජතුමා දහස් ගණන් මහරහතන් වහන්සේලා ද, අභිසෙස් ලද දහසකට අධික රජ දරුවන් ද අප්‍රමාණ ජන සමූහයක් ද, සමඟින් බෝධීන් වහන්සේ වෙත එළැඹුණේ පැලලුප් නුවර සිට සැරසූ සත් යොදුන් මහ පෙරහරිනි.
රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා දෑත් බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ කොටස ඉතිරි කොට සියලුම ශාඛාවෝ අන්තර්ධාන වූ හ. මේ අසිරිමත් පෙළහරින් අතිශය සතුටට පත් රජතුමා “දඹදිව රාජ්‍යයෙන් පුදමි” යි අභිසෙස් කළේ ය. නැවතත් සුගන්ධයන් පූජා කොට තුන් වරක් පැදකුණු කොට අට තැනක දී ඇගිලි බැඳ බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කළේ ය. ඉක්බිති මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රනින් කළ මනරම් කටාරම තැබ්බවී ය.

රුවන් පුටුව මතට නැගී රන් තෙලි කූරක් ගෙන බෝධි ශාඛාවේ ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම විය යුතු නම්, එසේ ම සර්වඥ ශාසනයෙහි මාගේ සැකයක් නැති බව සත්‍යයක් නම්, බෝධි ශාඛාව තමන් වහන්සේ ම බිඳී රන් කටාරමෙහි පිහිටාවා!” යි අධිෂ්ඨාන කළේ ය. සියල්ල එසේ ම සිදු විය. අසිරිය දුටු මහාසංඝයා වහන්සේ ඇතුළු සියල්ලෝ ම සාධුකාර පැවැත්වූහ. බෝධි ශාඛාව මුල් සියයකින් යුක්තව කටාරමෙහි පිහිටි සේක. මහා පොළොව කම්පා විය. නා නා ප්‍රකාර වූ ප්‍රාතිහාර්යයන් පහළ වන්නට විය. මිනිස්, දෙව්, බඹ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව ම ඒකාලෝක විය. බෝධි ශාඛාවේ ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙන්නට විය. රජතුමා දෙවන වතාවට ද බෝධිය රාජ්‍යයෙන් පුදා අභිසෙස් කොට මහා බෝධි පූජා පැවැත්වී ය.

බෝධීන් වහන්සේ සමඟ එකළොස් නමක් තෙරණින් වහන්සේලා ඇතුළු සංඝමිත්තා තෙරණින් වහන්සේත්, මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන ලාංකීය රාජකීය දූත පිරිසත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පිරිස වූ සොළොස් කුලයක පරිවාර ජනයාත් රැගත් නෞකාව සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේ ය. දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධීන් වහන්සේ පුදමින් එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. බෝධි රාජයාණන් වහන්සේ ඔසවාගෙන කරවටක් ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ ම කරත්වා යි” කියා නැව පිටත් කරවී ය.


මහා පෙරහරින් නැව් නැංග වූ මහා බෝධි ශාඛාව අතරමග දී දෙවියන්ගේත්, නාගයින්ගේත් නොයෙක් පුද පූජා ලබමින් ලක්දිව දඹකොළ පටුනට වැඩම කරවූ එදින උඳුවප් මහේ පුරපසළොස්වක සඳ අහස් ගැබ මෝදුවෙමින් තිබුණි. නැව වෙරළට සැපත් වූ පසු දේවානම්පියතිස්ස රජතුමා ද කරවටක් ජලයට බැස උතුම් බෝධි ශාඛාව ද, සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද, සොළොස් කුල පරිවාර ජනයා ද මහත් හරසරින් පිළිගෙන මනහර පෙරහරින් යුතුව ගෞරව භක්ති පෙරදැරිව රාජකීය සම්මාන සහිතව දෙපස සැරසූ මාර්ග ඔස්සේ අනුරපුර මහමෙව්නාව උයන වෙත වැඩම කරවී ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි, පෙර තුන් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවන් ද සුපිහිටි සුපින්වත් භූමියේ උභතෝ සංඝයාගේ සාධු නාද මධ්‍යයේ මිහිකත කම්පා කරවමින් බෝධි ශාඛාව පිහිටුවා වදාළ සේක. සවණක් ඝන බුදුරැස් විහිදුවමින් පෙළහර පාන බෝධීන් වහන්සේගේ ආශ්චර්යය දුටු රජතුමා ලක් රජයෙන් බෝධීන් වහන්සේ පිදී ය. අනුරාධපුර උතුම් පින්බිමෙහි, ජය සිරිමා බෝ සමිඳුන් මුල් බැස ගත්තේ එසේ ය. සිරිමා බෝ සමිඳුන්ගේ ඒ උතුම් ආනුභාවය, උතුම් ආශීර්වාදය සිංහල ජාතියේත්, සිංහල දේශයේත් මුල්බැස ගියේ ය.

එදා මෙදා තුර ගෞතම බුදු සසුන සුරකිමින්, සිංහල දේශයට, සිංහල ජාතියට, සමස්ත ලෝකයට ම ආශීර්වාදයක් වෙමින් උතුම් සිරිමා බෝධීන් වහන්සේ අනුරපුර පින්බිමේ උඩමළුවේ නිරුපද්‍රිතව වැඩ සිටිති. ඒ උතුම් සිරිමා බෝ සමිඳුන්ට, උඳුවප් මස පුන් පොහෝ දින ලක්දිවට වැඩම කොට, ලක්දිව භික්ෂුණී සංඝයා ඇති කළලක්දිව බුදු සසුනේ උන්නතිය උදෙසා ම කැප කරමින්, හෙළ කතුන්ගේ පරමාදර්ශය බවට පත් වෙමින් සසුන් කෙත ශෝභමාන කළ සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන ඒ සියලු අරහත් තෙරණින් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.!

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අසිරිමත් සිරිපා වන්දනා වාරය



අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති.
සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ.

අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පැමිණ අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ.තථාගතයන් වහන්සේ සමන් දෙව්රදුන්ගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීලමාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ සේක. මිස දිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.

අපේ රටේ පමණක් නොව ලොව නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවෝ සිරිපා වන්දනාවාරය පැමිණෙන තෙක් නොඉවසිල්ලිමත්ව බලා සිටිති. ගතට සිතට සහනය සුවය ළඟා කර දෙන සිරිපා වන්දනාවාරයේ දී එදා අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර තම දේපළ පවා දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනාකාරී වූ හ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදා වී ඇත. ඇතැම් විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ ඊටත් වඩා ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. සමන් දෙවිරදුන්ගේ අඩවියෙහි දී කටවරද්දා ගැනීමෙන් වැළකී වන්දනාවට පැමිණීමට ද වග බලා ගත්හ. අතීතයේ දී අපේ මුතුන් මිත්තෝ දින සති ගණන් ගෙවමින් යන වන්දනා චාරිකා සංවිධානය කළහ. ඊට සිරිපා වන්දනාව ද නිරන්තරයෙන් ඇතුළත් විය.වෙහෙරක කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන පුදබිමක් ලොව වෙනත් තැනක තිබේදැයි සිතා බැලිය යුතු වේ. උතුම් ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලොව අන්කිසි තැනකට නොදෙවෙනි සංකේත දෙකක් ද වේ. එකක් නම් මොහඳුරු දුරු කරන පහන් ආලෝකය වූ දොළොස් මහේ පහනයි. අනෙක නම් පැමිණ වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරයයි. දොළොස් මහේ පහනින් තෙල් බිඳක් රැගෙන ගොස් නොයෙක් ලෙඩ දුක් සුවකර ගැනීමට ද උපයෝගී කරගනු ලැබේ.

සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියෙකු ද විය. ඔහු හෝ ඇය හැඳින්වූයේ (නඩේ ගුරා) කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ය. ජාති, ආගම් ආදී වාද භේද කිසිවක් දක්නට නොලැබෙන සිරිපා වන්දනා කරන බැතිමතුන් ‘වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනාකරුවන්ට ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ආදී වශයෙන් ඔවුනොවුන් සිත් පහන් වන අයුරින් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම ද සුලභ ය.

ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන්, සුහදත්වයෙන් වන්දනා කරන සුවිශේෂී පුදබිමක් වන ශ්‍රී පාදස්ථානය අසිරිමත් මහ පුදබිමකි. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතයයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානයකි ශ්‍රී පාදස්ථානය.

අසිරිමත් සම්බුදු පහසින් පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අසිරියකි. ගතට සැනසුම දෙන පරිසරයක් මෙන්ම, ජල සම්පත උදාකරන මෙවන් ස්ථානයක් වෙනත් නොවේ.
පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ වන්දනා සහ ප්‍රදර්ශනය දෙසැම්බර් 20 වනදා ආරම්භ වී පසුදා අලුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ දී සිදු කෙරිණි. අනතුරුව සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ඓතිහාසික ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කෙරිණි.
පළමු පෙරහර හැටන් මාර්ගය ඔස්සේ 21 වන දා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයෙන් පෙරවරුවේ ගමන් ඇරඹීමට නියමිතව තිබිණි. ඒ කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කරවනැල්ල, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය හරහා ය. දෙවන පෙරහර පලාබත්ගල මාර්ගය ඔස්සේ 21 වන දා අලුයම ගමන් අරඹා පැල්මඩුල්ල, ගනේගම, පාතකඩ, ලෙල්ලුපිටිය, සබරගමුව සමන් දේවාලයට ගොස් ගල්කඩ්වමල්වල පාර ඔස්සේ පලාබත්ගල ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබිණි.

තෙවන පෙරහර බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වන දා උදෑසන ආරම්භ කිරීමට නියමිත වූ අතර පැල්මඬුල්ල නගරය ඔස්සේ කාමරංගපිටිය, ඕපනායක, බලන්ගොඩ පින්නවල බගවන්තලාව පාරෙන් මස්කෙළිය හරහා නල්ලතන්ණිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි .

22 වන දා උතුම් පූජනීය වස්තූන් ශ්‍රී පාද මළුවට වැඩම කර ශ්‍රී පාද භාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් නහවා පුද සිරිත් පවත්වා අලුයම 5.20 ට පහන් ආලෝක පූජාව ද පූජනීය වස්තූන් තැන්පත් කිරීම ද සිදුකර ලොවට ආශීර්වාදය පිණිස සිරිපා වන්දනා වාරය ආරම්භ වේ.

බෞද්ධ පත්‍ර කලා විශාරද, 
සීසර් සුදුසිංහ

සදහම් එළියෙන් ලොව ම එකලු වූ ඉල් පුර පසළොස්වක පොහෝ දා



ලොව මුල් වරට මහ රහතන් වහන්සේලා සැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන්පෑම, මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි අනුස්මරණීය ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇත. පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන්ම, කඨින චීවර පූජාව, සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය.

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදී ම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මඟඵල ලැබීමට මග පෙන්වූ සේක. එම වස් කාලය අවසන් වූ පසු එළඹුණු ඉල් මස උන්වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස,ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දෙව්, මිනිසුන්ගේ යහපතත්, සැපයත් පිණිස චාරිකාවේ හැසිරෙන්න” යැයි වදාළ සේක. අනතුරුව උදාවූ ඉල් පුර පසළොස්වක පොහෝදා එම රහතන් වහන්සේලා පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්කර යවා තමන් වහන්සේ තනිව ම උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.

එකල නේරඤ්ජනා ගංගාව අසල විසූ උරුවෙල් කාශ්‍යප තාපසයාට පන්සියයක් වූ අතවැසි පිරිසක් ද, නදී කාශ්‍යප තාපසයාට තුන් සියයක් වූ අතවැසි පිරිසක්ද ගයා කාශ්‍යප තාපසයාට දෙසියයක්වූ අතවැසි පිරිසක් ද වූ හ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොට බලවත් වූ අනුකම්පාවෙන් උරුවෙල් කාශ්‍යප තවුසා ඇතුළු පන්සියයක් පිරිසට ප්‍රාතිහාර්යය දක්වා ඔවුන්ගේ මානය බිඳ පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස් පිරිකර ගංගාවේ පා කර හැරී අතර ඒවා දුටු නදී කාශ්‍යප සිය වැඩිමහල් සහෝදර උරුවෙල් කාශ්‍යප තවුසාට කරදරයක් වී යැයි සිතා පැමිණි මොහොතේ බුදුරදුන් ඔවුන්ටද දහම් දෙසා පැවිදි කළහ. එම පිරිස ද තම තවුස් පිරිකර ගඟට දැමූ අතර ඒවා දුටු ගයා කාශ්‍යප තාපසයා ද තම සහෝදරයන් දැකීමට පැමිණි අතර බුදුරජාණන් වහන්සේ ඒ පිරිසටද දහම් දෙසා අනතුරුව සැවොම පැවිදි කළ සේක.ඉන් අනතුරුව එදා ඉල් පොහෝ දා අරඹන ලද ධර්ම දූත මෙහෙය තවදුරටත් ගෙන යමින් බුදුරජාණන් වහන්සේ ගයා ශීර්ෂයේ ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරමින් ඒ සැමදෙනා වහන්සේට ම රහත්වීමට මඟ පෙන්වූ සේක.


සැරියුත් මහරහතන් වහන්සේ තම මවට අයත් නිවසෙහි පිරිනිවන් පා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනයක ය. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු වූයේ සැරියුත් මහ තෙරුන් ය. දම් සෙනෙවි නම් තනතුරක්ද උන්වහන්සේට තිබුණ අතර උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් වූ චුන්ද, උපසේන, රේවත , මාලා, උපචාලා හා සිසුපචාලා යන පිරිස ද සම්බුදු සසුනේ පැවිදි ව රහත් වු මුත් උන්වහන්සේගේ මෑණියන් ඒ වන විටත් සිටියේ මිථ්‍යා දෘෂ්ටිකව ය. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ආයු කාලය විමසා බැලු සේක. තමන්ට තව ජීවත්වීමට ඇත්තේ සතියක කාලයක් පමණක් බව දුටු උන්වහන්සේ තම මව සම්‍යක් දෘෂ්ටික කර නිවසේ දී ම පිරිනිවන් පෑම සුදුසුයැයි සිතා ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කර, වැඳ අවසර ගෙන, විශාල භික්ෂු පිරිසක් සමඟ නාලක ගමට වැඩම කොට තම මෑණියන්ට ධර්මය දේශනා කොට ඇය සෝවාන් මාර්ගඵලයට පත්කර වූ සේක. ඉන් අනතුරුව උන්වහන්සේ එම නිවෙස්දීම පිරිනිවන් පා වදාළ අතර දිනය ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනක් විය. චුන්ද තෙරුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍ර, සිවුරු හා ධාතුන් වහන්සේලා රැගෙන ජේතවනාරාමයට වැඩම කර සියල්ල බුදුරදුන්ට පිළිගැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ ද සැරියුත් තෙරුන්ගේ ගුණ වනා එම ධාතු තැන්පත්කර චෛත්‍යයක් ඉදිකරවා අනතුරුව රජගහනුවරට වැඩම කළ සේක.

පෙර සංසාරයේ මා පියන්ට කරන ලද හිංසනයක විපාකයක් ලෙස මුගලන් මහ රහතන් වහන්සේ ‘කාලසිලා’ පර්වත විහාරයේ වැඩ වසන කාලයෙහි දුදනන් විසින් කරන ලද පහරදීමක් නිසා පිරිනිවන් පා වදාළේ ඉල් මස අව පසළොස්වක දිනක ය.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වප් පොහෝ දා තව්තිසා දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩම කළේ වස් පවාරණය කිරීමෙන් අනතුරුව ය. උන්වහන්සේ එසේ වැඩම කළේ දඹදිව සංකස්ස පුර නම් නගරයට ය. සංකස්ස පුර සිරිවඩ්ඪ නම් වූ ධනවත් පුතෙකු ලෙස උපන් මෛත්‍රි බෝධි සත්වයෝ බුදුරජාණන් වහන්සේ වස් පොහෝ දින දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට වැඩි මොහොතේ සැරියුත් තෙරණුවන් සමඟ කළ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කොට පැහැදී පැවිදි වූහ. අනතුරුව මෛත්‍රී බෝසත් භික්ෂුව තමන්ට ලැබුණු වටිනා වස්ත්‍ර යුගලක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි එල්ලා මහත් පිනක් සිදුකර ගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මෛත්‍රි බෝසත් භික්ෂුවගේ අභිප්‍රාය දැන භික්ෂූන් අතර වැඩ සිටි උන්වහන්සේ පෙන්වා,

“මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලන්න. මේ භික්ෂුව මෙම මහා භද්‍ර කල්පයේ දී මහ මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රදහු වන්නාහ. එකල බරණැස් නුවර කේතුමති නම් රාජධානියේ සංඛ නම් සක්විති රජකෙනෙකු පහළ වන අතර එරජුගේ පුරෝහිත බමුණා වන සුබ්‍රහ්ම මොහුගේ පියා වන අතර බ්‍රහ්මවති මෑණියන් වන්නී ය. බෝරුක නා ගසකි.” යනුවෙන් වදාළ සේක. මේ ආකාරයෙන් මෛත්‍රි බෝධිසත්වයාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනක ය.

කඨින පින්කමක් පැවැත්විය හැකි අවසාන දිනය වන්නේ ද ඉල් මහ පුරපසළොස්වක් පොහෝ දා ය. වප් පුර පසළොස්වක පොහෝ දවසින් ආරම්භ වන කඨින චීවර මාසය ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වෙයි. කඨින චීවර පූජාවක් කළ හැකි මේ කාලය තුළ පමණි. තවද ඇසළ පුන් පොහෝ දා වස් සමාදන් වීමට නො හැකිවු උපසපන් භික්ෂූන් වහන්සේලා නිකිණි පොහොයෙන් පසුව වස් සමාදන් වූ විට වස් පවාරණය කරනු ලබන්නේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝ දා ය.

අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කාලයක පාරමිතා පූර්ණය කොට සම්මා සම්බුද්ධත්වයට පත්ව අවබෝධ කරගත් ධර්මය ප්‍රචාරය කිරීමට මුල්ම පියවර ගනු ලැබුවේ ධර්ම දූතයාණන් වහන්සේලා ලොව පුරා පිටත්කොට හැරීමෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ උතුම් වූ කෙලෙස් සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල්මස පුර පසළොස්වක පොහෝ දින මහරහත් වහන්සේ හැට එක් නමක් විසින් ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක සේවය බව ය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් යුක්ත ව සිද්ධ කරන ලද ඒ මහා සේවාවෙහි ප්‍රතිඵලය වූයේ සම්බුදු සසුන දේශ දේශාන්තර වල පැතිරීම යි. සැරියුත්, මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පහළවීම හා මෛත්‍රි බෝසතුන් පැවිදි වීම ද සිදුවුයේ ඒ උතුම් ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

තව ද ලංකාවේ මුල්ම ම රහතන් වහන්සේ වන අරිට්ඨ තෙරණුවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මිහින්තලාවේ වස් වැස අනතුරුව වස් පවාරණය කිරීමෙන් පසු බුදුරදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් තැනීමේ යෝජනාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජතුමාට කරන ලද්දේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනක දී ය. එම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස සුමන සාමණේරයාණන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩමවීම පිණිස දඹදිවට වැඩම කළ අතර බුදුරදුන්ගේ අකු ධාතුන් වහන්සේ ප්‍රමුඛ ධාතුන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් ලංකාද්වීපයට ලැබුණේ ද මිහිඳු මා හිමියන්ගේ එම යෝජනාව නිසා ය.

බුදු දහම ලොව පුරා ප්‍රචලිත වීම නිසා අප්‍රමාණ සත්ත්වයන් නිවන අරමුණු කොට කුසල් වඩා සසර දුකින් එතෙර වූයේ ඒ උතුම් බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය නිසා ය. බෞද්ධයෙකු ලෙස මේ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ඒ උතුම් මහ රහතන් වහන්සේලා ලොවට කියා දුන් ධර්මය තවදුරටත් විරාජමාන වන බව ඉතා පැහැදිලි ය.


අලුතෑපොල ගණේකන්ද පූරාණ රාජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත

උපුටාගැනීම බුදුසරණ පත්‍රයෙනි.

අදින් ඇරැඹෙන්නේ කඨිනත්ථාර සමයයි



කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති
වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ
වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු ය. 
(පරිවාර පාලිය)

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්ෂූන් වහන්සේලා අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් විසූ සියලු විහාරස්ථානයන් හී කඨින චීවර පූජාවන් සිදු කිරිම කෙරේ. මෙම උතුම් චීවර පූජාව මතු නොව සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ලක්වැසි ජනතාව වසර 2300 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව, මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව සිදු කරන අයුරු දැක ගත හැකි ය. ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේ දී දුරාතීතයේ සිටම අපේ නරපතියන් බොහෝ දෙනෙකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. එම රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ ව සඳහන් වේ. එමෙන් ම සවෙනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රී සිංහලයෙහි ම වස් විසූ භික්ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් වනවා. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මඟින් අනාවරණය කොට ඇත.

මෙම මහා පින්කමෙහි ආරම්භය සිදු වන්නේ අදින් තෙමසකට පෙර දී ය. එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භ ව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ විහාරස්ථානයන් හි වස් වැසවීම සඳහා මූලික දායකත්වය ලබා ගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන් ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන ලද ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධි පූජා ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කරන ලද්දේ, ඒවායෙහි නියැළුනේ මෙම මහා පින්කමෙහි පරිවාර පින්කම් වශයෙනි. කඨිනත් ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ් ව ඇති අතර මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එ පමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ද මේ සඳහා සහභාගි ව ඇතිවා සේ ම, උන්වහන්සේලාගේ මහත් වර්ණනාවටද ලක්ව ඇති මහා පින්කමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමැති දිනයක හෝ මාසයක දී කළ හැකි පින්කමක් නොවීම ය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණි. අට මහා පින්කම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රධාන පුණ්‍ය කර්ම නම් කිරීමේ දී “කඨිනට්ඨ පරික්ඛාරං.....” යනා දී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛත ම පින්කම ලෙස හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව, සංඝාවාස පූජාව, බුදු පාමොක් මහා සඟනට දන් දීම, ධර්ම පුස්තක ලියවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා පූජා කිරීම, යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත.
කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක් ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කම සමාන කිරිම එම උපමාව ය. තෙ මසක් මුළුල්ලේ සිදු කරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට සමාන වන අතර, වැඩ නිම වූ සෑරදුන්ගේ කේතු පිලන්දනය, එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාව වේ. කඨින චීවර පූජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි, ජන සමූහයකගේ ඒකරාශී වීමෙන් සිදු කළයුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසා ය.

එක් විහාරස්ථානයක, එක් වසරක සිදු කළ හැක්කේ එක් කඨින පින්කමක් පමණක් නොව, එම විහාරස්ථානයේ ම වස් විසූ, වස් ශික්ෂාපදය ආරක්ෂා කළ භික්ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නො ලැබේ.
භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයක දී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදු කරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභී භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල් ව භාවිත කිරීමේ පඤ්චවිධ ආනිසංසයක් ලැබෙන බව ද විනය ග්‍රන්ථයන්හි සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදු කරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසලස්ඛන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චීවරදානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන් වනවා පමණක් නොව විහාරස්ථානයකට අවශ්‍ය විවිධ ගරු, ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමඟ පූජා කිරීම සඳහා ද බොදුනුවන් පුරුදු ව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධ ව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරිය පාපකර්මය වැනි මහා පාප කර්මයන් හැර සාමාන්‍ය පව්කම්වල බරපතල බව අඩු කිරීමට ද මෙම මහා පින්කම සමත් වන බව ධර්මයෙන් ප්‍රකාශිත ය.

අප දැක ඇති ලාඕස්, කාම්බෝජ, තායිලන්ත බුරුම සහ වියට්නාම ජාතික බෞද්ධයන් සිදු කරන මෙම මහා පින්කම තමන්ට ආවේණික පිළිවෙලකට අනුව ඊට අදාළ පාලි වාක්‍ය ආදිය ද ඔවුන් විසින් ම ප්‍රකාශ කරමින් සිදු කරන අයුරු ඉතා විචිත්‍ර බව සඳහන් කළ යුතුව ඇත. නගරයෙහි මහා මන්දිරයෙහි සිට ඈත එපිට ගම්මානවල කුඩා පැල්පත දක්වා බොදුනුවන් එකසේ උනන්දුවෙන් සිදු කෙරෙන මෙම මහා පින්කම එ දවස අප විසින් දැක ඇත්තේ වෙනස් වූ ආකාරයකටය. පූජා කිරීමට නියමිත වස්ත්‍රය අලුතින් ම සකස් කළා මතු නොව සකස් කරන ලද නියමිත වූ වස්ත්‍රය ගම් පියස පුරා රැගෙන ගොස් බොහෝ දෙනාගේ පූජාවට ලක් කොට හිමිදිරියේ හේවිසි හඬින් හා මහා සාදු නාදයෙන් යුතුව විහාරස්ථානයට ගෙනවිත් පූජා කරන සාමූහික පින්කමක් ලෙස ප්‍රකට ය. එහෙත් වර්තමානය වන විට මෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබෙනවා මතු නොව මෙම උතුම් පින්කම කිසියම් තරගකාරී බවකට අවතීරණ ව ඇති බවක් ද දක්නට ලැබේ. බොහෝ විට නගරබද ව දක්නට ලැබෙන මෙම ප්‍රවණතාවය තුළ කඨින චීවර පූජා පෙරහරකට තරම් නොගැළපෙන විවිධ අංගයන් ද එකතු වී තිබීම සතුටු විය හැකි කරුණක් නොවේ. කෙසේ නමුත් මෙම පින්කම් විචිත්‍ර ව සිදු නොකළ යුතුය යන්න මින් අදහස් නොකෙරේ. එහෙත් තමා විසින් සිදු කරනු ලබන මෙම උතුම් පින්කමෙහි මූලික පරමාර්ථයට හානියක් නොවන ලෙස කඨින මහා පින්කම් සංවිධානය කර ගැනීම ඉතා වැදගත් වන බව ද සඳහන් කළ යුතුව ඇත.

වප් පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරඹෙනවා පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන් ම ශාසන ඉතිහාසයෙහි ද වැදගත් සිදුවීම් රාශියක් සිදු වී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමාමහ පෙළහර දැක්වීම සහ එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝසත්තුමා නියත විවරණ ලැබ පැවිදි වූයේ ද අදවන් දිනයක දී ය. එමෙන් ම සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුරු ලැබීම ද මෙදින සිදු වූ අතර, ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේ ද වප් පුර පොහෝ දිනයකදී ය. පසු කාලීනව පැවිද්දට පත් මහා අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදු කරන ලද විනය සංගායනාව සිදුකරන ලද්දේ ද වප් පුර පොහෝ දිනයක වන අතර මෙවන් වූ මහා අසිරිමත් සිද්ධීන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ සිදුවන කඨින මහා පින්කම්වලට ද සහභාගී වෙමින් සසරින් එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු බව අවධාරණය කළ යුතු ව ඇත.

කොළඹ 06, හැව්ලොක් සිටි, 
සාමවිහාරාධිපති, 
අතපත්තුකන්දේ ආනන්ද හිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

Ananda Maha Rahathan wahanse ආනන්ද මහ රහතන් වහන්සේ

බිනර මහේ ශාසනික වැදගත්කම්



බුද්ධ නියමයට අනුව සෑම උපසපන් භික්ෂූන් වහන්සේ නමක් ම වස් තුන් මාසයෙහි වස් සමාදන් ව බුද්ධ නීතියට අනුව කටයුතු කළ යුතු ය. එම වස් කාලයෙහි එළඹෙන අවසාන මාසය වන්නේ බිනර මාසය යි.

වස් තුන් මාසයෙහි අවසාන මාසය වන නිසාම බිනර මාසය භික්ෂූන් වහන්සේලාට ඉතාමත් ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි උන්වහන්සේගෙන් භාවනා වැඩීමට කමටහන් ලබාගත් බොහෝ භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය අවසන් වන විට නිවන් මඟ පසක් කර ගැනීමට සමත් වූහ. මේ නිසා බිනර මාසය ද ඇතුළු සෑම වස් කාලයක් ම ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අතිශය ප්‍රයෝජනවත් කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

වැසි සමය ක්‍රමයෙන් ගත වෙමින් සරත් කාලය උදා වන්නේ ද බිනර පුර පසළොස්වක පොහෝ දා පටන් ය. මේ තැන් පටන් පරිසරයද අලංකාර වෙමින් ඉතා සුන්දර කාලයක් ලොව පුරා ඇති වෙයි. පරිසරයේ තිබෙන අලංකාරත්වය නිසා බොහෝ විට ලෞකික සුන්දරත්වයට සිත යොමු වන අවස්ථා ද එමට ය. මේ බව දත් බුදුරජාණන් වහන්සේ,
‘සරත් කාලයේ හටගත් කුමුදු මලක් අතින් පොඩිකර දමන්නා සේ තම සිතෙහි උපන් ස්නේහය දුරු කර දැමීම පිණිස මාර්ගය පෙන්වා දී ඇති බැවින් නිවනට යොමු කරන ආර්ය මාර්ගයේ ම ගමන් කළ යුතු බව‘. අප තේරුම් ගත යුතු ය.’
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ වෙත පැමිණ කාන්තාවන් උදෙසා බුදු සසුනේ පැවිද්ද ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ඇගේ ඉල්ලීම තුන් වතාවක් ම ප්‍රතික්ෂේප කළ සේක. ඉන් අනතුරුව උන්වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩි සේක.

මහා ප්‍රජාපතී ගෝතමිය ද ඊට පෙර රෝහිණී ගංතෙර පැවිදි වූ ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් පන්සියක් සමඟ හිස කෙස් බූ ගා කහවත් හැඳ යොදුන් පනස් එකක් දුර මග ගෙවා පයින් ම කූටාගාර ශාලාවට පැමිණියහ. එසේ පැමිණ නැවත වතාවක් පැවිදිවීමට අවසර ඉල්ලා සිටි නමුත් බුදුරජාණන් වහන්සේ එය අනුමත නො කළ සේක.

මේ වන විට බිනර මස පුර පසළොස්වක පොහෝ දින උදාවෙමින් පැවතුණි. ගෝතමි ඇතුළු ශාක්‍ය කුමාරිකාවන් හඬමින් සිටින බව දුටු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, කාන්තාවක් ගිහි ගෙයින් නික්ම තථාගතයාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයෙහි පැවිදිව සෝවාන්, සකෘදගාමී, අනාගාමී යන අර්හත් මාර්ගඵල ලබාගත හැකි ද? එවිට බුදුරජාණන් වහන්සේ,

‘ආනන්ද කාන්තාවක් ගිහි ගෙයින් නික්ම තථාගතයාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනයෙහි පැවිදිව සෝවාන් සකෘදගාමී අනාගාමී හා අර්හත් මාර්ගඵල ලබා ගත හැකි ය.’ යනුවෙන් දේශනා කළ සේක. මෙයින් ධෛර්යට පත් ආනන්ද හිමි කාන්තාවන්ට පැවිද්ද ලබාදීමට සුදුසු බුද්ධිය පිළිබඳ සාධකයට අමතරව ‘අම්මා’ නමැති සාධකය ද ගෙන හැර හා ඒ උතුම් බිනර පුන් පොහෝ දින කාන්තාවන්ට පැවිදි වීමට අවශ්‍ය කරන අවසරය ලබා දුන්හ.

බිනර පොහෝ දින ලංකාවේ වෙහෙර විහාර ගණනාවකම පෙරහර මංගල්‍යයන් පවත්වනු ලැබේ. ඒ අතර මහියංගනය රජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර පෙරහර, කළුතර මහා බිනර පෙරහර, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල, දෙමටමල් විහාරයේ වාර්ෂික බිනර පෙරහර වැනි පුණ්‍ය මංගල්‍යයන් විශේෂයෙන්ම සඳහන් කළ යුතු ය. බිනර පුන් පොහෝ දිනයෙන් පසු වස් කාලයේ අවසන් සමය උදාවන බැවින්, මේ මාසය මුළුල්ලේ ම බුදුරදුන් වදාළ නිවන් මග අනුගමනය කරමින් වඩාත් කැප වීමෙන් ධර්මානුකූලව කටයුතු කිරීමට ගිහි පැවිදි දෙපක්ෂය ම අදිටන් කර ගත යුතු ය. ඒ තුළින් මේ මනුෂ්‍ය ආත්මභාවය තුළ සැනසීමේ මාවතට යොමු වීම, පණ්ඩිතයා විසින් සම්පූර්ණ කර ගත යුතු කරුණකි.

අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ මහාචාර්ය, 
ආචාර්ය, රාජකීය පණ්ඩිත, 
නැදලගමුවේ ධම්මදින්න හිමි

නිකිණි පොහෝදා ශාසනික සිදුවීම්


ප්‍රථම ධර්ම සංගායනාව

බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. මුල්ම ධර්ම සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි.

නිකිණි පොහෝදා ආරම්භ කරන ලද ‘පංචසතිකා’ නම් වූ මෙම පළමු සංගායනාව සිදුකිරීමට හේතුවූ ආසන්න කාරණා දෙකකි. මුල්කාරණාව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආගමික ශාස්තෘවර නිගණ්ඨනාථ පුත්‍ර අභාවප්‍රාප්ත වීමත් සමඟම එම ශාසනයේ අනුගාමිකයන් විවිධ විවාද ඇතිකොට ගෙන සී සී කඩ විසිරී යාමයි. මේ නිසා ශාසන භාරධාරි මහ රහතන් වහන්සේලා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ධර්ම සංගායනාවක් කර බුද්ධ ධර්මය ස්ථාපිත කළ යුතු බවයි.

මෙ සංගායනාව කිරීමට හේතුවූ දෙවන ආසන්නතම හේතුව වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වෘද්ධ ශිෂ්‍ය භික්ෂුවක් වූ සුභද්‍ර නම් පැවිද්දා
ඇවැත්නි, ශෝක නොකරන්න. නොවැළපෙන්න, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෙමු.’
යනුවෙන් හඬා වැළපෙන භික්ෂූන්ට ප්‍රකාශ කිරීමත් සමගම විවිධ පටු අදහස් ඇති භික්ෂූන්ගෙන් බුදුසසුන රැක ගත යුතුය යන අදහස ශාසනාභාරධාරි මහ රහතන් වහන්සේලා ඇතිකර ගැනීමයි.

ආනන්ද මහ තෙරුවන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද නිකිණි පුර පසළොස්වක පොහෝදා අලුයමය. ඊට පෙර දින දක්වාම රහත්භාවයට පත්වීමට නොහැකි වූ ආනන්ද මහතෙරුන් වහන්සේ මොහොතක් ඇඳෙහි සැතපෙමියි සිතා වාඩි වී හිස කොට්ටය මත තබන්නටත් පෙර, දෙපා ඇඳමතට ගන්නටත් පෙර ඒ අතර මැද කාලයේ අර්හත්භාවයට පත්වු සේක. රජගහනුවර සප්ත පණ්ණී නම් ගුහාද්වාරයේ අජාසත් මහ රජු විසින් කරවා දෙන ලද මණ්ඩපයක සංගායනාව කිරීමට යොදා ගත් අතර අන්‍ය මතධාරින්ගෙන් විය හැකි ගැහැට සලකා සම්පූර්ණ ආරක්ෂාවක් ඊට ලබා දී තිබුණි. මහරහත් භාවයට පත් ආනන්ද මහ තෙරුන් වහන්සේ තම රහත්භාවය ප්‍රකාශ කරනු වස් ඍද්ධියෙන් සියලු ආරක්ෂා විධි විධාන අභිබවා සියල්ලන්ටම පෙර නිකිණි පොහෝ දා අලුයම එම මණ්ඩපයට වැඩමවා සියල්ලන් පුදුමයට පත්කළ සේක.

නිකිණි පුර පසළොස්වක පොහෝදා මුල්කර ගෙන සිදුවන තවත් වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ඇසළ පුන් පොහෝ දා වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට නිකිණි පුර පසළොස්වක පොහෝ දා පොහොය කොට පසුදා වස් සමාදන් වන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තේතුං” (මහණෙනි , රාජනියෝගවලට අනුව කටයුතු කිරීමට අනුදැන වදාරමි.”) නම් වූ විශේෂ පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන ලද්දේද මෙම නිකිණි පොහෝදා නියම කරන ලද පසු වස් සමාදන් වීම නිමිති කර ගෙන ය.

ඇසළ පොහෝදා සිදු කරනු ලබන වස් සමාදන් වීමට බිම්බිසාර රජතුමා කැමති වූයේ නැත. ඊට හේතුව නම් මගධ රාජ්‍යයේ ඇසළ මාසය පුරා පැවැත්වෙන විනෝද උත්සවයක්ය. මේ අනුව මගධ රට වැසි භික්ෂූන් වහන්සේලා එතැන් පටන් ඇසළ පොහොයෙන් පසු වස් සමාදන් නොවී නිකිණි පොහෝදාට පසු දින පසු වස් සමාදන් වූ බව සඳහන් වී තිබේ.
තවද බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ නිකිණි පුර පසළොස්වක පොහෝ දින සේරුවිල මංගල මහා විහාරය වන්දනා කිරීමට යති. එසේම සේරුවිල නිකිණි පෙරහර ආරම්භ කරන්නේද මෙදින ය. බුදුරජාණන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්කොට ගොඩනගන ලදැයි සැලකෙන සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තබන ලද්දේද නිකිණි පොහෝදා යැයි පිළිගැනේ.
සේරුවිල මංගල මහා සෑය

බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සුත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය. බුදුරදුන් දහහතරවන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමඟ පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී උන්වහන්සේට පංච උපාදාන ස්ඛන්ධයෝ අනිත්‍යතාව හා ආනාපානසති භාවනාවේ වටිනාකම ද දෙසූ සේක.

රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේ උතුම්වූ අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂම කරන ලද්දේද මෙම දේශනාව අනුව භාවිත කිරීමෙන් පසු නිකිණි පෝදා දිනක බව සඳහන්වී ඇත.

ලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

සදහම් අමා ගඟ ගලාගිය ඇසළ පුන් පොහොය


අසිරිමත් බුදු සිරිතේ සහ ශාසනික ඉතිහාසයේ සිද්ධීන් රැසක් දැක්වෙන දිනයකි ඇසළ පොහොය.

අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු මෙලොවට බිහිවීම, බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ මුල්වරට වස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කිරීම, උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුල යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්ම දේශනාව පැවැත්වීම ඇරැඹීම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස වස් සමාදන් වීම සහ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වැදගත් වන්නා වූ සිදුවීම් රැසක්ද ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. ඒ අතර මහා විහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමා සම්මතය, අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදිව උපසම්පදා ලැබීම , මහරහතන් වහන්සේලා හැට දෙනමක් මුල්වරට ලංකාවේ වස් වැසීම, දුටුගැමුණු මහරජ රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එම සෑයෙහි ධාතු නිධානය කිරීම, දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනු ලබන ඇසළ පෙරහර පැවැත්වීම වැනි සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සමඟ බැඳී ඇති ආකාරය සඳහන් කළ හැකිය.

බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ තුසිත ලොව සන්තුසිත නම් දිව්‍ය රාජ්‍යයෙහි උපන් කල්හි විවිධ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආරාධිත පිළිගෙන මිනිස් ලොව ඉපදීමට පස්මහ බැලුම් බලා අවසානයේ දී සුද්ධෝදන මහ රජුගේ අගමෙහෙසිය වූ මහමායා දේවිය කුස පිළිසිඳ ගත් සේක. ඒ උතුම් ඇසළ පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව සිප් සතර හදාරා නිසි කලට විවාහ ප්‍රාප්තව යශෝධරාව නිසා උපන් රාහුල කුමරු තම පැවිද්දට බාධාවක් යැයි සිතා සතර පෙර නිමිති දැක ගිහිගේ පිළිබඳ කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක ය. එදින උන්වහන්සේ තවුස් පිරිකර හැඳ පොරවා පෙර බුදුවරුන් සිහිකොට ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී තවුස් පැවිද්දෙන් පැවිදි බවට පත්වූ සේක.

මෙසේ තාපස වේශයෙන් උපතත් මරණයත් දුරු කරන මාර්ගය සොයා යමින් උන්වහන්සේ අවසානයේ දී බුද්ධගයාවේ දී සම්මා සම්බුද්ධත්වයට පත් ව මුල් දම් දෙසුම පැවැත්විය යුත්තේ කාටදැයි කල්පනා කරන සේක. පස්වග තවුසන්ගේ හේතු සම්පත්තිය දැක බුද්ධත්වයෙන් පසු එළඹි ඇසළ මස පුන් පොහෝ දින සවස ඉසිපතනයට වැඩම කළ සේක. තමන් සත්‍යය අවබෝධ කළ බව කීප විටක්ම පැවසුවත් බුදුරදුන් විශ්වාස කිරීමට තරම් පස්වග මහණුන් බුද්ධිමත් නොවූ හෙයින් උන්වහන්සේ අවසානයේ දී මෙසේ වදාළ සේක.

“මා උරුවෙල් දනව්වේ දුෂ්කරක්‍රියා කරන කාලයේ නුඹලා රැවටීම පිණිස මට මෙසේ එළියක් පෙනේ. මෙබඳු අරමුණ ඇතිවිය’ යනුවෙන් ප්‍රකාශ කළා ද?”
නැත, ස්වාමීනි,

“මා දැන් බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන්නේ ඒ සත්‍යය අවබෝධ කළ නිසාමයි”
ඉන් අනතුරුව පස්වග මහණුන් වහන්සේලා බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වූහ. ඔවුහු ඉතා ගෞරවයෙන් යුතුව බුදුරදුන්ගේ මංගල ධර්මදේශනාව ශ්‍රවණය කළහ. එදින ඒ ධර්ම දේශනාව අවසන් වනවාත් සමඟම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට දහම් ඇස පහළ විය. උන්වහන්සේ උතුම් වූ සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. ඒ ඇසළ පුන් පොහෝදින බුදුබණ අසා ලොව මුල්ම සෝවාන් මගඵලලාභී උතුමාණෝ පහළ වූහ. බුදුරජාණන් වහන්සේ,

“අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ
අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ ! 
යනුවෙන්
පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළ සේක. එදිනම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සය නමක් ලොව මුල්වරට වස් සමාදන් වූහ.

පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ හෙයින් එලෙස රහත් ගුණ ප්‍රකට කිරීම නුසුදුසු යැයි වදාළ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට අකැපයැයි වදාරා තහනම් කළ සේක. ඒ ගැන බිම්බිසාර රජු බුදුරදුන්ගෙන් විමසූ විට එතැන් පටන් සාර මසකින් එළඹෙන ඇසළ පුන් පොහෝදින ගණ්ඩම්බ නම් අඹ ගසක් මුල උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යයක් පාන බව දෙසූ සේක. ඉන් අනතුරුව එළඹි ඇසළ පුන් පොහෝදින උන්වහන්සේ සැවැත්නුවර රාජ්‍ය කළ උයන්පල්ලා දුන් අඹ ගෙඩියක් වළඳා එම ඇටයට පැන් වත්කොට අත සෝදා එකෙනෙහිම හට ගත් අඹ ගස යට යමක මහා ප්‍රාතිහාර්යය ඇතුළු මහා ප්‍රාතිහාර්යයක් ප්‍රදර්ශනය කළ සේක. එලෙස ප්‍රාතිහාර්යය පාමින් ධර්මදේශනා කළ බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේදීම අහසට පැන නැඟී දහස් ගණන් සෙනග බලා සිටියදීම තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ සේක. ඒ උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට අභිධර්ම දේශනාව කිරීම පිණිස ය.

තවද ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදි කරවා මහමෙව්නා උයනේදී උපසම්පදාකොට මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නුදුරින් පිහිටුවන ලද අටසැට ලෙන්වල වස්වසන්නට යෙදුණේද ඇසළ පුන් පොහෝ දිනක ය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට කටයුතු යොදා ඒ පිළිබඳ මංගල ශිලාස්තම්භය පිහිටවූයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය. රුවන්වැලි මහා සෑය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බවට පත් වූයේ ඒ තුළ අතිවිශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින බැවිනි. එහි ද්‍රෝණයක් පමණ වූ ධාතූන් වහන්සේලා නිදන් කිරීමේ මහා ධාතු නිදානෝත්සවය පැවැත්වුණේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ. ලක් සසුන පිරිහීමෙන් පසු ලංකාවේ සාමණේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කොට අදාළ ශාසනික වත් පිළිවෙත් උගන්වා වදාළ සියම් රටේ උපාලි මහතෙරුන් වහන්සේ විසින් අසරණ සරණ සරණංකර සඟරජමාහිමියන් ඇතුළු මල්වතු අස්ගිරි මහා සඟරුවන උපසම්පදා කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ.

මේ උතුම් ඇසළ පොහෝදා බුදු ගුණ සිහිකොට උතුම් වූ නිවන් මග පසක් කර ගැනීමට අපි අදිටන් කර ගනිමු.

කැලණිය විශ්වවිද්‍යාලයේ , 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති, 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

Poson poya පොසොන් පොහොය

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව

මිහිඳු මහරහතන් වහන්සේ

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා රටවල් නවයකට භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ධර්මදූත පිරිස් පිටත්කොට යැවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අය අතුරෙන් ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර මිහිඳු මාහිමියන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිස රජ පවුලට අයත් අයගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි.

මිහිඳු මාහිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා කුමරියගේ පුතණුවන් වූ සුමන සාමණේරයන් වහන්සේ ද මිහිඳු මාහිමියන්ගේ මවගේ සහෝදරියගේ දියණි කෙනෙකුන්ගේ පුත්‍රයා වූ භණ්ඩුක උපාසක තුමා ද එම දූත පිරිසට අයත් වීම මේ රටේ දී උසස් පිළිගැනීමක් ඇතිවීම කෙරෙහි බලපෑවාට සැක නැත.

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවා වැඩි කලක් ගතවීමට පෙර මේ රටේ බුද්ධ ධර්මය පමණක් නොව දේශපාලන, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයක ම ගුණාත්මක විප්ලවයක් ඇති විය. මහා වංශයෙහි විසිවන පරිච්ඡේදය කියවන විට පෙනී යන්නේ මහින්දාගමනයෙන් එක් වර්ෂයක් ගතවන විට සෑම අංශයක ම විශ්මිත දියුණුවක් ඇති වූ බවයි. ධර්මදූත පිරිස පැමිණීමත් සමග ඉමහත් දියුණුවක් ඇතිවීමට ප්‍රධාන ම හේතුව වූයේ මිහිඳු මාහිමියන් තුළ පැවති කැපී පෙනෙන සුවිශේෂ දක්ෂතාවන් ය. ලංකාවට වැඩම වූ පළමු වන දින මිහින්තලයේ දී පිරිස සහිත රජතුමා මුණ ගැසුණු අවස්ථාවෙහි එක් වරම ධර්ම දේශනා කිරීමට පෙර අඹ ගසක් මුල්කොට රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කිරීමට මිහිඳු මාහිමියන් ක්‍රියා කළ ආකාරය වැදගත් ය. 

රජතුමාගේ ආරාධනයෙන් පසුදින අනුරාධපුර නගරයට වැඩම වූ දූත පිරිස රජතුමාගේ මහමෙවුනා උයනෙහි පිහිටි මාළිගාවේ වැඩසිටියහ. පසුදින රජතුමා මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව මිහිඳු මාහිමියන් එහි තැන් තැන්වලට වැඩමවමින් අනාගතයේ ථූපාරාමය, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන පිහිටුවීම පිළිබඳ සළකුණු කරවන ලද්දේ ඉතා දක්ෂ ඉංජිනේරුවෙකුගේ ස්වභාවයෙනි. අනුරාධපුර අගනුවර රජමැදුරට නුදුරින් පිහිටා තිබූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීම ශාසනයේ හා රටේ අභිවෘද්ධිය සඳහා විශාල වශයෙන් හේතු විය. දීර්ඝ කාලයක් මහා විහාරය නමින් සංඝ රත්නයේ ප්‍රධාන ආරාමය බවට පත් වූයේ මේ ස්ථානය යි. මිහිඳු මාහිමියන් වැඩම වීමෙන් වර්ෂයක් ගත වන විට මේ රටේ ඉතා වේගයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට පහසු වූයේ කරුණු කිහිපයක් නිසා ය. එයින් ප්‍රධාන වන්නේ මේ රටේ ජීවත් වූ බොහෝ අය ඒ වන විට බුදු දහම පිළිබඳව දැන සිටීම යි. බුදු බවට පත්ව සත් සති ගෙවා අවසාන වූ දිනයෙහි ප්‍රථමයෙන් ම බුදුරදුන්ට උදෑසන දානය පිළිගන්වන ලද්දේ තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. පැහැදීමට පත් ඒ දෙදෙනා කළ ඉල්ලීමට අනුව බුදුරදුන් විසින් වැඳුම් පිදුම් කිරීම සඳහා තම හිස පිරිමැද කේස ධාතු දෙන ලද බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.

තපස්සු - භල්ලුක වෙළෙඳ නායකයන් දෙදෙන ලංකාවට පැමිණ ඉහත කී කේස ධාතු වලින් කොටසක් තිරියායේ තැන්පත් කොට සෑයක් ඉදිකළහ. පසු කාලයේ ලියන ලද සෙල්ලිපියක ඒ වෙළෙඳුන් දෙදෙනාගේ නම් සහ කේස ධාතු පිළිබඳව සඳහන් වී තිබීම වැදගත් වෙයි. බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මස මහියංගනයටත්, පස්වන වස නාගදීපයටත්, අට වන වසරේ දී කැලණියටත් වැඩම කළ බව ප්‍රකට සිදුවීමකි. තෙවන වරට කැලණියට වැඩම වූ උන්වහන්සේ ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, කතරගම අනුරාධපුරය ඇතුළු ස්ථාන දහ තුනකට වැඩම වූ බවත්, බොහෝ ස්ථානවල දී ධර්ම දේශනා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අන්දමට බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩමවීම නිසා ලංකාවාසී බොහෝ අය බුදු දහම දැන වැළඳ ගත් බවට සැක නැත.

වංශකතාව සඳහන් කරන අන්දමට ලංකාවේ ආරම්භක රජතුමා විජය කුමාරයා ඇතුළු පිරිස ජීවත් වූයේ ඉන්දියාවේ වයඹ දිග කොටසේ ය. විජය කුමාරයා ඇතුළු හත්සියයක් පිරිස නැව් නංවා රටින් පිටුවහල් කරන ලද්දේ සම්බුදු රදුන් පිරිනිවන් පෑමට සූදානම් වන දිනයේ ය. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර දිවැස් යොමු කොට ලොව බලත් දී විජය කුමාරයා ප්‍රධාන පිරිස දැක ඔවුන් ලංකාවට පැමිණි පසු ආරක්ෂාව සලසන ලෙස සක්දෙව් රදුන්ට නියම කළ බව මහාවංශය සඳහන් කරයි. එම නියමය පිළිගත් සක් දෙවිඳුන් විසින් මෙහෙය වන ලද උපුල්වන් දෙවියන් තවුස් වේසයෙන් ගසක් මුල සිට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ආරක්ෂාව සැලසූ බව තවදුරටත් වංශකතාව සඳහන් කරයි. එම පිරිස බුදු දහම ගැන සෑහෙන අවබෝධයකින් සිටිය බව ආරක්ෂාව සඳහා පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීමෙන් පැහැදිලි වෙයි.

විජය රජතුමාගෙන් පසු රජ බවට පත් පණ්ඩුවාසදේව කුමාරයා අග බිසව බවට පත්කර ගන්නා ලද්දේ ඉන්දියාවේ සිට ගෙන්වා ගන්නා ලද භද්දකච්චානා කුමරිය යි. එතුමිය බුදුරදුන්ගේ පියාණන් වූ සුද්දෝධන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ දියණිය යි. ඇය කහවත් ඇඳ පැවිදි වෙසින් ලංකාවට පැමිණීමත්, බුදුරදුන්ට ළඟම ඤාතිත්වයක් තිබීමත් පිළිබඳව සිතන විට නිශ්චිතවම ඇය බෞද්ධ කාන්තාවක් බව පැහැදිලි වෙයි. ටික කලෙකින් භද්දකච්චානා කුමරියගේ සොහොයුරෝ හය දෙනෙක් ද ලංකාවට පැමිණ අනුරාධපුරය, කතරගම, රෝහණය, දිගාමඩුල්ල ආදී ස්ථානවල ගම් ඉදිකොට වාසය කළහ. කතරගම හාත්පස ප්‍රදේශවල ක්ෂත්‍රිය වංශිකයන් වාසය කළ බව බෝවත්තේගල සෙල්ලිපියෙහි ද, ධාතු වංශය ආදී ග්‍රන්ථයන්හි ද, සඳහන් වෙයි. මේ පිළිබඳව ලංකා ඉතිහාසය නමැති ග්‍රන්ථයට අගනා ලිපියක් සපයා ඇති මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කොට ඇත. ,ලක්දිව පදිංචියට පැමිණි මුල් පිරිසට පසුව මෙහි පදිංචියට පැමිණි සමහරු ශාක්‍ය වංශිකයෝ වූහ. බුදුරජාණන් වහන්සේ ද ශාක්‍ය වංශිකයෙකි. මේ කරුණු සැබෑ නම් ශාක්‍යයන් තමන්ගේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාගේ නමත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් දැන සිටින්නට ඇත., මේ අනුව මිහිඳු මාහිමියන් ලංකාවට වඩින විට බුදුරදුන්ගේ ලංකාගමනයේ සිට ඉහත දැක් වූ අවස්ථාවන්හි බුදුදහම වැළඳගෙන සිටි අයගේ පරම්පරාවන්ගෙන් පැවත එන අය විශාල වශයෙන් මෙරට ජීවත් වූ බව පෙනේ. මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව වඩාත් පහසුවීමට එම පිරිස ද හේතු වූයේ යැයි සාධාරණ ය.
මිහිඳු මාහිමියන් වැඩම වූ දිනයේ මිහින්තලයේ දී දෙසූ ධර්මය අසා රජතුමා ප්‍රධාන පිරිස බුදු දහම වැළඳගත්හ. එයින් ටික කලකට පසු අරිට්ඨ මහා ඇමතිවරයා ඇතුළු උසස් පන්තියේ පිරිසත්, සංඝමිත්තාගමනයෙන් පසු අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ ද පැවිද්ද ලබා ගත්හ. මේ අන්දමට රජ පවුල ප්‍රධාන උසස් පන්තියේ අය බුදු දහම වැළඳ ගැනීම නිසා සාමාන්‍ය ජනතාව ද එය අනුගමනය කරන්නට පටන් ගත්හ. ලංකාව තුළ බුදු දහම ඉතා ඉක්මනින් පැතිර යාමට මෙය ද ප්‍රබල හේතුවකි.

ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට විසූ සමහර අය චිත්තරාජ, කාළවේල, වළවාමුඛී ආදී යක්ෂයන් ඇදහූහ. එපමණක් නොව ව්‍යාධදේව, කම්මාරදේව ආදී දෙවිවරුන් උදෙසා ද පුද පූජා පැවැත්වූහ. මිහිඳු මාහිමියන් අනුරාධපුරයට වැඩම වූ මුල් අවස්ථාවේ ම රජතුමා ප්‍රධාන ජනතාවට දේශනා කළ ධර්ම අතර විමාන වත්ථු හා පේත වත්ථු ඇතුළත් විය. දෙවියන් හා යක්ෂයන් අදහමින් සිටි ජනතාවට ඒ හා සමානකමක් පෙන්නුම් කරන ඉහත කී ධර්මය ගැටුමකින් තොරව පිළිගැනීමට පුළුවන්කම ලැබුණි. එපමණක් නොව තල් ගස් හා නුග ගස් ඇතුළු වෘක්ෂයන් වන්දනා කරමින් සිටි ලංකාවාසී ජනතාවට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවාගෙන අවුත් මහමෙවුනා උයනේ රෝපණය කොට වැඳුම් පිදුම් කිරීමට පියවර ගැනීමත්, වැදගත් ය. සැකෙවින් ගත් විට පෙනී යන්නේ ඉපැරැණි ආගමික විශ්වාසයන් සමග නොගැටී අර්ථවත් වූත්, ප්‍රඥාගෝචර වූත් බෞද්ධ වෘක්ෂ වන්දනා ක්‍රමයන් බුදු දහම මගින් ඉදිරිපත් කිරීම නිසා මිහිඳු මාහිමියන්ගේ බලාපොරොත්තු වඩාත් ප්‍රතිඵලදායක කර ගැනීමට පහසු වූ බවයි.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ 
කොළඹ නව කෝරළයේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
දිවියාගහ යසස්සි නාහිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි.

දියණිවරුන්ගේ සැබෑ කතාව



සද්පුරුෂ ලෝකයෙහි සෑම ගුණබර අම්මා කෙනෙකුගේ ම පිය කෙනෙකුගේ ම සිත්වල සකස්වන දරු සෙනෙහස බොහෝම ය. එම දාරක ප්‍රේමය මතුවන තැන තමන්ට ලැබෙන්න සිටින්නේ හෝ ලැබුණේ දියණියක් ද පුතණුවෙක් ද යන අදහසට වඩා මට දරුවෙක් බිහිවුණා යන අදහස පෘතග්ජන ලෝකයේ සද්පුරුෂ මවුපියන්ගේ සිත්වලට සොම්නසක් ගෙන එන බව ඉතා ම පැහැදිලියි.

එසේ වුව ද යම් අයෙක් දියණියකගේ ලැබීම සිත සතුටු නොවීමට කාරණයක් කරගත්තේ නම් එය ගුණවන්ත අම්මා කෙනෙකුගේ, සද්පුරුෂ පිය කෙනෙකුගේ හදවතේ ඇතිවන දාරක සෙනෙහසට බාධාවක් විය හැකි ය.
බුදු උතුමෙක් මේ ලෝකයට පහළ වූයේ අම්මා කෙනෙක් නිසා ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසා ම ය. රටක් රාජ්‍යයක් පාලනය කරන විශාල ජන පිරිසකට නායකත්වයක් දෙන ධර්මානුකූල රජ කෙනෙකුට පවා මඟ පෙන්වන්නේ අම්මා කෙනෙක් ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසයි. මේ ලෝකයේ ආරම්භයේ පටන් ම අම්මාවරුන්ගේ කාර්යභාරය බුදු, පසේ බුදු මහ රහත් උතුමෝ, සක්විති හා මහරහත් සද්පුරුෂ උතුමෝ ලෝකයට දායාද කරමින් ලොව සද්පුරුෂ කළ ආකාරය මවුවරුන්ගේ කතාවෙන් තේරුම් ගත හැකියි.

මවුවරුන්ගේ කතාවේ පිටුපස සිටින්නේ දියණිවරුන්මයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවෙන් දියණිවරුන්ගේ සැබෑ කතාව අපි මතු කොට දකිමු.දිනක් පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැද නමස්කාර කොට එකත් පසව හිඳගත්තේ ය. මෙසේ ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ සමඟ දැහැමි කතාවක යෙදී සිටින අතර, එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසොල් රජු වෙත එළඹුණේ ය. එසේ එළැඹ පසේ නදී කොසොල් රජතුමාට දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දුවක වැදුවා යැයි කනට කර සැල කළහ. එසේ කී මොහොතේ පසේ නදී කොසොල් රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් බවට පත්වුණි. මුහුණේ මෙතෙක් තිබූ ප්‍රසාද පෙනුම බැහැර විය. ශෝකාකූල පෙනුමෙන් යුතු වූවේ ය.
මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාගේ නොසතුටු සිත් දැන මේ ගාථා රත්නය දේශනා කළ සේක.

“ඉත්ථි පිහි ඒකච්ඡියා
සෙයයා පෝස ජනාධිප
මෙධාවිනී සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යො ජායතී පෝසෝ
සුරො හෝති දිසම්පති
තාදිසා සුභගියා පුත්තො
රජ්ජම්පි අනුසාසතී ති

රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ශ්‍රේෂ්ටයි. එහෙයින් ඒ දියණිය පෝෂණය කරන්න. නුවණ ඇති, සිල්වත්, තම මවුපියන්ට පමණක් නෙමෙයි, නැන්ද මාමා පවා දෙවියන් කොට සලකා වෙසෙන, ස්වාමියාට ගෞරවයෙන්, පතිව්‍රතාව රකින යම් ස්ත්‍රියක් වේ ද? ඒ ස්ත්‍රී ඉතා ම උතුම් ය. දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙම දක්ෂයෙක් වේ. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනය ද කෙරේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දියණියක් ලැබීම නිසා අසතුටට පත් වූ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් කරුණු පෙළ අප විසින් ද ධර්ම විවරණයකට සකසා ගත යුතුම ය.

බුදුරජාණන් වහන්සේ දවස කාන්තාවන්ට පැවතුණේ ඉතාම අඩු සැලකීමකි. බ්‍රාහ්මණ සමාජයතුළ කාන්තාවන් සලකනු ලැබූයේ දරුවන් ලබාදෙන්නටත්, මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමටත් යොදා ගන්නා වූ යන්ත්‍රයක් හැටියටය. ඔවුන් සඳහන් කළේ, තවුසන් විසින් හෝ ඉසිවරු විසින් ලැබිය හැකි යම් නුවණක් වේ ද? ඇඟිලි දෙකේ නුවණක් ඇති කාන්තාවන්ට එය ලැබිය නොහැකි බවයි.

“යං තං ඉසීහි පත්තබ්බං
ඨානං දුරභි සම්භවං
නතං ද්වංගුල පඤ්ඤාය
න සක්කා පප්පෝති ඉත්ථියා" 
යනුවෙනි.

මෙවැනි අදහස් පෙළකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජය සකස් වූ අතර බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් පෙළ දියණියකගේ, බිරිඳකගේ, අම්මා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය, පුරුෂ නායකත්වයක් ඇති සමාජයට මැනවින් පෙන්වා දුන්හ.

බුදු දහම තුළ කාන්තාවන්ට ලබා දෙන්නේ විශේෂ ස්ථානයකි. මුල් අවස්ථාවේ දී භික්ෂුණී ශාසනය පිහිටුවන්නට සූදානම්වන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් එය තුන්වෙනි අවස්ථාව දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ශාසනික වශයෙන් අනාගතය දෙස බැලීමෙනුයි. ඒ වගේ ම අනිටු විපාක දැක ගැනීම නිසා ය.

එනම් හුදකලා ජීවිත පවත්වන, නිදහස් ජීවිතවලට අවසර ඇති. මේ ශාසනයෙහි විවිධ පුද්ගලයන් ශාසනයට ඇතුඵවීමෙන් මේ ශාසනය කිළිටිවීමට ඇති අවස්ථා බොහෝයි. ඒ අතරට පාලනයකින්, සංයමයකින් තොරව කාන්තා පිරිස් ද ඇතුළුවීමෙන් නිදහස් ජීවිත හුදකලාව ගත කරන පිරිසකට වැරැදි ලෙස ද පාවිච්චි කළ හැකියි. යොදාගත හැකියි. මේ කරුණෙහි සලකා භික්ෂුණී ශාසනය ආරම්භයේ දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේ දීම අකැමැති වන්නට ඇතැයි, සිතිය හැකියි.

එහෙත් සංයමය, දමනය පිණිස විනය ශික්ෂණයකින් යුක්තව භික්ෂුණී ශාසනය ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වගේ ම භික්ෂූණීන්ටත් එකහා සමානව ම ගෞරවය, ආරක්ෂාව, තනතුරු ලබා දුන් බව ඉතාම පැහැදිලි ය.සැරියුත්, මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කළ සේ ම ඛේමා, උප්පලවන්නා තෙරණියන් අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළ සේක. භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිදි අග තනතුරු ලබාදුන්නා සේ ම භික්ෂුණීන් වහන්සේලාටත් සුදුසු පරිදි අග තනතුරු ලබා දුන් සේක.

තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පිරිණිවන් පෑම පිණිස අවසර ඉල්ලා පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට දැක් වූ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කාන්තා සමාජය කෙරෙහි දක්වන ලද සැලකිල්ල සිතා ගත හැකියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ අභියස ගෞරව කොට සැවැත් නුවර ජේතවනාරාමයෙන් බැහැරට වඩිනා මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ නම් වූ තම සුළුමෑණියන් පිටු පස, වචනයෙන් හැඳින්වූ ලෙස බුද්ධ මාතාවන් පිටුපස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පිටුපස වැඩම කළානම්, ඒ බුද්ධ මාතාවන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිටුපස ය. ඉන් අදහස් කළේ එතුමියට බැහැරට වඩින්නට හැර උන්වහන්සේ ද ජේතවනාරාමයෙන් පිටවන ගේට්ටුව දක්වා ම වැඩම කොට එතුමිය වෙත කළ ගෞරවයයි.

මේ අදහස් පෙළ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දුන් අවස්ථාව වර්තමාන පරිසරයට ද, පවුල් ජීවිතවලට ද ගළපා බලමු.
“ඉත්ථි පිහි ඒකච්ඡියා....... ගාථා රත්නයෙහි අදහස සිහිපත් කරන්නේ නම්, රජතුමනි, යම් දියණියක් නුවණැති නම්, සිල්වත් නම්, තම මවුපියන්ට සේ ම නැන්ද මාමාට දෙවිකොට සලකන්නේ නම්, ස්වාමියාට ගුණබර ස්වාමි දියණියක් ව පතිව්‍රතා දහම රැකගෙන කටයුතු කරන්නේ නම්, ඒ ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි යනුවෙනුයි. ඒ වගේ ම ස්ත්‍රිය බිහිකරන දරුවෙක් දක්ෂ ලෙස හදන්න, වඩන්න එබඳු දියණියක්, අම්මා කෙනෙක් සුදුසුවන්නේ ම ය යන අදහසයි.
බුදු දහම තුළ සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ දී එනම් නිවන් අවබෝධයේ දී ස්ත්‍රී පුරුෂ භේදයක් නොදැක්වෙයි.

“ඉත්ථිභාවො කිං කයිරා
චිත්තම්හි සුසමාහි තො”

සිත සමාධිගත වෙන්නේ නම් ස්ත්‍රී භාවය කිසිදු ආකාරයකින් පීඩාවක් නොවන බව ධර්ම කතාවේ පෙන්වා දෙයි. සිත සමාධි ගත කිරීම හෝ නොකිරීම සකස් වෙන්නේ ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක්වීම අනුව නොවේ. පාරමී ධර්ම සම්පූර්ණවීමෙන්, ඒ වගේ ම සම්මා දිට්ඨියෙන් පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට ලෝකෝත්තර දහමට නතුකොට අනුගමනය කිරීමෙන් ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුරුෂ පක්ෂය මෙන් ම ස්ත්‍රී පක්ෂයත් මේ චිත්ත සමාධිය දියුණු කොට පරමාර්ථ ධර්ම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන ලැබූ බව නිවනෙන් සැනසුණු බව දහම් කතාවෙ ඉතාම පැහැදිලි ය.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

බුදුසරණ පත්‍ර‍යෙන් උපුටා ගැනීමකි.

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහොය



අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෙස්සන්තර ආත්මභාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් දෙව්රජ ව උපන් සේක. උන්වහන්සේ මිනිස් ලොව ඉපිද, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය එළඹ ඇති බව දුටු දෙව් බඹහු මෙසේ බෝසතුන්ට ආයාචනා කළහ.

‘කාලෝ යං තේ මහාවීර,
උප්පජ්ජමාතු කුච්ඡියං
සදේවකං තාරයන්තෝ
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයාණන් වහන්ස, දෙවියන් සහිත මිනිසුන් ඇතැම් සත්ත්වයන් සසර දුකින් එතෙර කරවීම පිණිස මිනිස් මව්කුසක ඉපිද අමෘත වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට දැන් ඔබවහන්සේට කාලය පැමිණ තිබේ.

මෙම ආරාධනාව පිළිගත් අප බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව කාලය, දේශය, ද්වීපය, කුලය හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇද්දැයි දිවැස් යොමා බැලූ සේක. ඒ අනුව පරමායුෂ අවුරුදු සියයක් වූ මිනිස් ලොව උසස් වූ ජම්බුද්ධීපයේ බුද්ධිමතුන් සහිත මධ්‍ය දේශයේ, ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට අධිෂ්ඨාන කළ සේක. ඇසළ මාසයේ දිනක අපමහ බෝසතාණන් මහාමයා දේවියගේ කුස පිළිසිඳ ගත් අතර, ඉන්පසු එළඹි වෙසක් පොහෝ දින සිය මව්පියන් දකින්නට ඇය දෙව්දහනුවරට යන ගමනේ ලුම්බිනි උයනට ළඟා වීමත් සමඟ ම ප්‍රසව වේදනාව දැනෙන්නට විය. මද වේලාවකින් අප මහා බෝසතාණන් මව්කුසින් බිහි වූහ.


මව්කුසින් බිහිවූ බෝසතාණන් බඹුන් සිව් දෙනෙකු විසින් රන් දෑලකින්ද, ඔවුන් අතින් සතර වරම් දෙවිවරු ද, ඉන් පසු ඇමැතිවරුන් විසින් ද පිළිගන්නා ලද අතර, උන්වහන්සේ බිමට පය තැබූ විගස නෙළුම් මල් පැන නැගී ඒ මත වැඩ සිට මෙසේ වදාළ සේක. ‘මම ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීම යි. මෙයින් පසු මට නැවත උප්පත්තියක් නැත.’

ඉන් අනතුරුව සොළොස් වියට පත් අප මහා බෝසතාණෝ යශෝධරා දේවිය සරණ පාවා ගෙන රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුනෙහි කාලය ගෙවමින් සිටින කාලයේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කොට තවුස් පැවිද්දෙන් පැවිදි වූහ.

මෙසේ ගිහි ගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව වසර හයක් ගත වූ තැන එළඹි වෙසක් මස පුර තුදුස්වක් දින රාත්‍රී සිහින පහක් දුටු අතර, තමන් සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ඒකාන්ත යැයි පසක් කරගත් උන්වහන්සේ අජපාල නුගරුක වෙත වැඩිසේක. එතැන දී සුජාතාවගේ කිරිපිඬු දානය ද පිළිගෙන නේරංජනා තීරයට වැඩමකොට පාත්‍රය උඩ ගං බලා යන බව දැක සතුටු වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කර අපරාජිත පර්යංකයෙන් වැඩසිටි සේක. මෙසේ වැඩසිටින බෝසතුන් බිය ගැන්වීමට වසවර්තී මාරයා කො පමණ උත්සාහ කළද, මාරයා තැති ගන්වා මාර සෙනඟ පලවා හැර අවසානයේ දී උන්වහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගත් සේක. ඉන් අනතුරුව දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විසුද්ධිය හා ඤාණ දස්සන විසුද්ධිය ඇතිකර ගත් උන්වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මෙලෙස අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කලියුග වර්ෂයෙන් 2513 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොදා ය. මෙසේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් උන්වහන්සේ තම සිත තුළ උපන් පී‍්‍රතිය උදාවන වාක්‍යයකින් මෙලෙස වදාළ සේක.


“අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරගවේසන්තෝ - දුක්ඛාජාති පුනපුනං
ගහකාරක දිට්ඨෝසි - පුනගේහං නකාහසි,
සබ්බාතේ පා සුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣගා”

නැවත නැවත ඉපදීම දුකයි, ඒ නිසා ආත්මභාව නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයමින් නොයෙක් උප්පත්ති ඇති සසරේදී ම ඇවිද්දෙමි. තණ්හාව නමැති වඩුවා, දැන් මම නුඹව දැක්කෙමි. මින් පසු නුඹ කවදාවත් මෙම ගෙය හදන්නේ නැත. නුඹේ සියලු කෙලෙස් නමැති පරාල මම කඩා දැමුවෙමි. අවිද්‍යාව නමැති කැණිමඩල පලා දැම්මෙමි. සිත නිවනට ගියේ ය. තෘෂ්ණාව ක්ෂය කළෙමි.

මෙලෙස සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස දහම් දෙසමින් වැඩ සිටිසේක. අසූ වයසට එළඹෙමින් සිටි සේක. එවිට මාරයා උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ආරාධනා කළේ ය. එම ආරාධනාව පිළිගත් උන්වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූඨාගාර ශාලාවට සියලු භික්ෂූන් රැස් කරවා අවසානයේ දී මෙසේ වදාළ සේක.


“හන්දානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ, න චිතං තථාගතස්ස පරිනිබ්බාණං, භවිස්සති, ඉතො තිණ්ණං මාභනමච්යේන තථාගතෝ පරිනිබ්බායිස්සරි.”

මහණෙනි, මම දැන් ඔබලාව කාරුණිකව අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය. අප්‍රමාදීව කටයුතු කරමි. ළඟදීම තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගත වූ තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ ය.

තුන් මසක් ඇවෑවෙන් වෙසක් පුර පසළොස්වක දින උදා විය. බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් සමගම කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනට වැඩම කොට එහි පනවන ලද අසුනක සිංහ සෙය්‍යාවෙන් සැතපුණ සේක. එසේ සැතපී උන්වහන්සේ ආනන්ද තෙරුන්ට ඉතා වටිනා අවවාද රැසක් ම ලබා දුන් සේක. ආමිස පුජාවෙන් තථාගතයාණන් පුදනවාට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උතුම් බව උන්වහන්සේ වදාළ සේක. තවද,
“ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු දැක සංවේගය ඇති කර ගත යුතු ස්ථාන සතර, බෝසතුන් උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත් වූ තැන හා පිරිනිවන් පාන තැන යැයි උන්වහන්සේ වදාළ සේක.

මෙසේ භික්ෂූන්ට අවවාද ලබා දුන් බුදුරජාණන් වහන්සේ එදින රෑ පශ්චිම යාමයේ තමන් පිරිනිවන් පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙන මෙන් ආනන්ද තෙරුන්ට පවසා අවසන් බුද්ධ වචනය වූ ‘හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් වදාරා ප්‍රථමස්ථානයේ සිට නිරෝධ සමාපත්තිය දක්වා ද නිරෝධ සම්පත්තියේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා ද සමවැඳ එයින් නැගී සිට නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ කල්හි ශක්‍ර දේවේන්ද්‍ර ‘අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ, උප්පංජිත්වා නිරුජඣන්ති. තේසාං වූ පසමෝ සුඛෝ” යනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කළේය. එවිට බියකරු භූමි චලනයක් ඇතිවිය. අහස ගිඟුරුම් දුන්නේ ය.

අලුතෑපොල 
ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය, 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි

අසමසම බුදුරජාණන් වහන්සේ



බුදුරජාණන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරය. වැඩුනේ මනුෂ්‍යයන් අතරය. එසේ වුවද උන්වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙලෙස් කුණු තවරා නොගත් හ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයත්, සේතව්‍ය නුවරත් අතර මාර්ගයෙහි වැඩි සේක. එම මාර්ගයෙහි යමින් සිටි ද්‍රෝණ නැමැති බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක, “පුදුමයෙකි, ආශ්චර්යයෙකි, ඒකාන්තයෙන්ම මේ මිනිසෙකු ගේ පා සටහන් නොවනු ඇත. “යනුවෙන් සිතා බුදුරදුන් වැඩ සිටි දෙසට ගමන් කළේය. බුදුරදුන් ගසක් මුල වැඩ සිටිනු දැක උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
ඔබවහන්සේ දෙවියෙක් ද? බමුණ, මම දෙවියෙක් නොවෙමි, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද? බමුණ, මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබ වහන්සේ යක්ෂයෙක් ද? බමුණ, මම යක්ෂයෙක් නොවෙමි, ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? බමුණ, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

මේ ආකාරයට දෙවියෙක්, ගන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවේ නම් ඔබ වහන්සේ කවරෙක් ද? බමුණ ඔබ ඔය සඳහන් කළ අය ආශ්‍රවයන් ප්‍රහීණ කළ අය නොවෙති. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ අයෙක් වෙමි. මුදුන සිඳලූ තල් ගස් මෙන් නැවැත නූපදින තත්වයට මා පත්ව ඇත. නෙළුම් මලක් දියෙහි ඉපිද දියෙහි වැඩී දියෙන් මතු වී දියෙහි නොගැටී පවතින්නාක්මෙන් මමද ලෝකයෙහි ඉපිද, ලොව මිනිසුන් අතර හැදි වැඩී නමුත් ලෝකයා සමඟ නොගැටී නො ඇලී සිටිමි. මේ නිසාම මම බුදුවරයෙක් වෙමි, බමුණ, මා බුදුවරයෙකැයි සලකන්න. බුදුරජාණන් වහන්සේත් ද්‍රෝණ බමුණාත් අතර පැවැති මේ සාකච්ඡාව තුළින් කෙලෙස් සහිත සාමාන්‍ය මිනිසුන් ගණයට බුදුරදුහු අයත් නොවන බවත් මනුෂ්‍යයෙක් වුව ද කෙලෙස් රහිත බැවින් බුදුරදුහු උත්තරීතර මනුෂ්‍යයෙකු ලෙස දක්වා ඇති බවත් පැහැදිලි වේ.
නෙලුම් මල බුදුන් වදාළ ලොවුතුරු දහම සංකේතවත් කරයි. දියෙහි මෙන්ම මඩෙහිද නොතැවරී සිටීමේ හැකියාව නෙලුම් මලට ඇත. සිත අලවන, සිත කිලිටිකරන අරමුණුවල නො ඇලීම විමුක්ත සිතෙහි ලක්ෂණයයි.
බුදුදහම අන්ධ විශ්වාසයන්ගෙන් තොර ය. බෞද්ධයා කිසියම් පුද්ගලයෙකුට හෝ ග්‍රන්ථයකට වහලකු වන්නේ නැත. බෞද්ධයා යනු සිතීමේ නිදසම ඇත්තෙකි. බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වන්නේ නිවැරදි චින්තනය තුළිනි. තමන්ට ඇති පිහිට තමාමය යනුවෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව බුදුදහම අපට පෙන්වා දෙයි. ධර්මයට අනුව බුදුරදුහු බෞද්ධයන්ට පමණක් උරුම වූ අයෙකු නොවන අතර වර්තමාන ලෝකයා වඩ වඩාත් බුදුරදුන් වෙත ලංවන අයුරු අද අපට දැකගන්නට පුළුවන.

බුදුරදුහු මගධ රට චාරිකාවෙහි වඩින අවස්ථාවක රාත්‍රියෙහි කුඹල්හලක නවාතැන් ගත්හ. තමන් වහන්සේට කලින් එහි පැමිණි පැවිද්දෙක් ද එහි නවාතැන්ගෙන තිබිණි. දෙදෙනාම ඔවුනොවුන් නො හඳුනති. මේ පැවිද්දාගේ ඉරියව්,ඇවැතුම්, පැවැතුම් සංවරය, මේ නිසා ම බුදුරදුහු ඔබ පැවිදි වුයේ ඇයි? ඔබගේ ශාස්තෘවරයා, කවරෙක්දැයි විචාළහ.
“ඇවැත්නි” ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ යහ. උන්වහන්සේ සංසාර විමුක්තිය වෙනුවෙන් ධර්මය දේශනා කරන බව මම අසා ඇත්තෙමි. උන්වහන්සේ වෙනුවෙන් මම පැවිදි වුයෙමි. බුදුරදුහු “භික්ෂුව, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද? “ ඇවැත්නි, උන්වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටිති.” “භික්ෂුව ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තිබේද?
ඇවැත්නි, මා කිසිදිනෙක දැක නැත. දැක්කත් නො හදුනමි. මේ නොහදුනන තරුණයා පැවිදි වී ඇත්තේ තමන් උදෙසා ය. එසේ වුවද තමන් කවරෙක්දැයි නොකියා බුදුරදුහු ඔහුට ධර්මය දේශනා කළහ. මේ ධර්මය අසා අවසන් වන විට මා සමඟ මේ කතාකළේ මා සොයාගෙන යන ඒ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ බව මේ තරුණ පැවිද්දාට අවබෝධ විය.
 වහා නැගිට බුදුරදුන් පාමුල වැඳ වැටී නොදැනුවත්කමින් ඇවැත්නි කියා ඇමතීම ගැන සමාව ඉල්ලීය. තමාට මේ දේශනාව කරන ලද්දේ කවරෙක් දැයි මුලින් නොදැන සිටියත් මේ තරුණ භික්ෂුව සත්‍ය දුටුවේය. මෙම සිද්ධිය අපට කියාදෙන එක් පණිවිඩයක් නම් භක්තිය, අන්ධ විශ්වාසය නොව සත්‍ය දැකීමම බුදුදහමෙහි මුලික පදනම වන බවයි. මෙහි දී බුදුරදුන් කුඹල්හලෙහි වැඩ සිටි ආකාරයත්, මුලින් තමා කවරෙක්දැයි හඳුන්වා නොදීමත් තමන් වහන්සේගේ වැදගත්කම, ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් නොකිරීමත් තම දේශිත ධර්මය තුළින් තමා කවරෙක්දැයි අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදාකර ලීමත් බුද්ධ චරිතය තුළින් අප දකින සුවිශේෂී ගුණාංග කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය.
එක් දවසක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරන බුදුරදුහු ගසක් මුල වැඩ සිටින්නට සුදානම් වූහ. මහා කාශ්‍යප හිමියෝ තම සඟල සිවුර හතරට නමා ඒ මත වැඩ සිටින ලෙස බුදුරදුනට ආරාධනා කළහ. ඒ මත වැඩ සිටි බුදුරදුහු ඒ සිවුර පිරිමදිමින් කාශ්‍යප. ඔබේ මේ සඟල සිවුර ඉතා මෘදු මෙළොක්යැයි වදාළහ. මෙයට කන්දුන් මහා කාශ්‍යප හිමි ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්නා සේක්වා යි අයැද සිටියහ. කාශ්‍යප මා පොරවා පරණ වි ඇති හණවූලෙන් කර ඇති මගේ මේ පාංශුකූල චීවරය පොරවා ගැනීමට ඔබ කැමැතිද? එහෙමයි බුදුහාමුදුරුවනේ යනුවෙන් කාශ්‍යප හිමි පිළිතුරු දුනි. මේ අයුරින් කාශ්‍යප හිමියන් පෙර වූ මෘදු මොළොක් සඟළ සිවුර බුදුරදුන්ට දී බුදුරදුන් පෙර වූ හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හිමියෝ පොරවාගත්හ.

මිත්‍රශීලි දැක්ම, සුහදබව, ලෙන්ගතුකම, චාම් සරල පැවැත්ම ප්‍රකට කරන මෙම චීවර හුවමාරුව අපට මොනතරම් වටිනා පණිවිඩයක් ලබා දෙනවාද?
සාමාන්‍ය මිනිසෙකුට මෙන් බුදුරජාණන් වහන්සේට ද විවිධ ශාරීරික රෝගාබාධ ඇතිවිය. උපවාන හිමියන් උපස්ථායකයෙකු ලෙස කටයුතු කරද්දි බුදුරදුන්ට වාතාබාධයක් ඇතිවු බව සංයුක්ත නිකායේ දේවහිත සූත්‍රයෙහි සඳහන් ය. එහිදී බුදුරදුහු උපවාන හිමි අමතා උපවාන, මට උණුූදිය ටිකක් ලැබෙන්න සලස්වන්න, එහෙමයි, බුදුහාමුදුරුවනේ යනුවෙන් පිළිතුරු දුන් උපවාන හිමි දේවහිත බමුණාගේ නිවස වෙත ගොස් නිහඬව සිටියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේට අවශ්‍ය කුමක් ද? දේවහිත බමුණා ඇසී ය. බමුණා බුදුරදුන්ට වාතා බාධයක් සෑදී ඇත. උන්වහන්සේට උණුදිය අවශ්‍යව ඇත. එය ලැබෙන්න ක්‍රමයක් සලස්වන්න. දේවහිත බමුණා උණුදිය පිළියෙල කරවා හකුරු සමඟ උපවාන හිමියන්ට පිළිගැන්වීය. උපවාන හිමි බුදුරදුන් උණුදියෙන් නහවා උණුවතුරෙන් හකුරුද දියකර බුදුරදුන්ට පූජා කළේ ය.

බේලුව ගමෙහි දි ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවුවද එය සුවපත්ව තිබී දස මසක් ඇවෑමෙන් එය නැවැතත් මතු විය. සමාපත්ති බලයෙන් සිය රෝගය මැඩ පැවැත්විය හැකි වුව ද බුද්ධ ශරීරය පවා සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් රෝග පීඩාවන්ට ගොදුරු වන ආකාරය තම බුද්ධ ශරීරයම ආදර්ශයක් කර ගනිමින් ලෝවැසියාට පෙන්වා දුන්හ. එක්තරා අවස්ථාවක බුදුරදුන්ට මහත් පිපාසයක් දැනී. ආනන්ද මට හොඳටම පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙනත් දෙන්න. මෙසේ තුන් විටක් ම ප්‍රකාශ කරමින් පිපාසය සංසිඳවා ගැනීමේ බලවත් ඕනෑකම පෙන්නුම් කිරීම සාමාන්‍ය මිනිස් සිරුරක ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමකි.

එදා පරිනිර්වාණයට ආසන්නව සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වට කරගෙන
පරිසක්කෝ වයෝ මය්හං – පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි – කතං වෝ සරණමත්තනා

මහණෙනි, මම දැන් මහලුයි. තව ටික වේලාවයි ජීවත්වන්නෙ, ඔබ හැම දෙනාම දාලා මම යනවා, ඔබ වෙනුවෙන් කළ යුතු සියල්ල මා ඉටුකරලයි තියෙන්නෙ.

මේ ප්‍රකාශය දෙස බලන්න. මැරෙන්න ආසන්න පියෙකු තම දරුවන් වට කරගෙන කරන ප්‍රකාශනයක් බඳුයි. වයසට ගිය අයෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන “ආනන්ද දැන් මම ජරාවට, වයසට ගිහිල්ල ඉන්නෙ, දැන් මහලුයි වයස්ගතයි, හරියට දිරාගිය කරත්තයක් වගෙයි” දිරාගිය කරත්තයක් උපමා කර ගනිමින් වයසට ගිය මිනිසෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන මෙම ප්‍රකාශනය සාමාන්‍ය මිනිස් ජීවිතය යථාර්ථවත් ව විදහා දැක්වීමක් ලෙස සඳහන් කළ හැකිය.
මේ සඳහන් කළ කරුණු කිහිපය අනුව බුදුරජාණන් වහන්සේ යනු දෙවියෙකු හෝ මැවුම් කරුවෙකු හෝ ගැලවුම් කරුවෙකු හෝ නොව මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතර මනුෂ්‍යයකු ලෙස සඳහන් කළ හැකිය. මනුෂ්‍යයෙකු වී උප්පත්තිය ලැබු නිසාම උතුම් බුද්ධත්වය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවිය.