මිහිඳු මාහිමියන්ගේ සදහම් සන්නිවේදනය



ලොව්තුරු තථාගත බුදුපියාණන් වහන්සේගේ සදහම් පණිවුඩය රැගත් අනුබුදු මිහිඳු මා හිමියන් ඇතුළු ධර්ම දූත කණ්ඩායම සිරිලකට වැඩම කළ ඒ අසිරිමත් දිනය අදයි. ඒ මීට වසර 2322 කට පෙරය. මිහිඳු මා හිමියන්ට එවක අපේ රටේ රජු වූ දේවානම්පියතිස්ස මහරජතුමා හමුවන්නේ මිස්සකපව්ව ආසනයේ දඩයම් කෙළියෙහි නිරතව සිටිය දීය. රජු මිහිඳු මාහිමියන් දැකීමෙන් විශ්මයට පත් වූ අතර තමන් කුවරුදැයි ඇසීමට පෙර මිහිඳු මාහිමියන් විසින් තමා කවුරුන් ද යන්න රජුට හඳුන්වා දීම තුළින් නිවැරදි ධර්ම සන්නිවේදන ලක්ෂණයක් පිළිඹිබු කරයි. එය රජුගේ ප්‍රසාදයට ද හේතු විය.

වරක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණීමට සූදානම් වූ සෝණදණ්ඩ බමුණා තම අතවැසියන් බුදුරජාණන් වහන්සේගේ අගුණ ප්‍රකාශ කළ අවස්ථාවේ එය ඉවතලමින් බුදුරජාණන් වහන්සේ සතු වූ ගුණයක් ප්‍රකාශ කරන්නට විය. ඒ ගුණයන් අතර නිවැරදි සන්නිවේදකයෙකු සතු ගුණාංග කිහිපයක් මෙසේ සඳහන් වෙයි.
සමණො බලු,හො, ගොතමො එහිස්වාගතවාදී සඛිලො සම්මොදකො අබ්භාකුට්කො උත්තානමුඛො පුබ්බභාසී
පුබ්බභාසී - පළමුව කතා කරයි.

ඒහිස්වාගතවාදී -ඔබගේ පැමිණීම හොඳයි ආදි වශයෙන් ආශිර්වාද කථා කිරීම.
සම්මෝදකෝ - මිහිරි මොලොක් සතුටු වචන කතා කිරීම.
අබ්භාකුටිකෝ - කතාකිරීමේ දී බැම නොහකුළුවා කතා කිරීම.
.උත්තානමුඛෝ - මුහුණ පහත්කොට කතා නොකිරීම.


මෙයින් පැවසෙන්නේ තමා වෙත පැමිණෙන සියලු දෙනා බුදුරජාණන් වහන්සේ පිළිගත් ආකාරයයි. මෙයින් ලබා දෙන්නේ අප කාටත් වටිනා දහම් පණිවුඩයකි. අප හමුවට පැමිණෙන කාට වුවද පළමුව කතා කළ යුත්තේ අපය. එවිට අප හමුවට එන ඒ පුද්ගලයාට යම් චකිතයක් ඇත්නම් එය පහව ගොස් යහපත් මානසිකත්වයක් ගොඩනැ‍ෙඟ්. 

එමෙන්ම ඒහිස්වාගතවාදයෙන් ඔහු ඇමතිය යුතුය. එනම් ඔබගේ පැමිණීම යහපත්ය. ඔබ සමඟ කතා කිරීම යහපත්ය ආදි වශයෙන් ඔහුට ආමන්ත්‍රණය කළ යුතුය. භාරතීය සංස්කෘතියෙහි තමා හමුවට පැමිණෙන ආගන්තුකයන් සලකා ඇත්තේ දෙවියන් ලෙසය. (අථති පන දෙවො) එමෙන්ම ඔහු සමඟ මිහිරි වචනයෙන්, ඔහු සතුටු වන අයුරින් කතා කළ යුතුය. ඔහු සමඟ කතා කිරීමේ දී පි‍්‍රය මනාප මුහුණින් කතා කළ යුතුය. බැම හැකිළවීම්, මුහුණින් අප්‍රසාදය පළ කිරීම් ආදිය නොකළ යුතුය. එමෙන්ම මුහුණ පහත් කොට හෝ වෙනතක් බලා කතා නොකළ යුතුය.

මිහිඳු මා හිමියන්ගේ කාර්යභාරය වූයේ සම්බුදුරදුන්ගේ ධර්මය ලක් වැසියන්ට දායාද කිරීමයි. එය රජුගෙන් ආරම්භ කිරීම සුදුසුම ක්‍රමවේදය විය. එබැවිනි උන්වහන්සේ රජතුමා සොයා අම්බස්ථලයට වැඩම කොට රජුට තමන් වහන්සේලා හඳුන්වා දෙමින් පැමිණි කාර්ය පවසා සිටියේ.

“සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජබ්බුදීපා ඉධාගතා”


මහරජතුමනි! අපි ධර්මරාජ වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

පළමුව තමන් වහන්සේලා කවුද යන්න හා පැමිණි අරමුණ රජුට පැවසීමෙන් අනතුරුව රජුගේ මානසිකත්වය සකස් කොට අවබෝධය පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රශ්න දෙකක් විමසා රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථීපදෝපම සූත්‍රය දේශනා කළහ.

මිහිඳු මා හිමියන් මෙම සූත්‍ර දේශනාව පළමුව දේශනා කිරීමට හේතු වූයේ සම්බුදු කෙනෙක් ලොව පහළ වීමේ සිට සදහම් දේශනා කිරීම ආදි වූ සම්බුදු කිස මෙන්ම එය අවබෝධ කර ගන්නා වූ ආර්ය ශ්‍රාවකයා පිළිවෙළින් නිවන කරා ගමන් කරන මාර්ගය පැහැදිලිව මෙහි ඇතුළත්ව තිබීමයි.
බමුණ මෙසේ බොහෝ කාලයක් අවෑමෙන් මේ ලෝකයේ තථාගත වූ අර්හත් වූ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙති. උන් වහන්සේ මුල මැද අග පිරිසුදු වූ ධර්මය දේශනා කරති. ඒ අසන යම් ගෘහපති පුත්‍රයෙක් වෙයි ද ඔහු තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනියි. එසේ ශ්‍රද්ධාව උපදවා ගත් ඔහු මෙසේ සිතයි. ‘ගිහිගෙය සම්බාධකය. කෙලෙස් උපදින ස්ථානයකි. පැවිද්ද හිස් අහස මෙනි. මේ දහම ගිහිගෙයි සිට හැදෑරීමට අපහසුය. එබැවින් බඹසර හැසිරිය යුතුය. එබැවින් මා කෙසේ රැවුල් බා කසටවත් හැඳ ගිහිගෙයින් නික්මී පැවිදි වන්නේ නම් මැනවි යනුවෙන් එම කුල පුත්‍රයා සිතා සසුනට ඇතුළත් වෙයි.

මෙසේ පැවිදි වෙන ඔහු ක්‍රමයෙන් චූලසීල, මජ්ඣිමසීල, මහාසීල ආදිය පූර්ණය කරමින් අරණ්‍ය සේනාසන, ශුන්‍යාගාර ආදියෙහි වාසය කැමති වෙමින්, සැහැල්ලු දිවි පැවැත්ම කෙරෙහි සතුටුවෙමින්, සිරුර පවත්වා ගැනීම සඳහා ආහාර සොයා ගැනීමට පාත්‍රය ද, විලිබිය, අව්වැසි, සීතල, මැසි, මදුරු උවදුරු වලින් ආරක්‍ෂාවීම හා කය වසා ගැනීමට චීවරය ද, දරමින් පාසිවුරු දෙක පමණක් පරිහරණය කරමින් පක්‍ෂියෙකු මෙන් නිදහස්ව ඒ ඒ තැන යමින් බණ භාවනාවේ යෙදෙමින්, පැවිදි දිවිය සරු කර ගනිමින් කිසිදු අයුරකින් පංච නීවරණාදි බන්ධනයන්ට හසු නොවෙමින්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් උතුම් වූ නිවන සාක්‍ෂාත් කරගන්නා අයුරු හා එහි පිළිවෙත මනාව මෙහි ඇතුළත් ව ඇත.

සම්බුදු දහම පිළිබඳ මෙන්ම භික්‍ෂු ජීවිතය පිළිබඳව ද අවබෝධයක් නොතිබුණු රජතුමා ඇතුළු පිරිසට ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීමට මෙම දම් දෙසුම සමත්ව ඇත. මෙසේ පළමු දම් දෙසුමෙන්ම ආර්ය ශ්‍රාවකයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට රජු ඇතුළු පිරිසට හැකියාව ලැබුණේ මිහිඳු මා හිමියන් ඉතා සැලසුම් සහගතව මෙම ධර්ම සන්නිවේදන කාර්යෙහි නියැළි නිසාය.

පසුව රජ මාලිගයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස දානය වැළඳීමෙන් අනතුරු එහි රැස් වූ සියලු දෙනාට ධර්මය දේශනා කළේ විමානවත්ථු හා පේත වත්ථු ආශ්‍රයෙනි. රජු හා සෙසු අය බුද්ධියෙන් එක හා සමාන නොවන නිසා ඒ අයට එකවරම ගැඹුරු දහම් කරුණු අවබෝධයට අපහසු නිසාත් යහපත් චර්යාවන්හි නිරතවෙමින් පිංදහම් කළ අය දෙව් ලොව ගිය අයුරු සඳහන් විමාන වත්ථුවත්, අයහපත් චර්යාවන්ගේ නිරත වූ අය අකුශල් රැස්කර ගනිමින් ප්‍රේතාදී ආපායන්හි ඉපිද දුක්විඳින අයුරු සඳහන් පේතවත්ථුවත් දේශනා කිරීම තුළින් ඒ අයගේ අවබෝධයට එය පහසු වූ අතර ධර්මය පිළිබඳ ගෞරවයක් මෙන්ම විශ්වාසයක් ද ගොඩ නැඟිණි. මෙම ධර්ම කතාවන් පොදු ජනයා අතර ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වන්නට විය. ඔවුහු දහම කෙරෙහි ඇදී එන්නට වූහ. චර්යාවන් ධර්මානුකූලව සකස් කර ගන්නට උත්සුක වූහ. මෙය පොදු ජනයාගේ ප්‍රායෝගික දහමක් බවට පත්විය.

මෙසේ මිහිඳු හිමියන් ධර්මය රජුට පමණක් සීමා නොකොට පොදු ජනයාට ද එහි කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ සැලැස්වීමෙන් හෙවත් බුදු දහම රජ දහම මෙන්ම පොදුජන දහම බවට ද පත් කිරීම තුළින් උන්වහන්සේ සතු වූ අසහාය සදහම් සන්නිවේදන කුසලතාව පිළිඹිබු වෙයි. බුදුදහම පොදුජන දහමක් බවට පත්වීමත් සමඟ එවකට ලක්දිව පැවති විවිධ ඇදහිලි හා ආගම් යටපත් වෙමින් ගම්දනව් සිසාරා බුදුදහම පැතිරෙන්නට විය. අපේ සාඩම්බර ප්‍රෞඩත්වය කියාපාන විශාල දාගැබ්, ශෛලමය ප්‍රතිමා, වැව් අමුණු නිර්මාණය වූයේ මිහිඳු මාහිමියන් අපට ලබා දුන් මේ උතුම් සදහම් පණිවුඩයේ ප්‍රතිඵලයන් ලෙසය. මෙම සදහම් සන්නිවේදනය නිසා ශ්‍රී ලාංකික ජන සමාජය ලෞකික ලෝකෝත්තර යන උභය අංශයෙන්ම දියුණු ජාතියක් බවට පත්විය.

මිහිඳු මා හිමියන්ගේ වැදගත්ම මෙහෙය වන්නේ සම්බුදු දහම චිර පැවැත්ම සඳහා අවශ්‍ය වූ පසුබිම නිර්මාණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යම පියවර ලෙස මෙවැනි දීර්ඝ කාලයක් නිර්මල සම්බුදු දහම නොවෙනස්ව පවත්වාගෙන ඒමට සමත් ශක්තිමත්, නොකැඩුණු - නොබිඳුණු භික්‍ෂු පිරිසක් නිර්මාණය කිරීමේ ගෞරවය ද හිමිවන්නේ අනුබුදු මිහිඳු මා හිමියන්ටය. දූරදර්ශි නුවණකින් කටයුතු කළ මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු කාර්යභාරය වූයේ රජුට දහම් අවබෝධ කරවීමෙන් අනතුරුව සම්බුදු සසුනෙහි චිරපැවැත්ම ඇති කරලීම සඳහා කටයුතු කිරීමයි. පැවිද්ද හා උපසම්පදාව පිළිබඳ අවබෝධයක් නොතිබුණු ලාංකිකයන්ට භණ්ඩුක උපාසක තුමාගේ පැවිදි කිරීමෙන් පැවිද්ද පිළිබඳ අවබෝධයත් සුමන සාමණේරයන්ගේ උපසම්පදාවෙන් උපසම්පදාව පිළිබඳ අවබෝධයත් ලබා දීමෙන් අනතුරුව පැවිද්ද කෙරෙහි කැමති වූ අරිට්ඨ කුමරු පැවිදි කළහ.

අරිට්ඨ කුමරුගේ පැවිද්දත් සමඟ විශාල පිරිසක් සසුන්ගත කොට ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් අනතුරුව එහි චිරස්ථායී භාවය තහවුරු කළ මිහිඳු මා හිමියන් තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් පරාර්ථකාමීත්වයේ ඉහළම ඉස්තරය සනිටුහන් කරමින් නැවත දඹදිවට වැඩම නොකොට දිවි ඇතිතෙක් ලක්දිවම වැඩවාසය කරමින් බහුජන සුවය පිණිසම කටයුතු කළහ.

අනුබුදු මිහිඳු මා හිමියන් අපට දායාද කළ මේ උතුම් සද්ධර්මය විවේකී මනසකින් යුතුව හදාරා එහි ඇති හරපද්ධතීන් අවබෝධ කොටගනිමින්, නිවැරදි ලෙස නිරවුල්ව එය සෙසු අයටද සන්නිවේදනය කරමින් බොහෝ දෙනාගේ යහපත පිණිස කටයුතු කිරීම. පරාර්ථචර්යාවෙහි නිරත වීම අප උන්වහන්සේට කරන උතුම්ම ගෞරවය වන්නේ ය. එය මේ උතුම් පොසොන් පොහොය අර්ථවත් ලෙස සැමරීම වන්නේ ය.

 මඩුගහවත්ත පුරාණ විහාරාධිපති
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහාවිහාර පාර්ශ්වීය විංශද්වර්ගික
කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික
ගෞරව ශාස්ත්‍රවේදී
දොරණෑගම රතනපාල නා හිමි
උපුටා ගැනීම බුදුසරණ පුවත් පත්ත්‍රයෙනි

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය

නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අයං ආසව නිරෝධ ගාමිණී
පටිපදාති යථාභූතං පජානාති.
ඉදමවුච්චති බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි.
තථාගත නිරාමිතං ඉතිපි, තථාගතාරජිතං ඉතිපි.

අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වගේම අති පාරිසුද්ධ දවසක්. ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවයකට පාත්‍ර වුනේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවා බුදුදහම හඳුන්වා දීම සිදු කරපු පින්බර දවස පොසොන් දවස නිසයි.
බුදුදහම මෙරට වැසියන්ට අදත් තිබෙන උත්තම සම්පතයි. අද වුවද සීල –භාවනා දන්සැල වැනි ආධ්‍යාත්මික සුවය ගෙනෙන මෙදින පොසොන් දවසේ සුව හදවතට දක්වන්නක්.

අපට කලාව, සාහිත්‍යය, කෘෂිකර්ම ,වැව් පොකුණු වැනි මේ සියලු දායාදයන් මෙන් අදීන, අතීත පෞරුෂයකින් හෙබි ජාතියක් රටක් ලෙස අදත් ලොවේ ගෞරවයට පාත්‍ර වන්නේ බුදුදහම නිසයි.

1.මහාදාවල “ජාණුස්සොණි” නම් වූ බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළෙදුන් යෙදූ රියකින් සැවැත්නුවර වටා ඇවිදිමින් සිටී. ඉර මුදුන් වු මහා දාවල ‘තිලෝතික “ නම් පරිබ්‍රාජකයෙක් “ජාණුස්සෝණි” බමුණාට හමුවුණි.
ඔබ මේ මහා දාවල කොහේ සිට එන්නේදැයි බමුණා පිලෝතිකගෙන් ඇසූවිට ඔහු කීවෙ ගෞතම බුදුරදුන් ළඟ සිට එන බවයි. 

කොහොමද,ගෞතමයන් වහන්සේ ඤාණවන්තද, වියත්ද, පණ්ඩිතද, උගත්ද යනුවෙන් බමුණා ඇසූවිට ඔහුට ලැබුණ පිළිතුරු වූයේ ගෞතම බුදුරදුන් ශ්‍රේෂ්ඨයන්ගෙනුත් ශ්‍රේෂ්ඨය. 

උන්වූහන්සේ හරියට හඳුන්වා දීමට මම අසමත්ය යන්නය. බුදුවරයෙක්ම තමයි උන්වහන්සේ හඳුන්වා දීමට සමත් වන්නේ යනුවෙන් කීය.
ඔයතරම් වර්ණනා කරන බුදුරදුන් ගැන පැහැදීමට හේතු දක්වන්න හැකිදැයි ඇසූ විට ඇතුන් ගැන සොයන අයෙක් දිගින් පළලින් මහත් වූ ඇතෙකුගේ පා සටහනක් දැක මහා ඇතෙකු බව හඳුනා ගන්නාක් මෙන් මටද බුදුරදුන්ගේ ඤාණවන්ත කරුණු හතරක් දැක බුදුරදුන්ද ධර්මයද, ශ්‍රාවක සංඝයාද අති උතුම් බව හඳුනා ගතිමි යි කීය.

පළමුවන කරුණ නම්, ක්‍ෂත්‍රියන් අතර සියුම් නුවණ ඇති විශාරද ඤාණයකින් පිරිපුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මහා බුද්ධිමතුන් බුදුරදුන් හා විවාද කිරීමට මුලින්ම කරුණු ගොනුකර සංවිධානය වී ආවද, ඔවුහු බුදුරදුන් හමුවී කරන පළමු සාකච්ඡාවේදීම දමනය වී පැහැදී බුද්ධාශ්‍රාවක යෝ වෙති. තමන් ආ විවාද අමතක කරති. විවාදයක් කිරීමට අසමත් වෙති.

දෙවෙනි කරුණ නම් විශාරද බමුණූ පණ්ඩිතයන්ද වාද විවාද කිරීමට පැමිණියද, අවූසානයේදි බමුණු උගූතුන්ද බුද්ධශ්‍රාවක වී තෙරුවන් සරණ ගිය උපාසකයෝ වෙති.

තුන්වැනි කරුණ නම් විවිධ සමාජයීය උගත්තුද වාද කිරීමට ඇති අවත් බුදුරදුන් හා කළ ප්‍රථම සාකච්ඡාවෙදීම බුද්ධශ්‍රාවක වී තෙරුවන් සරණ ගිය උපාසකයෝ වෙති.

හතරවැන්න නම් විවිධ ආගමික ශ්‍රමණ පිරිස් වාද විවාද කිරීමට පැමිණ ඒවා අමතක කර බුද්ධශ්‍රාවක වී පරණ ආගමික මතවාද අත්හැර දැනුයි අපි නියම ශ්‍රමණයන් වූයේ. දැනුයි නියම ධර්මය, සත්‍යය අවබෝධ කරන්නේ යයි උදම් අනති.

මෙසේ විශාරද ක්‍ෂත්‍රිය , බ්‍රාහ්මණ, ගෘහපති , ශ්‍රමණ, කොටස් බුදුරදුන් කෙරෙහි දමනය වී කටූයුතු කරන අයුරු සියැසින් දැකීමෙන්ම උන්වහන්සේ කෙරෙහි මාගේ අචල ප්‍රසාදයක්,ගෞරවයක් ඇතැයි පිලෝතික පිරිවැජියා ජාණුස්සෝණි බමුණාට පහදා දුනි.
මෙය ඇසූ බමුණා වාහනයෙන් බැස තම සළුව සකස්කොට භාග්‍යවතුන් වහන්සේ සිටින දිසාවට නමස්කාර පාඨය තුන් විටක් කියා බැතිබරව වන්දනා කෙරිණි.

මමත් බුදුරදුන් දැකීමට යායුතු යයි සිතා දෙව්රම් වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේට පිලෝතික පිරිවැජියා හා තම සිදුකළ සංවාදයද මතක් කෙළේය. එහිදි ඇතුන් සොයන්නෙකු ඇත් පා සටහනින් ඇතුන් හඳුනා ගන්නා අයුරු දැක්වූ පුවත කීමෙන් පසු බුදුරූදුන් එම උපමාව සම්පූර්ණ නැති බවත් එය සම්පූර්ණ වන්නේ මෙසේයි බමුණාට කරුණු පහදා දුන්හ.

බමුණ, වනූයෙහි මහත් පියවර සටහන් ඇති වාමනි නම් ඇතින්නියො වර්ගයක් ඇත. උන් ශරීරයෙන් කුඩාය. එම නිසා එතනැනින් නො නැවැතී තවත් සෙවිය යුතුය. එසේ විමසන ඔහුට තවත් විශාල ඇත් පියවරවල් හා ගස්වල ඉහළින් අතු කැඩූ ලකුණූ දකින්නට ලැබේ. එයද වහා ඇති යයි නිගමනය කිරීමට කරුණු නොවේ. උච්චා කාළාරිකා “ යන ඇතින්නියො වර්ගයක් ඇති බැවිනි. 

තවත් සොයන විටවාමූනිකා උච්චා කාළාරිකා යන ඇත්නිනියටත් වඩා පියවරින් ඇග පතින් විශාල “උච්චා කණෙරුකා” නම් ඇතින්නියන්ගේ පියවර දකින්නට ලැබේ. එයින් සෑහීමකට පත් නොවී තවත් සොයන විට ඉතා ඉහළින් ගස්වල අතු කැඩු ඉතා ඉහළින් ගස්වල, පිට ඉලූ මහා විශාල ඇත් පියවරවල් ඇති හස්ති රාජයෙකුගේ ලක්‍ෂණ දකින්නට ලැබේ.

 මේ අනුව ඇතුන් සොයන පුද්ගලයාට මහා කැලයේ තනිව වෙසෙන මහා දල ඇති තේජාන්විත ශරීරයකින් හෙබි මහා පියවරවල් වලින් යුතු එළිමහනේ ඇවිදින හෝ සිටින හෝ නිදාගෙන සිටින හෝ මහා හස්ති රාජයෙකු දකින්නට ලැබේ.මේ තමයි මහා ඇතා යයි නිගමනය කිරීම දැන් සුදුසුය.

බමුණ, මෙසේම ලොවට අසහාය දෙවි මිනිසුන්ට ගුරුවූ භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව උපදියි. බුදුරදුන් ලොවට පිරිසුදු ධර්මය දේශනා කරයි. එය ඇසු ගිහියෙක් ගිහිගෙදර ඇති කරදර සිහිකොට පැවිද්දේද ඇති නිදහස දැක සසරින් එතරවීමට සිතා සියල්ල අත හැර මහණවෙයි. භාවූනාවකට සුදුසු තැනක හුදකලා වෙයි.

අපිස් ජීවිතයකට හුරුවෙයි. ඉඳුරන් සංවර කර ගනී. දවස පුරාභාවනාවේ නිරත වේ. ඔහුට ඉහළ මානසික තත්ත්වයක් වූ ප්‍රථම ධ්‍යානයක ඇත්දැකීම ලැබේ. මෙම මානසික සුවය බුදුරූදුන් අත් දුටු දෙයක් බව ඔහු දැන ගනී. බුදුරදුන්, ධර්මය සංඝයා ගැන ප්‍රසාදය තවත් දියුණුවෙයි.
දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තත්ත්වයන්ද ලබා ඒවා අත්හදා බලයි. මේ සියලු අවස්ථා බුදුරදුන් අත් විඳි මානසික ස්වභාවයන් බව ඔහු හඳුනා ගනී. තෙරුවන් ගැන අචල ප්‍රසාදය ශ්‍රද්ධාව දැන් තවත් දියුණුය.
ඉන්පසු පූර්වේනිවාසානුස්මෘති ඤාණය ආදි විශිෂ්ට ඤාණ ලබා ගනී. මේ ඤාණ ශක්තින්ද බුදූරදුන් අත්විඳි මානසික සුවයන් බව දැන තවත් ශ්‍රද්ධාවෙන් සමන්විත වෙයි.

තවත් දිරිමත්ව කැපවෙන ඔහුට චතුරාර්ය සත්‍යය අවබෝධ වෙයි. කාම, භව, අවිද්‍යා ආදි ආශ්‍රවයන්ගෙන් සිත මිදෙයි. ඉපදීම අවසන් වුනා. බ්‍රහ්මවරියාව සම්පූර්ණ වුනා. දැන් භවයෙන් මිදෙන්නට තවත් කළ යුතු දෙයක් නැතැයි වැටහෙයි.

4.නිවන ලැබුණූ ඔහු අතින් අපේ බුදුපියාණන් වහන්සේත් මෙ ශාන්ත සුවය අත්විඳින, බුදුසිත රැඳුන, එහි සුවය අත්හදා බැලු තත්ත්වයක් නේ දැයි නුවණින් දැක තෙරුවන් ගැන අසීමිත අචල ප්‍රසාදයක් භුක්ති විඳියි.
බමුණ අන්න එහෙමයි ඇත් උපමාව සම්පූර්ණ වන්නේ යයි බුදු සමිඳාණෝ කරුණු පහදාදීම අවසන් කළහ.

බුදුපියාණෙනි, හරිම හොඳයි, හරිම හොඳයි. යටිකුරු දෙයක් උඩුකුරු කළාක් මෙන් වැහුනු දෙයක් විවෘත කළාක් මෙන්, වැහුනු දෙයක් විවෘත කළාක් මෙන් මං මුළා වූවෙකුට මග පෙන්වා දුන්නා මෙන්, ඇස් ඇති අයෙකුට රූප පෙනෙන්නාක් මෙන් අන්ධකාරයේ පහනක් දැල්වූවාක් මෙන් ඔබ වහන්සේ දහම් දෙසුවා. අද සිට මාගේ ජීවිත අවසානය දක්වා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්න යැයි ජාණුස්සෝණි බමුණා අවසන් වශයෙන් ඉල්ලා සිටියේ ය.

සියලු දෙනාට
තෙරුවන් සරණයි!...

 ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක
කම්මට්ඨානාචාර්ය
දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි
උපුටා ගැනීම බුදුසරණ පුවත් පතෙනි.