බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු


කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,
ආචාර්ය චන්දන ජයරත්න
අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?
එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.

තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.
එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?
මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.
බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.
එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.

මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.

ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.
මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.

ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?
මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.

නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.

මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.

ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?
තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.

මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.
පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.
ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.

එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.

සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?
හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.

මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster)  සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?
බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකාලෝක ධාතුව ලෙස හඳුන්වනවා. චූලනිකාලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.

මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.

අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?
බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.
මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.

පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.

මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.

අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්, 6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.

නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?
ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.

බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.

බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.
කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.

එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.

උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.

අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.
මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.

සංවාද සටහන චසිත බුලත්සිංහල

 2008 වසරේ බුදුසරණ ප්‍රත්‍රයේ උපුටා ගන්නා ලදි.

විශ්වය පිළිබඳ බෞද්ධ මතය




විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. විවට්ටට්ඨායි යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. විවට්ට යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. සංවට්ටට්ඨායි යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ලුජ්ජති පලුජ්ජතී ති ලෝකෝ යනුවෙනි. එනම් කැඩෙන - බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.
විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.


බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.

එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි.
ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී.
කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී උඹට පිස්සු නිසා වෙන්නැති යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති.

බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ මහණෙනි යැයි අමතා, මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර - අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.
අද වුණත් බොහෝ විට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක් එක් මත ප්‍රකාශ වෙනවා. ඒවා සම්පූර්ණයෙන් අසත්‍යයැයි බැහැර කළ නොහැකියි. 

එවැනි දේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගෝචර නොවන නිසා විස්මිත ස්වභාවයට පත්වනවා. එනිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැනම සිතන ලෙසයි.
විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි.
විවට්ටට්ඨායි යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. විවට්ට යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. සංවට්ටට්ඨායි යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා. 

අපගේ මනුෂ්‍ය ලෝකයේ එක් කොටසක් ලෙස අපරගෝයාන, උතුරුකර, පූර්ව විදග්ධවල ජීවත්වන්නේ අමුතු ජීවින් කොටසක් නොවේ. ජම්බුද්වීපයෙහි ජීවත් වන්නේත් මිනිස්සු කොට්ඨාසයකි. බරණැස උතුරුකුරු දිවයිනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන්සියයක් වන අතර ඔවුන් මහා පුණ්‍ය ශක්තියෙන් ඉපදුණු කොටසකි. ඔවුන් නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරන අතර රූප සම්පත්තියෙන් අපට වඩා උසස්ය. ලෝකයේ විකාශනය හා නැවැත්ම පිළිබඳ සත්තසූරියුග්ගමන සුත්‍රයේ පැහැදිලිව විස්තර කර ඇත. 

චූලනිකා සහස්‍ර ලෝකය යනු ඉරවල් හා සඳවල් දහසක එකතුවකි. සහස්සී චූලනිකා සහසක් එකතු වී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව සෑදේ. මෙම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වේ.
බුදුවරයකුට උන් වහන්සේ ගේ ශාරීරා ලෝකයෙන් සහ කටහඬින් මජ්ඣිමා ද්විසහස්සී ලෝක ධාතුව දක්වා ආලෝකය හා ශබ්දය නිකුත් කිරීමේ හැකියාව තිබේ.
බුදුරජාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීම, බිහිවන අවස්ථාව, අභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවතුම්, ආයු සංස්කාර අත්හැරීම, පිරිනිවන් පෑම ආදී අවස්ථාවලදී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව දක්වා කම්පනයක් ඇතිවේ. එය හඳුන්වන්නේ ජාති ක්ෂේ්ත්‍රය ලෙස යි.

තිසහස්සි මහා සහස්සි ලෝක ධාතුව ලෙස හඳුන්වන්නේ, ද්වි සාස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක්, එක්ව සෑදී ඇති ලෝක ධාතුවටයි. ඒ ලෝක ධාතුව තුළ බුදුවරයන් වහන්සේට ආනා ක්ෂේත්‍රය (කීර්තිය පැතිරවිය හැකි ප්‍රදේශය) ලෙස හඳුන්වනු ලබනවා.

අටානාටිය,ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ;මීර හා මෙත්ත, රතන යන සූත්‍රවල බලය මේ ප්‍රදේශ දක්වා පැතිරෙයි. එය බුද්ධ ශාසනය පවතින තෙක් පවතියි. මින් පැහැදිලි වන්නේ එක් ඉරකින් හා හඳකින් ආලෝකය පැතිරෙන්නේ එක් මත්‍රාවයකට පමණක් බවයි. 

එවැනි මාත්‍රාවාට දහසක් පවතියි. මත්‍රාවාට දස ලක්ෂයක්, ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුවකි. එවැනි ලෝක ධාතු දස ලක්ෂයක් පවතියි. සද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක් මාත්‍රාවට සියක් කෝටියකි. එවැනි කෝටි සියයක් සක්වල කෝටි සියයකි. මේ අනුව විශ්වයේ ඇති පුළුල්භාවය අවබෝධ කරගත හැකිය.

විද්‍යාවේ දී සහස්සී ලෝක ධාතුව හඳුන්වන්නේ ක්ෂීර පථය නමිනි. විශ්වය පිළිබඳ බුදුන් වහන්සේ සංඛාර උපත්ති සුත්‍රයේදී දේශනා කළ සේක.

මේ ලෝකය දැනගත්බව, අවබෝධ කරගත් බව යන්න ලෝක විදූ යන අර්ථයෙන් බුදුන් වහන්සේ හඳුන්වනු ලබනවා. එහිදී සත්ත්ව ලෝකය, සංඛාර ලෝකය, අවකාශ ලෝකය යන ඒවා අවබෝධ කරගත් සේක.
විශ්වයේ පැවැත්ම ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර රැසක් සඳහන් වෙයි.




රණාල අමාදහම් අරණේ
වැල්ලම්පිටියේ විනයවංස හිමි
බුදුසරණ පත්‍රයේ යේපළවුවකි.