පළමු දම් දෙසුම පැවැත්වූ අසිරිමත් ඇසළ පෝදා

 


සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි සදානුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හඳුන්වා දිය හැකි ය. බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම මේ අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි.

සිදුවීම් රැසක්

වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ජන්මලාභය ලැබීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහරපෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත් වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි.

ලංකාවටත් විශේෂිතයි

ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨකචේතිය වටා කරවූ අට සැට ලෙන් පුජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

පිළිපැදීමට අපොහොසත් වූ කතිකාව

ඇසළ පොහෝ දා සවස් කාලයෙහි බුදුරජාණන් වහන්සේ බරණැසට නුදුරුව පිහිටි ඉසිපතනයට සමීප වූ සේක. පස්වග භික්ෂූන් වහන්සේලා ඈත වැඩමවන බුදුරදුන් දුටුවහ. දැක මෙවන් කතා බහක නිරත වූහ.

“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්යයෙන් පහව“ සුවපහසු ප්‍රත්‍යය පරිභෝගයට බැස බුදුවීමට නොහැකිව දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟී සිටීම ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු ය. ශාක්‍ය වංශයෙහි උපන් හෙයින් හිඳිනා අසුනක් පමණක් පැණවිය යුතු ය.”

එහෙත් බුදුරජාණන් වහන්සේ ළං වත්ම ඔවුහු තමන් කරගත් කතිකාවෙහි පිහිටා සිටීමට අපොහොසත් වූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. එක් තවුසෙක් අසුන් පැණවූහ. තවත් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුව ද, පාද පිසදමනය ද ගෙනවුත් ළං කොට තැබූහ. බුදුරජාණන් වහන්සේ ද පැණ වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු ඔවුහු බුදුරජාණන් වහන්සේට පෙර සේ තමනට සම කෙනෙකුට කතා කරන්නාක් මෙන් ඇවැත්නි, ගෞතමයිනි, කියා ආමන්ත්‍රණය කොට මෙසේ පිළිසඳර කතා බහ පටන් ගත්හ.

“ඇවැත්නි ගෞතමයිනි, අපි ඒ කාලයෙහි උරුවේලාවෙහි වසන කල ඔබගේ පා සිවුරු ඔසවාගෙන ගියෙමු. මුව දෝනා දිය හා දැහැටි පිළියෙල කොට දුනිමු. ඔබ විසූ අරම ඇමදුවෙමු. ඉන්පසු ඔබට වත් පිළිවෙත් කළේ කවුරුද? අප ඔබ හැර දමා ගිය කල අප ගැන යමක් සිතුණේ නැද්ද?

එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියාත් නම කියාත් ආමන්ත්‍රණය නො කළ යුතු ය. තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූයෙකි. මනා කොට සියලු ධර්මයන් තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, අසවු, තථාගත වූ ම විසින් නිවන අවබෝධ කරන ලද්දේ ය . ඒ මම යුෂ්මතුනට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කරන්න.”

පස්වග භික්ෂූන්ට සැකයක්

මෙය ඇසූ පස්වග භික්ෂූහු “ආයුෂ්මතුනි, එදවස එතරම් වීර්යය කොටත් එතරම් දුෂ්කර ක්‍රියා කොටත් ලෝකෝත්තර ගුණයක් නො ලැබුණේ, නම් ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා අත්තැර ආහාරපානාදී ප්‍රත්‍යයන් බහු කොට ගැනීමෙන් ශරීරයට සුව පහසුව සැලසීමෙන් දැ’යි, ඇසූහ.

එවිට බුදුරදුන් ‘මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලකොට ගැනීමට යොමු වූ කෙනෙකුවත්, වීර්යය හැර දැමූ කෙනෙකු වත් නොවෙයි. තථාගත තෙම අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මා විසින් නිවන ලද්දේ ය.

මම යුෂ්මතුන්හට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කළ හැකියැ” යි, වදාළ සේක. එසේ පැහැදිලි කළ විට ද පස්වග භික්ෂූහු පෙර සේ ම ප්‍රශ්න කළහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා

“මා එදා උරුවෙල් දනව්වේ යුෂ්මතුන් හා සමඟ වාසය කරමින් ප්‍රධන් වීර්යය කරන කාලයෙහි කිසිම දිනෙක ඔබ රවටා සනසනු සඳහා මට මෙසේ එළියක් පෙනේ යැයි කියා හෝ නො ලැබූ යමක් ලැබීමි යි කියා හෝ බොරුවක් කී බවක් මතක දැ’යි ඇසූහ.

එසේ වදාළ විට පස්වග භික්ෂූහු කාරණය තේරුම්ගෙන උන්වහන්සේ බුදු බව ලැබුණේ යැයි, කළ ප්‍රකාශය සත්‍ය යැයි පිළිගෙන “ස්වාමීනි, ඔබ වහන්සේ බොරුවෙන් අප කිසි කලෙකත් නො රැවටූ සේකැ”යි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ පළමුව හා දෙවනුව වදාළ පරිදිම “මහණෙනි, තථාගත තෙමේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ ය. යනාදී ලෙස පැහැදිලි කළ සේක. පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලත් බැවින් ම මෙසේ වදාරණ සේකැයි, පිළිගත්හ. ධර්ම ශ්‍රවණයට සැරසුණහ.

ඉසිපතනයෙහි අමුතු අසිරියක්

ඒ වන විට ඇසළ පොහෝ දා හිරු අවරට ගමන් ගන්නා වේලාව උදා වී තිබුණි. එහා මෙහා දිව පැන ඇවිදින මුවන්ගෙන් සහ පියාඹන විවිධ පක්ෂීන්ගෙන් ඉසිපතන භූමිය අමුතුම අසිරියක් විදහා පෑවේ ය. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේලා එළිමහන් පෙදෙසක රැස් වූහ. ඔවුනට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ අනූපමේය බුද්ධ ශ්‍රීයෙන් බබළමින් ආසනයක වැඩ සිටි සේක. එකෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ සියුම් වෙස්ගෙන එහි රැස් වූහ.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම ස්වරය විහිදුවා ප්‍රථම ධර්ම දේශනාව මෙසේ ආරම්භ කළ සේක.

මහණෙනි පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක් ම සිදු කරන්නා වූ

කාම සුඛල්ලිකානු යෝගය ද දුක් උපදවන අනාර්ය වූ අවැඩ ගෙනදෙන අත්තකිලමථානුයෝගය ද යන අන්ත දෙක ය.

මහණෙනි, මෙකී අන්ත දෙක හැර දමා නුවණැස පිරිසුදු කරන, ඤාණය පහළ කරන, කෙලෙස් දුරු කරනු පිණිස, සත්‍යය අවබෝධය පිණිස සම්බෝධිය පිණිස, නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපදාව තථාගත වූ මා විසින් පසක් කෙරිණි.

සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් බුදුදහමේ මූලික ඉගැන්වීම වූ චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝ දා වූ සදානුස්මරණීය සිදුවීම මෙම ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමයි.


ඌරුගමුවේ අස්සජී හිමි

Esala Poya ඇසළ පෝය