Il Poya ඉල් පෝය

ප්‍රථම ධර්ම දූත සේවාව ඇරැඹි ඉල් පොහොය

 

"ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ."

වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන සිදුවීම් වඩාත් වැදගත් තැනක් ගනියි.

සම්බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ.

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නො යන්න.

මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වූ, හාත්පසින් සම්පූර්ණ වූ, පිරිසුදු වූ, සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.

මෙසේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවෙහි පිටත් කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වෙහි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යපට පන්සියයක් පිරිවර ද, නදී කාශ්‍යපට තුන් සියයක් පිරිවර ද ගයා කාශ්‍යපට දෙසීයක පිරිවර ද සිටියහ. උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ අසපු ඉදිකරවා ගෙන විසූ ඔවුහු මානයෙන් උදම් ව සිටියහ.

බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප ගේ අසපුවට වැඩම කොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන්දීමට අකැමැති බව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතු ද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල් ගෙය පමණක් වීමත් එහි දරුණු නාගයකු වාසය කිරීමත් ය.

නාගයකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැති බව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේ ය.

ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන් සේක. නාග රාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේ ය. බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් පෙරළා දුම් විහිද වූහ. නාග රාජයා ක්‍රෝධ ගින්නෙන් වෙළී දිලිසුණු අතර බුදුරදුන් සෘද්ධිමය ගින්නෙන් බැබළුණි. මුළු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳී ගිය නාගයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කළේ “මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් ද මනයෙහි දක්ෂ ය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ’යි, යනුවෙනි.

මෙකී තුන් බෑ ජටිල පිරිසම තමන් රහත් ය, යන මානයෙන් මුළා වී සිටි අතර එම වැරැදි මානය දුරුකොට නිවන් මඟට ඔවුන් යොමු කරවීම බුදුරදුන් ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුන්ගේ මානය දුරු කිරීමට විවිධාකාර වූ ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන් ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත් ව පන්සියයක් වූ ස්වකීය අතවැසි පිරිස ද සමඟ පැවිදි වූහ. පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පා කර යැවූ හ.

ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ.

එහි දී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමා ද කරුණු විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදී පැවිදි වූහ. ගඟෙහි පා වී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිස ද නදී කාශ්‍යප සේ ම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළ හ. එහි දී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත් භාවයට පත් වූහ.

වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි.

වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙක ය.

එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳ කිලියෙහි වියනක් කොට පිදූ අතර, අනෙක තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි, නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබා ගන්නා ස්ථිර ප්‍රකාශය යි.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ ස්වකීය උපන් ගම වූ නාලක ගමේ දී පිරිනිවන් පෑමත්, මව වූ රූපාසාරි බැමිණිය මාර්ගඵල ලැබීමත් සිදු වූයේ ද ඉල් පොහොය දිනෙක ය. සැරියුත් මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ වූ ආදාහන කටයුතු නිමවා චුන්ද මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අතට පත් කරන ලදී.

මෙහිදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ඉදිරියෙහි සැරියුත් මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය සිහිපත් කළ සේක.

ඉල් පොහෝදා පසුවස් පවාරණය ද සිදු කෙරේ. පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකි. ඇසළ පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පෙරවස් සමාදන් වී වස් ආරක්ෂා කර වප් පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි.

නිකිණි පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පසුවස් සමාදන් වී ඉල් පොහෝ දා, වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි. කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයන් සියල්ල ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් පසු නිමාවට පත් කෙරෙයි.


ඌරුගමුවේ අස්සජි හිමි