සම්බුදු සසුනේ අගසව් තනතුරු ලැබූ වගයි



දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදුවුණ සුපූජනීය දිනයකි නවම් පුන් පොහෝ දිනය.
සම්බුදු සසුන ශෝභාමත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වැනි දිනක ය. පන්සාළිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය අත්හළ වදාළෙත් මෙවන් පොහොය දිනක දී ම ය. එසේ නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදැහැ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.
උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ පුරාණ ජටිලයන් දහසක් පිරිවර සමගින්, ආදිත්ත පරියාය සූත්‍රය අසා නිකෙලෙස් මහ රහතන් වහන්සේ බවට පත් වූ සේක. සාරිපුත්ත, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දෙසිය පනහක් පිරිවර රහතුන් සමඟ, එක් දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේගෙන් වේළුවනාරාමය ඒකාලෝක විය. තරු පිරිවරා ගත් පුන්සඳ මඬලක් සෙයින් එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ , දම්සෙනවි සාරිපුත්තයන් වහන්සේත්, මහා ඍද්ධිලාභි මොග්ගල්ලානයන් වහන්සේත්, සම්බුදු සසුනේ උත්තම වූ අග්‍ර ශ්‍රාවක යුගළ බවට පත් කළ සේක. මින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරාතුව අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අබියස විවරණ ලබා පැතු පරිදි ශ්‍රාවක පාරමී ඤාණය සපුරා අගසව් තනතුරු ලද බව භාග්‍යවතුන් වහන්සේ සංඝයාට පහදා දුන් සේක. සච්ච විභංග සුත්‍ර දේශනාවේ දී, භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ ඉස්මතු කොට වදාළේ මෙසේ ය. “පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප්‍රඥාවන්ත වූ ඒ දෙන ම සබ්‍රහ්මණීන් වහන්සේලාට නිවන් මගට අනුග්‍රහ කරන්නේ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහිකරන මව වැනි ය. සෝතාපත්ති බලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරි මව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි. (සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, භජථ භික්ඛවේ, සාරිපුත්ත මොග්ගල්ලානේ, පණ්ඩිතා භික්ඛුු අනුග්ගාහකා සබ්‍රහ්මචාරීතං, සෙය්‍යථා’පි භික්ඛවේ, ජනෙත්ති ඒවං සාරිපුත්තෝ, සෙය්‍යථාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ, සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපත්ති ඵලේ විනේ්ති, මොග්ගල්ලානෝ උත්තමන්ථේ විනේති)
එමෙන් ම පැවිදි ශ්‍රාවකයන් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ද අගසව්වන් වහන්සේලා ම ය. සම්බුදු මුවින් අපමණ පැසසුම් ලද සාරිපුත්ත, මොග්ගල්ලාන උත්තම මුනිවරයන් වහන්සේ අග්‍ර ශ්‍රාවක බවට පත්වූයේ අදවන් පුන් පොහෝ දිනක දී ය.
නවම් පුන් පොහෝ දින අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ හෙවත් ප්‍රථම සම්බෝධියෙහි ශාසනය පිරිසුදුව නිකැළැල්ව අර්බුදවලින් තොරව පැවතිණි. රහතන් වහන්සේලා බොහෝ සෙයින් වැඩ සිටි, විමුක්තිකාමී, කෙළෙස් අඩු ශ්‍රාවකයන් වැඩ සිටි ඒ යුගයේ විනය ශික්ෂාපද පැනවීමට තරම් කරුණක් ඉදිරිපත් නොවී ය. භික්ෂූන්ගෙන් එබඳු වැරැදි අඩුපාඩු සිදු නො වූ බැවිනි. එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි.
එනම් පහත සඳහන් ගාථා රත්නයන් ය.
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතෝ පරූපඝාති
සමනෝ හොති පරං විහේඨයන්තෝ
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං
අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො
ඒතං බුද්ධාන සාසනං
වසර හතළිස් පහක් පුරාවට, දිනයකට පැය දෙකක් පමණක් විවේක ගනිමින්, දෙව් මිනිසුන්ට අපමණ සෙත සැලසූ භාග්‍යවතුන් වහන්සේ සිය අසූවෙනි වියට එළඹි සේක. චාපාල නම් චෛත්‍යය ස්ථානය වෙත වැඩමකොට අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක. පින්වත් ආනන්දය, ඡන්ද, විත්ත, විරිය, වීමංසා යන සතර සෘද්ධිපාද වැඩූ කෙනෙකුට කැමති නම් ආයු කල්පයක් වුවද ( වසර 120 ක් හෝ ඊට මදක් වැඩියෙන්) ජීවත් විය හැකිය” තෙ වරක්ම මෙසේ ප්‍රකාශ කළමුත්, ආනන්ද හිමියන්ගේ සිත පාපී මාරයා විසින් ග්‍රහණය කරගෙන සිටි බැවින්, සිහි එළවාගත නො හැකිව එසේ වැඩ සිටින්නැයි ආරාධනා කළ නොහැකි විය.
ඉන් පසු ආනන්ද හිමියන් ඉවතට ගිය කල්හි, පාපී මාරයා පෙනී සිට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ලෙස ආරාධනා කළේ ය. මින් තුන්මසකට පසු පිරිනිවන් පානා බව වදාළ භාග්‍යවතුන් වහන්සේ “ඉදිරි තුන්මස පමණක් සමාපත්තියට සමවදින්නෙමි. ඉන්පසු නො සමවදින්නෙමි” යයි සිහිනුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. එකෙණෙහි ම මහා භූමි චලනයක් සමඟින් අකුණු ගැසීම් ද සිදු වූ අතර, ඉන්පසු ආනන්ද හිමියන් පැමිණ කල්පයක් වැඩ සිටින ලෙස ‘ආරාධනා කරන ලදී. එනමුත් ආයු සංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පානා බව වදාරා විශාල මහනුවර කූටාගාර ශාලාවට වැඩි සේක.
එහි රැස් වූ භික්ෂුන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා, එම භික්ෂුන්ට අන්තිම අවවාදයද කළ සේක. ඉන් පසු පාවා නගරය පසුකරගෙන, කුසිනාරානුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් මල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණු සේක.
එකල්හි දෙව්, බඹ පිරිස අහසෙහි දිව්‍යමය සුගන්ධයන් ගෙන් ද, පුෂ්පයන්ගෙන් ද, දිව්‍ය සංගීතාදියෙන් ද, පූජෝපහාරගෙන් ද, පුෂ්පයන්ගෙන් ද, දිව්‍ය සංගීතාදියෙන් ද, පූජෝපහාර දැක්වූහ. පිරිනිවන් මංචකයේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ, තමන් වෙත පැමිණි සුභද්‍ර නම් පිරිවැජියා අමතා මෙසේ දේශනා කළ සේක. “සුභද්‍රය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දක්නට ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණම යි. පළමු ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයාත්, දෙවන ශ්‍රමණයා වන සකෘදාගාමී ශ්‍රාවකයාත්, තෙවැනි ශ්‍රමණයා වන අනාගාමී ශ්‍රාවකයාත්, සතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේත්, පහළ වන්නේ යනුවෙනි. එම දම් දෙසුම අවසානයේ දී සුභද්‍ර තෙරුවන් සරණ ගොස් පැවිදි උපසම්පදාව ලබා සුළු මොහොතකින් සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ සේක. එසේ සම්මුඛී අවසන් ශ්‍රාවකයා බිහිවූ පසු භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ අවවාදය මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාර නැසෙන සුළු ය. අප්‍රමාදීව ධර්මය අවබෝධ කර ගන්න (හන්තදානි භික්ඛ වේ, ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාර අප්‍රමාදේත සම්පාදේත)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තිය ද, නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද, අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමග වැදුන සේක. අවසානයේ හතරවන ධ්‍යානයෙන් නැගිටිනවාත් සමඟ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපාදිශේෂ පරිනිර්වාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එසේ ආයු සංස්කාරය අත්හළ වදාළේද අද වන් දිනක ය.
භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වූ අපත් ඒ අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් ධර්මාවබෝධයට අප්‍රමාදී වෙමු.
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
- නයනා නිල්මිණි
බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි.

ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක



 ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය."



අද නවම් පුරපසළොස්වක පොහොය දිනය යි. බුද්ධ ශාසනයේ මෙවන් පොහෝ දිනක දී ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී ඇත.

1. බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය රජගහනුවර වේළුවනාරාමයේ දී පැවැත්වීම.

2. සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම.

3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

4. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හැරීම.

යනු එකී වැදගත් සිද්ධි කිහිපයකි. මෙනිසා බෞද්ධයන් හට මෙම නවම් පොහොය දිනය ශාසනික වශයෙන් අනුස්මරණීය දිනයකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව

අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. ඕවාද යනු අවවාද යන්නයි. බුද්ධත්වයෙන් මුල් විසිවස අවසන් වන තුරු ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන නොවී ය. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතෝ පරූපඝාති
සමනෝ හොති පරං විහේඨයන්තෝ



සබ්බ පාසස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං


අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච හත්තස්මිං
පන්තඤ් ච සයනාසනං 


අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධාන සාසනං

(ධම්මපදය, බුද්ධ වග්ගය)

ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ක්ෂාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නොවෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නොවෙයි.

කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදි සියලු අකුසල කර්ම නොකිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුසලයන් ඉපදීම ද, උපදවන ලද කුසලයන් වැඩීම ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසුදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

ජාත්‍යාදීන් පරහට ආක්‍රෝෂාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නොකිරීමත්, පාණී ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නොකිරීමත් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත්, සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.

මුල් විසිවස තුළ රහතන් වහන්සේ බහුල වූ හෙයින් වැරැදි අඩු විය. එබැවින් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් විය. බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක හා අල්පායුෂ්ක වශයෙන් දෙ කොටසකට බෙදිය හැකි ය. ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවක් පමණක් වැඩසිටි බැවින් අල්පායුෂ ඇති බුදුන් වහන්සේ නමකි. දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනයෙහි ශාසනාන්තර්ධානය දක්වා ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනු ලැබේ. එහෙත් අල්පායුෂ්ක ශාසනයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය මුල් අවුරුදු විස්සේ දී පමණක් දේශනා කෙරේ. සංඝයා ගණනින් වැඩි වීමත් සමඟ වැරැදි සිදුවීම් බහුල වේ. එබැවින් විනය ශික්ෂා පද පනවමින් මුල් විසිවසෙන් අනතුරුව ආණා ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

ආයු සංස්කාරය අත්හැරීම

ආයු සංස්කාරය අත්හැරීම යනු ‘අසවල් දිනයේ දී පිරිනිවන් පාන්නෙමි’ යනුවෙන් නිශ්චිත වශයෙන් කාලය සීමා කර ගැනීමයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළේ හෙවත් ආයු සංස්කාරය අත් හැරියේ ද අද වැනි පොහෝ දිනක දී ය. අගසව් දෙනමගේ පිරිනිවනින් අනතුරුව ශාන්තිනායකයාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ චාපාල චේතිය වෙත වැඩම කළහ. එහි දී විවේකී සුවයෙන් වැඩ හුන් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්දය, සතර ඉද්ධිපාද වැඩූවන්ට කැමති නම් ආයුෂ්කල්පයක් වැඩ සිටිය හැකි යැ”යි වදාළහ. තෙවරක් ම මෙය වදාළ නමුත් ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය. ඉක්බිති මාරයා අවුත් බුදුන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ මාරයා හට ‘තව තෙමසකින් පිරිනිවන් පාන්නෙමි.’ යි වදාළහ. ඒ මොහොතෙහි මහපොළොව කම්පා වූයේ ය. සිහි එළවා ගත් අනඳ හිමියන් ඒ පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ විට තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය හළ බව අසා තව කාලයක් වැඩ සිටිනු මැනවැ’යි ආරාධනා කළමුත් බුද්ධ වචනයෙහි වෙනසක් නොමැති හෙයින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඉදිරි තෙමස තුළ ද ධර්ම චාරිකාවෙහි හැසිරෙමින් ලෝකසත්වයා සනසමින් වැඩ හිඳ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේදී මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාළහ.

මෙලෙසින් සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී සිදුවීම් කීපයක් මෙම නවම් පුරපසළොස්වක් පොහෝ දා සිදු වී ඇත. පුරා පන්සාළිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා සනහාලමින් ධර්ම චාරිකාවෙහි යෙදුණු සම්බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්නට යෙදුණේ “වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” (සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ය. නොපමාව කුසල් දහම් වඩව්) යන්නයි. එබැවින් බුද්ධ ශ්‍රාවකයන් හැටියට සෑම බෞද්ධයකුගේ ම ප්‍රාර්ථනය විය යුත්තේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. එහෙයින් මෙම පොහොය දිනයේ දී පින්වත් ඔබගේ කුසල් දහම් වර්ධනය වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිවනින් සැනසෙත්වා! සාධු සාධු සාධු.....!!!

බර්මින්හැමි බෞද්ධ මහා විහාරාධිපති
ආචාර්ය 
විතාරන්දෙණියේ කස්සප මාහිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.