Sri Padaya ශ්‍රී පාදය

සිරිපා වන්දනා ඇරඹෙයි පෝදා



පුරාතනයේ පටන් සමන්තකූටය ජගත් ආකර්ෂණයට ලක්වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි සිඛරය මත පිහිටුවා තිබීම නිසාය. උඳුවප් මස පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමයයි. මෙම වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුළිනි. 

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යාමයි. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණ එකල පාගමනින්ම වන්දනා ගමන්යාමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශී‍්‍ර පාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි විය. සමන් දෙවියන්ට භාරහාර වී ශී‍්‍ර පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම් විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී ශී‍්‍ර පාද වන්දනාවේ යෙදුණාහ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයයි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයාද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. එහි දී ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස කවි ගායනා කළහ. 

කවි පමණක් නොව සිරිපා වන්දනාවටම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන් රාශියක්ද පවතියි. මේවා ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද “වාගාලාප” ලෙස නම් කළ හැකිය. වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප ගැයීම සිදු කෙරේ. මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬ නඟා කියයි. ඒ අනුව සෙස්සෝ සාමූහිකව අනෙක් පේළිය හඬ නඟා කියති. 

එවැනි වාගාලාප කොටසක් මෙසේ පෙන්වාදිය හැකිය.
අපේ බුදුන් – අපි වඳින්ඩ

පෙරළි පෙරළි – අපි වඳින්ඩ
එරන් පතුල – අපි වඳින්ඩ
මැණික් පතුල – අපි වඳින්ඩ

වම් සිරිපා – අපි වඳින්ඩ
දෙදණ නමා – අපි වඳින්ඩ
දඬු කෝඩුට – කරුණාවයි
සමන් දෙවිඳු – කරුණාවයි


මෙම වාගාලාප වන්දනා කරුවන්ගේ මුවින් නික්මෙන්නේ සමන්ගිර නැග යන කලය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්හු

 ඉහළ නගින්නන් හමුවන කල මෙසේ කියති.
අපේ බුදුන් – අපි වැන්දා
ළල තබා – අපි වැන්දා
වඳින්ඩ යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි


එවිට සමනොල නගින පිරිස මෙසේ කියති.

වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි

සමනල ගිර නැගීමේදීත් බැසීමේ දීත් වන්දනාකරුවන් මෙම වාගාලාප කියනුයේ වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමටත් ආගමික සද්ධාව දියුණුකර ගැනීමටත් ය. සිරිපා වන්දාවේ දී තුන් සරණය නමැති ජන කාව්‍යයේ එන කවි ගායනා කිරීමද සම්ප්‍රදායික සිරිතකි.

තවද සිරිපා වන්දනාව හා ආවේණික වු විශේෂ වචන මාලාවක්ද තිබේ. මේ වචන මාලාව සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක වත් භාවිත වන බවක් දැකිය නොහැකිය. මෙම වචන මාලාව අතුරින් හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ඉර සේවය යන නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හිදී ආශිර්වාද කරගන්නේ කරුණාවයි කියමිනි. ජීවිතයේ ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කෝඩුකාරයා” නමිනුත් ප්‍රථමවරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා “දඬුකෝඩු” නමිනුත් කුඩා දරුවකු හෝ දැරියක කිරිකෝඩු නමිනුත් හැඳින්වේ. තද අඳුර සහිතව වළාකුළු පැතිරයාම සිරිපා වන්දනාවේ දී’කෝඩේ” නමිනුත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” නමිනුත් ව්‍යවහාර වේ. 

සිරිපා වන්දනාවේ දී භාවිතා වන “පරඬැල් පෑගෙනවා” යනුවෙන් අදහස් කරනුරයේ “කටු ඇනෙනවා” යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා ගන්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. “ඉඩදෙන්න” යනු එහි අර්ථයයි. සිරිපා වන්දනාකරුවා, ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය, “සැහැල්ලුව, නම් වේ. සමනොල කන්දේ ඉහළ කොටසේ තද සීතලක් පවතියි. එම තද සීතල සහිත ප්‍රදේශයෙහි ගමන් කිරීම “හිමේ නගිනවා” යනුවෙන් හැඳින්වේ. වන්දනා කරුවන් සිරිපතුල වැඳීමට පෙර පිරිසුදු වීම ‘පේවීම” නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකිය . සිරිපා වන්දනා කරන පිරිස “නඩය” නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා “නඩේ ගුරා” වන්දනාවට පමණක් ආවේණික මෙම වචන මාලාව සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම්කර ගැනීමයි. 

සිරිපා වන්දනාවේදී ගෙත්තම් කිරීම නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම බව මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන්දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදු කෙරෙයි. 

සිරිපා මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක්වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණිහෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම භගවා ලෙණ ඒ අතර කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජන ශ්‍රැති බිහිවී ඇත. රත්නපුර පාරේ ඇහැල කණුව අසලින් ඉහළට නගින්නට එදා තිබුණේ ඉතාමත් අවදානම් සහගත යකඩ ඉනිමගක්ය. සිරිපතුල හැටන් පාරෙන් බහින්නට පටන්ගත් කල මහගිරිදඹ හමුවන්නට පෙර භගවා ලෙන හමු වෙයි. එහෙත් බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන දැකීමට අවස්ථාව නොලැබෙයි. භගවා ලෙන වන්දනාකරුවන් නගින පඩි මගට මඳක් එපිටින් පිහිටා තිබීම එයට හේතුවයි. සිරිපා කරුණා කරන වන්දනා කරුවන් මහගිරිදඹ පසු කළ සැණින් මලුවට යාමට කඩිනම් වන නිසාද භගවා ලෙන අතපසු වෙයි. භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව යයිද විශ්වාසයක් ඇතැමුන් තුළ පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්වද පිහිටා ඇත. ඉන්දියාවේ සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන්ය. “ධර්මරාජ ගල’ යනු එම කොටසයි.

සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිනණුයේ පාත මලුවටයි. එම ප්‍රදේශය වන්දනා කරුවන් බෙහෙවින්ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිට වන්දනා කරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවයයි. උදෑසන සූර්යයා උදාවී ගෙන ඒම සිරිපා අඩවියේදී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මලුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. 

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන් හිදී සිදුවන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මලුවෙන් ඉවත්කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් අනතුරුව මලුවේ කාර්ය මණ්ඩලය විසින් නානා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශී‍්‍ර පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලයද එලෙසින්ම පවිත්‍ර කෙරේ. මුලු සිරිපා මලුවම සුවඳ පැනින් සෝදා සඳුන්කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරණි සිරිතකි. 

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සාම්ප්‍රදායිකව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මගින් මලුව වටා තෙවරක් වැඩම කරවා ගෙන විත් ශී‍්‍ර පාද වහන්සේ අබියස තැන්පත් කෙරේ. දේව පූජාවද එබඳුම පූජා පෙරහරක් මගින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවත්නට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි. ශී‍්‍ර පාදස්ථානයෙහි ආගමික තේවාව භාරව සිටින භික්ෂූන් වහන්සේ දෛනිකව උදේ සවස ශී‍්‍ර පාද වහන්සේ අබියස සහ සමන් දේවාලය තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන් ගේ යාතිකාවන්ද සිරිත් පරිදි පැවැත්වේ. 

ඌරුගමුවේ අස්සජි හිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි. 

පූජනීය වූ පින්බර බෝධිය (උඳුවප් පොහොය)



නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යස්සමූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං

සකල ජනමන සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමි දම්පුරා දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණ යට වජ්‍රාසනාරූඪව සියලු කෙලෙසුන් සුන්කොට සිව්සත්දම් තම නැණින්ම ප්‍රත්‍යක්ෂකොට ඒ උතුම් ලොවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
උතුම් බුද්ධත්වය ලබාගැන්වීමට අතිශයින්ම මහෝපකාරීවු වෘක්ෂ රාජයාණන් වහන්සේටද බෝධිය යන නාමයෙන් ගෞරව සම්මාන වන්දනා මාන පූජා සත්කාර කරන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ජනතාවට ලැබෙන සෙත් ශාන්තිය අපමණය. 

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් විහිදෙන බුදුගුණ මහිමය නිසා අප මහ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදීම එක්වන්ව උපන් කාල පරිච්ඡේදය අනුව 2600 වසරකට වැඩි දීර්ඝ කාල පරාසයක් තුළ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාව පරපුරෙන් පරපුරට තම තමන්ගේ අභිමතාර්ථයන් යතා පරිදි ඉෂ්ට සිද්ධකරගත් අතර මතුවටද එසේම වන්නේය. 

බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ජේතවනාරාමය ඉදිරිපස ආනන්ද බෝධින් වහන්සේද, අනුරාධපුර වැඩ සිටින දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද යන තුන් බෝධීන් වහන්සේ දිවමන් බුදුරජාණන් වහන්සේ සේම අපමණ දෙවි මිනිසුන්ගේ නෙත් සිත් සනසන සේක. 

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අරිට්ඨ අමාත්‍යවරයා ප්‍රධාන රාජදූත පිරිස රජුගේ හසුන් පත් රැගෙන දඹකොළ පටුනට ගොස් නැව් නැගී පාඨලී පුත්‍ර නගරයට සැපත්ව දම්සෝ නරනිඳු බැහැදැක සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙන්ම දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද ශී‍්‍ර ලංකාදීපයට වැඩම වන අපේක්ෂාව දේවානම්පියතිස්ස රජතුමාට හා මිහිඳු මහ රහතන් වහන්සේට මෙන්ම අනුලාදේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට ඇතිවග දක්වා සිටියහ.

ධර්මාශෝක රජතුමාද මෙවන් උතුම් එහෙත් බැරෑරුම් කාර්යේදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් අපේක්ෂා කළහ. තෙරුන්වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහක් පැවැති වග රජතුමාට මතක් කර දුන් සේක.
01. අශෝක මහ රජතුමා මහාබෝධි ශාඛාව ගන්නට බෝමැඩ ළඟට යන අතර මහාබෝධියෙන් දක්ෂිණ ශාඛාව තෙමේම සිදී රන් තටාකයෙහි පිහිටේවා.!
02.එම බෝධින් වහන්සේ පිහිටන කල ජය ශ්‍රී මහා බෝධිය හිම වලා ගැබකින් වැසේවා!
03.සත්වැනි දින හිම වලාගැබ පහවී රන්කටාරමේ පිහිටන අවස්ථාවේ පත්‍රවලින් හා ඵලවලින් සවණක් රැස් විහිදේවා!
04.ථූපාරාමයේ දකුණු අකුධාතුව නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා!
05. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතු මහාසෑයේ නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය සිදුකෙරේවා!
දහම්සෝ රජතුමාද මෙම අධිෂ්ඨාන පස අසා අතිශය සොම්නස්ව පාඨලීපුත්‍ර නගරයේ පටන් ජය ශ්‍රී මහ බෝධිය දක්වා මාර්ගය සරසවා අනිකුදු කුදුමහත් කටයුතු සූදානම් කරවූහ. 

ප්‍රථමයෙන් නවරියන් වට ප්‍රමාණ පස්රියන් උස අටඟුල් ඝන රන් කටාරමක් නිර්මාණය කරවා රජතුමා සිව්රඟ සෙනඟ පිරිවරා ආර්ය මහා සංඝරත්නය පෙරටු කරගෙන මහාබෝධිය සමීපයට සැපත් වූහ. තවද සපරිවාර රජ මැති ඇමතිවරුන් සමඟ නොයෙක් මල් ජාති අතුරා පුද පූජා පවත්වා මහාබෝධිය වන්දනාමාන සිදුකළහ. එකෙනෙහිම මහා බෝධියේ කඳ හා දක්ෂිණ ශාඛාවද හැර සෙසු සියල්ල වළාගැබින් වැසී ගියේය.මේ ප්‍රාතිහාර්ය දුටු රජතුමා පස්වනක් පී‍්‍රතියෙන් පිනාගොස් මහා සංඝරත්නයට එය ප්‍රකාශ කොට එකල දඹදිවම බෝධින් වහන්සේට පූජා කළහ.
යළිදු රජතුමා රන් පුටුවක නැගී රන් නූලක් ගෙන දක්ෂිණ ශාඛා කඳ වටේ ඔතා මහා බෝධිය තෙමේම වෙන්වී රන් කටාරමේ පිහිටියේය. 

පාලි මහා බෝධිවංශයේ විස්තරාර්ථයට අනුව චිර අධිෂ්ඨානයෙන් හා ශ්‍රද්ධා භක්තියෙන් සපිරි ධර්මාශෝක රජතුමා මුල රේඛාවට මත්තේ තුනඟුලක් පමණ ඉරි තුනක් ඇන්දාහ. එකෙනෙහිම මහ මුල් දහයක් පැන නැංගේය. රජතුමාණෝ රන්පුටුව මත සිට මෙම ප්‍රාතිහාර්ය දැක පස්වනක් පී‍්‍රතියෙන් පිනා සාදු නාද පැවැත්වූහ. දහස් ගණන් මුල්වලින්ද පංච ශාඛාවන්ගෙන්ද සමලංකෘතවූ දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේගේ ශාඛා අතර ඵල පත්‍රවලින් සවණක් රැස් විහිදෙන්නට විය. 

ධර්මාශෝක රජතුමා අනෝතත්ත විලෙන් ජලය ගෙන්වා බෝධින් වහන්සේ අභිෂේක කරවා අසහාය බෝධි පූජාවක් සිදුකළ අතර ප්‍රාදේශීය රජමැති ඇමැතිවරු හා ජනතාවද උපරිමයෙන් එයට සහභාගිවූහ. තවද මෙම රන් තටාකය තුළ තිරස්ව පිහිටවූ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා බුද්ධගයාවෙන් පැළලුප් නුවරටද එනුවරින් නැවත වින්ධ්‍යාවනය මැදින් තාම්‍රලිප්ති තොටුපොළ දක්වා ඉතා විචිත්‍රාකායෙන් සරසවා රාජකීය පෙරහරකින් වැඩමවා ගෙන අවුත් වේලාන්තයෙහි අනර්ඝ විචිත්‍ර මණ්ඩපයක වඩා හිඳුවා යළි පූජා පවත්වා මෙරටට වැඩමවීමට සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරවූහ. 

එසමයෙහි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම වීමේදී පිරිවර වශයෙන් භික්ෂුණීන් එකොළොසක් සමඟ සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සඳහා විශේෂ නැවක්ද සොළොස් කුලයක අට දෙනා බැගින් සියගණන් පිරවර සඳහා වෙනත් නැවක්ද, ලංකාවෙන් ගිය අරිට්ඨ ඇමැතිතුමන් ප්‍රධාන පිරිසට වෙනම නැවක්ද සකසා යොදවා රජතුමා දියට බැස දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ හිසමතින් නැවෙහි රන් පුටුව මත වඩා හිඳවූහ.

උඳුවප් මස පුර පෑළවිය දිනයෙහි මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ තාම්‍රලිප්ති තොටුපොළින් ලක්දිවට වැඩමවන මොහොතේ රජතුමාට ඇතිවූ පි‍්‍රයවිප්පයෝග දුක්වේදනාව වචනවලින් කඳුළු සැලීමෙන් ප්‍රකාශ කරන්නට වීම සත්‍ය වශයෙන්ම ස්වභාවික වන්නේය. 

දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවන නෞකාව ගමන් කරන විට දර්ශන පථයට ඉක්මවා යත්ම රශ්මිමාලා විහිදෙන බෝධින් වහන්සේ අපට නොපෙනී යන්නේ යැයි නැවත නැවත කියමින් වඳිමින් කඳුළු සලමින් වැළපෙමින් අශෝක රජතුමාණෝ යළි පාඨලී පුත්‍ර නගරය කරා සපරිවාරව පිටත්වූහ.
මෙසේ නොයෙක් ප්‍රාතිහාර්ය පාමින් බුදුරැස් විහිදුවමින් මහ සාගරයේ ජල තරංග මධ්‍යයේ නෞකා ගමන් කරන්නේ නාග භවනෙහි නාගයෝ අවුත් වටකොට දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ නෞකාවෙන් ඇරගෙන නාග ලොවට වැඩමවාගෙන රුවන් මණ්ඩපයක වඩා හිඳුවා සතියක් පුරා පුජා විධි පවත්වා යළි නෞකාවේම වඩා හිඳවූහ. 

මෙසමයෙහි දෙවන පෑතිස් රජතුමාද සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි උඳුවප් මස පුර පැළවිය දිනයෙහි පටන්කොට නුවර උතුරු දොරටුවෙහි සිට දඹුලුතොට දක්වා සරසවා සිව් රඟ සේනා සමඟ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිගෙන වඩා හිඳුවීමේ අපේක්ෂාවෙන් සොම්නස්ව සිටියහ. මෙසේ සමුද්‍රාසන්න විසිතුරු මණ්ඩපයක මත වඩා හිඳුවා අනේක විධ පූජා පවත්වා යළි සරසන ලද මණ්ඩපයක් මත වඩා හිඳුවා අනර්ඝ වූ විසිතුරු වූ රජ මහ පෙරහරකින් අනුරාධපුරයට වැඩම වූහ. සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ සහිත පෙරහර අනුරාධපුර නුවරට අතුරු දොරින් පිවිස මඟුල් මහා වීථීයෙන් ගෙන දකුණු දොරින් පිටත්කොට මහමෙව්නා උයනෙහි පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අති පූජනීය භූමියෙහි පිහිටවූහ. 

මෙසේ මහා ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටිය බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේ මෙන්ම දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලාද දේවානම්පියතිස්ස රජතුමා දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ප්‍රථමයෙන් වැඩමවූ දඹකොළ පටුනේ පටන් ඒ ඒ සිද්ධස්ථානවල රෝපණය කරවා එම සියලුම බෝධින් වහන්සේලාටම පුද පූජා පැවැත්වූහ. 

 අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි.