මැදින්පුර පසලොස්වක පොහොය



සම්බුදුරදුන් පන්සාළිස් වසරක් විවිධ ස්ථානයන්ට වැඩමවා පැවැත් වූ ධර්ම දේශනාවන් වර්ග තුනකට බෙදා ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙයි. එයින් බුද්ධි චර්යා නමින් දැක්වෙන්නේ තමා විසින් අවබෝධකර ගත් ගැඹුරුවූත්, අර්ථවත්වූත්, දම්සක් පැවතුම් සූත්‍රය වැනි දේශනාවන් පැවැත්වීමට වැඩමවීමයි. ලෝ වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය සඳහා වදාළ මංගල, පරාභව ඇතුළු සියලු ධර්ම ලෝකාර්ථ චර්යා වශයෙන් දේශනා කළහ. තම ඤාතීන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩමවා දේශිත ධර්මය ඤාත්‍යර්ථ චර්යා වශයෙන් තෙවන ගණයට අයත් වේ. මේ අනුව කිඹුල්වත්පුර තම ඤාතීන්ට අනුග්‍රහ දැක්වීම සඳහා රජගහ නුවර සිට වැඩමවීම ආරම්භ කරන ලද්දේ බුද්ධත්වයෙන් පසු ප්‍රථමයෙන් එළඹුනු මැදින් පුරපසළොස්වක පොහෝ දිනකය. 

සිද්ධාර්ථ කුමාරයා උතුම් බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනයේ දී පස්වග තවුසන් ප්‍රධාන දෙව්බඹුන්ට ප්‍රථම ධර්ම දේශනාව පවත්වා එහි වස් තුන්මාසය ගෙවීමෙන් අනතුරුව රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයේ වැඩසිටින බව සුද්ධෝදන පිය රජතුමාට දැනගන්නට ලැබුණි. උතුම් වූ බුදු බවට පත් පුතණුවන් දැකීමේ ආශාවෙන් යුත් එතුමා තම මාලිගයට වැඩමවන මෙන් දහසක් පිරිවර සහිත ඇමැතිවරයෙකු මඟින් පණිවුඩ යැවීය. රජගහනුවර වේළුවනාරාමයට මේ පිරිස පැමිණෙන අවස්ථාවෙහි බුදුරදුන් මහත් පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් වැඩසිටි නිසා ඒ ගිය ඇමැතිවරයා ඇතුළු පිරිස ද ධර්ම ශ්‍රවණය කරන්නට වූහ. අවසානයෙහි ප්‍රසාදයට පත් එක්දහස් එකක් වූ පිරිස රහත් බවට පත්ව පැවිද්ද ලබා ගත්හ. නැවතත් ඇමැතියෙකුගේ ප්‍රධානත්වයෙන් දහසක් පිරිවර යොදවා විටින් විට වාර අටක් ම බුදුරදුන් වඩමවාගෙන ඒම සඳහා යැවූ නමුත් ඒ කිසිවෙකුගෙන්වත් රජතුමාගේ අරමුණ ඉටු නොවීය. 

දසවන වරට කාළුදායි නම් ඉතා දක්ෂ, බුද්ධිමත් ඇමැතිවරයා දූත මෙහෙවරෙහි යෙදවීමට සුද්ධෝදන රජතුමා කල්පනා කළේ ය. අප ධර්ම ග්‍රන්ථයන්හි යසෝධරා දේවිය, ආජානීය හස්තිරාජයා, කන්ථක අශ්වයා, ජය ශ්‍රී මහා බෝධිය, සතර මහා නිධාන, ඡන්න ඇමැතියා සහ මේ කාළුදායි ඇමැතිවරයා ද සිද්ධාර්ථ බෝසතුන් හා එකම දින පහළ වූ බව සඳහන් වෙයි. පැවිදිවීම සඳහා රජතුමාගෙන් අවසර ලබාගත් කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සහිතව වේළුවනාරාමයට ගොස් ධර්මශ්‍රවණය කොට රහත් භාවයට පත්ව පැවිද්ද ලබාගත්හ. එයින් සතියක් ඉකුත්වත් ම සුද්ධෝදන පිය රජතුමාගේ ඉල්ලීම බුදුරදුන්ට දන්වා රජගහ නුවර සිට යොදුන් හැටක් දුරින් පිහිටි කිඹුල්වතට යන මාර්ගයත්. එහි දෙපස දර්ශනීයත්වයත් ඉතා විචිත්‍රාකාරයෙන් ගාථා හැටකින් පෙන්වා දුණි. 

බුදුරදුන් යම් ස්ථානයකට වැඩමවන ක්‍රම දෙකක් ඇති බව පෙනේ. නවා ඇති අතක් දික් කිරීමට පෙර තමා සිතන ස්ථානයට සෘද්ධි බලයෙන් වැඩමවීම තුරිත චාරිකා වශයෙන් දැක්වෙයි. අංගුලිමාල දමනය කිරීම වැනි අවස්ථාවල වැඩම වූයේ ඒ අන්දමටය. සාමාන්‍ය ජනතාවට දැකීමෙන් හෝ සුදුසු පරිදි සිව්පසය පිළිගැන්වීමෙන් හෝ ධර්මශ්‍රවණය කිරීමෙන් හෝ ආනිසංස රැස්කරගත හැකි අන්දමට හුදෙකලාව හෝ භික්ෂූන් පිරිවරාගෙන හෝ පාගමනින් වැඩමවීම අතුරිත චාරිකා වශයෙන් දැක්වෙයි. මේ ක්‍රමයට දිනකට එක් යොදුනක් බැගින් රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන පා ගමනින් වැඩමවීම ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහොය දිනකය. 

අංග හා මගධ යන ජනපද දෙකෙන් පැවිද්ද ලබාගත් දස දහසක් පමණ භික්ෂූන් ද ශාක්‍ය ජනපදයෙන් පැමිණ පැවිදි උපසම්පදාව ලබාගත් දස දහස් දහයක් පමණ වූ භික්ෂූන් ද වශයෙන් විසි දහසක් පමණ මහාසංඝයා වහන්සේ බුදුරදුන් පෙරටුකොටගෙන වැඩමවීමේ දර්ශනය දහස් සංඛ්‍යාත ජනතාවගේ කුතුහලයත්, සැදැහැවත් බවත්, බුද්ධිමහිමයත් ප්‍රකට කෙරෙන සිදුවීමක් විය. ඒ සමඟ දිනපතා කාළුදායි ඇමතිවරයා බුදුරදුන් ඇතුළු සංඝයා වහන්සේ පාගමනින් වැඩමවීම පිළිබඳ තොරතුරු සුද්ධෝදන රජතුමාට සැලකිරීමත්, සෘද්ධි බලයෙන් එහි සිට දානය ගෙනවුත් බුදුරදුන්ට පූජා කිරීමේ කටයුතුත් නො අඩුව සිදුකෙරුණි. ප්‍රසාදයට පත් ජනතාව ද මහත් ඕනෑකමින් අවශ්‍ය සිව්පසය පිළිගැන්වූහ. මේ අතර එක්ලක්ෂ හැටදහසක් පමණ වූ ඤාතීන් එකතුව නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි බුදුරදුන් ප්‍රධාන සංඝරත්නයට වැඩසිටීමට නිග්‍රෝධාරාම නමින් දර්ශනීය ආරාමයක් ඉදිකරවූහ. 

මැදින් පුර පසළොස්වක පොහොය දිනයෙහි ආරම්භ කළ කිඹුල්වත් පුරයට වැඩමවීම නිසා ඉතා වැදගත් සේවාවන් කිහිපයක් ම වූ බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ගමන ආරම්භයෙන් දෙමසකට පසු වෙසක් පුන් පෝදා බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය කිඹුල්වත්පුරයට වැඩම වූ කල්හි වයසින් බාල කුමර කුමරියන් ලවා වැන්ද වූ නමුත් බුදුරදුන්ට වඩා වැඩිහිටි ශාක්‍යවංශිකයෝ ගෞරවාචාර නොදැක්වූහ. එවිට බුදුරදුන් අහසට පැන නැගී යමාමහ පෙළහර දැක්වීමෙන් පසු ශාක්‍යයන්ගේ මානය දුරුවූයෙන් හැමදෙන එක්ව බුදුරදුනට නමස්කාර කළහ. සුද්ධෝදන පියාණන් තම පුතණුවන්ට නමස්කාර කළ තෙවන අවස්ථාව මෙයයි. මෙහිදී ලෝක විවරණ නම් පෙළහර ද බුදුරදුන් දැක් වූ බව සමහර ධර්මග්‍රන්ථයන්හි දැක්වේ. එයින් සෑම දෙනාටම දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, සතර අපාය ආදී සෑම ස්ථානයක්ම තම ප්‍රකෘති ඇසින් දැකගැනීමේ වාසනාව ලැබුණි. 

කිඹුල්වතට වැඩම වූ දෙවැනි දින කිසිවෙක් දානයට ආරාධනා නො කළ හෙයින් බුදුරදුන් ප්‍රධාන භික්ෂූහු පිණ්ඩපාතයේ වැඩම කළහ. මෙය දැන කලබලයට පත්ව ආ සුද්ධෝදන රජතුමාට බුදුරදුන් පැවැත් වූ දේශනය අසා එහි දී රජතුමා සෝවාන් විය. එදින රජමාලිගාවේ දන් වළඳා පැවැත් වූ දහම් අසා සුද්ධෝදන රජතුමා සකෘදාගාමී වූ අතර මහා ප්‍රජාපති ගෝතමිය සෝවාන් භාවයට පත්වූවා ය. කිඹුල්වතට වැඩම වූ තුන්වන දින ගෙවදීම, විවාහය සහ ඔටුනු පැලඳීම යන මංගල අවස්ථා තුනකට සුදානම්ව සිටි නන්ද කුමාරයා කැටුව ගොස් පැවිදි කරවීම විශේෂ කරුණකි. කිඹුල්වත් නුවරට වැඩම වූ සත්වන දින පියා සතු ධනය ඉල්ලා පසුපස පැමිණ සත් හැවිරිදි රාහුල කුමාරයන් පැවිදි කිරීම ශාසන ඉතිහාසයෙහි සුවිශේෂි සිදුවීමකි. වෙසක් පොහොයෙන් අටවෙනි දින ධර්මශ්‍රවණය කළ සුද්ධෝදන පියාණන් අනාගාමී භාවයට පත් කිරීමට බුදුරදුන්ට හැකිවිය. මෙවැනි වැදගත් සිදුවීම් රාශියක් ම සිදුවීමට ප්‍රධාන හේතුව වූයේ මැදින් පුර පසළොස්වක පොහොය දිනක කිඹුල්වත් පුරයට වැඩමවීම ආරම්භ කිරීමයි.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක,
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති,
ගල්කිස්ස බෞද්ධායතනාධිපති
සද්ධර්ම කීර්ති
ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි