වප් පුර පසළොස්වක පොහොය වර්ණනාව

 


පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සිටම සම්මතව පැවැති අතර එකල විසූ ධාර්මික පුද්ගලයෝ සැමදාම මෙලොව කටයුතුවල පමණක් නොව පරලොව යහපත සඳහා ද සතියකට වරක් ආගමික වතාවත්වල යෙදුණහ. දින දර්ශන, ලිත් සුලභ ලෙස නොතිබුණ බැවින් අහසෙහි සඳ දෙස බලා එම සතියෙහි ආගමික දිනය වෙන්කොටගෙන තිබිණි.

ශ්‍රද්ධාවන්ත රජකු වූ බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ, අට්ඨමියාච පක්ඛස්ස සන්තිපතිතූන්ති

“මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, අටවක්හි රැස් වන්නට අනුදනිමි’ යි පොහොය දිනයන්හි පන්සල් යාම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයට ය.

බුද්ධ නියමයට අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයට පොහෝ දිනවල රැස් වුව ද, ධර්ම දේශනා කිරීමක් සිදුවී නැත. එයින් කනස්සල්ලට පත්ව සිටි ගිහි ජනතාව ධර්ම දේශනා නොකිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන්නට වූහ. එම තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති”

යනුවෙනි. ඒ අනුව පසළොස්වක පොහොය ධර්ම දේශනා කිරීම ආරම්භ වී ඇත.

කඨින චීවර පූජා කරන මාසයේ ආරම්භක දිනය ද අදට යෙදී ඇත. එනිසා ම මෙම මාසය චීවර මාසය නමින් ද හඳුන්වනු ලබයි. සෑම වසරකට ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙනවා සුතෙනවා පරිසංකාය වා, සාවො භවිස්සති. අඤ්ඤමඤ්ඤනුලොමතා ආපත්ති චුට්ඨාභතා, විනය පුරෙක්ඛාරතා”

මහණෙනි වස් විසූ භික්ෂූන්ට කරුණු තුනක් මුල්කරගෙන පවාරණය කරන්නට (තමාගේ වරදක් දොසක් පෙන්වා දෙන්නට අවසර දෙමි. එසේ අවසර දීම සංඝයා අතර ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මටත්, ඇවැත්වලින් නැඟී සිටීමටත්, විනයානුකූල පැවැත්මටත් හේතුවේ.

අදට යෙදී තිබෙන වප් පොහොය දිනය තුළ ශාසනික වශයෙන් සුවිශේෂී වූ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත. මාපලගම සෝමිස්සර නාහිමියන්ගේ පොහොය වර්ණනාව ග්‍රන්ථයේ සඳහන් තොරතුරු අනුව මේ ආකාරයෙන් සඳහන් කළ හැකි ය.

මෙතේ බෝසත්තුමා පැවිදිවීම

දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදුබව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන්හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයට සවන් දී සිටි මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ඉමහත් ප්‍රසාදයට පත්ව පැහැදී පැවිදි වූහ.

මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි බවට පත්ව වදාළේත් වප් පුන් පොහෝ දිනක ය.

රාජකීය දූත පිරිසක්

මහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නොවී ය. කාන්තා පක්ෂය ද පිරිමින්ට නොදෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා පළමුව මග ඵල ලැබුවේ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂයයි. ශාසනගතව ද පැවිදිකම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය.

අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධි ද්‍රැමයේ දක්ෂිණ ශාකාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන්ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමාගේ සන්දේශයත්, සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිට්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකාවාසී බෞද්ධ මහ ජනතාවගේ ඓතිහාසික ශ්‍රේෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ දක්ෂිණ ශාඛාවක් වැඩමවීමට රාජකීය දූත පිරිස යැවූ මෙ දවස හෙළ බොදු බැතිමතුන්ගේ හදවත් තුළ සැදැහැති බව වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.

විනය සංගායනාව

ලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මා හිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ “යි විචාළේ ය.

“එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැස නැත.” යනුවෙන් උන්වහන්සේගේ පිළිතුර විය. ශාසනය මුල්බැස ගන්නේ කසේදැයි තවදුරටත් රජු විසින් විචාරණ ලදුව“ යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහිදීම පැවිදිව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැයි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළහ.

ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නොපමවා ම විධිවිධාන යොදන ලදි. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල මහරහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරුන් අට සැට නමක් දහසක් බැගින් භික්ෂු පිරිවර ඇතිව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාම විහාර මධ්‍යයේ දී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙරවස් පවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළහ.

ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනාව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුන් පොහෝ දිනයක ය.

බෝධි අංකුරය

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටවනු පිණිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහ බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රත් කටාහයෙහි පිහිටා සිටියේ වප්පුර පසළොස්වක පොහෝ දිනක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාඛාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට

‘පුත මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීම්, එ තෙමේ ද මෙ පරිද්දෙන් ම මහා බෝධිය පුදාවා” යි දන්වා සිටියේ ය.

මේ ආකාරයෙන් බලන විට මහා පවාරණය, දේවාවරෝහණය, සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෛත්‍රී බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික සිදුවීම් රැසක් මෙම වප්පුන් පොහෝ දිනය තුළ සිදුවී ඇති බැවින් එය බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වශයෙන් සැලකිය හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.