මුනි සිරිපා කරුණා කරමු


"අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය."

වසරකට වරක් ඇරඹෙන සිරිපා වන්දනා වාරය මෙවර ද උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ කෙරේ. එතැන් පටන් මාස හයක කාලයක් පුරා දෙස් විදෙස් වන්දනාකරුවන් සිරිපා වන්දනාවට ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සහභාගි වෙති.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ හ. සබරගමු වැසි වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් පන්සිය නමක් මහ රහතන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා වදාළ හ. ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ.
ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වන කරුණු බොහෝ වේ. අති දුෂ්කර ගමනක් ගෙවා ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණීම ඉන් එක් කරුණකි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය, රාජධානියේ සිට පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර ආදී ඒ ඒ රාජධානි සමයන්හ ිදී මහ රජවරුන්ගේ ගෞරවයට, පූජෝපහාරය ට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට විවිධ පුද පුජා සිදුකර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම සන්නස්, තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ.
මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සුමන සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අද පවා සැදැහැවතුන්ගේ මහත් ගෞරවෝපහාරය ට ලක් වේ.
අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.
මෙරට පමණක් නොව ලොව නන් දෙසින් පැමිණෙන වන්දනා කරුවෝ සිරිපා වන්දනා වාරය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙති. ගතට, සිතට සහනය, සැනසීම ළඟා කර දෙන සිරිපා වන්දනා වාරයේ දී පුරාතනයේ විසූ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර ස්වකීය දේපළ තම දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනා කළහ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව, මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදාවී ඇත. බොහෝ විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ නැතහොත් ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. අතීත මුතුන් මිත්තෝ ‘වට වන්දනාව‘ යන නාමයෙන් සති ගණනක් පුරා රට පුරා පිහිටි සොළොස්මස්ථාන ප්‍රධාන පූජනීය සිද්ධස්ථාන වන්දනා කිරීමට කටයුතු යෙදූහ. ඊට නිරන්තරයෙන් සිරිපා වන්දනාව ද ඇතුළත් වූ වන්දනා චාරිකාවක් වූ හ.
ඒ සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියකු වූ අතර ඔහු හෝ ඇය “නඩේ ගුරා” යනුවෙන් හැඳින් වූ හ. වෙසෙසින් ම එම වන්දනා ගමන සංවිධානය කළේ වාර ගණනාවක් පුරා එබඳු වන්දනා ගමන් සංවිධානය ඊට පෙර ද සංවිධානය කළ පළපුරුදු අයෙකි. නඩේ ගුරාගෙන් බැහැරව වන්දනා පිරිස කිසිවක් කළේ නැත. එතරම් ම වන්දනා පිරිස නඩේගුරා ට අවනත වූ හ. සිරිපා වන්දනාවට පේ වුහ. කැප වුහ. ඇප වුහ.
සිරිපා වන්දනාවට යන සැදැහැවතුන්ට සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනා පිරිසක් හමු වූ විට “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” එමෙන්ම සිරිපා වන්දනා කිරීමට යන ඒ පිරිස ද ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.’ ආදී වශයෙන් ඔවු නොවුන්ගේ සිත් පහන්වන අයුරෙන් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම දක්නට ලැබෙන, ඇසෙන සුලභ දසුනකි. ඒ අයුරෙන් අන්‍යොන්‍ය වශයෙන් සුහදත්වයෙන් වන්දනාවේ යෙදෙන සුවිශේෂී පුදබිමකි ශ්‍රී පාදස්ථානය. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතය යි. දෙස් විදෙස් සැදැහැවතුන් පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානය කි. අසිරිමත් සම්බුදු පහසින් තෙවරක් ම පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අනුහසින් යුත් ස්ථානයකි.
පලාබත්ගල විහාරය, නල්ලතන්නි බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරය යන විහාරාරාමයන්හි අධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.
පැරැණි සිරිතට අනුව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේ මහත් පුද පෙරහරෙන් ගෞරවයෙන් සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා, සුවඳපැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා වාරය ආරම්භ වනු ඇත.

කවර කෙනකුට වුව ද, මහත් කරුණාවෙන්, ඕනෑකමෙන් සුමන සමන් දෙවි කරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වන මහඟු අවස්ථාවකි.
ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සියලු දෙනාට ආශීර්වාදය සැලසේ. ගහ කොළට, ඇළට, දොළට සතා සිව්පාවාට, පරිසරයට හානි කිරීමෙන් ද වැළකී සිරිපා වන්දනා කරමු.

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය


" දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි."
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ දඹදිව සිට ලක්දිවට වැඩමවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙම උතුම් බෝධි ශාඛාව අප වෙත ලැබුණු බව වංස කථාවල සඳහන් වෙයි.
ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධි ශාඛාව එහි සිට අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්,පුද සත්කාර’ සඳහා නතරකොට තබා තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ පුද පෙරහර, මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.
මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූ බව මහාවංසයෙහි දැක්වෙයි. මේ අනුව ශ්‍රී මහා බෝධි රෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ප්‍රභූ ජනයා ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදු වූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදුදහම ලංකාවට හඳුන්වාදීමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. සිංහල බෝධිවංසයෙහි දැක්වෙන පරිදි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීන් නටමින් , ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබේ. ඒ බැව් එහි මෙසේ දැක්වෙයි.
නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින් බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසින් අත් පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථියෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා.......
දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙලින් පූජා පැවැත් වූ හ යි, සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධ විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.
දුටුගැමුණු රජු විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු ඉතා සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ බෝධි සිනාන පූජා” යන වචනය යි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකි ය. ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු කළ ආකාරයේ බෝධි පූජා පෙරහරක් ද බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නො කොට බෝධි පූජා පැවැත් වීය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බොධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. “වඩ්ඪමාන බෝධි” යන නමින් ද ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු ද බෝධි පූජා කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනිම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූ හ.
පුරාතන යුගයේ දී වැස්ස ලබා ගැනීම සඳහා ද, රටට ආරක්ෂාව ලබා ගැනීමටද, රාජ රාජ මහා මාත්‍යාදීහු බෝධි පූජා සිදු කළ හ. ස්ථාන අටක හා දහසයක් බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේ ය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩා කොඩි එසවීම, තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදුවැලි ඉසීම යනාදිය පෙන්වාදිය හැකි ය.
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට සැපත් වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා , දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා , මහාදේවී, පදුමා,හේමසා, උන්නලා ,අංජලී සහ සුමා යන භික්ෂුණීන් ද සිටි බව දීපවංසයෙහි සඳහන් වෙයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමාධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරාධම්ම සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංසය සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලාගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එම මෙහෙණ අසපුවෙහි ම වාසය කළා ය.
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන්, අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත් කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජයේ ඇරඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.
ඌරුගමුවේ අස්සජි හිමි
උපුට‍ා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.