ලක්දිව පොසොන් පොහොයේ අසිරිමත් සලකුණ



සිරිලක් බිම උත්සව සිරියෙන් කුළුගන්වන, මෙරට වැසියන්ගේ සිත් සතන් දහම් රසයෙන් පොබයන පොසොන් පොහොය අද දිනට උදා වේ. එම පොසොන් පොහොයේ අනූපමේය සලකුණ නම් අරහත් මිහිඳු මහ රහතන් වහන්සේ බව අපි දනිමු. සිරිලක් වැසියන් විසින් උන්වහන්සේ සමරනු ලබනුයේ ඉමහත් බැතියෙනි.

දෙවනපෑතිස් නිරිඳුන්ගේ කාලයේ සිට අද දක්වාම මෙරට වැසියන් විසින් අත් විඳීනු ලබන කායික මානසික අස්වැසිල්ලේ නියමුවාණන් වීම ප්‍රධාන හේතුවයි. ලක්වැසියන් උන්වහන්සේ අනුබුදු යන වෙසෙසි පදයෙන් හැඳීන්වීමට බැතිමත් වන්නේ ඒ හේතුවෙනි. එබැවින් අදවන් දිනෙක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව මතකය අවදි කිරීම, දන් පැන් දීම, මලක් පහනක් පිදීම හෝ පෙහෙවස් සමාදන්වීම වැනි උතුම් පිළිවෙතකින් උන්වහන්සේ පිදීම යුතුකමක් ම නොව එය අපගේ මිනිසත් බව ද වේ.

බොදුනුවන් වශයෙන් අප විසින් නිබඳ සිහිපත් කරනු ලබන මිහිඳු මහරහතන් වහන්සේ වූ කලී, යුද බලයෙන් දඹදිව සලිත කළ, නැණ බලයෙන් බුදුදහම ලොව පතළ කළ ධර්මාශෝක නම් නිරිඳුන්ගේ පුතණුවෝ ය. උන්වහන්සේ එවකට ලකිසුරන් වූ දෙවනපෑතිස් රජුට තමන් හඳුන්වා දෙනු ලැබූයේ රජ පෙළපත් වාසගම් ආදියෙන් නොව “මහරජ, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු” යනුවෙනි. එහෙයින් මිහිඳු මහරහතන් වහන්සේගේ භූමිකාව ලක්දිව තුළ සිදු වූයේ උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේ නමකගේ කාර්යභාරයක් වශයෙන් බව අප මූලික වශයෙන්ම සිහියේ තබා ගතයුතු කරුණකි. එහෙත් ඒ උතුමාණෝ වූ කලී සාමාන්‍ය බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් නො වෙති. සකල ක්ලේශයන් සිඳ බිඳ දැමූ හෙයින් ද, සව් මරුන් පැරද වූ ගති ස්වභාව ඇති හෙයින් ද, ක්ෂීණාශ්‍රව වූ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් ම වෙති. ලක්දිවට වැඩම කළ උන්වහන්සේගේ ගුණ බලය හා ප්‍රඥා මහිමයත්, සත්වයා කෙරෙහි පැවති අපරිමිත කරුණාව හා කැපවීමත් ඇස් පනාපිට දුටු ලක්වැසියනගේ හදවතට දැනුණේ උන්වහන්සේ දෙවැනි බුදුවරයෙකු ලෙසිනි. එහෙයින් ඔවුනට උන්වහන්සේ අනුබුදු වූහ.

බුදු සිරිපා පහසින් ලක්බිම පවනීය වූ ලක්වැසි ජනයාට මිහිඳු තෙරණුවන් පැමිණෙන තෙක් රජුන්ගේ හසුන් එහෙ මෙහෙ රැගෙන යන රාජ දූතයෝ සිටියහ. රාග, ද්වේෂ, මෝහාදියෙහි සිත් අලවන වදන් තෙපලන මාර දූතයෝ ද සිටියහ. එසේම ව්‍යාධි හා මරණ දුක්ඛයෙන් සිත් කම්පා කරවන දේවදූතයෝ ද සිටියහ. එහෙත් උතුම් දහම් පණිවුඩයක් රැගෙන ආ ධර්මදූතයෝ නොවූහ. මෙම සුන්දර දිවයිනට ලොව්තුරා බුදුරදුන්ගේ දහම් පණිවුඩය රැගෙන ආ පළමු ධර්ම දූතයාණෝ නම් මිහිඳු මාහිමිපාණන් වහන්සේ ම වෙති.

සයුරෙන් වට වූ මෙම කුඩා දිවයින දහමින් ඔද ගැන්වුවහොත් ලෝක සත්වයාගේ ශාන්තිය වෙනුවෙන් කෙතරම් මහඟු මෙහෙවරක් කළ හැකි දැයි නිවැරැදිව උපකල්පනය කරමින් ක්‍රියාකළ ප්‍රථම දූරදර්ශී චින්තකයාණෝ ද උන්වහන්සේ ම ය. අනෙක් පසින් මිහිඳු තෙරණුවෝ රූපකාය සම්පත්තියෙන් මෙන්ම උගත් බවින් හා බුද්ධිමත් බවින් ද පිරිපුන් යතිවරයාණන් කෙනෙක් වූහ. ලක්දිවට පැමිණෙන විට ත්‍රිපිටකය හා එවකට පැවති අටුවා ග්‍රන්ථ ද උන්වහන්සේ රැගෙන ආහ. ඒවා නවක භික්ෂූන්ට ඉගැන්වූහ. ලක්දිව කුලදරුවන් පැවිදි කරවා ඔවුන් ලවා පෙළෙහි ගැඹුරු දහම් පදයන්ට අරුත් විවරණ ලියවා තැබූහ. විනය පරපුරක් පවත්වාගෙන ආහ. ඒ අනෙකක් නිසා නොව පර්යාප්තිය මෙන් ම ප්‍රතිපත්තිය ද ශාසනයේ පැවැත්මට ඉවහල් වන බැව් දත් හෙයිනි. එහෙයින් උන්වහන්සේ ශ්‍රී ලාංකික භික්ෂූ පරම්පරාවේ පළමු ධර්මාචාර්යවරයාණෝ ද වන්නාහ.

අසිරිමත් රටක් හා ජාතියක් ගොඩ නගන්නට අවැසි සැලසුම පිළිබඳව මනා වැටහීමක් මිහිඳු තෙරණුවන්ට විය. උන්වහන්සේගේ පළමු හමුවීමෙන්ම ලක් නිරිඳුන් ඉමහත් සේ පැහැදුණි. දින කිහිපයක් ඇතුළත දස දහස් ගණනින් ජනී ජනයා උන්වහන්සේගේ දහම් ඇසීමට ඒකරාශී විය. ඉතිහාසය සටහන් කරන පරිදි මාසයක් ඇතුළත බුදුදහම වැළඳ ගත්තෝ සංඛ්‍යාවෙන් සතළිස් දහසක් වූ හ. මෙරට රජ දරුවන්ගේ උයන් කෙළි සඳහා පැවති නන්දන වනය, මහමෙවුනාව වැනි උයන් සසුනට පිදූ ආරාම බවට පත්විය. එපමණක් නොව රජ මාළිගා සහ සුවිසල් මැඳුරු පන්සල් විය. දිය පොකුණු, මංමාවත්, තුරුලතා ආදියෙන් පමණක් නොව මුළු ලක්දිවින් ම බුදුසසුන යළි යළිත් පිදීමට තරම් රජුන්ගේ හා වැසියන්ගේ සිත් පුබුදාලීමට උන්වහන්සේ සමත් වූහ.

සිත පිරෙනුයේ කුස පිරුනොත් ය. කුස පිරෙනුයේ ගත සැලුණොත් ය. ගත සැලෙනුයේ දිරිය ඇතොත් ය, යන්න මැනවින් දත් මිහිඳු හිමියෝ මෙරටට නොයෙක් සිප් සතරෙහි කෙළ පැමිණි දහ අට කුලයක ශිල්පීන් ද රැගෙන ආහ. එමගින් ඇළ, දොළ, ගංගා, වැව් පොකුණු වන සෙනසුන් දාගැබ් ආදිය ද, රජකම, ගුරුකම, වෙදකම හා හෙදකම ඈ දිවි පැවතුම් ක්‍රම ද, සිප්සතර හා නන්විධ සාහිත සංගීත කලාවන් ආදිය ද මෙරට වැසියාට ප්‍රගුණ කර වූ හ. එහිලා තත්පරවීමට, වැසියා තුළ දිරිය වැඩවීමට මිහිඳු මාහිමියෝ අනුශාසනා කළෝ ය. ජීවිතයේ නව මානයන් දැකීමට ඔවුනගේ දෑස් විවර කළෝ ය. එහෙයින් උන්වහන්සේ හෙළ දැයේ අද්විතීය මාර්ගදර්ශකයාණෝ මෙන්ම අනුශාසකවරයාණෝ ද වෙති. නීතිය යුක්තිය පසිඳලීමෙහි ලා ද, දැහැමි ලෙස රට පාලනයෙහි ද, නොවක් බවින් මෙන්ම මුදු ගුණයෙන් රටවැසියන් සිත් තුටු කිරීමෙහි ද රජුන්ට මං කියාදුන් හෙයින් රජුන්ගේ උපදේශකයාණෝ ය. මිහි මඬලේ වන ලතා, ඇල දොළ ගංගා ආදියේ උරුමක්කාරයෝ මනුෂ්‍යයෝ ම පමණක් නොවෙති. කුරා කුහුඹුවාගේ සිට සියලු ප්‍රාණීහු ද අප්‍රාණික තුරු ලතා කඳු ශිඛර පර්වත ගංගා ආදීහු ද එහි හිමිකරුවෝ ය. එබැවින් රජෙකු අතට පත් අවිය පවා සප්‍රාණික අප්‍රාණික සියලු වස්තූන්ගේ රැකවරණයට මිස ඔවුන් පෙළීමට නොවන බව කියා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ය. එබැවින් උන්වහන්සේ මේ භූමි භාගයේ විමුක්තිදායකයාණෝ වෙති.

පොසොන් පෝදා ගුවන් ගැබින් මිස්සක පව්වට මතු වූ ඒ මිහිඳු මහරහතන් වහන්සේ යළි දඹදිවට නො වැඩියහ. අසූ වසක් උන්වහන්සේගේ දිවි කැපකොට පුන් සඳ මෙන් ලක්දිව බබුළුවා දෙවනපෑතිස් රජුගේ බාල සොයුරු උත්තිය රජු දවස සෑගිරියේ දී සිරි ලක්වැසියන් සංවේගයට පමුණුවා පිරිනිවන් පෑහ. උත්තිය මහරජු මහත් හරසරින් උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කරවූ අතර ධාතු නිදන් කොට ස්තූප ද ඉදි කළහ. උන්වහන්සේ වැඩි කලක් වැඩ විසූ මිහින්තලයේ ධාතු නිදන් කොට ඉන් එක් ස්තූපයක් ඉදිකළ අතර කළගුණ දත් වැසියෝ දැනුදු එක් දහස් අටසිය සතළිසක් පඩි පේළි නගිමින් එය නැමදීමට යති. අතීතයෙහි සිටම අඛණ්ඩව සිංහල වැසියෝ ඉමහත් බැතියෙන් මිහිඳු හිමියන් සැමරූහ. දන් පහන් දීම, තොරණ ධජ පතාක නැංවීම, පස්පවින් වැළකී අටසිල්, දසසිල් සමාදන්වීම, මිිහිඳු පෙරහර පැවැත්වීම ආදී අනේකවිධ පූජෝපහාර මේ අතර විය.

උන්වහන්සේගේ නොනිමි මෙහෙවර සිහි කරනු වස් මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් රජු පොසොන් උත්සවය පැවැත්වූ අයුරු මහාවංසයෙහි සටහන් කොට ඇත. ඒ අනුව සිරිමෙවන් රජු මිහිඳු හිමියන්ගේ සිරුරේ තරමට රුවන්මුවා පිළිමයක් කරවා වප්මස පුරපස සතවක් දා මිහින්තලාවේ අඹතලා වෙහෙරට වැඩම කරවීයැ. නවවන දා මිහින්තලයේ සිට අනුරපුර තෙක් සැරසූ මහ මග ඔස්සේ එම පිළිරුව රජ තෙමේම මහ පෙරහරකින් ගෙනගොස් තමාම නුවර නැගෙනහිර දොරටුව අසල කරවු සොත්ථියාකර විහාරයේ තෙදිනක් වඩා හිඳුවා යළිදු නුවර සරසවා දොළොස් වන දා එතැනින් පිටත්ව මහජන උපහාර මැද මහාවිහාරයට වැඩම කරවා මහ බෝ මළුවේ තෙමසක් වැස්වීය. ඉන් අනතුරුව රජමාලිගයට නුදුරින් විශේෂ මන්දිරයක් ඉදිකරවා එම පිළිරුව එහි තැන්පත් කොට මතු එන රජ දරුවන් ද අවුරුදු පතා මෙම මිහිඳු උළෙල පැවැත්විය යුතු යැයි නියෝගයක් ද කළේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ සිය මුළු දිවියම ගත කළේ ලක් වැසියනගේ හිතසුව සඳහා ය. සාංචියේ හමු වූ කැණීම්වල මිහිඳු හිමියන්ගේ හා යෝනක ධම්මරක්ඛිත හිමියන්ගේ පමණක් ධාතු නොතිබූ හෙයින් මුන්වහන්සේලා ඒ ඒ දේශයන් සඳහාම තම ජීවිත කාලය පුද දුන් බවත්, යළි සිය රටට නොපැමිණි බවත් හඳුනාගෙන තිබීම මෙයට නිදසුනකි.

සිය දහස් ගණන් යතිවරුන්ගෙන් හා දාගැබ් කුටි ආදියෙන් සුදුම් ලද එකල මුළු අනුරපුර පොළොන්නරු නගර ම හුදු පන්සල් බිම් බඳු වූයේ ද, සයුරු පරයන වැව් නිම වූයේ ද, අහස සිඹින දාගැබ් සහ සීගිරිය වැනි විස්මිත නිමැවුම් ආදිය බිහි වූයෙත් මිහිඳු මහරහතන් වහන්සේගේ අසම වූ කැපවීම නිසාවෙනි. මෙම නිමැවුම් ඇසුරෙන් එකල ජනයා පමණක් නොව මෙකල ජනයා ද ලක්ෂ සංඛ්‍යාත ගණනින් ආතතියේ දාහය පමණක් නොව කුස ගිනි දාහය ද සංසිඳුවා ගනිති.

වර්තමානයේ වෙසෙන අපි බුදුවරයෙකු හා සමානව ලක් වැසියන් වන අප කෙරෙහි මෙම උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ විසින් කළ මෙහෙවරෙහි අගය අමතක නොකළ යුතු ය. උන්වහන්සේ මෙවන් පොසොන් පෝ දිනෙක හෝ මහත් බැතියෙන් පිදිය යුතු ම ය. එකී පිදුම ද ආමිෂයට වඩා පිළිවෙතට නැඹුරුව කිරීම ම අගනා බව සිහි තබා ගත යුතු ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ, 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.