නිකිණි පොහෝදා ශාසනික සිදුවීම්


ප්‍රථම ධර්ම සංගායනාව

බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. මුල්ම ධර්ම සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි.

නිකිණි පොහෝදා ආරම්භ කරන ලද ‘පංචසතිකා’ නම් වූ මෙම පළමු සංගායනාව සිදුකිරීමට හේතුවූ ආසන්න කාරණා දෙකකි. මුල්කාරණාව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආගමික ශාස්තෘවර නිගණ්ඨනාථ පුත්‍ර අභාවප්‍රාප්ත වීමත් සමඟම එම ශාසනයේ අනුගාමිකයන් විවිධ විවාද ඇතිකොට ගෙන සී සී කඩ විසිරී යාමයි. මේ නිසා ශාසන භාරධාරි මහ රහතන් වහන්සේලා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ධර්ම සංගායනාවක් කර බුද්ධ ධර්මය ස්ථාපිත කළ යුතු බවයි.

මෙ සංගායනාව කිරීමට හේතුවූ දෙවන ආසන්නතම හේතුව වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වෘද්ධ ශිෂ්‍ය භික්ෂුවක් වූ සුභද්‍ර නම් පැවිද්දා
ඇවැත්නි, ශෝක නොකරන්න. නොවැළපෙන්න, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෙමු.’
යනුවෙන් හඬා වැළපෙන භික්ෂූන්ට ප්‍රකාශ කිරීමත් සමගම විවිධ පටු අදහස් ඇති භික්ෂූන්ගෙන් බුදුසසුන රැක ගත යුතුය යන අදහස ශාසනාභාරධාරි මහ රහතන් වහන්සේලා ඇතිකර ගැනීමයි.

ආනන්ද මහ තෙරුවන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද නිකිණි පුර පසළොස්වක පොහෝදා අලුයමය. ඊට පෙර දින දක්වාම රහත්භාවයට පත්වීමට නොහැකි වූ ආනන්ද මහතෙරුන් වහන්සේ මොහොතක් ඇඳෙහි සැතපෙමියි සිතා වාඩි වී හිස කොට්ටය මත තබන්නටත් පෙර, දෙපා ඇඳමතට ගන්නටත් පෙර ඒ අතර මැද කාලයේ අර්හත්භාවයට පත්වු සේක. රජගහනුවර සප්ත පණ්ණී නම් ගුහාද්වාරයේ අජාසත් මහ රජු විසින් කරවා දෙන ලද මණ්ඩපයක සංගායනාව කිරීමට යොදා ගත් අතර අන්‍ය මතධාරින්ගෙන් විය හැකි ගැහැට සලකා සම්පූර්ණ ආරක්ෂාවක් ඊට ලබා දී තිබුණි. මහරහත් භාවයට පත් ආනන්ද මහ තෙරුන් වහන්සේ තම රහත්භාවය ප්‍රකාශ කරනු වස් ඍද්ධියෙන් සියලු ආරක්ෂා විධි විධාන අභිබවා සියල්ලන්ටම පෙර නිකිණි පොහෝ දා අලුයම එම මණ්ඩපයට වැඩමවා සියල්ලන් පුදුමයට පත්කළ සේක.

නිකිණි පුර පසළොස්වක පොහෝදා මුල්කර ගෙන සිදුවන තවත් වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ඇසළ පුන් පොහෝ දා වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට නිකිණි පුර පසළොස්වක පොහෝ දා පොහොය කොට පසුදා වස් සමාදන් වන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තේතුං” (මහණෙනි , රාජනියෝගවලට අනුව කටයුතු කිරීමට අනුදැන වදාරමි.”) නම් වූ විශේෂ පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන ලද්දේද මෙම නිකිණි පොහෝදා නියම කරන ලද පසු වස් සමාදන් වීම නිමිති කර ගෙන ය.

ඇසළ පොහෝදා සිදු කරනු ලබන වස් සමාදන් වීමට බිම්බිසාර රජතුමා කැමති වූයේ නැත. ඊට හේතුව නම් මගධ රාජ්‍යයේ ඇසළ මාසය පුරා පැවැත්වෙන විනෝද උත්සවයක්ය. මේ අනුව මගධ රට වැසි භික්ෂූන් වහන්සේලා එතැන් පටන් ඇසළ පොහොයෙන් පසු වස් සමාදන් නොවී නිකිණි පොහෝදාට පසු දින පසු වස් සමාදන් වූ බව සඳහන් වී තිබේ.
තවද බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ නිකිණි පුර පසළොස්වක පොහෝ දින සේරුවිල මංගල මහා විහාරය වන්දනා කිරීමට යති. එසේම සේරුවිල නිකිණි පෙරහර ආරම්භ කරන්නේද මෙදින ය. බුදුරජාණන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්කොට ගොඩනගන ලදැයි සැලකෙන සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තබන ලද්දේද නිකිණි පොහෝදා යැයි පිළිගැනේ.
සේරුවිල මංගල මහා සෑය

බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සුත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය. බුදුරදුන් දහහතරවන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමඟ පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී උන්වහන්සේට පංච උපාදාන ස්ඛන්ධයෝ අනිත්‍යතාව හා ආනාපානසති භාවනාවේ වටිනාකම ද දෙසූ සේක.

රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේ උතුම්වූ අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂම කරන ලද්දේද මෙම දේශනාව අනුව භාවිත කිරීමෙන් පසු නිකිණි පෝදා දිනක බව සඳහන්වී ඇත.

ලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment