ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සමඟ සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කළ වගයි




ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන, සංඝමිත්තා මහ රහත් තෙරණිය ගැන, ලංකා භික්ෂුණී සංඝයාගේ ආරම්භය හා සිංහල කාන්තා ප්‍රබෝධය ගැන වඩ වඩාත් කතාබස් කෙරෙන උඳුවප් පොහෝ දිනය සිංහල බෞද්ධයාගේ ජීවිතයට සෞභාග්‍යය කැන්දන ශ්‍රේෂ්ඨ දිනයකි.

පොසොන් පොහෝ දින මිහින්තලා කන්දෙන් පැන නැඟී ලක්දිව දස අතට විහිදී ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාවෙන් නැහැවී ගිය සියලු ම සිංහලයෝ කෙටි කලක් තුළ බෞද්ධයන් බවට පත්වූහ. අධර්මයෙන් වෙලී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් අඳුරු වී පැවති මේ රට ධර්මය රජකරන ධර්මද්වීපයක් බවට පත් කළෝ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය.ඒ උතුම් ශාසනික මෙහෙවර නිසා බොහෝ සිංහලයෝ බුදු සසුනෙහි පැවිදි වන්නට වූ හ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් දහම් අසා මගඵල පසක් කරමින් මුලින් ම ආර්ය ශ්‍රාවක බවට පත්වීමට වාසනාව ලද්දේ අනුලාවන් ප්‍රධාන අන්තඞපුර ස්ත්‍රීහු ය. නමුත් ඒ වන විට ලක්දිව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා වැඩ නො සිටි බැවින්, ඔවුන්ට තම ගෞතම බුදු සසුනේ පැවිදිවීමේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට නො හැකිව තිබුණි.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව අනුව, දෙවනපෑතිස් නිරිඳුන් දඹදිව ධර්මාශෝක මහා රාජයාණන් වෙත රාජකීය දූතයන් පිටත්කර හරින ලද්දේ ඒ අනුව ය.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නො මැති බැවින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වැඩම කරවනු මැනවි. එසේ ම මීට පෙරත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධි රාජයාණන්ගේ ශාඛාවක් ද වැඩමවනු මැනව....”
සන්දේශය රැගෙන රාජකීය දූත පිරිස දම් සෝ නිරිඳුන් වෙත එළැඹුණු කල්හි, එහි වූ පණිවුඩයෙන් රජතුමාගේ හද ශෝකයෙන් බර වන්නට විය. සිය පුත්‍ර රත්නය වූ මහින්ද කුමාරයාත්, මුණුපුරා වූ සුමන කුමාරයාත් උතුම් පැවිදි බව ලබා ඒ වන විට ලක්දිවට වැඩම කොට මාස කීපයක් ගත වී තිබුණි. පුත්‍ර වියෝවෙන් උපන් ශෝකය තුනී කරමින් වැඩ සිටි තමන්ගේ දුහිතෘ වූ සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට කැමැත්තක් නො දැක්වී ය.

“පියාණෙනි, මාගේ සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් මා බලාපොරොත්තුව සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීන්ට සිදුවනු ඇත.” සංඝමිත්තා තෙරණින් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමෙන් පහ වූ ශෝක ඇති රජතුමා "දියණියන් වහන්ස, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට ම සේවය පිණිස වේවා.! එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟ ම බෝධිරජාණන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙන වඩිනු මැනවි. මම එයට කටයුතු පිළියෙල කොට දෙන්නෙමි” කී ය.

රජතුමා ට තවත් ගැටලුවකි. “කෙසේ ද මා ලක්දිවට වැඩම කිරීම පිණිස බෝධි ශාඛාව සිඳලන්නේ.....? එය කෙසේවත් කළ නො හැක්කකි. “ධර්මාශෝක අධිරාජ්‍යයා රාජ මාලිගාවේ මහා සංඝයා විෂයයෙහි මහා දානයක් සංවිධානය කළේ ය. දන් පිරිනමා අවසානයේ මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළ යුතුදැයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විමසී ය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනාව වූයේ, තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කළ යුතු ම බවයි.

“ලංකාවේ රෝපණය කිරීම පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක අධිරාජ්‍යයා එළැඹුණු කල්හි, බෝධි ශාඛාව තමන් විසින් ම ගැලවී රන් කටාරමේ පිහිටාවා!” බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැදී සිටීවා.!
සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කොණෙහි, පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා!”
පිරිනිවන් මංචකයේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ මෙම අධිෂ්ඨානයන් අසා සතුටට පත් රජතුමා දහස් ගණන් මහරහතන් වහන්සේලා ද, අභිසෙස් ලද දහසකට අධික රජ දරුවන් ද අප්‍රමාණ ජන සමූහයක් ද, සමඟින් බෝධීන් වහන්සේ වෙත එළැඹුණේ පැලලුප් නුවර සිට සැරසූ සත් යොදුන් මහ පෙරහරිනි.
රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා දෑත් බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ කොටස ඉතිරි කොට සියලුම ශාඛාවෝ අන්තර්ධාන වූ හ. මේ අසිරිමත් පෙළහරින් අතිශය සතුටට පත් රජතුමා “දඹදිව රාජ්‍යයෙන් පුදමි” යි අභිසෙස් කළේ ය. නැවතත් සුගන්ධයන් පූජා කොට තුන් වරක් පැදකුණු කොට අට තැනක දී ඇගිලි බැඳ බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කළේ ය. ඉක්බිති මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රනින් කළ මනරම් කටාරම තැබ්බවී ය.

රුවන් පුටුව මතට නැගී රන් තෙලි කූරක් ගෙන බෝධි ශාඛාවේ ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම විය යුතු නම්, එසේ ම සර්වඥ ශාසනයෙහි මාගේ සැකයක් නැති බව සත්‍යයක් නම්, බෝධි ශාඛාව තමන් වහන්සේ ම බිඳී රන් කටාරමෙහි පිහිටාවා!” යි අධිෂ්ඨාන කළේ ය. සියල්ල එසේ ම සිදු විය. අසිරිය දුටු මහාසංඝයා වහන්සේ ඇතුළු සියල්ලෝ ම සාධුකාර පැවැත්වූහ. බෝධි ශාඛාව මුල් සියයකින් යුක්තව කටාරමෙහි පිහිටි සේක. මහා පොළොව කම්පා විය. නා නා ප්‍රකාර වූ ප්‍රාතිහාර්යයන් පහළ වන්නට විය. මිනිස්, දෙව්, බඹ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව ම ඒකාලෝක විය. බෝධි ශාඛාවේ ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙන්නට විය. රජතුමා දෙවන වතාවට ද බෝධිය රාජ්‍යයෙන් පුදා අභිසෙස් කොට මහා බෝධි පූජා පැවැත්වී ය.

බෝධීන් වහන්සේ සමඟ එකළොස් නමක් තෙරණින් වහන්සේලා ඇතුළු සංඝමිත්තා තෙරණින් වහන්සේත්, මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන ලාංකීය රාජකීය දූත පිරිසත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පිරිස වූ සොළොස් කුලයක පරිවාර ජනයාත් රැගත් නෞකාව සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේ ය. දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධීන් වහන්සේ පුදමින් එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. බෝධි රාජයාණන් වහන්සේ ඔසවාගෙන කරවටක් ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ ම කරත්වා යි” කියා නැව පිටත් කරවී ය.


මහා පෙරහරින් නැව් නැංග වූ මහා බෝධි ශාඛාව අතරමග දී දෙවියන්ගේත්, නාගයින්ගේත් නොයෙක් පුද පූජා ලබමින් ලක්දිව දඹකොළ පටුනට වැඩම කරවූ එදින උඳුවප් මහේ පුරපසළොස්වක සඳ අහස් ගැබ මෝදුවෙමින් තිබුණි. නැව වෙරළට සැපත් වූ පසු දේවානම්පියතිස්ස රජතුමා ද කරවටක් ජලයට බැස උතුම් බෝධි ශාඛාව ද, සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද, සොළොස් කුල පරිවාර ජනයා ද මහත් හරසරින් පිළිගෙන මනහර පෙරහරින් යුතුව ගෞරව භක්ති පෙරදැරිව රාජකීය සම්මාන සහිතව දෙපස සැරසූ මාර්ග ඔස්සේ අනුරපුර මහමෙව්නාව උයන වෙත වැඩම කරවී ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි, පෙර තුන් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවන් ද සුපිහිටි සුපින්වත් භූමියේ උභතෝ සංඝයාගේ සාධු නාද මධ්‍යයේ මිහිකත කම්පා කරවමින් බෝධි ශාඛාව පිහිටුවා වදාළ සේක. සවණක් ඝන බුදුරැස් විහිදුවමින් පෙළහර පාන බෝධීන් වහන්සේගේ ආශ්චර්යය දුටු රජතුමා ලක් රජයෙන් බෝධීන් වහන්සේ පිදී ය. අනුරාධපුර උතුම් පින්බිමෙහි, ජය සිරිමා බෝ සමිඳුන් මුල් බැස ගත්තේ එසේ ය. සිරිමා බෝ සමිඳුන්ගේ ඒ උතුම් ආනුභාවය, උතුම් ආශීර්වාදය සිංහල ජාතියේත්, සිංහල දේශයේත් මුල්බැස ගියේ ය.

එදා මෙදා තුර ගෞතම බුදු සසුන සුරකිමින්, සිංහල දේශයට, සිංහල ජාතියට, සමස්ත ලෝකයට ම ආශීර්වාදයක් වෙමින් උතුම් සිරිමා බෝධීන් වහන්සේ අනුරපුර පින්බිමේ උඩමළුවේ නිරුපද්‍රිතව වැඩ සිටිති. ඒ උතුම් සිරිමා බෝ සමිඳුන්ට, උඳුවප් මස පුන් පොහෝ දින ලක්දිවට වැඩම කොට, ලක්දිව භික්ෂුණී සංඝයා ඇති කළලක්දිව බුදු සසුනේ උන්නතිය උදෙසා ම කැප කරමින්, හෙළ කතුන්ගේ පරමාදර්ශය බවට පත් වෙමින් සසුන් කෙත ශෝභමාන කළ සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන ඒ සියලු අරහත් තෙරණින් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.!

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

No comments:

Post a Comment