සම්බුදු පහසින් පූජනීය මහියංගණ පුදබිම (දුරුතු පොහොය)



ලක්දිවදී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භුමියෙහි නිදන් කිරීම ස්තූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් දමහියංගණයට සුවිශේෂත්වයක් හිමිය. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වයි.

මහවැලි ගංගා නදීනිම්නයේ පිහිටි තුන්යොදුන් දික් වූ එක් යොදුන් පළල් වූ මහානාග නමින් හැඳීන් වූ මෙම බිම් කඩමහියංගණය නමින් එවකට හැඳීන් වූ බව මහාවංසයෙන් පැහැදිලිවේ. එමෙන්ම දීපවංසයෙහිමහියපොක්ඛල’ නමින් මහියංගණය හඳුන්වා තිබේ
වසර දෙදහස් හයසිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මමහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්යික මුලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූව ද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලිගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වාමහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. 

බුද්ධත්වයෙන් නවවැනි මස එලැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත. ශ්‍රී ලාංකේය වංසකථාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින්මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන් කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින් ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ අදාහන සෑයෙන් ලබාගත් ග්‍රීවා ධාතුව නිදන් කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකථාව දක්වන තොරතුරෙන් මෙම පින් බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට තිබේ. බුදුරදුන්ගේ පළමු ලංකාගමනයේ දී දිවයිනට රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැද එහි රැස් වූ දේව සමුහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනාවක් ද කළ බව වංසත්ථප්පකාසිනීය සඳහන් කරයි.

සරභු හිමියන් විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ග්‍රීවා ධාතුව ද දහ අටරියන් උස්වන ලෙසට නිමවන ලද ස්තුපයක නිධහන් කළ බව වංසකථා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකාර දැයි සිතිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැන්පත් කරන අවස්ථාවේිමේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයක් ගෙන එන ලද සීවලී හා සුමණ නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනීය දක්වයි. එමෙන්ම ස්තූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වය ද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙස ටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකටමහියංගණනම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. 

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටූවීමෙන් අනතුරුවමහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ.මහියංගණය හා ඒ ආශ්‍රීත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂුන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණින් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ඔලගංගලින් හමුවේ.

දේවානම් පිය තිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරුමහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත්මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ශනීයත්වය දිනා ගැනීමට සමත්ව ඇත.

දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශ්‍රීත කලාපය වඩාත් සුවිශේෂ භුමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් දමහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමණිට නිතැතින්ම හිමිවේ. දමිළ පිරිස් මෙසේ මෙම ප්‍රදේශයට පැමිණියේ ස්තූපයේ තැන්පත්ව තිබූ රන් කොල්ල කෑමට බව රාජාවලිය කියයි. එම පුවත කෙතෙක් දුරට නිරවද්‍ය ද යන්න ස්ථිරව කිව නොහැකි නමුත් දුට්ඨගාමණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසුවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භුමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සු බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය. 

දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජුමහියංගණ ස්තුපය ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්‍ථවනගල්ලවිහාර වංසය කියයි’ අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිවුවැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සක්ෂි වංසකථා තුළින් හෙළිදැක්වේ. සිවුවැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳපළේ නීති කඩ කොට අසුවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩමුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණි ඇති බවත් සනාථ වේ. 

පොළොන්නරු සමයේදී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබාදී තිබේ.
එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරිම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී ඇත. මහනුවර රාජධානි සමයේ ද වීර පරාක්‍රමබාහු, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරීය, වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින් බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩි දියුණූ කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කිර්තී ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි. 

වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජොති මාහිමියන්ගේ මුලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තුපය 1871 දී පිළිසකර කිරිම් ඇරඹුණ අතර 1890 දී එහි කොත පළඳවා ප්‍රකෘතිතත්වයට පත් කරන ලදි’ 1922 වන විට නැවතත් අබලන් වූ ස්තුපය අඹගස්වැවෙි රතනජෝති හිමියන්ගේ මුලිකත්වයෙන් වැඩ අරඹන ලදි. 

1949මහියංගණ විහාරවර්ධන සමිතියේ මුලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක් ද යන්න ද අනාවරණය විය. 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධික්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව් වීමත් සමඟමහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකථාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමට ද මං විවර විය.එමෙන්ම ස්තූපයේ ගඩොල් පරික්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලි හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණී. 

මහියංගන ස්තුපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇත.මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. 

මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලු අතර පෞරාණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් බව කීම අතීශෝක්තියක් නොවනු ඇත.


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි

No comments:

Post a Comment