ඇසළ පොහොය

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව 



ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති. 

අදට වසර 2645 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ. 

බුදුන් වහන්සේ හා තවුසන් අතර සතුටු සාමිචි කතාවේ දී තමන් වහන්සේට සම අය අමතන ආවුසො වාදයෙන් තවුසන් අමතන විට උන්වහන්සේ වදාළ තවුසෙනි, බුද්ධත්වයට පත් තථාගතවරයෙකුට ‘ආවුසො’ යයි ඇමතීම නො හොබනේය කියා. එසේ කියාත්, නොපිළිගත් තවුසන්ගෙන් ප්‍රශ්න කළ මා මෙයට පෙර කිසිවිටක ඔබලාට මා බුදුවෙලයි කියල කීවද? නැත. එසේ නම් මේ අවස්ථාවේ මා බුදුවෙලයි කියල කියන්නේ බුදුවූ නිසාම යයි වදාළහ. තවුසෝ ඒ අසා උන්වහන්සේ බුදු වී ඇති බව පිළිගත්හ. ඉක්බිති එසේනම් මහණෙනි, මාගේ පළමුවන දම්සක් පැවැතුම් (සමස්ත ලෝකයම ආවරණය වන ධර්මය නමැති චක්‍රය) දේශනාව අහන්න මහණෙනි, ලොව තිබෙන අන්ත යක් නැති (අනන්ත) අන්තදෙක වූ (සත්වයන් සදා සසර බැඳ තබා දුක් දෙන (ඔවුන් විසින් සත්ත්වයාගේ කෙළවරයි කියා වැරදි සේ පිළිගත්) කාමසුඛයෙහි ඇලි ගැලී සිටින උච්ඡේද දෘෂ්ටිය (උපන් භවය පමණකි, අනතුරු භවයක් නැතැයි සිතා ලැබූ ජීවිතයට හැකිතාක් හොඳින් හෝ නරකින් හෝ සැප දියයුතුයි. උපන් මේවායෙන් තම දිවි නිරුද්ධ වේයයි සිතා හැකිතාක් ඉඳුරන් පිනවන්න. මහණෙනි, එය පහත් අයගේ ක්‍රියාවකි. උතුමන්ගේ ක්‍රියාවක් නොවේ. අශිෂ්ට (ග්‍රාම්‍ය) ක්‍රියාවකි. පුහුදුන්ගේ ( කෙලෙස් බර අයගේ) ක්‍රියාවකි. ආර්යයන්ගේ ( නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නන්ගේ) නොව අනාර්යයන්ගේ ක්‍රියාවකි. එය අර්ථකර (උසස් ප්‍රතිඵල සහිත) ක්‍රියාවන් නොව අනර්ථකර (සසර දුක් දිගුකරන) ක්‍රියාවකි. 

එමෙන්ම අනෙක හෙවත් අත්තකිලමථානුයෝගය නම් මේ ශරීරකූඩුව තුළ සදා නොනැසෙන ආත්මයක් හෙවත් ජීවශක්තියක් තිබේ. එය කෙලෙස් මළින් පිරිසුදු කිරීමේ උපක්‍රමයක් යයි සිතන වැරදි ශීල වැරදි ව්‍රත අනුගමනය කිරීම නමැති සිය ආත්මය තැවීමේ පිළිවෙතයි. එය උපාදානස්කන්ධයට ඉමහත් දුකයි. එය දුක්ඛ සහගතයි. එසේම එය ආර්ය ප්‍රතිපදාවක් නම් නොවේ. එයිනුත් වන්නේ අනර්ථයක් (සසර දිග්වීමක් ) මිස අර්ථයක් (සසර කෙටිවීමක්) නම් නොවේ. එහෙයින් මහණෙනි, තථාගතයෝ එම අන්ත (කෙළවරවල්) දෙකම (අත්හදා බලා ඒවා මිථ්‍යා ප්‍රතිපදා මිස සම්‍යක් ප්‍රතිපදා නොවන බව පසක්කොට අන්තයක් නොවන මේ දෙකින් බැහැර වූ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළහ. මැදුම් පිළිවෙත සේ සැලකිය හැකි එම ප්‍රතිපදාව තථාගතයන් විසින් විශිෂ්ටඥානයෙන් අවබෝධ කරගන්නා ලදී. ඒ මඟ දෘෂ්ටියක් මාගේ මැදුම් පිළිවෙත ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරන්නකි. නුවණ ඇතිකරන්නකි. චතුරාර්ය සත්‍යය වටහා දෙන්නකි. නිවන් පිණිස හේතුවන්නකි. යනුවෙන් වදාළහ. මේ සූත්‍රයෙහි පළමු කොටසෙහි අර්ථයයි.

 මෙයයි මැදුම් පිළිවෙත .එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කවරේද? සම්මා දිට්ඨි (නිවන් සඳහා බවුන් වඩන යෝගියාගේ අවිද්‍යාව නසන විද්‍යා නම් ප්‍රඥා ඇස සම්මාදිට්ඨි (නිවැරදි දැකීම) යයි. සම්මා සංකප්ප (ගිහිබවින් නික්මීම හිංසාවෙන් හා ව්‍යාපාදයෙන් තොරවීම යන යහපත් සංකල්පනා තුළින් නිර්වාණාවබෝධය සඳහා යෝගියා මෙහෙයවන නිවැරදි සංකල්පනාවයි. සම්වාවාච (සම්මාදිට්ඨි සම්මාසංකල්පයන්ගෙන් යෝගියාගේ මිථ්‍යාවාචාදී සිව්වැදෑරුම් වාචසික සිත්වලින් වැළකී වාග් පාරිසුද්ධියය.) සම්මා කම්මන්ත(මිථ්‍යා වචනයෙන් වෙන් වූ යෝගියාගේ හා බැඳුනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායික දුසිරිත්වලින් වැළකීමයි. සම්මා ආජීව (යෝගියා කුහකකම්, චාටු කතා නිමිතිකතා දියෙන් ආහාර පානාදිය වැරදි සේ ලබා ගැනීමට දරන මිථ්‍යා ජීවිකාවෙන් වෙන්වීමයි. සම්මාවායාම (සම්මාවාචා, කම්මන්ත, ආජීව යන්ගෙන් යුක්ත) සිල්වත් වූ යෝගියාගේ සියලු අකුසල් නසන කුසීත බව දුරුකරන වීර්යය යි. එනම් නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල දුරු කිරීම නූපන් කුසල් උපදවීම, උපන් කුසල් රැකගැනීම යන සම්‍යක්ප්‍රධානයයි. සම්මා සති (යෝගියා කායාදී අසුභ දෑ සුබයයි වැරදි සේ දැකීමාදිය දුරුකරන අරමුණේ යථාස්වභාවය වටහා දෙන සිතේ මුළා බව නසන නිවැරදි සිහියයි. සම්මා සමාධි (යෝගියාගේ ස්මෘතිය හා බැඳුනු මිථ්‍යා සමාධිය නසනා නිවැරදි සිතේ එකඟතාවයි. මහණෙනි, මේ ප්‍රඥාව ඇති කරන නුවණ ඇතිකරන මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. එය විශේෂඥානය පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතින්නකි. 

අනතුරුව චතුරාර්ය සත්‍යය හෙළිකරමින් බුදුන් වහන්සේ පළමුව දුක්ඛ සත්‍ය මෙසේ හඳුන්වා දුන් සේක. ‘ජාතිපි දුක්ඛා’ යනුවෙන් බුදුන්වහන්සේ සත්වයාගේ උපත, ජරාව හෙවත් දිරීම ‘ව්‍යාධිය (රෝගීවීම මරණය පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අපි‍්‍රයයන් හා එක්වීම, කැමතිදෑ, නොලැබීම, දුක් බව වදාරා ‘සංඛිත්තෙන පඤ්චු පාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් රූපාදී උපදානස්කන්ධ පහම (ඒකීය වශයෙන් ගෙන) දුක්ඛස්කන්ධයැයි වදාළහ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍යය විස්තර කරමින් සත්වයන්ගේ පුනර්භවය ඇතිකරවන සසර බැඳ තබන උපනූපන් භවය පි‍්‍රයකරවන කාම තෘෂ්ණාව, භවයෙහි ඉපදීමට ඇති ආශාව භව තෘෂ්ණාව පුනර්භවයක් නැත යන විශ්වාසයෙන් උපන් භවයෙහි හැකිතාක් සතුටින් විසීමට සිතන විභව තෘෂ්ණාව යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ඉහත කී ජාත්‍යාදී දුක් නිරුද්ධ කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුන සිතේ තත්ත්වය හෙවත් නිවණ විරාගී බව, තෘෂ්ණාවගේ හැරදැමීම තෘෂ්ණාවෙන් මිදීම සසර නොඇල්ම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. අවසානයෙහි දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් ඉහත සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. 

මහණෙනි, මම පෙර නොදැනසිටි දුක්ඛාර්ය සත්‍ය මේ යයි දැන ගනිමි. නුවණැස පහළවිනි. ප්‍රඥාව උපන්, දෙවනුව එය පිරිසිඳ දතයුතු යයි නුවණ පහළවිය. ඥානය පහළවිය. අවිඥා අඳුර පහ විය. ආලෝකය උපනි. තෙවනුව එම සත්‍යය පිරිසිඳ දැනගතිමියි අවබෝධ කළෙමි. මෙසේම දුක්ඛ සමුදය සත්‍යය (තෘෂ්ණාව) එය ප්‍රහාණ කළයුතු යයි ද එය ප්‍රහාණ කළෙමියි ද නුවණ පහළ විය. තෙවනුව දුක්ඛ නිරෝධ සත්‍යය (නිවණ) මෙ බඳු යයි පෙර නොවුවිරූ නුවණ පහළ විය. 

එය ප්‍රත්‍යක්ෂ කළයුතු යයි පෙර නොවූ විරූ නුවණ පහළ විය. අනතුරුව එය (නිරෝධ සත්‍යය) අවබෝධ කෙළෙමියි පෙර නොවූ විරූ නුවණ පහළ විය. ඉක්බිති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යය කවරේදැයි ප්‍රත්‍යක්ෂ කොට දැනගනිමි. එම ප්‍රතිපදාව වැඩිය යුතුයයි නුවණ පහළවිය. අනතුරුව එම මධ්‍යම ප්‍රතිපදාව වූ අරිඅටඟි මඟ වැඩුවෙමියි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි පැණැස පහළ විය. ප්‍රඥාව පහළ විය. මහණෙනි, මෙකී පරිවෘත්ත (පෙරළෙන චක්‍ර) තුනකින් යුත් දොළොස් ආකාර වූ යථාභූතඥානදර්ශනය (චතුරාර්ය සත්‍යාවබෝධය යම්තාක් කල් සුපිරිසුදු නොවී ද ඒතාක් කල් දෙවියන් සහිත මරුන් බඹුන් හා මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන්ට මම ශ්‍රේෂ්ඨ සමාන සම්බෝධිය අවබෝධ කෙළෙමියි පිළිණ නොකෙළෙමි.යම් අවස්ථාවක තත්ත්වාකාර සම්මාබෝධි ඥාන දර්ශනය සුපිරිසුදු වීද ඉක්බිති මම අනුත්තර සම්මා සම්බෝධිය වෙසෙසින් අවබෝධ කළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. දැන් ඤාණදර්ශනය පහළ විය. සිත කෙලෙසුන්ගෙන් මිදිනි. 

අර්හත් ඵල සමාධිය තහවුරු විය. මේ මාගේ අවසන් උපතයි. පුනර්භවයන් නැතැයි අවසාන වශයෙන් වදාළසේක. යමක් ඇතිවේ නම් ඒ සියල්ල නැසෙනසුළුය යන නුවණින් පස්වග මහණහු සතුටු සිතින් දේශනාව පිළිගත්හ. මේ ධර්මය ඇසූ බූමාටු දෙවියන් ප්‍රමුඛ අකනිට්ඨාවාසී බ්‍රහ්මයන් තෙක් සියලු දෙවි බඹහු මෙවැනි දහමක් ලොව ශ්‍රමණ බ්‍රාහ්මණ මාර බ්‍රහ්මාදී කිසිවකුට නො පැවැත්විය හැකියයි කියා පැවැත් වූ සාධුනාදය ඇසුන ඇසූ පරිදි සාධු කියා සතුට පළ කළහ. ලෝක ධාතුව කම්පාවිය. වෙව්ලීය. දේව තේජානුභාවය ඉක්මවා ඉමහත් ආලෝකයක් ලොව පැතිරිණි. ඉක්බිති බුදුන් වහන්සේ මෙම උදානය (පී‍්‍රතිවාක්‍යය) පළ කළහ. 

‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤ’ ඔබට මෙය වැටහුණේ ද ඔබට මෙය වැටහුනේ ද? මෙතැන් පටන් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” යන නම ව්‍යවහාර විය. සෝතාපත්තිඵලයට පත් වූ උන්වහන්සේ බුදුන්ගෙන් පැවිද්ද හා උපසම්පදාව අයැදූහ. ‘එව මහණ’ යයි බුදුහු ඒහි භික්ෂු උපසම්පදාව දුන්හ. මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාව දුක් කෙළවර කිරීම සඳහා බඹසර වසන්න යි වදාළහ. එයම සෝතාපත්ති ඵලයට පත් වූ ප්‍රථම භික්ෂුව වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ උපසම්පදාව විය. 

 රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

No comments:

Post a Comment