ශ්‍රද්ධාව සහ භක්තිය


‘ශ්‍රද්ධාව‘ යනු නිවන් මගේ මූලාරම්භයයි. ඒ ශ්‍රද්ධා නමැති බීජය සුදුසු තැනක රෝපණය වුවහොත් පැළයක් මතුවන්නේමය. ඒ ශ්‍රද්ධා නමැති කුඩා බීජය වර්ධනය වීමට තව තවත් බලය ලබාදීමටත් ශ්‍රද්ධාවට ශක්තියක් ඇත. බලවත් වූ ශ්‍රද්ධාව, සසර ම සුවපත් කරන ධනයක් ද වන්නේ ය. එය තවත් වර්ධනය වන කල්හී ශ්‍රද්ධාව, මහාධනයක් වී සසර ජීවිතය මෙහෙයවන ඉන්ද්‍රියයක් (නායකයා) බවට පත් වන්නේ ය. මෙසේ සංවර්ධනය කරගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තාට එයින්ම නිවන් මග පෑදෙයි.


‘ශ්‍රද්ධාව‘ යනු අවබෝධයෙන් ඇතිවන පැහැදීමයි. ‘සද්ධහති තථාගතස්ස බෝධිං’ යන විග්‍රහයට අනුව ‘ශ්‍රද්ධාව නම් තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයෙන් ඇති වෙන පැහැදීමයි. එවැනි ‘ශ්‍රද්ධාවන්ත බෞද්ධයා’ යනු බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් ගුණ පිළිබඳව අවබෝධයෙන් ඇති කරගත්, පැහැදීමකින් යුක්ත වූ බුද්ධිමත් තැනැත්තෙකි. ‘කිං සච්චගවේසී’ වූ ඔහු ‘සත්‍යය කුමක්දැ’යි සොයා යන්නෙකි.
විමර්ශනශීලී වූ බෞද්ධයාගේ ගමන් මගේ, අවසාන ඉලක්කයක් සහ එම අරමුණ කරා ගමන් කළ යුතු වූ සෘජු ප්‍රතිපදාවක් හෙවත් වැඩපිළිවෙළක් ඇත. එම ඉලක්කය නම් සියලුම කෙලෙසුන් නැති කිරීමෙන් සසර දුකින් මිදීමයි. ඒ සඳහා අනුගමනීය වූ එක ම මාර්ගය වන්නේ, මධ්‍යම ප්‍රතිපදාව නම් වූ අරි අටඟි මඟයි. 

ඒ මඟට පිවිසීමේ දොරටුව වන්නේ ‘සම්මා දිට්ඨි’ හෙවත් නිවැරදි වූ ගමන් මඟ තෝරා ගැනීමයි. නිවැරැදි ගමන්මඟ නම් ‘ලෝකය සහ සත්ත්වයා පිළිබඳව සත්‍යාවබෝධයට මඟ කියාදෙන චතුරාර්ය සත්‍ය ධර්මය’යි. එම සද්ධර්මයෙන් ඉගැන්වෙන ‘චතුරාර්ය සත්‍යධර්මයත්, ඒ ආර්ය සත්‍යය ලොවට පැහැදිලි කර දුන් තථාගත බුදුරජාණන් වහන්සේ ගැනත්, උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගය අනුගමනය කරමින් නිර්වාණාවබෝධය කළ ආර්යයන් වහන්සේලාත් සරණ යාම, පෘතග්ජන දෙවිමිනිසුන් විසින් කළ යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තවමය. එවැනි ශ්‍රද්ධාවක් ඇති සම්මා දිට්ඨිකයා අරි අටඟිමඟ ගමන් කර සම්මා සමාධියක් ලබාගෙන සම්මා ඤාණයෙන් නිවන් අවබෝධ කර ගන්නේ ය.

මෙවැනි සෘජු මාර්ගයක ආරම්භය වන්නා වූ ශ්‍රද්ධාව, භක්තියක් නොවේ. භක්තියට පදනම් වන්නේ, තමාට අවබෝධ කරගත නොහැකි වූ අද්භූත බලවේග හෝ ශක්ති පිළිබඳව බිය සම්ප්‍රයුක්ත ව, ගෞරවයෙන් විශ්වාස කිරීමයි. භක්තිවන්තයා තුළ ඇතිවන්නේ බිය සම්ප්‍රයුක්ත වූ සැකයකි, ශ්‍රද්ධාවන්තයාට සැකයක් හෝ බියක් නැත.
එනිසා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් රත්නත්‍රයට ගෞරවයෙන් පූජා පවත්වන්නේ බියකින් හෝ සැකයකින් නොවේ. එනමුත් භක්තිවන්තයා තුළ දෙවියන් කෙරෙහි භක්තියත්, සැකයත්, බියත් ඇත. එබැවින් ‘දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීමට නොහැකි වීමක් නිසා දේවශාපයට ලක්විය හැකියැ’යි සිතා භක්තිවන්තයා බියට පත්වෙයි. විභීෂණ දෙවියන් කෙරෙහි ඇති භක්තිය තොටගමුවේ රාහුල හිමියන් පැහැදිලි කරන්නේ මෙසේ ය.
නම කළ සත හැලේ සිහිලේ සැප සිලිලී
බියසෙන රුපු කැලේ තුමුලේ දෙන නොකලී
නළලත ගිරිතෙලේ සුනිලේ රැසි නිපිලී
සුරරඳ දෙබැමලේ ගනලේ සිරි කියලී (සැළලිහිණි සංදේශය 81 පද්‍යය)
විභීෂණ දෙවිඳුන්ට පූජා පවත්වමින් ගෞරව කරන අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ. එබැවින් දෙවියන් පුදන්නාට සම්පත් ලැබෙන අතර සතුරන්ට විනාශයත් සිදුකළ හැකිය. මෙවැනි ආශිර්වාදයත්, (දේව) ශාපයත් දෙවියන් තුළ ඇති නිසා, දෙවියන් කෙරෙහි වන බාරයක් ඔප්පු (සම්පූර්ණ) කළ යුතුමය. බාර ඔප්පු නොකර නොසලකා හැරීමෙන් දේව ශාපයට ලක්විය හැකිය. 

එවැනි මහාබලයක් ඇති පර්වත රාජයෙක් වැනි වූ විභීෂණ දෙවියන්ගේ නීලවරණ වූ බැම දෙක, මහාමේඝකූටයක් (විශාල වැහි වළාවක්) මෙන් දර්ශනය වන්නේය. විශාල වැහිවළාවක ලක්ෂණ දෙකක් ඇත. 

01. වියළි කාලයකදී වැහි වළාවකින් ඇදහැලෙන මහාවර්ෂාවෙන් ගස්වැල්වලටත් සතුන්ටත් සතුටක් ම ලබාදෙන්නේ ය. 

02. මහාමේඝයකින් ඉතා දරුණු විනාශ සිදුකෙරෙන විශාල අකුණු ඇතිවෙන නිසා සියලුම සත්තු මහාමේඝකූටයට බියවෙති. 

මේ ගතිලක්ෂණ දෙක ම ඇති දෙවියන්ගෙන් සතුන්ට ආශිර්වාදයත් ශාපයත් යන දෙක ම ලැබේ. දේව පූජාවක් වූ භාරයක් ඔප්පු කිරීමත් බියසම්ප්‍රයුක්ත ගෞරවයකින්ම කළ යුතු ය. එනිසා දෙවියන් කෙරෙහි වූ භාරයක් ඔප්පු කිරීමට නොහැකි වූ දේව භක්තිකයා, නිතර ම සිටින්නේ ‘දේවශාපයට ලක්වේදෝ’ යන සැකයෙනි. එය දේව භක්තියේ ස්වභාවයයි. නමුත් නිතර පවත්වන බුද්ධපූජාවක් යම් අවස්ථාවෙක කිරීමට නොහැකිවීම නිසා ශ්‍රද්ධාවන්තයා, බුදුරජාණන් වහන්සේගේ ශාපයට ලක්වන්නේයැ’යි නොසිතන නිසා බියටපත් නොවේ. බුදුරජාණන් වහන්සේ සියලුම සතුන් කෙරේ එක සේ ම මහා කරුණාව දක්වති. එය ශ්‍රද්ධාවන්තයා, දන්නා නිසා ‘බුද්ධ පූජාව‘ තැබීමට නොහැකිවීම නිසා බියට පත්නොවේ. එය ශ්‍රද්ධාවන්තයා තුළ ඇති බුද්ධිමත් ස්වභාවයේ ලක්ෂණයයි. එනිසා ශ්‍රද්ධාව සහ භක්තිය අතර පැහැදිලි වෙනසක් ඇත. 

කුසලාකුසල පිළිබඳව අවබෝධයෙන් යුක්තව තෙරුවන් කෙරේ ඇති වූ පැහැදීම ආකාරවතී සද්ධා නම් වන්නේ ය. එවැනි ස්ථිර මුලක් නැති ව ඇති වූ සද්ධාව ‘අමූලික සද්ධා’ නම් වෙයි. ආකාරවතී සද්ධාව ඇති කරගත් තැනැත්තා පාප සිතිවිලි යටපත් කරමින් කුසලයට සිත දිරිගැන්වීම කරයි. එය සමපක්ඛන්ධන සද්ධා නම් වෙයි. තෙරුවන් ගුණත් ආර්ය සත්‍යත් පිළිබඳව පැහැදීමක් ඇති කර ගත් තැනැත්තා, සම්පසාදන සද්ධාවෙන් පිරිපුන් කෙනෙක් වන්නේ ය.

මෙසේ සහේතු ව ඇති කරගත් සද්ධාව, සත්‍යාවබෝධයට පදනමක් ලබාදෙන්නේ ය. එනිසා නිර්වාණාවබෝධයට, ශ්‍රද්ධාව බීජයක් වී බුදු පසේබුදු, අරහත් ඤාණ නමැති වෘක්ෂයේ පැළවීමේ හැකියාව ලබාදිය හැකි බීජ ශක්තියක් හා බලයක් ඇති ‘ශ්‍රද්ධාව‘ යනු නිවන් මගේ මූලාරම්භයයි. ඒ ශ්‍රද්ධා නමැති බීජය සුදුසු තැනක රෝපණය වුවහොත් පැළයක් මතුවන්නේමය. ඒ ශ්‍රද්ධා නමැති කුඩා බීජය වර්ධනය වීමට තව තවත් බලය ලබාදීමටත් ශ්‍රද්ධාවට ශක්තියක් ඇත. බලවත් වූ ශ්‍රද්ධා, සසර ම සුවපත් කරන ධනයක් ද වන්නේ ය. එය තවත් වර්ධනය වන කල්හී ශ්‍රද්ධාව, මහාධනයක් වී සසර ජීවිතය මෙහෙයවන ඉන්ද්‍රියයක් (නායකයා) බවට පත් වන්නේ ය. මෙසේ සංවර්ධනය කරගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තාට එයින්ම නිවන් මග පෑදෙයි. එනිසා තෙරුවන් නිවැරැදි අවබෝධයෙන් ඇති කරගත් ශ්‍රද්ධාව, නම් වූ සම්මාදිට්ඨිය හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධයේ (සම්මාඤාණයේ) අත්තිවාරමයි.
 මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

No comments:

Post a Comment