අනුබුදු මිහිඳු මා හිමි සත් දිනක් තුළ දෙසූ දම් අමා ගඟ
සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි.
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වන අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන් බව අපි දනිමු.
එවකට තරුණ ජවයෙන් හා සුවිශද බුද්ධියකින් හෙබි දූරදර්ශී හා තේජෝබල සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිත ත්‍රිපිටකය ද මෙරටට රැගෙන වැඩි බව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එහි අරමුණ වන්නේ සැබෑ නිර්මල බුදු දහම මෙහි ස්ථාපනය කිරීම බව ඉතා පැහැදිලි ය.
ඓතිහාසික ලේඛනවලට අනුව උන්වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර ඔවුන්ගේ නිගමන අනුව මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනය ඉතා සැලසුම් සහගත වූවකි.
උන්වහන්සේ පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ අතර, එය වටහා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. එබැවින් මෙම ලිපියෙන් සලකා බැලෙනුයේ උන්වහන්සේ විසින් මුල් දින කිහිපය ඇතුළත කරන ලද සූත්‍ර දේශනාවන් පිළිබඳව ය.
මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි විගස දේවානම්පියතිස්ස රජතුමා සමඟ දාර්ශනික සංවාදයක යෙදුණු බව අපි දනිමු. රජතුමාගේ බුද්ධි මහිමය තේරුම් ගත් පසු උන්වහන්සේ විසින් රජුට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා අතර මජ්ක්‍ධිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය පතුරුවා හැරීමයි. ඒ සඳහා රජතුමාට මෙන්ම රජ පෙළපත හා බැඳුණු සෙසු ජනයාට බුද්ධ දේශනාව සම්බන්ධයෙන් බුද්ධිමය අවදියක් තිබිය යුතු බව උන්වහන්සේ මැනවින් දැන සිටියහ. ඓතිහාසික වාර්තා අනුව චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම් පියතිස්ස රජ ඇතුලු රජ පවුලේ සියලු දෙන තෙරුවන් සරණ ගිය බවත්, ඇතැම් අය සෝවාන් ඵලයට පවා පත් වූ බවත් සඳහන් වේ.
චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තරමක් කුඩා සූත්‍රයකි. හත්ථි - පද - උපම යන පද තුන එකතු වී එම පාලි වචනය සෑදී ඇත. ඇතෙකුගේ පා පියවර උපමා කොට මෙම සූත්‍රය දෙසා ඇත. එහි පිලෝතික හා ජාණුස්සොණි යන බෞද්ධ නොවන බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවක් වේ.
පිලෝතික බුදු දහම වළඳගත් පුද්ගලයෙකු නොවුණ ද බෞද්ධ දර්ශනයේ වටිනාකම හා එහි අනුගාමිකයන් ගැන දැඩි ප්‍රසාදයකින් සිටි කෙනෙකි. ඔහු දිනක් ඒ බව ජාණුස්සෝණි නම් තම මිතුරාට ප්‍රකාශ කළේ ය. එය අසා සිටි ජාණුස්සෝණි බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත්බව වැඩි උනන්දුවකින් විමසී ය.
බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත් බවට සමකළ හැකි තත්වයක සිටින කිසිවෙක් දෙවියන් සහිත ලෝකයේ නොමැති බවත්, එම ප්‍රඥාව පැසසීමට තමාට වචන නැති බවත් එහිදී පිලෝතික පවසයි. ඔබ එතරම් පැහැදුණේ කොහොම ද? ජාණුස්සෝණි ප්‍රශ්න කරයි. එවිට පිලෝතික මෙසේ පිළිතුරු දෙයි.
යම් සේ ඇතුන් වසන වනයක සිටින පුරුෂයෙක් දිගින් පළලින් මහතින් යුතු ඇත් පා සලකුණක් දැක, මේ විශාල හස්තියෙකැයි නිගමනය කරන්නාක් මෙන් මම ද බුදුරදුන්ගේ ඤාණපද හතරක් දැක උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධ බව, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත බව, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා නියම මාර්ගයට නිසි පරිදි පිළිපන් පිරිසක් බව දැනගතිමි යැයි කී ය.
සියුම් බුද්ධි ඇති තාර්කික ඇතැම් ක්ෂත්‍රියයෝ උන්වහන්සේ සමඟ තර්ක කිරීමට ප්‍රශ්න සකසාගෙන පැමිණ උන්වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ප්‍රශ්න නො විමසාම ශ්‍රාවකයන් බවට පැමිණීම ඉන් පළමු වැන්නයි.
දෙවැන්න එබඳුම මහත් බුද්ධි ඇති බමුණු පඩිවරු වාද කිරීමට පැමිණ ප්‍රශ්න නො අසා නිහඬව ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වීමයි. ඇතැම් ගෘහපති පඬිවරු ද එසේම ශ්‍රාවකයන් බවට පත්වීම තෙවැන්න වන අතර සිවුවැන්න වන්නේ ඇතැම් ශ්‍රමණ පඬිවරු ද මෙසේම බුදුරදුන්ගේ දේශනාවෙන් ඉමහත් උත්තේජනයට පත්ව ශ්‍රාවක භාවය ලැබීමයි. මෙම පියවර හතර දැක මම මෙසේ බුදුරදුන්ගේ ප්‍රඥාව ගැන පැහැදුනෙමියි පිලෝතික කී ය.
මෙයින් අතිශය ප්‍රසාදයට පත් ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන් දෙදෙනා අතර සිදු වූ සංවාදය හෙළි කළහ. මෙ පමණකින් ඇත් පද උපමාව සම්පූර්ණ නොවේ යැයි වදාළ බුදුන් වහන්සේ සීල සමාධි ප්‍රඥාවන් අනුක්‍රමයෙන් පිරිසිදු කොට, ආධ්‍යාත්මික ජීවිතයක් ලබා ගන්නා අයුරුත්, චතුරාර්ය සත්‍ය පසක් කර ගන්නා ආකාරයත් ඔවුනට පැහැදිලි කොට, එසේ කිරීමෙන් හත්ථි පද උපමාව සම්පූර්ණ වන බව වදාරති. අවසානයේ ඔවුහු දිවි ඇති තෙක් බුදුන් සරණ යන බව සතුටින් ප්‍රකාශ කරති.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ මෙම දේශනාව අසා හතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ. මෙසේ ශ්‍රී ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාව සිදු වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් සහිත ශ්‍රී ලාංකික ජනයාගේ දායකත්වයක් සහිතව ය. මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ නෙත් විවර වීමක් ද මෙදින සිදුවිය. ඒ එදින පැවිදි කරන ලද භණ්ඩුක සාමණේරයන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගිට මුළු දිවයිනටම ඇසෙන සේ ධර්ම ශ්‍රවණය සඳහා දේවාරාධනයක් කළ බැවිනි. මිහ¼ිදු මහරහතන් වහන්සේ එදින පැමිණි දෙවියන්ට සමචිත්තපරියාය නම් සූත්‍ර දේශනාව කළහ.
සමචිත්තපරියාය සූත්‍ර දේශනාව
මෙම සූත්‍රය පුද්ගල අධ්‍යාත්මයේ පවතින සංයෝජන හා බාහිර සංයෝජන අරබයා බුදුරදුන් විසින් සැරියුත් හිමියන්ටත්, සැරියුත් තෙරුන් විසින් භික්ෂූන්ටත් දේශිත සූත්‍රයකි.
සැරියුත් තෙරුන් පිරිනිවන් පෑමට ආසන්න ව දෙසූ මෙම සූත්‍ර දේශනාව ඇසීමට දෙවි දේවතාවන් ගිණිය නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් පැමිණි බව සඳහන් වේ. මිහිදු මාහිමියන් මෙම සූත්‍රය දෙවියන්ට දෙසීමේ පසුබිම බුද්ධිය පමණක් නොව ශ්‍රද්ධාව හා භක්තිය ද සහිත ව බුදුදහම දෙස බලන පුද්ගලයෙකුට තේරුම් ගැනීම අපහසු නැත. සමචිත්තපරියාය සූත්‍ර දේශනාව ධ්‍යාන, විදර්ශනා, මාර්ග ඵල හා නිර්වාණය ලබා ගන්නා ආකාරය විස්තර කෙරෙන ගැඹුරු ධර්ම පර්යායකි. සය ආකාරයකින් විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙහි විස්තර වේ.
ප්‍රධාන වශයෙන් මෙහි සාකච්ඡා වන කරුණු අතර, ආධ්‍යාත්මික සංයෝජන යන්නෙන් අදහස් වන්නේ කාම භවයෙහි බැඳීමයි. බාහිර සංයෝජන යනු රූප අරූප භවයන්හි බැඳීමයි. සත්ත්වයා කාම භවයෙහි මෙන්ම, රූපාරූප භවයන්හි ගෙවන ආත්මවල ස්වභාවය පිළිබඳ ගැඹුරු දේශනාවක් මෙහි අන්තර්ගත වේ.
මෙම සූත්‍ර දේශනාවසානයෙහි ධර්මාභිසමය ලද දෙවියන්ගේ සංඛ්‍යාව නියමයක් නැති අතර අසංඛ්‍ය වූ නාග සුපර්ණයෝ සරණ ශීලයෙහි පිහිටියහ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිට වූ දිනයේ සිට දෙවියන්ගේ ආරක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට මෙය ඓතිහාසික වූත්, ප්‍රමාණවත් වූත් කරුණකි.
ප්‍රේත වස්තු හා විමාන වස්තු දේශනා
මිහිදු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් දෙවන දිනයෙහි දෙවනපෑතිස් නරනිදුන් විසින් පිරිනැමූ දානයෙන් පසු පේතවත්ථු විමානවත්ථු හා සච්චසංයුක්ත දේශනා කළහ. ප්‍රේතවස්තු යනු මිනිස් ලොව සිටිය දී අකුසල කර්ම කළ ස්ත්‍රී පුරුෂයන් ප්‍රේතයන් හා ප්‍රේතියන් වී දුක් විඳීන අයුරු පෙන්වා දෙන දේශනාවන් ය.
මුගලන් මහරහතන් වහන්සේ එම ලෝකවලට ඍද්ධියෙන් වැඩම කොට ඔවුන් සමඟ කතා බස් කොට යළි මිනිස් ලොවට වැඩම කොට ඒවා මිනිසුන්ට වදාරණ ලද්දේ මිනිසුන් අකුසලයෙන් වැළැක්වීම පිණිස ය. මෙම කථා වස්තු ඇතුළත් ග්‍රන්ථය ප්‍රේත වස්තුව නමින් ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ. එසේම උන්වහන්සේ දිව්‍ය විමානවලට ගොස් දෙවියන් හා දෙවඟනන් එම සම්පත් අනුභව කරන්නේ කුමන පින්කමකින් දැයි ඔවුන්ගෙන් අසා දැනගෙන මිනිස් ලොවට දේශනා කරන ලද්දේ එකී මිනිසුන් කුසලයෙහි පිහිටුවීම සඳහා ය. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේ මෙම දේශනාවන් මෙහි දී දේශනා කරන ලද්දේ මෙරට වැසියා අයහපත් ක්‍රියාවලින් වළකා ගැනීමටත්, ඔවුනට යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීමටත් බව ඉතා පැහැදිලි ය. අකුසලයෙන් ඈත්විය යුත්තේ කවර හේතුවක් නිසා ද? කුසල් කිරීමෙන් සාංසාරික ව ලැබිය හැකි සැප විපාක මොනවාද, සතුටින් සොම්නසින් මෙලොව මෙන් ම, පරලොව ගත කළ හැකි උපාය මාර්ගය කුමක් ද යන්න මෙම දේශනාව මගින් උන්වහන්සේ සිංහල ජනයාට පහදා දුන්හ. මෙම දේශනාව අවසානයෙහි විශේෂයෙන් කාන්තාවෝ පන්සීයක් සෝවාන් ඵලයෙහි පිහිටි බව මහාවංසය හා සමන්තාපාසාදිකා වනි ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ.
සච්චසංයුත්ත සූත්‍ර දේශනාව
මිහිදු මාහිමියන් දෙවන දිනයෙහි දෙසූ සච්චසංයුත්ත දේශනාව කුඩා සූත්‍ර රාශියක එකතුවකි. සංයුත්ත නිකාය නම් ග්‍රන්ථයේ එම සූත්‍ර දක්නා ලැබේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත විවිධ වූ හා, ගැඹුරු වූ දහම් කරුණු රැසක් මෙහි දක්නට ලැබුණ ද එහි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ආර්ය සත්‍යය නොයෙක් ආකාරයෙන් ධර්මානුකූල ව විස්තර කිරීමකි.
සංසාරය අතිශය බිහිසුණු බවත්, එහෙයින් ම සත්ත්වයා අසීමිත දුක්ඛ වේදනාවන්ට පාත්‍ර වන බවත් පෙන්වා දෙන මෙම සූත්‍ර අවධාරණය කරනුයේ සාංසාරික අත්දැකීම් සියල්ල දුක් බව හා ඒවා දුක් වශයෙන් තේරුම් ගෙන එය අභ්‍යාසයක් වශයෙන් නිතර නිතර භාවනාවක් වශයෙන් වැඩිය යුතු බවයි.
මිහිඳු මහ රහතන් වහන්සේ මෙම දේශනාව පහදා දීමෙන් අපේක්ෂා කරන්නට ඇත්තේ මෙම දිවයිනෙහි වැසියන්ට හරවත් ජීවන රටාවක් හඳුන්වා දීම විය යුතු ය. සැප ලැබිය හැක්කේ දුකෙහි දුක්වීමෙන් නොව, දුක දුකක් වශයෙන් තේරුම් ගෙන අකම්ප්‍යව කටයුතු කිරීමෙනි.
දේවදූත සූත්‍ර දේශනාව
මිස්සක පර්වතයට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ඇසින් දුටු ජනයා තැන් තැන්වල උන්වහන්සේගේ ගුණ කී ය. එබැව් අසා මහත් ජන ගංගාවක් රජ මිදුලට රැස්විය. එයින් ඇති වූ කලබැගෑණියත්, සියලු දෙනාට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමත් නිසා දෙවනපෑතිස් රජතුමා ඇත්හල පිළිසකර කොට සරසවා එහි මඟුලැතු සිටින ස්ථානයෙහි තෙරුන්ට අසුනක් පැනවී ය.
මිහිඳු මහරහතන් වහන්සේ එහි රැස්ව සිටි පිරිසට පව් කළවුන්ට මරණයෙන් පසු හිමිවන දරුණු දුක් වේදනාවන් ගැන කියැවෙන දේවදූත සූත්‍ර දේශනාව කළහ. කයින්, වචනයෙන්, මනසින් දුසිරිත් කොට මිසදිටු ව ආර්යයන්ට උපවාද කළාහු මරණින් මතු නිරයේ උපදිති. එහිදී යමපල්ලෝ ඔවුන් යමරජු වෙත ගෙන දක්වති. යමරජු ළදරු ව මළ මූත්‍ර ගොඩෙහි උඩුකුරුව සිටීම, ලෙඩවීම, ඉඳුරන් දිරා යාමෙන් මහලුවීම, මරණයට පත්වීම යනාදී වශයෙන් තොප වෙත පැමිණි දේවදූතයන් නො දැක්කෙහු දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරති. නො දුටුවෙමි ස්වාමීනී'යි පැවසූ කල්හී ඉපදීම, ලෙඩවීම, ජරාව හා මරණය ස්වභාව කොට සිටියදී ප්‍රමාදය හේතුවෙන් ඒවා තේරුම් නොගෙන දුසිරිත්කම් කිරීම තොපගේ මව්පිය ඥාති ආදි අන් කිසිවෙකු විසින් කරන ලද ඒවා නොවන බවත්, තොප විසින්ම කළ ඒවා බවත් පවසා එහි විපාක විඳීව් යැයි ඔවුන්ට සිතීමට පවා නොහැකි තරමේ දරුණු වධ හිංසා පමුණුවති.
එයින් ඔවුහු මහත් දුක් විඳීති. මෙය මිනිසුන් වන අපට සාංසාරික ව මුහුණ පෑමට සිදුවන තත්වයක් බව සූත්‍රයේ දක්වයි. මෙම සූත්‍රය ප්‍රබන්ධ කථාවක ලක්ෂණ පෙන්නුව ද ගැඹරු දර්ශනයක් හා ආචාර විද්‍යාත්මක වැදගත්කමක් සහිත සූත්‍රයකි.
මිහිඳු මහරහතන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කිරීමෙන් සිංහල ජනයාට අපූරු ජීවිත ගැඹුරක් ප්‍රකට විය. එයින් හටගත් සමුත්තේජනය හේතුවෙන් බණ ඇසීමට පැමිණි පිරිස ශීඝ්‍රයෙන් වැඩිවිය. එනිසාම ඇත් හළෙහි අවකාශ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අසල පිහිටි නන්දන උයනෙහි තෙරුන්ට අසුන් පැනවීමට රජතුමාට සිදුවිය. තෙරණුවෝ එහිදී ආසිවිසෝපම සූත්‍ර දේශනාව පැවැත්වූහ.
ආසිවිසෝපම සූත්‍ර දේශනාව
අප පරිහරණය කරන ශරීරයේ සංයුතියක් වන සතර මහාභූත දරුණු විස ඇති නාගයන් සිවු දෙනෙකුටත්, පඤ්චස්කන්ධය දරුණු වධකයන් පස් දෙනෙකුටත්, අපගේ තෘෂ්ණෘව ඇතුළත සැරිසරන වධකයෙකුටත් ආදී වශයෙන් සම කොට මෙහි ආලය දුරුකොට කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ මෙම සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. උන්වහන්සේ දිවයිනට පැමිණි මෙම දෙවන දිනය සවස් භාගය වන විට දෙදහස් පන්සියයක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. කෙසේ වෙතත් දවස ගෙවී යනු කිසිවෙකුට නො දැනුණි. තෙරුන් වහන්සේ දැන් සවස් වී ඇතැයි මිස්සක පර්වතයට වඩිනු පිණිස සූදානම් විය. රජතුමා බුහුමන් සහිත ව ඒ අසල තිබූ මහමෙවුනා උයන ආවාසයක් වේවායි සඟුනට පූජා කළේ ය. එහි එදින වැඩ විසූ තෙරුන් වහන්සේ පසුදින රජ මැඳුරෙහි දානය වළඳා, නන්දන වනයෙහි දී අනමතග්ගිය සූත්‍ර දේශනා කළහ.
අනමතග්ගිය සූත්‍ර දේශනා
සංයුක්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙහි අනමතග්ගිය සංයුක්තය නමින් වෙනම කොටසක් ඇත. එහි සූත්‍ර රාශියක් වේ. එම සූත්‍ර සියල්ලෙහි ම පැවසෙන්නේ අක් මුල් නැති සංසාරය පිළිබඳව ය. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රය. මුලක් අගක් නො දත හැක්කේ ය. යැයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ කරුණ මෙහි නොයෙක් ආකාරයෙන් විස්තර වේ. සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. මෙතරම් දිගු සංසාරයෙහි අපට අත් විඳීමට සිදුවන දුක් කන්දරාව කොපමණ දැයි මෙම සූත්‍රවලින් සිතා ගත හැකි ය. සැබැවින්ම සංසාරයෙහි සැරිසැරීම දුකක් මිස සැපක් නොවේ. එහි ලැබිය හැකි ආස්වාදය අල්ප ය. දුක් වේදනා අනල්ප ය.
අග්ගික්ඛන්ධොපම සූත්‍ර දේශනාව
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ පළමු සතියෙහි සයවන දිනයෙහි දේශනා කරන ලද්දේ අග්ගික්ඛන්ධොපම සූත්‍රයයි. මෙම සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ මහත් ගිනි කඳක් පෙන්වා දුසිරිත් කරමින්, දුසිල් ව, පාපී ලෙස හා මිච්ඡා ආජීවයෙන් යුතුව ලෞකික කාම සම්පත් පරිභෝජනය කරමින් ජීවත් වීමට වඩා එම ගිනි කඳ වැළඳගෙන මියයාම උතුම් බව වදාරති. මිහිදු මහරහතන් වහන්සේ රට පාලනය කරන්නන්ටත්, රට වැසියාටත් මෙම සූත්‍රය දේශනා කිරීමේ අරමුණ වන්නට ඇත්තේ හොරකම, වංචාව, අල්ලස වැනි පාප ධර්ම කෙරෙන් තොර හා අව්‍යාජ මානව දයාවෙන් යුතු සංස්කෘතියක් සැකසීමට විය යුතු ය. අනෙක් අතින් ආත්මීය පිරිසිදු බව තුළින් ඇතිවන සතුට මිනිස් ප්‍රජාව වෙත ළඟා කරවීම සඳහා විය යුතු ය. මෙම සූත්‍ර දේශනාවත් සමඟ සෝවාන් ඵලයට පත් උතුමන්ගේ සංඛ්‍යාව අට දහස් පන්සීයයක් විය.
අප්පමාද සූත්‍ර දේශනාව
සත්වන දිනයෙහි රජුගේ අන්තඞපුර බිසොවුන්ට අප්‍රමාද සූත්‍ර දේශනාව අවවාද කළහ. අප්‍රමාදය යනු පමා වීම නොවේ. සතියෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සමස්ත බුදු දහම ම මෙම පදයට ඇතුළත් වේ. එතරම් වැදගත්කමක් එහි පවතී. අප්‍රමාදී ව සිහි නුවණින් යුතුව කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුගේ ලෞකික හා ලෝකෝත්තර ජයග්‍රහණයේ සැබෑ රහසයි. මෙම සූත්‍රයෙන් ඔවුනට අවවාද කළ මිහිදු මහරහතන් වහන්සේ සෑගිරියට වැඩම කළහ.
මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා විධිමත් සැලසුමකින් යුතුව මෙරට ජනයාගේ සංස්කෘතිය, ජීවිතාවබෝධය හා සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයටම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
අසිරිමත් වෙසක් පොහොය
ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.
මහත් වූ ආශ්චර්යය ජනක සිදුවීම් මුළු ලොවෙහිම සිදු වෙත් දී බිමට පා තැබූ බෝසතාණෝ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කළහ.
අප මහබෝසතාණෝ උපතත් සමග කතා කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මහෞෂධ අත්බැව් හි දී සක් දෙවිඳුන් විසින් දුන් සඳුන් ගැටය අත තබාගෙන බිහි විය. සුමනා නම් මව “දරුව අතේ කුමක් ගෙන ආයේ ද?” යි ඇසූ කල්හි “බෙහෙතක් ගෙන ආයෙමි” යි දුන් පිළිතුර උපතත් සමග බෝසතුන් කළ පළමු ප්‍රකාශය යි. වෙස්සන්තර ආත්ම භාවයේ දී මවුකුසින් බිහිවෙමින් දකුණත දිගු කොට “මෑණියනි, දන් දීමට ගෙයි කිසිවක් ඇත්දැයි” කළ විමසීම දෙවන අවස්ථාව යි. බුදුවන ආත්මයේ දී ඉහත කී අන්දමට “අග්ගො හමස්මි....” ආදී වශයෙන් කළ ප්‍රකාශය තුන්වන අවස්ථාව යි.
අනාගතයේ බුද්ධත්වයට පත්ව මුළු ලොවටම අර්ථ සිද්ධිය සලසන බව උගත් බමුණන්ගෙන් දැනගත් සුද්ධෝදන රජතුමා බෝසත් පුතණුවන්ට ‘සිද්ධාර්ථ’ යනුවෙන් නම් තැබීය. මැනවින් හැදුනු වැඩුනු සිද්ධාර්ථ බෝසතුන් ශිල්ප ශාස්ත්‍ර උසස් සේ හදාරා සොළොස්වන වියේ දී යසෝධරා නම් රජ කුමරිය සරණපාවා ගත්තේය. විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක රාහුල නම් පුතණුවන් උපන් ඇසළ පෝදා මධ්‍යම රාත්‍රියේ දී නිවන් අවබෝධ කර ගැනීමේ අදිටනින් මහභිනික්මණෙහි යෙදුනි. සය අවුරුද්දක් මුලුල්ලෙහි යෙදුනු දැඩි දුෂ්කර ක්‍රියා මෙගහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත් සිද්ධාර්ථ තවුසාණන් ඒ මග අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තුළින් තම අරමුණ සාර්ථක කර ගත යුතු යැ යි තීරණයට එළඹුණි.
වෙසක් පුන් පෝදාක අලුයම අජපල් නම් නුගරුක මුල දී සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වළඳා සවස් භාගයෙහි සොත්ථිය බමුණා විසින් දෙන ලද කුස තණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පාමුල අතුරා නැෙගනහිරට වැඩ සිට බුදුබව ලැබීමේ ප්‍රතිපදාවට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුහත් බෝසතාණෝ වෙසක් පුන් පෝදා රාත්‍රි පශ්චිම යාමයෙහි දී සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූහ.
බුද්ධත්වයට පත්වීම හදිසියේ වූ සාමාන්‍ය සිදුවීමක් නොවේ. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරූහ. සුමේධ තාපසව උපන් අවධියේ දී අපරිමිත රහතුන් පිරිවරාගෙන වැඩම වූ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයෙහි මහ මඩෙහි ඒදණ්ඩක් මෙන් වැතිර සිටි අවස්ථාවෙහි අනාගතයෙහි ‘ගෞතම’ නමින් බුදු වන බවට නියත විවරණ ලැබීමත් සමග බෝසතාණන්ගේ කරුණා හා ප්‍රඥා ගුණය වඩාත් වර්ධනය වන්නට විය. බුද්ධ කාරක ධර්මයන් වූ දස පාරමී ධර්මයන් නොඅඩුව සම්පූර්ණ කිරීමට උපන් සෑම ආත්මයක් පාසාම ආශ්චර්යය ලෙස ක්‍රියාත්මක විය. මහ සයුරේ ජලයට වඩා අනුන්ගේ යහපත සඳහා ලේ දන් දෙමින් ද, මහ පොළොවේ පස්වලට වඩා අනුන්ගේ යහපත සඳහා ශරීර මාංස පරිත්‍යාග කරමින් ද, අහසේ තාරකාවන්ට වඩා තම ඇස් පරිත්‍යාග කරමින් ද ප්‍රකට කළ අසම වූ ගුණයන් නිසා උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවිය.
එදා වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත්වීමත් සමග තම සිත්හි පහළ වූ අසීමිත පී‍්‍රතිය ප්‍රකට කෙරෙමින් “අනෙක ජාති සංසාරං...” යන උදාන ගාථාව ප්‍රකාශ කළ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. සම්බුදු රදුන්ගේ මුවින් නිකුත් වූ ඒ ප්‍රථම බුද්ධ වචනය යි ධම්මපද අටුවාව ඇතුළු ස්ථාන කිහිපයක සඳහන් වේ. එහෙත් අභිධර්ම අටුවාව සහ තවත් ස්ථාන කිහිපයකම ප්‍රථම බුද්ධ වචනය වශයෙන් පළමුවන සතිය ගතකරද්දී දේශිත “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදි ගාථාව සඳහන් වෙයි. මෙය එකිනෙකට විරුද්ධ මත දෙකක් වශයෙන් පෙනුනත් එසේ නොවේ. “අනෙක ජාති සංසාරං...” යන ගාථාව බුද්ධත්වයට පත්වීමත් සමග මුලින්ම උන්වහන්සේගේ සිතේ පහළ වූ අදහසකි’ “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදී ගාථාව වාග් භේදයෙන් කළ ප්‍රථම දේශනාව වශයෙන් ගත්විට කිසිදු ගැටලුවක් නොවේ.
ලෝ සතුන් වෙත අපරිමිත කරුණාවකින් යුතුව දවසේ දෙපැයක් පමණ හැර මුළු කාලයම කැප කරමින් සම්බුදු රදුන් සිදුකළ මහඟු සේවය මෙපමණ යැයි දැක්වීම අපහසු ය. කෝටි සංඛ්‍යාත සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කිරීමටත්, උසස් ගුණ දහමින් සම්පූර්ණව අගනා ජීවිත ගත කිරීමට මග සැලසීම උදෙසා උන්වහන්සේගේ තම කාලය කැප කළහ. සම්බුදු රදුන් බුද්ධත්වයෙන් පන්සාළිස්වස බේලුව ගමෙහි ගතකොට අනතුරුව චාපාල චේතියස්ථානය වෙත සංඝරත්නයත් සමග වැඩම කළහ. එහිදී අනඳ තෙරුන් ඇමතු බුදුහු සතර ඍද්ධිපාද ධර්මයන් යහපත් කොට වඩවන්නහුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටිය හැකිය යි වදාළහ. මාරයා විසින් සිත සසල කිරීම නිසා කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමට උන්වහන්සේට නොහැකි විය. අනඳ හිමියන් මද වේලාවකින් බුදුරදුන්ගෙන් අවසර ගෙන ඉවත්ව යාමත් සමඟ එහි පැමිණි මාරයා දැන් සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ඇති හෙයින් පිරිනිවන්පාන්න යි අයැද සිටියේ ය. එම ආරාධනය පිළිගත් බුදුහු මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බවට ප්‍රතිඥා දුන්හ. මෙසේ ආයුසංස්කාරය කිරීමත් සමග මුළු ලෝක ධාතුවම මහත් සේ සැලෙන්නට වූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.
අසූ වසරක් වැඩ සිටිමින් දුකට පත් සත්ත්වයන් සුවපත් කරමින් ද අමාමහ නිවන් සුවය ලබා දෙමින් ද කටයුතු කළ සම්බුදු පියාණෝ ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උයනෙහි සාල වෘක්ෂයන් අතරෙහි උතුරට හිස දා අනඳ හිමියන් පැන වූ අස්නෙහි වැඩ සිටියහ. අවසානයෙහි භික්ෂූන් අමතා “අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අන්තිම බුදු වදනින් අවවාද දී අපමණ දෙවි – බඹුන්ගේ වන්දන මානයට ලක්ව මෙයට පෙර දෙදහස් පන්සිය පනස් අටවැන්නේ වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ. ‘බුදු තෙමගුල’ යනුවෙන් අප නිතර ව්‍යවහාර කරන අදහසට අනුව සම්බුදු රදුන්ගේ පිරිනිවන්පෑම මංගල්‍යයක්සේ සුබ වශයෙන් ගැනීම සුදුසු දැයි සමහරු විමසති. එය උතුම් මංගල්‍යයක් වන්නේ අනාදිමත් කාලයක සිට ඉපදීමත් සමගම ජරා - ව්‍යාධි ආදී අපමණ දුක්වලින් පෙළීම සම්පූර්ණයෙන් නැති කොට සදාකාලික සැපත වූ නිවන්සුව සලසා ගත් හෙයිනි.
සම්බුදු රදුන් පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර වැදගත් සිදුවීමක් විය. එනම් වංශ කතා සාහිත්‍යය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා රාජාවලියෙහි ආරම්භක පාලකයා වූ විජය කුමාරයා සත් සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ තම්මැන්නාව ප්‍රදේශයට ගොඩබැසීමයි. අවසාන වරට දිවැස් යොමා ලොව බැලූ බුදුහු පැමිණි ඒ පිරිස දැක ඔවුනට ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන්ට නියම කළහ. ඒ අනුව තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවියන් මෙරට ජීවත් වූ තරමක් දරුණු වූ, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විය හැකි විපත් වළකාලීම පිණිස විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබාදෙන ලද්දේ සක් දෙවිඳුන්ගේ නියමය පරිදි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.
සිරිලක රාජ නාමාවලියෙහි ආර්ය වංශික ප්‍රථම පාලකයා වශයෙන් දැක්වෙන්නේ මේ විජය රාජ කුමාරයා ය. මේ සමගම ඇති වැදගත් සිදුවීම අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එනම් අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට ශ්‍රී ලාංකිකයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි.
සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදු රදුන් රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ වෙසක් පොහොය දිනක ය. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව හතළිස් වසරක් වැඩසිටි ආනන්ද මහ රහතන් වහන්සේ එකසිය විසිවන වියේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනක ය. ලංකා ඉතිහාසය පිළිබඳ විමසන විට අශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි සිරිලක පාලනය කළ දෙවන පෑතිස් රජතුමා දෙවන වරට ආර්ය අභිෂේකය පැවැත්වීම, දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම, අභාවයට පත් වූ ලාංකික උපසම්පදාව නැවත වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් ‘ස්‍යාම වංශික උපසම්පදාව’ නමින් ආරම්භ කිරීම වැනි සුවිශේෂි සිදුවීම් රාශියක් ම වෙසක් පුන් පෝ දිනයක සිදුවීම ඓතිහාසික අතින් වැදගත් වෙයි.
ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනාධිපති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
දිවියාගහ යසස්සි නා හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.
තුන් ලොවම ඒකාලෝක කළ සම්මා සම්බුදු අසිරිය
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි වෙනත් ශාස්තෘවරයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට සමාන කළ නොහැකි ය. එබැවින් උන්වහන්සේ අසම සම වෙති. ඒ අසම උත්තමයන් වහන්සේ තවත් අසම වූ ලොව්තුරා බුදුවරයකුට ම සමවන සේක. එසේ අසම උත්තමයන්ට සමවන හෙයින් බුදුවරු අසමසම වෙති. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අසීමිත කාලාන්තරයක් පුරා පෙරුම් දම් පිරියයුතු ය. ප්‍රඥාධික බෝසත්වරයෙක් නියත විවරණ ලබාගත්තායින් පසු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසත්වරයෙක් ‘අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්’ පාරමී සම්පූර්ණ කළ යුතු ය. වීර්යාධික බෝසත්වරයෙක් ‘සොළසාසංඛ්‍ය’ දාසය අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කළ යුතු ය.
සිදුහත් කුමරු උපත ලබා මාස ගණනාවකට පසු සුද්දෝධන මහා රාජයා වාර්ෂිකව පවත්වනු ලබන වප්මඟුල් උත්සව අවස්ථාව ද එළඹුණේ ය. රජතුමා සිඟිති සිදුහත් කුමරා ද රාජකීය දෝළාවක තබාගෙන සීසාන කෙතට රැගෙන ගොස් කුඹුර සමීපයෙහි වූ දඹරුකක් යට යහනක් පනවා කුමරු එහි සතප්වා, සී සෑමේ රාජකීය වප්මඟුල් උළෙල ආරම්භ කළේ ය. වප්මඟුල් උළෙලේ අසිරිය බැලීමට සිදුහත් කුමරුට රැකවරණයට සිටි කිරිමව්වරු තිරයෙන් පිටතට පැමිණියහ. ජාතිස්මරණ ඥානයෙන් යුත් ළදරු මහබෝසතාණෝ වටපිට බලා කිසිවකු නො සිටි හෙයින් වහා නැගිට යහනෙහි පලක් බැඳ වැඩහිඳ ආනාපානසති භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද සිටියහ. කුඩා වියේදී ම එසේ ධ්‍යානගත වීමට හැකි වූයේ බෝධිසම්භාර ධර්මයන් පුරණ සමයෙහි අපරිමිත කාලාන්තරයක සිට ආනාපාන සතිය පුරුදු කර ගෙන සිටි නිසා ය. බුද්ධත්වය සඳහා පාදක වූයේ ද මේ ආනාපාන සති භාවනාව බව දත යුතු ය.
ගිහි කාලයෙහි රම්‍ය, සුරම්‍ය, සුබ යන තුන් සෘතුවට ගැළපෙන මාලිගාවල රාජසම්පත් විඳිමින් සිට, දාසය වන වියේ දී යශෝධරාවන් සමඟ අතිනත ගෙන, රාජාභිෂේකය ද ලබා තෙළෙස් වසරක් මුළුල්ලේ රජකම් කොට, ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක විසි නවවන වියේ දී සසර කලකිරී, රාහුල පුතු උපත ලද දිනයේ ම මහබිනික්මන් කළේ ය. ශාක්‍ය, කෝලිය, මල්ල රාජධානි පසුකර, දීර්ඝ ගමනකට පසු මහබෝසතාණෝ පසුදා උදේවරුවෙහි අනෝමා නදී තීරයට පැමිණ අසුපිට හිඳගෙනම අනෝමා ගඟ තරණය කොට රමණීය වැලිතලාවෙහි සිටියහ.
මේ අවස්ථාවෙහි ඇතිවූයේ අහසෙහි අමුතු අසිරියෙකි. ලාකළුවළාවන්ගෙන් අහස පිරීගියේ ය. පුළුල් අනෝමා නදියෙහි ගලායන ජලධාරාව ද ඒ වර්ණය ම ගත්තේ ය. අහසෙහි මේ කළුවළා පෙළට මැදින් ආලෝකවත් බ්‍රහ්ම රාජයෙක් බෝසතුන් වෙත පැමිණෙන බවක් චමත්කාර ජනක ලෙස දර්ශනය විය. මෙම මහා බ්‍රහ්මරාජයා එසේ මෙසේ බලගතු බ්‍රහ්මයෙක් නොවන බව ඡන්න ඇමැතියාට පමණක් නොව කන්ථක අසුට ද දැනෙන්නට ඇත. බබළන මිනිස් ප්‍රමාණයේ කුඩා රූපයක් මවාගෙන බෝසතුන් සමීපයට පැමිණි ඒ බලගතු බ්‍රහ්ම රාජයා සුවිශේෂ අටපිරිකරක් බෝසතුන්ගේ දෑතට පිළිගැන්වූයේ ය. ඒ අන්කිසිවකු නොව සහම්පතී මහා බ්‍රහ්ම රාජයා බව සැලකිය යුතු ය.
මේ අස්වාභාවික චමත්කාර ජනක ස්වභාවයෙන් එහි සිටි අමතර එකම මිනිසා, ඡන්න ඇමැතියා බැවින් ඔහු ද විමතියට පත්වීය. පෙර ආත්මභාවවල සම්බන්ධතාවන් ඇතුව, මෙලොව බෝසතුන් ළඟ ම විසු කන්ථක අසුට ද බලවත් කම්පනයක් ඇති විය. මේ බබළන රාජ කුමාරයාගේ හදිසි වෙනස් වීමත්, පරිසරය වෙනස් වීමත්, අහස්කුසින් සම්ප්‍රාප්ත වූ දෙව්බඹුන්ගේ බැබලීමත් අටපිරිකර පූජාව සහ හිසකෙස් කපා දමා අටපිරිකරින් සැරැසී, අසීමිත රූප ශෝභාවකින් උරුවෙල්, දනව්ව, බලා වඩින සිදුහත් තවුසාණන් දැකීමෙන් ‘කන්ථක’ අසුට දරාගත නො හැකි පි‍්‍රය විප්‍රයෝග දුකක් ඇති විය. බෝසතාණන් නොපෙනී යන තෙක් බලාසිටි කන්ථක අසු දැඩි ශෝකය දරා ගත නො හැකිව මරණයට පත් ව දෙව්ලොව බලගතු දිව්‍යරාජයෙක්ව පහළ වූයේ ය.
බෝසතාණන් වහන්සේගේ එකම පැතුම වූයේ,
බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණේහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණේහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා
මම සත්‍යය අවබෝධ කොට ගෙන ලෝකයාට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. තමන් ද දුක්ඛිත සංසාරයෙන් ගැළවී දෙවියන් සහිත ලෝකයා ද ගළවාගන්නෙමි යන පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පළමුවෙන් ම එදා ප්‍රසිද්ධ සෘර්ධිමතෙක් ව සිටි ආලාර කාලාම තවුසාණන් වෙත ගියේ ය. එහි මාසයක හමාරක පුහුණුවක් ලැබුව ද තමා බලාපොරොත්තු වන නිවනට එය මඟ නොවන බව දැන ඉන් නික්ම ඊටත් වඩා ප්‍රසිද්ධියක් ලබා සිටි උද්දකරාම තවුසාණන් වෙත ගියේ ය. එයින් ද තමා සොයා යන නිවනට මඟ පාදාගත නො හැකි බව දැන හුදෙකලාව උරුවෙල් දනව්වෙහි වෙසෙමින් බෝධිසත්වයන් වහන්සේ සිතන සේක්. “මම කාමසුඛල්ලිකානුයෝගය ඉහළ ම මට්ටමින් වින්ද කෙනෙක් වෙමි. මේ දඹදිව් තලයෙහි කාලාන්තරයක සිට පවතින මතය නම් ශරීරයට දුක් දීමෙන් එනම් අත්තකිලමථානුයෝගයෙන් නිවන ලබාගත හැකි බවය. දැන් ඒ සඳහා සූදානම් වියයුතු යැයි අධිෂ්ඨාන කොටගෙන කෙමෙන් ආහාර වර්ජන කරමින් එසේම නිදි වර්ජන කරමින් භාවනාවට ම කාලය යෙදුවේ ය. ටිකෙන් ටික නින්ද අඩුකරමින්, ටිකෙන් ටික අපරිමිත ලෙස ශරීරයට පීඩා ගෙනදෙන ආකාරයෙන් සය වසරක් පුරා දුෂ්කර ක්‍රියා කළ ද එයින් ප්‍රතිඵලයක් නො ලද හැකි බව අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන මධ්‍යම ප්‍රතිපදාව සුදුසු යැයි අවබෝධ කරගත් සේක.
ඒ අනුව සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා ඇසතු බෝරුක් මුල්හි වැඩහිඳ ඒ ‘වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින’ ප්‍රථම යාමය ඉක්මෙත්ම පෙර ආත්ම භාවයන් දැනගැනීමේ නුවණ නම් වූ ‘පුබ්බේ නිවාසානුස්මෘති ඤාණය’ උපදවා ගැනීමට හැකිවිය. නැවත බෝසත් තවුසාණෝ අනාපානා සතියෙන් චතුර්ථ ධ්‍යානයට සමවැද සත්ත්වයන්ගේ චුති උත්පත්ති පිළිබඳ නුවණින් බලා කර්මය වූ පරිදි සත්ත්වයන් සුගති, දුගති දෙක්හි මැරෙන උපදින ආකාරය නන් වැදෑරුම් අයුරින් අවබෝධ කොටගෙන ‘චුතූපපාත ඤාණය’ උපදවා ගත් සේක. ඉන් අනතුරුව මෙයාකාරයෙන් භංගානුදර්ශන ක්‍රම භයතුපට්ඨාන ඤාණය, ආදීනව ඤාණය, මුඤ්චිතු කම්‍යතා ඤාණය, පටිසංඛානු පස්සනා ඤාණය, සංඛාරුපෙක්ඛා ඤාණය, සත්‍යානුලෝම ඤාණය, ගෝත්‍රභූ ඤාණය ලබා ඤාණදස්සන විසුද්ධිය සම්පූර්ණ කරගත් සේක. ඒ සමඟම උන්වහන්සේ ලොව්තුරා බුදුවරයෙක් වශයෙන් සර්වඥතා ඤාණය උපදවාගෙන දෙවියන් සහිත සකල ලෝකවාසීන්ට සතළිස් පස් වසක් පුරා දහම් දෙසා සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් සාංසාරික දුකින් එතෙර කළ සේක. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පිරිනිවීම සිදු වූ මේ වෙසඟ පොහෝ දිනයෙන් ආරම්භ වන ඉදිරි වර්ෂය ලෝකයට සාමයත්, සෞභාග්‍යයත් ගුණාත්මක බවින් පිරිපුන් බවත් ද ඇතිවේවා! යි ප්‍රාර්ථනා කරමු.
ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.
උතුම් වෙසක් පෝදා සිදුවූ අසිරිමත් සිදුවීම්
‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.
මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.
කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.
බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.
බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ ‘අප්පමාදේන සමිපාදේථ’ යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.
සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.
සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.
සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.
බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.
අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින් සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව සියලු පව් වලින් දුරුව උතුම් වූ ප්‍රතිපදාවන්හි යෙදීමට මේ වෙසක් පෝ දා අධිෂ්ඨාන කර ගනිමු.
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
දිවියාගහ යසස්සි නා හිමි
උපුටා ගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.
ආශ්චර්ය අද්භූත ධර්ම
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී වැඩ සිටින සමයේ අච්ඡරිය අබ්භූත සූත්‍ර දේශනාව වදාළ සේක.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයට ගොස් නැවත විහාරස්ථානයට පැමිණ උපස්ථාන ශාලාවෙහි රැස් ව සිටියදී අතීතයේ වැඩ සිටි සහ වර්තමානයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේලාගේ බුදු අසිරිය ගැන කතාවක් හට ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සතු ආශ්චර්ය අද්භූත කාරණා ගැන කතා කරමින් සිටිය දී බුදුරජාණන් වහන්සේ ද එම ශාලාවට පැමිණියහ. තමන් වහන්සේ පැමිණෙන්ට පෙර ඇති වූ කතාබහ කුමක්දැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ආශ්චර්ය කරුණු යැයි දැන බොහෝ දෙනාගේ සතුට පිණිස තමන් වහන්සේ සතු ආශ්චර්ය අද්භූත කාරණා ගැන විස්තර කර දුන් සේක.
1. බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මිනිස් මවුකුස පිළිසිඳ ගත්තේ මනා සිහි නුවණින් යුතුව ම ය. එය බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයක්.
2. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවේදී දී දස දහසක් ලෝක ධාතුව පුරා මහත් වූ ආලෝකයක් පැතිරී යයි. ඝන අන්ධකාරයෙන් පවතින ලෝකාන්තර ය පවා ආලෝකමත් වූයේ ය. එය ද බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
3. බෝසතාණන් වහන්සේ නමක් මිනිස් මවු කුසක වැඩෙන කාලය තුළ එම මවුකුස කිසිදු මනුෂ්‍යයෙකුගෙන් හෝ අමනුෂ්‍යයෙකුගෙන් අනතුරක් නො වන පරිදි සතර වරම් දෙවිවරුන් පැමිණ ආරක්ෂා කරති. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
4. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් මිනිස් මවු කුසක පිළිසිඳ ගැනීමත් සමඟ බෝසත් මව නිරායාසයෙන් ම උතුම් පංචසීලය තුළ පිහිටා සිල්වත් තැනැත්තියක් බවට පත්වූයේ ය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
5. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් මවුකුස පිළිසිඳ මොහොත් පටන් බෝසත් මව විරාගි සිතිවිලි ඇති තැනැත්තියක් බවට නිරායාසයෙන් ම පත් වන්නේ ය. කිසිදු පුරුෂයෙකු හට ඒ කාලය තුළ ඇයට රාග සිතකින් ඇසුරු කළ නොහැකි වුූයේ ය. එයද බුදුරජාණන්වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
6. බෝධිසත්ත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් දින සිට බෝධිසත්ත්ව මවගේ ඇසට පි‍්‍රයමනාප රූප, දකින්නට ලැබෙන්නේ ය, කනට පි‍්‍රයමනාව ශබ්ද ඇසෙන්නේ ලැබෙන්නේ ය. නාසයට පි‍්‍රයමනාප සුවඳ, දිවට පි‍්‍රයමනාප රස, කයට පි‍්‍රයමනාප දේ පමණක් ලැබීම සිදුවෙයි. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
7. බෝධිසත්ත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් දිනයේ පටන් බෝධිසත්ත්ව මවට කිසිදු රෝග පීඩාවක් නො වැළඳී බෝසත් මවට තම කුස තුළ සිටිති. පින්වන්ත දරුවා රන් පළසක තිබූ මැණිකක් ලෙස දැක ගත හැක්කේ වෙයි. එයද බුදුරජාණන් වහ්නසේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
8. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුසින් ලෝකයට බිහි වී හරියටම දින හතකින් බෝසත් මව කලුරිය කොට තුසිත දෙව් ලෝකයේ උපත ලබයි. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
9. බෝසත් මව විසින් බෝසත් දරුවා බිහි කරන්නේ හරියට ම මාස දහයක් මවු කුසේ පෝෂණය කිරීමෙන් පසුවය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
10. බෝසත් මව බෝසත් කුමරා ලෝකයට බිහි කරනු ලබන්නේ සිටගෙන සිටින ඉරියව්වෙන් ය. එයද බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
11. බෝධිසත්ත්වයන් වහන්සේ මවු කුසින් බිහිවන විට පළමුව බෝසත් කුමරුන් පිළිගනු ලබන්නේ දෙවියන් විසිනි. මිනිසුන් අතට පත්වන්නේ ඉන් පසුව යි. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ ධර්මතාවයකි.
12. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවුකුසින් ලෝකයට බිහිවන විට සතරවරම් දෙවියන් බෝසත් දරුවා අතට ගෙන ඉතා සතුටු වන්නේ ය. ලස්සන මහේශාක්‍ය පුත් රුවනක් උපන්නාය යයි පවසති. එයද බුදුරජාණන් වහ්නසේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
13. බෝධිසත්ත්වයන් වහන්සේ මවු කුසින් ලෝකයට බිහිවන්නේ ඉතාමත් පිරිසුදු ලෙසට ය. එයද බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
14. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවු කුසින් උපදින විට අහසින් ඇල් දිය හා උණුදිය දහරා දෙකක් මතු වී බෝධිසත්ත්වයන් වහන්සේ සහ බෝසත් මව ඒ දියෙන් පිරිසුදු වූයේ ය. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ ධර්මතාවයකි.
15. බෝධිසත්ත්වයන් වහන්සේ ඉපදුනු පසුව උතුරු දිශාවට පියවර හතක් ගමන්කොට ගාථාවක් පවසති.
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමාජාති නත්ථිදානි
පුනබ්භවතෝ ති
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමාජාති නත්ථිදානි
පුනබ්භවතෝ ති
මම ලෝකයටම අග්‍ර වෙමි. මම ලෝකයට ම ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලෝකයටම ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපත යි. මින්මතු නැවත භවයක් නැත. යන මේ ප්‍රකාශය සියලු බෝධිසත්ත්වයන් වහන්සේලා විසින් පවසනු ලබන උන්වහන්සේලාට පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
16. බෝධිසත්ත්වයන් වහන්සේ මිනිස් මවු කුසින් බිහිවීමත් සමග දස දහසක් ලෝක ධාතුන් පුරා මහත් වූ ආලෝකයක් පැතිරී යයි. ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තර නිරය පවා එයින් ආලෝකමත් වී යයි. එයද බුදුරජාණන් වහන්සේලාට ම පමණක් සාධාරණ වූ ධර්මතාවයකි.
මෙසේ කරුණු විස්තර කළ අප බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මේ කාරණා තථාගතයන් වහන්සේ සම්බන්ධ ආශ්චර්ය අද්භූත කාරණා වශයෙන් මතකයේ තබා ගන්නා ලෙසට වදාළ සේක. ආනන්ද හිමියන් එය එසේම පිළිගත්හ.
එම දේශනාව කෙළවර සියලුම ස්වාමින් වහන්සේලා අතිශ්‍යයින්ම සතුටට පත්වූහ.
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
- නයනා නිල්මිණී
Subscribe to:
Posts (Atom)





