අනුබුදු මිහිඳු මා හිමි සත් දිනක් තුළ දෙසූ දම් අමා ගඟ



සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි.
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වන අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන් බව අපි දනිමු.
එවකට තරුණ ජවයෙන් හා සුවිශද බුද්ධියකින් හෙබි දූරදර්ශී හා තේජෝබල සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිත ත්‍රිපිටකය ද මෙරටට රැගෙන වැඩි බව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එහි අරමුණ වන්නේ සැබෑ නිර්මල බුදු දහම මෙහි ස්ථාපනය කිරීම බව ඉතා පැහැදිලි ය.
ඓතිහාසික ලේඛනවලට අනුව උන්වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර ඔවුන්ගේ නිගමන අනුව මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනය ඉතා සැලසුම් සහගත වූවකි.
උන්වහන්සේ පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ අතර, එය වටහා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. එබැවින් මෙම ලිපියෙන් සලකා බැලෙනුයේ උන්වහන්සේ විසින් මුල් දින කිහිපය ඇතුළත කරන ලද සූත්‍ර දේශනාවන් පිළිබඳව ය.
මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි විගස දේවානම්පියතිස්ස රජතුමා සමඟ දාර්ශනික සංවාදයක යෙදුණු බව අපි දනිමු. රජතුමාගේ බුද්ධි මහිමය තේරුම් ගත් පසු උන්වහන්සේ විසින් රජුට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා අතර මජ්ක්‍ධිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය පතුරුවා හැරීමයි. ඒ සඳහා රජතුමාට මෙන්ම රජ පෙළපත හා බැඳුණු සෙසු ජනයාට බුද්ධ දේශනාව සම්බන්ධයෙන් බුද්ධිමය අවදියක් තිබිය යුතු බව උන්වහන්සේ මැනවින් දැන සිටියහ. ඓතිහාසික වාර්තා අනුව චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම් පියතිස්ස රජ ඇතුලු රජ පවුලේ සියලු දෙන තෙරුවන් සරණ ගිය බවත්, ඇතැම් අය සෝවාන් ඵලයට පවා පත් වූ බවත් සඳහන් වේ.


චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව

චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තරමක් කුඩා සූත්‍රයකි. හත්ථි - පද - උපම යන පද තුන එකතු වී එම පාලි වචනය සෑදී ඇත. ඇතෙකුගේ පා පියවර උපමා කොට මෙම සූත්‍රය දෙසා ඇත. එහි පිලෝතික හා ජාණුස්සොණි යන බෞද්ධ නොවන බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවක් වේ.
පිලෝතික බුදු දහම වළඳගත් පුද්ගලයෙකු නොවුණ ද බෞද්ධ දර්ශනයේ වටිනාකම හා එහි අනුගාමිකයන් ගැන දැඩි ප්‍රසාදයකින් සිටි කෙනෙකි. ඔහු දිනක් ඒ බව ජාණුස්සෝණි නම් තම මිතුරාට ප්‍රකාශ කළේ ය. එය අසා සිටි ජාණුස්සෝණි බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත්බව වැඩි උනන්දුවකින් විමසී ය.
බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත් බවට සමකළ හැකි තත්වයක සිටින කිසිවෙක් දෙවියන් සහිත ලෝකයේ නොමැති බවත්, එම ප්‍රඥාව පැසසීමට තමාට වචන නැති බවත් එහිදී පිලෝතික පවසයි. ඔබ එතරම් පැහැදුණේ කොහොම ද? ජාණුස්සෝණි ප්‍රශ්න කරයි. එවිට පිලෝතික මෙසේ පිළිතුරු දෙයි.
යම් සේ ඇතුන් වසන වනයක සිටින පුරුෂයෙක් දිගින් පළලින් මහතින් යුතු ඇත් පා සලකුණක් දැක, මේ විශාල හස්තියෙකැයි නිගමනය කරන්නාක් මෙන් මම ද බුදුරදුන්ගේ ඤාණපද හතරක් දැක උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධ බව, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත බව, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා නියම මාර්ගයට නිසි පරිදි පිළිපන් පිරිසක් බව දැනගතිමි යැයි කී ය.
සියුම් බුද්ධි ඇති තාර්කික ඇතැම් ක්ෂත්‍රියයෝ උන්වහන්සේ සමඟ තර්ක කිරීමට ප්‍රශ්න සකසාගෙන පැමිණ උන්වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ප්‍රශ්න නො විමසාම ශ්‍රාවකයන් බවට පැමිණීම ඉන් පළමු වැන්නයි.
දෙවැන්න එබඳුම මහත් බුද්ධි ඇති බමුණු පඩිවරු වාද කිරීමට පැමිණ ප්‍රශ්න නො අසා නිහඬව ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වීමයි. ඇතැම් ගෘහපති පඬිවරු ද එසේම ශ්‍රාවකයන් බවට පත්වීම තෙවැන්න වන අතර සිවුවැන්න වන්නේ ඇතැම් ශ්‍රමණ පඬිවරු ද මෙසේම බුදුරදුන්ගේ දේශනාවෙන් ඉමහත් උත්තේජනයට පත්ව ශ්‍රාවක භාවය ලැබීමයි. මෙම පියවර හතර දැක මම මෙසේ බුදුරදුන්ගේ ප්‍රඥාව ගැන පැහැදුනෙමියි පිලෝතික කී ය.
මෙයින් අතිශය ප්‍රසාදයට පත් ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන් දෙදෙනා අතර සිදු වූ සංවාදය හෙළි කළහ. මෙ පමණකින් ඇත් පද උපමාව සම්පූර්ණ නොවේ යැයි වදාළ බුදුන් වහන්සේ සීල සමාධි ප්‍රඥාවන් අනුක්‍රමයෙන් පිරිසිදු කොට, ආධ්‍යාත්මික ජීවිතයක් ලබා ගන්නා අයුරුත්, චතුරාර්ය සත්‍ය පසක් කර ගන්නා ආකාරයත් ඔවුනට පැහැදිලි කොට, එසේ කිරීමෙන් හත්ථි පද උපමාව සම්පූර්ණ වන බව වදාරති. අවසානයේ ඔවුහු දිවි ඇති තෙක් බුදුන් සරණ යන බව සතුටින් ප්‍රකාශ කරති.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ මෙම දේශනාව අසා හතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ. මෙසේ ශ්‍රී ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාව සිදු වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් සහිත ශ්‍රී ලාංකික ජනයාගේ දායකත්වයක් සහිතව ය. මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ නෙත් විවර වීමක් ද මෙදින සිදුවිය. ඒ එදින පැවිදි කරන ලද භණ්ඩුක සාමණේරයන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගිට මුළු දිවයිනටම ඇසෙන සේ ධර්ම ශ්‍රවණය සඳහා දේවාරාධනයක් කළ බැවිනි. මිහ¼ිදු මහරහතන් වහන්සේ එදින පැමිණි දෙවියන්ට සමචිත්තපරියාය නම් සූත්‍ර දේශනාව කළහ.

සමචිත්තපරියාය සූත්‍ර දේශනාව

මෙම සූත්‍රය පුද්ගල අධ්‍යාත්මයේ පවතින සංයෝජන හා බාහිර සංයෝජන අරබයා බුදුරදුන් විසින් සැරියුත් හිමියන්ටත්, සැරියුත් තෙරුන් විසින් භික්ෂූන්ටත් දේශිත සූත්‍රයකි.
සැරියුත් තෙරුන් පිරිනිවන් පෑමට ආසන්න ව දෙසූ මෙම සූත්‍ර දේශනාව ඇසීමට දෙවි දේවතාවන් ගිණිය නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් පැමිණි බව සඳහන් වේ. මිහිදු මාහිමියන් මෙම සූත්‍රය දෙවියන්ට දෙසීමේ පසුබිම බුද්ධිය පමණක් නොව ශ්‍රද්ධාව හා භක්තිය ද සහිත ව බුදුදහම දෙස බලන පුද්ගලයෙකුට තේරුම් ගැනීම අපහසු නැත. සමචිත්තපරියාය සූත්‍ර දේශනාව ධ්‍යාන, විදර්ශනා, මාර්ග ඵල හා නිර්වාණය ලබා ගන්නා ආකාරය විස්තර කෙරෙන ගැඹුරු ධර්ම පර්යායකි. සය ආකාරයකින් විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙහි විස්තර වේ.
ප්‍රධාන වශයෙන් මෙහි සාකච්ඡා වන කරුණු අතර, ආධ්‍යාත්මික සංයෝජන යන්නෙන් අදහස් වන්නේ කාම භවයෙහි බැඳීමයි. බාහිර සංයෝජන යනු රූප අරූප භවයන්හි බැඳීමයි. සත්ත්වයා කාම භවයෙහි මෙන්ම, රූපාරූප භවයන්හි ගෙවන ආත්මවල ස්වභාවය පිළිබඳ ගැඹුරු දේශනාවක් මෙහි අන්තර්ගත වේ.
මෙම සූත්‍ර දේශනාවසානයෙහි ධර්මාභිසමය ලද දෙවියන්ගේ සංඛ්‍යාව නියමයක් නැති අතර අසංඛ්‍ය වූ නාග සුපර්ණයෝ සරණ ශීලයෙහි පිහිටියහ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිට වූ දිනයේ සිට දෙවියන්ගේ ආරක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට මෙය ඓතිහාසික වූත්, ප්‍රමාණවත් වූත් කරුණකි.

ප්‍රේත වස්තු හා විමාන වස්තු දේශනා

මිහිදු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් දෙවන දිනයෙහි දෙවනපෑතිස් නරනිදුන් විසින් පිරිනැමූ දානයෙන් පසු පේතවත්ථු විමානවත්ථු හා සච්චසංයුක්ත දේශනා කළහ. ප්‍රේතවස්තු යනු මිනිස් ලොව සිටිය දී අකුසල කර්ම කළ ස්ත්‍රී පුරුෂයන් ප්‍රේතයන් හා ප්‍රේතියන් වී දුක් විඳීන අයුරු පෙන්වා දෙන දේශනාවන් ය.
මුගලන් මහරහතන් වහන්සේ එම ලෝකවලට ඍද්ධියෙන් වැඩම කොට ඔවුන් සමඟ කතා බස් කොට යළි මිනිස් ලොවට වැඩම කොට ඒවා මිනිසුන්ට වදාරණ ලද්දේ මිනිසුන් අකුසලයෙන් වැළැක්වීම පිණිස ය. මෙම කථා වස්තු ඇතුළත් ග්‍රන්ථය ප්‍රේත වස්තුව නමින් ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ. එසේම උන්වහන්සේ දිව්‍ය විමානවලට ගොස් දෙවියන් හා දෙවඟනන් එම සම්පත් අනුභව කරන්නේ කුමන පින්කමකින් දැයි ඔවුන්ගෙන් අසා දැනගෙන මිනිස් ලොවට දේශනා කරන ලද්දේ එකී මිනිසුන් කුසලයෙහි පිහිටුවීම සඳහා ය. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේ මෙම දේශනාවන් මෙහි දී දේශනා කරන ලද්දේ මෙරට වැසියා අයහපත් ක්‍රියාවලින් වළකා ගැනීමටත්, ඔවුනට යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීමටත් බව ඉතා පැහැදිලි ය. අකුසලයෙන් ඈත්විය යුත්තේ කවර හේතුවක් නිසා ද? කුසල් කිරීමෙන් සාංසාරික ව ලැබිය හැකි සැප විපාක මොනවාද, සතුටින් සොම්නසින් මෙලොව මෙන් ම, පරලොව ගත කළ හැකි උපාය මාර්ගය කුමක් ද යන්න මෙම දේශනාව මගින් උන්වහන්සේ සිංහල ජනයාට පහදා දුන්හ. මෙම දේශනාව අවසානයෙහි විශේෂයෙන් කාන්තාවෝ පන්සීයක් සෝවාන් ඵලයෙහි පිහිටි බව මහාවංසය හා සමන්තාපාසාදිකා වනි ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ.

සච්චසංයුත්ත සූත්‍ර දේශනාව

මිහිදු මාහිමියන් දෙවන දිනයෙහි දෙසූ සච්චසංයුත්ත දේශනාව කුඩා සූත්‍ර රාශියක එකතුවකි. සංයුත්ත නිකාය නම් ග්‍රන්ථයේ එම සූත්‍ර දක්නා ලැබේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත විවිධ වූ හා, ගැඹුරු වූ දහම් කරුණු රැසක් මෙහි දක්නට ලැබුණ ද එහි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ආර්ය සත්‍යය නොයෙක් ආකාරයෙන් ධර්මානුකූල ව විස්තර කිරීමකි.
සංසාරය අතිශය බිහිසුණු බවත්, එහෙයින් ම සත්ත්වයා අසීමිත දුක්ඛ වේදනාවන්ට පාත්‍ර වන බවත් පෙන්වා දෙන මෙම සූත්‍ර අවධාරණය කරනුයේ සාංසාරික අත්දැකීම් සියල්ල දුක් බව හා ඒවා දුක් වශයෙන් තේරුම් ගෙන එය අභ්‍යාසයක් වශයෙන් නිතර නිතර භාවනාවක් වශයෙන් වැඩිය යුතු බවයි.
මිහිඳු මහ රහතන් වහන්සේ මෙම දේශනාව පහදා දීමෙන් අපේක්ෂා කරන්නට ඇත්තේ මෙම දිවයිනෙහි වැසියන්ට හරවත් ජීවන රටාවක් හඳුන්වා දීම විය යුතු ය. සැප ලැබිය හැක්කේ දුකෙහි දුක්වීමෙන් නොව, දුක දුකක් වශයෙන් තේරුම් ගෙන අකම්ප්‍යව කටයුතු කිරීමෙනි.

දේවදූත සූත්‍ර දේශනාව

මිස්සක පර්වතයට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ඇසින් දුටු ජනයා තැන් තැන්වල උන්වහන්සේගේ ගුණ කී ය. එබැව් අසා මහත් ජන ගංගාවක් රජ මිදුලට රැස්විය. එයින් ඇති වූ කලබැගෑණියත්, සියලු දෙනාට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමත් නිසා දෙවනපෑතිස් රජතුමා ඇත්හල පිළිසකර කොට සරසවා එහි මඟුලැතු සිටින ස්ථානයෙහි තෙරුන්ට අසුනක් පැනවී ය.
මිහිඳු මහරහතන් වහන්සේ එහි රැස්ව සිටි පිරිසට පව් කළවුන්ට මරණයෙන් පසු හිමිවන දරුණු දුක් වේදනාවන් ගැන කියැවෙන දේවදූත සූත්‍ර දේශනාව කළහ. කයින්, වචනයෙන්, මනසින් දුසිරිත් කොට මිසදිටු ව ආර්යයන්ට උපවාද කළාහු මරණින් මතු නිරයේ උපදිති. එහිදී යමපල්ලෝ ඔවුන් යමරජු වෙත ගෙන දක්වති. යමරජු ළදරු ව මළ මූත්‍ර ගොඩෙහි උඩුකුරුව සිටීම, ලෙඩවීම, ඉඳුරන් දිරා යාමෙන් මහලුවීම, මරණයට පත්වීම යනාදී වශයෙන් තොප වෙත පැමිණි දේවදූතයන් නො දැක්කෙහු දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරති. නො දුටුවෙමි ස්වාමීනී'යි පැවසූ කල්හී ඉපදීම, ලෙඩවීම, ජරාව හා මරණය ස්වභාව කොට සිටියදී ප්‍රමාදය හේතුවෙන් ඒවා තේරුම් නොගෙන දුසිරිත්කම් කිරීම තොපගේ මව්පිය ඥාති ආදි අන් කිසිවෙකු විසින් කරන ලද ඒවා නොවන බවත්, තොප විසින්ම කළ ඒවා බවත් පවසා එහි විපාක විඳීව් යැයි ඔවුන්ට සිතීමට පවා නොහැකි තරමේ දරුණු වධ හිංසා පමුණුවති.
එයින් ඔවුහු මහත් දුක් විඳීති. මෙය මිනිසුන් වන අපට සාංසාරික ව මුහුණ පෑමට සිදුවන තත්වයක් බව සූත්‍රයේ දක්වයි. මෙම සූත්‍රය ප්‍රබන්ධ කථාවක ලක්ෂණ පෙන්නුව ද ගැඹරු දර්ශනයක් හා ආචාර විද්‍යාත්මක වැදගත්කමක් සහිත සූත්‍රයකි.
මිහිඳු මහරහතන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කිරීමෙන් සිංහල ජනයාට අපූරු ජීවිත ගැඹුරක් ප්‍රකට විය. එයින් හටගත් සමුත්තේජනය හේතුවෙන් බණ ඇසීමට පැමිණි පිරිස ශීඝ්‍රයෙන් වැඩිවිය. එනිසාම ඇත් හළෙහි අවකාශ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අසල පිහිටි නන්දන උයනෙහි තෙරුන්ට අසුන් පැනවීමට රජතුමාට සිදුවිය. තෙරණුවෝ එහිදී ආසිවිසෝපම සූත්‍ර දේශනාව පැවැත්වූහ.

ආසිවිසෝපම සූත්‍ර දේශනාව

අප පරිහරණය කරන ශරීරයේ සංයුතියක් වන සතර මහාභූත දරුණු විස ඇති නාගයන් සිවු දෙනෙකුටත්, පඤ්චස්කන්ධය දරුණු වධකයන් පස් දෙනෙකුටත්, අපගේ තෘෂ්ණෘව ඇතුළත සැරිසරන වධකයෙකුටත් ආදී වශයෙන් සම කොට මෙහි ආලය දුරුකොට කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ මෙම සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. උන්වහන්සේ දිවයිනට පැමිණි මෙම දෙවන දිනය සවස් භාගය වන විට දෙදහස් පන්සියයක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. කෙසේ වෙතත් දවස ගෙවී යනු කිසිවෙකුට නො දැනුණි. තෙරුන් වහන්සේ දැන් සවස් වී ඇතැයි මිස්සක පර්වතයට වඩිනු පිණිස සූදානම් විය. රජතුමා බුහුමන් සහිත ව ඒ අසල තිබූ මහමෙවුනා උයන ආවාසයක් වේවායි සඟුනට පූජා කළේ ය. එහි එදින වැඩ විසූ තෙරුන් වහන්සේ පසුදින රජ මැඳුරෙහි දානය වළඳා, නන්දන වනයෙහි දී අනමතග්ගිය සූත්‍ර දේශනා කළහ.

අනමතග්ගිය සූත්‍ර දේශනා

සංයුක්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙහි අනමතග්ගිය සංයුක්තය නමින් වෙනම කොටසක් ඇත. එහි සූත්‍ර රාශියක් වේ. එම සූත්‍ර සියල්ලෙහි ම පැවසෙන්නේ අක් මුල් නැති සංසාරය පිළිබඳව ය. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රය. මුලක් අගක් නො දත හැක්කේ ය. යැයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ කරුණ මෙහි නොයෙක් ආකාරයෙන් විස්තර වේ. සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. මෙතරම් දිගු සංසාරයෙහි අපට අත් විඳීමට සිදුවන දුක් කන්දරාව කොපමණ දැයි මෙම සූත්‍රවලින් සිතා ගත හැකි ය. සැබැවින්ම සංසාරයෙහි සැරිසැරීම දුකක් මිස සැපක් නොවේ. එහි ලැබිය හැකි ආස්වාදය අල්ප ය. දුක් වේදනා අනල්ප ය.

අග්ගික්ඛන්ධොපම සූත්‍ර දේශනාව

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ පළමු සතියෙහි සයවන දිනයෙහි දේශනා කරන ලද්දේ අග්ගික්ඛන්ධොපම සූත්‍රයයි. මෙම සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ මහත් ගිනි කඳක් පෙන්වා දුසිරිත් කරමින්, දුසිල් ව, පාපී ලෙස හා මිච්ඡා ආජීවයෙන් යුතුව ලෞකික කාම සම්පත් පරිභෝජනය කරමින් ජීවත් වීමට වඩා එම ගිනි කඳ වැළඳගෙන මියයාම උතුම් බව වදාරති. මිහිදු මහරහතන් වහන්සේ රට පාලනය කරන්නන්ටත්, රට වැසියාටත් මෙම සූත්‍රය දේශනා කිරීමේ අරමුණ වන්නට ඇත්තේ හොරකම, වංචාව, අල්ලස වැනි පාප ධර්ම කෙරෙන් තොර හා අව්‍යාජ මානව දයාවෙන් යුතු සංස්කෘතියක් සැකසීමට විය යුතු ය. අනෙක් අතින් ආත්මීය පිරිසිදු බව තුළින් ඇතිවන සතුට මිනිස් ප්‍රජාව වෙත ළඟා කරවීම සඳහා විය යුතු ය. මෙම සූත්‍ර දේශනාවත් සමඟ සෝවාන් ඵලයට පත් උතුමන්ගේ සංඛ්‍යාව අට දහස් පන්සීයයක් විය.

අප්පමාද සූත්‍ර දේශනාව

සත්වන දිනයෙහි රජුගේ අන්තඞපුර බිසොවුන්ට අප්‍රමාද සූත්‍ර දේශනාව අවවාද කළහ. අප්‍රමාදය යනු පමා වීම නොවේ. සතියෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සමස්ත බුදු දහම ම මෙම පදයට ඇතුළත් වේ. එතරම් වැදගත්කමක් එහි පවතී. අප්‍රමාදී ව සිහි නුවණින් යුතුව කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුගේ ලෞකික හා ලෝකෝත්තර ජයග්‍රහණයේ සැබෑ රහසයි. මෙම සූත්‍රයෙන් ඔවුනට අවවාද කළ මිහිදු මහරහතන් වහන්සේ සෑගිරියට වැඩම කළහ.
මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා විධිමත් සැලසුමකින් යුතුව මෙරට ජනයාගේ සංස්කෘතිය, ජීවිතාවබෝධය හා සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයටම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

No comments:

Post a Comment