උදාර සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පොහොය උදාව



නවම් පුර පොහොය බුදු සසුනේ සහ බුද්ධ චරිතයේ උදාර සිදුවීම් රාශියක් සිදු වූ පූජනීය දිනයකි.
1. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව්
තනතුරු ලබා දීම
2. ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදු වීම
3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම
4. ආයු සංස්කාරය අත්හැරීම
සුදුස්සාට සුදුසු තනතුරුදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීම ඊට හොඳම නිදසුනකි. මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේ සිටියදී මෙම දෙනමට තනතුරු ලබා දීම පිළිබඳ ව ඇතැම් භික්ෂූන් පවා දොස් නැගූහ. එහිදී බුදුරදුන් දේශනා කළේ මෙය මතුපිටින් බලා ලබා දෙන තනතුරු නොවන බවත්, සංසාරයේ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාකොට පෙරුම් පුරා පැමිණි බවත් ය. ඒ අනුව සැරියුත් මහ රහතන් වහන්සේ දකුණත් සව් ලෙසත්, ධර්ම සේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයත් බුදුරදුන් වෙතින් හිමි කරගත්හ. මුගලන් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගේ වමත් සව් ලෙසත්, ඍද්ධිමත් භික්ෂූන් අතර අගතනතුරත් හිමි කර ගත්හ. ප්‍රථම වරට වේළුවනාරාමයේ දී සංඝ සන්නිපාතය සිදු වූ විශේෂිත දිනය නවම් පොහොය යි. ජටිල භික්ෂූන් දහසක් සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක් භික්ෂූන් වහන්සේ ඇතුළු රහතුන් එක්දහස් දෙසිය පනහක් එකතුවීමෙන් මෙම සංඝ සන්නිපාතය සිදු වූහ.
බුද්ධත්වයෙන් විසි වසරක් යනතුරු විනය ශික්ෂාවන් පැනවීමත් සිදු නොවූහ. පැවතියේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. අල්ප ආයුෂ බුදුවරයාණන් වහන්සේලා තම ශාසනයෙහි පැවැත්ම වෙනුවෙන් මෙම අවවාද දේශනා කිරීම සිදු වේ. ඒ අනුව ගෞතම බුදුරදුන් භික්ෂූන් අරමුණු කොට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාකොට වදාළේ අද වන් උතුම් පොහොය දිනකදී ය.
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසුදු කිර ගැනීමත් බුද්ධ අනුශාසනාව යි.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූප ඝාති
සමණෝ හෝති පරං විහේඨයන්කො
ඉවසීම නමැති ක්ෂාන්තිය යි උතුම් තපස වන්නේ, බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ ඒ අමා නිවන උතුම් බව යි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් නොවේ. අනුන්නට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නේ නෑ.
කාටවත් නින්දා අපහාස කිරීම යහපත් නෑ . කාගෙවත් ජීවිතයක් හානි නොකළ යුතු යි. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ ගෙන දුර ඈත සෙනසුන්වල කල් ගෙවන්න බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙය යි.
මෙම අවවාදය විනයකොට සලකා භික්ෂු ඇවතුම් පැවතුම් සකසා ගැනීම බුදුරදුන් අනු දැන වදාළහ. වසර හතළිස් පහක් ලෝක සත්ත්වයාට ධර්ම දේශනාකොට ඉතිරි තුන් මාසයේ දී පිරිනිවන් පාන බව අධිෂ්ඨාන කිරීම ආයු සංස්කාරය අත් හැරිම යි. බුද්ධ පරිනිර්වාණයට සූදානම් වීම සිදු වූයේ මෙවන් උතුම් පොහොය දිනක දී ය.

කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුරදුන්ගේ පළමු ලංකාගමන සිදුවූ දුරුතු පෝය



නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුපින්වතුනි, අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම
ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙත්.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන සිහි කැඳවන්නේ දුරුතු පෝය දිනයේ දී ය. එනම් ,
“බෝධිතෝ නවමේ මාසේ
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපං උපාගාමි”
ඉහත සඳහන් කළ අයුරු , බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ කුමන අරමුණක් පිණිස ද යන්න මහාවංසය, මහා වංස ටීකාව ඇතුළු මූලාශ්‍රයවලින් හෙළි වේ.
ඒ අනුව උන්වහන්සේ සිතන්නේ මෙබන්ඳකි.” ලංකාදීපයේ යක්ෂ ගණයා වාසය කරති. එසේ හෙයින් මේ දිවයින යක්ෂ නිවාසස්ථානයක් යැයි දැක, ඉක්බිති මවිසින් එහි ගොස් යකුන් නෙරපීම කළ කල්හි මතු කල මාගේ ශාසනය බැබළීමට යෝග්‍ය ස්ථානයක් වන්නේ ය.”
අනාගතයේ තමන් වහන්සේගේ ශාසනය බැබළෙන රට ලංකාදීපය යැයි බුදුහු දත් සේක. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිණිස හේතු, සිද්ධි, කාල, ප්‍රයෝජන දිවැසින් බැලූ සේක. එසේ බලන බුදුරජාණන් වහන්සේට යකුන්ගේ සමාගමය පෙනේ. එ දවස සිටි යකුන්ගේ සිරිතක් වූයේ සෑම පොහෝ දිනක ම රැස්වීමක් පැවැත්වීමයි. එම රැස්වීමට සෑම යක්ෂ ප්‍රධානියෙකු ම සහභාගි විය යුතු ය. මෙම රැස්වීම පවත්වන අවස්ථාවට වැඩම කොට, යකුන් දමනය කොට ලංකාව පවිත්‍ර කරන්නේ, යැයි සිතූ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළහ.
“මම එහි ගොස් ඍද්ධි ප්‍රාතිහාර්යයන් මගින් යකුන් නෙරපීම කොට, අණ පවත්වා, රැස්වූ දේව, ගාන්ධර්ව ආදීන්හට දහම් දෙසා නිවන් අමා පැන් පොවා අදම එන්නෙමි.”
බුදුරජාණන් වහන්සේ මහවැලි ගංගා තීරය සමීපයේ පිහිටා ඇති යොදුන් තුනක් දිග යොදුනක් පළල ඇති මහානාග නම් වනෝද්‍යානයට වැඩම කොට යක්ෂ සමාගමය මැද වැඩහිඳ, විවිධ ප්‍රාතිහාර්යයන් දක්වා පළමුව යකුන් බිය වද්දා, පසුව සමනය කොට, දම් දෙසා, එම භූමිය පවිත්‍ර කළ සේක. පසුව ඔවුන්ගේ භීතිය පහකොට බුදුපහස ලබාදී යකුන්ට සුදුසු වාස භූමියක් වු ගිරි දිවයිනට යැවූ බව සඳහන් වේ. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමන නිසා මේ දිවයින මනුෂ්‍යයන්ට සුදුසු වාස භූමියක් බවට පත්වූයේ එපරිද්දෙනි.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන සිහිවීම පිණිස මියුගුණ මහ සෑය ඉදිකර ඇත. යකුන්ට දෙසූ බණ අසා සුමනසමන් දෙවියන් සෝවාන් ඵලයට පත්ව සිටියේ ය. එම දෙවියන් විසින් බුදුරදුන් පිදීම පිණිස පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ බුදුරදුන් හිස පිරිමැද සර්වඥ කේශධාතු ලබා දුන්හ. සුමනසමන් දෙවියන් විසින් එම කේශ ධාතු නිධන් කොට සත් රියනක් උසැති සෑයක් ඉදිකළේ ය. ඉන් අනතුරුව ශාරිපුත්‍ර තෙරුන්ගේ ශිෂ්‍ය සරභු මහරහතන් වහන්සේගේ මැදිහත්වීම මත එහි බුදුරදුන්ගේ ගී‍්‍රවා ධාතුව නිධන් කොට දොළොස් රියන් සෑයක් බඳවන ලදී. පසුකාලීන ව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උද්ධචූලාභය කුමරු නැවතත් රියන් තිහක් උසට මේ සෑය නිමවන ලදී. ඉන් අනතුරුව මහියංගණ සෑය විශාල කොට නිමවන ලද්දේ දුටුගැමුණු මහ රජු විසිනි. එවිට එය අසූ රියනකි. පසුව වෝහාරිකතිස්ස, ධාතුසේන, පළමුවන විමලධර්මසූරිය ආදී රජවරු අතින් මහියංගණ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව ඇත.
පරසතුරු උවදුරු හමුවේ කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ මෙම ඓතිහාසික පුදබිම නැවැතත් ක්‍රි.ව. 1951 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් සොයාගෙන කැණීම් කටයුතු සිදුකර ප්‍රතිසංස්කරණය කරන ලදී. මහියංගණ සෑයේ ධාතු ගර්භයේ සිත්තම් ඇඳ තිබූ බව ද එතුමා විසින් සොයාගෙන තිබේ.
ක්‍රි.ව. 1948 න් පසුව එවකට මහියංගණ චෛත්‍යය සංවර්ධන සමිතියක් අරඹා ඇත. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී වූයේ ය. බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාග ලබා ගනිමින් යථෝක්ත සමිතිය මගින් එහි කටයුතු ඉදිරියට කරගෙන යන ලදී. පසුව ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මැදිහත්වීම මත එහි සංවර්ධන කටයුතු ගෙන යන ලදී. මහියංගණ චෙත්‍යය අද පවතින තත්ත්වයට ගෙන එන ලද්දේ එහිදී ය. වර්තමානය වන විට ඉතාමත් සංවර්ධනය වූ පූජනීය භූමියක් බවට මෙම ස්ථානය පත්ව ඇත.
එබැවින් සැදැහැති බෞද්ධයෝ බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමන සිහිකරමින් මහියංගණ සෑය මෙසේ නමදිති.
“ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ගී‍්‍රව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”
“බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු සඳහා පළමු කොට ලක්දිව යම්තැනක වැඩ හිඳ යක්ෂයන් දමනය කළ සේක් ද, එම ස්ථානයෙහි කේශධාතු හා ගී‍්‍රවා ධාතු නිධන් කොට පිහිටුවන ලද මහියංගණ චෛත්‍යරාජයා වඳිමි.
ඒ අනුව ඓතිහාසික මහියංගණ පුදබිම බුදුරදුන්ගේ පා පහස ලත් පුණ්‍යභූමියක් ලෙස අද දෙස් විදෙස් රටවල ප්‍රකට ව පවතී.

බදුල්ල, බණ්ඩාරවෙල පාර
ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දිරයේ
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.

යුගයේ මහා ත්‍රිපිටක පූජාව


සම්බුදු සසුනේ චිරස්ථිතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් ඉකුත්දා (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි සමාප්ති අවස්ථාව (04) වනදා පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
විභජ්ජවාද වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ත්‍රිපිටක ධර්මය විකෘති වන්නට නොදී ආරක්ෂා කොට මතු පරපුරටත් උරුම කිරීම වේ. විශේෂයෙන් මෙකල ක්‍රියාත්මක වන ත්‍රිපිටක ධර්මය සහ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් පවතින වැඩපිළිවෙළ ගැන ස්වාමීන් වහන්සේ මෙන්ම බෞද්ධයන් දැනුම්වත් කර, බුද්ධ ශාසනය සහ බෞද්ධයන් ආරක්ෂා කර ගැනීම යි.
මෙම පින්කම බුද්ධ ශාසනය ඉතිහාසගත වන ඉතාම වැදගත් සංධිස්ථානයක් වන්නේ, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණ මාතලේ අළුලෙන් විහාරයේ දී ග්‍රන්ථාරූඪ කළා. එය ලංකාවේ සිදුවුණු සුවිශේෂී සන්ධිස්ථානයක්. එනම්, භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීම යි. ඉන්පසුව මෙහි තුන්වන පියවර වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීම යි. එනම්, භාණක පරම්පරා මඟින් ග්‍රන්ථාරූඪ කිරීම හෙවත් මුද්‍රිත මාධ්‍ය ද ඉන්පසුව සුවිශේෂීතම තෙවන පියවර වශයෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ කිරීම යි.
ලෝකයේ මේ වන තුරා ත්‍රිපිටකය සම්බන්ධ විවිධ මෘදුකාංග නිර්මාණය කර තිබුණත්, විද්‍යුත් ත්‍රිපිටකයක් මේ වන තුරා සකස් කර නොතිබුණි. ඒ නිසා ලොව ප්‍රථම වතාවට ථෙරවාද ත්‍රිපිටක ධර්මය විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ඉදිරි සියවසට මුහුණ දෙන්නට නම්, ඉදිරි සියවස අප ජයග්‍රහණය කරන්නට නම්, ඒ සියවසට අනුකූල ව සමාජයට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබිය යුතු යි. විශේෂයෙන් ම ඉදිරියට එන්නේ තාක්ෂණය සම්බන්ධ ඉතාම දියුණු සමාජයක්. එලෙස තාක්ෂණයෙන් දියුණු යුගය තුළ ධර්ම, විනය අඛණ්ඩව පවත්වා ගෙන යන්නට නම්, සමාජයට ගැළපෙන සේ අප ධර්මය ලබා දිය යුතු වෙනවා. ඒ නිසා ඉදිරි සමාජයටත් ගැළපෙන සේ විශේෂයෙන් අප මෙය සලකන්නේ, 21වන ශතවර්ෂය ජයග්‍රහණය සඳහා නව දොරගුළු හැරීමක් ලෙස යි. ඒ නිසාම යි විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ වීම සිද්ධ කරන්නේ.
විශේෂයෙන් ම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් ඉදිරි කාලයේ කුමක්ද ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙළ එනම්, විභජ්ජවාද දස අවුරුදු සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදු වුණා. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය , අධ්‍යාත්මික දියුණුව සහ සමාජයට කෙසේද මේ දහම ලබා දෙන්නේ යන අරමුණ පෙරදැරිකරගෙන යි. තවත් මෙහි වැදගත්ම කාරණයක් වන්නේ ලෝකය පුරාම තිබෙන ථෙරවාදී ත්‍රිපිටක පුස්කොළ පොත්වල ඡායාපිටපත්, එනම් ‘මයික්‍රෝෆිල්ම්’ කර සමස්ත ජනතාවටම විවෘත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. එනම් ‘පරමත්ථ වෙබි අඩවියේ’ මෙය පළ කරන්නේ. සියලු පුස්කොළ පොත්වල මයික්‍රොෆිල්ම් වෙයි. මේ ලෝකයේ කිසිම කෙනෙකුට පරණ පුස්කොළ පොත්වල මොනවාද තිබුණේ යනුවෙන් සැක සංකා නැතිව සෑම දෙයක්ම අධ්‍යයනට සහ විශේෂ යොමු කිරීමේ වැඩ පිළිවෙළ මෙතුළින් ආරම්භ කළා. ‘පරමත්ථ වෙබ් අඩවිය’ ආරම්භ කළේ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් ය. අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය මාන්කඩවල සුදස්සන හිමි සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප හිමියන් ද එහි දී සහභාගි වූ අතර අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නා හිමියන් තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන් ප්‍රධාන අනු නාහිමිවරුන් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්ය හාමුදුරුවන් වහන්සේ , විශ්ව විද්‍යාලවල ආචාර්ය, කථිකාචාර්ය හාමුදුරුවරු, පිරිවෙන් අංශ සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ස්වාමීන් වහන්සේ සහ සමස්ත බහුතරයක් අවුරුදු දහ අටට වැඩි ස්වාමීන් වහන්සේලා සහභාගි වූහ.
ගිහි සාමාජිකත්වය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ, විපක්ෂ ජනනායකයන්ගේ සහභාගිත්වයෙන් තවත් ආරාධිත සම්භාවනීය පිරිසගේත් සහභාගිත්වයෙන් එම පින්බර කර්තව්‍ය සිද්ධ වූ බව අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාන්කඩවල නන්දරතන හිමියෝ පැවසූහ.

මුනි සිරිපා කරුණා කරමු


"අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය."

වසරකට වරක් ඇරඹෙන සිරිපා වන්දනා වාරය මෙවර ද උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ කෙරේ. එතැන් පටන් මාස හයක කාලයක් පුරා දෙස් විදෙස් වන්දනාකරුවන් සිරිපා වන්දනාවට ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සහභාගි වෙති.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ හ. සබරගමු වැසි වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් පන්සිය නමක් මහ රහතන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා වදාළ හ. ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ.
ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වන කරුණු බොහෝ වේ. අති දුෂ්කර ගමනක් ගෙවා ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණීම ඉන් එක් කරුණකි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය, රාජධානියේ සිට පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර ආදී ඒ ඒ රාජධානි සමයන්හ ිදී මහ රජවරුන්ගේ ගෞරවයට, පූජෝපහාරය ට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට විවිධ පුද පුජා සිදුකර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම සන්නස්, තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ.
මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සුමන සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අද පවා සැදැහැවතුන්ගේ මහත් ගෞරවෝපහාරය ට ලක් වේ.
අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.
මෙරට පමණක් නොව ලොව නන් දෙසින් පැමිණෙන වන්දනා කරුවෝ සිරිපා වන්දනා වාරය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙති. ගතට, සිතට සහනය, සැනසීම ළඟා කර දෙන සිරිපා වන්දනා වාරයේ දී පුරාතනයේ විසූ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර ස්වකීය දේපළ තම දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනා කළහ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව, මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදාවී ඇත. බොහෝ විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ නැතහොත් ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. අතීත මුතුන් මිත්තෝ ‘වට වන්දනාව‘ යන නාමයෙන් සති ගණනක් පුරා රට පුරා පිහිටි සොළොස්මස්ථාන ප්‍රධාන පූජනීය සිද්ධස්ථාන වන්දනා කිරීමට කටයුතු යෙදූහ. ඊට නිරන්තරයෙන් සිරිපා වන්දනාව ද ඇතුළත් වූ වන්දනා චාරිකාවක් වූ හ.
ඒ සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියකු වූ අතර ඔහු හෝ ඇය “නඩේ ගුරා” යනුවෙන් හැඳින් වූ හ. වෙසෙසින් ම එම වන්දනා ගමන සංවිධානය කළේ වාර ගණනාවක් පුරා එබඳු වන්දනා ගමන් සංවිධානය ඊට පෙර ද සංවිධානය කළ පළපුරුදු අයෙකි. නඩේ ගුරාගෙන් බැහැරව වන්දනා පිරිස කිසිවක් කළේ නැත. එතරම් ම වන්දනා පිරිස නඩේගුරා ට අවනත වූ හ. සිරිපා වන්දනාවට පේ වුහ. කැප වුහ. ඇප වුහ.
සිරිපා වන්දනාවට යන සැදැහැවතුන්ට සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනා පිරිසක් හමු වූ විට “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” එමෙන්ම සිරිපා වන්දනා කිරීමට යන ඒ පිරිස ද ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.’ ආදී වශයෙන් ඔවු නොවුන්ගේ සිත් පහන්වන අයුරෙන් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම දක්නට ලැබෙන, ඇසෙන සුලභ දසුනකි. ඒ අයුරෙන් අන්‍යොන්‍ය වශයෙන් සුහදත්වයෙන් වන්දනාවේ යෙදෙන සුවිශේෂී පුදබිමකි ශ්‍රී පාදස්ථානය. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතය යි. දෙස් විදෙස් සැදැහැවතුන් පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානය කි. අසිරිමත් සම්බුදු පහසින් තෙවරක් ම පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අනුහසින් යුත් ස්ථානයකි.
පලාබත්ගල විහාරය, නල්ලතන්නි බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරය යන විහාරාරාමයන්හි අධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.
පැරැණි සිරිතට අනුව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේ මහත් පුද පෙරහරෙන් ගෞරවයෙන් සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා, සුවඳපැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා වාරය ආරම්භ වනු ඇත.

කවර කෙනකුට වුව ද, මහත් කරුණාවෙන්, ඕනෑකමෙන් සුමන සමන් දෙවි කරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වන මහඟු අවස්ථාවකි.
ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සියලු දෙනාට ආශීර්වාදය සැලසේ. ගහ කොළට, ඇළට, දොළට සතා සිව්පාවාට, පරිසරයට හානි කිරීමෙන් ද වැළකී සිරිපා වන්දනා කරමු.

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය


" දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි."
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ දඹදිව සිට ලක්දිවට වැඩමවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙම උතුම් බෝධි ශාඛාව අප වෙත ලැබුණු බව වංස කථාවල සඳහන් වෙයි.
ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධි ශාඛාව එහි සිට අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්,පුද සත්කාර’ සඳහා නතරකොට තබා තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ පුද පෙරහර, මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.
මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූ බව මහාවංසයෙහි දැක්වෙයි. මේ අනුව ශ්‍රී මහා බෝධි රෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ප්‍රභූ ජනයා ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදු වූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදුදහම ලංකාවට හඳුන්වාදීමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. සිංහල බෝධිවංසයෙහි දැක්වෙන පරිදි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීන් නටමින් , ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබේ. ඒ බැව් එහි මෙසේ දැක්වෙයි.
නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින් බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසින් අත් පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථියෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා.......
දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙලින් පූජා පැවැත් වූ හ යි, සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධ විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.
දුටුගැමුණු රජු විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු ඉතා සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ බෝධි සිනාන පූජා” යන වචනය යි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකි ය. ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු කළ ආකාරයේ බෝධි පූජා පෙරහරක් ද බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නො කොට බෝධි පූජා පැවැත් වීය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බොධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. “වඩ්ඪමාන බෝධි” යන නමින් ද ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු ද බෝධි පූජා කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනිම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූ හ.
පුරාතන යුගයේ දී වැස්ස ලබා ගැනීම සඳහා ද, රටට ආරක්ෂාව ලබා ගැනීමටද, රාජ රාජ මහා මාත්‍යාදීහු බෝධි පූජා සිදු කළ හ. ස්ථාන අටක හා දහසයක් බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේ ය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩා කොඩි එසවීම, තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදුවැලි ඉසීම යනාදිය පෙන්වාදිය හැකි ය.
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට සැපත් වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා , දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා , මහාදේවී, පදුමා,හේමසා, උන්නලා ,අංජලී සහ සුමා යන භික්ෂුණීන් ද සිටි බව දීපවංසයෙහි සඳහන් වෙයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමාධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරාධම්ම සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංසය සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලාගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එම මෙහෙණ අසපුවෙහි ම වාසය කළා ය.
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන්, අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත් කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජයේ ඇරඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.
ඌරුගමුවේ අස්සජි හිමි
උපුට‍ා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

ආනන්ද මහ රහතන් වහන්සේ

Ananda Maha Rahathan wahanse ආනන්ද මහ රහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි එවන් අසිරිමත් රහතන් වහන්සේ නමක් ගැන මෙසේ සටහන් තබමු. ඒ තමා ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා ඔබ වහන්සේ මුණ ගැසීමට පැමිණ සිටිනවා’ කියා. ‘හොඳයි ආසනයක් පනවා වාඩිවෙන්න කියන්න’ තථාගතයන් වහන්සේ පැවසූ විට ඒ හිමියෝ නැවතත් එතැනින් පොළොවේ කිමිදී නැවතත් සුමන කුමාරයා ළඟින් මතුවුණා. මෙය දුටු මේ කුමාරයා විශ්මයට පත්වෙනවා. මේ හිමියන් අද්භූත කෙනෙක්. විශ්මිත කෙනෙක් යැයි සිතා අහනවා ‘ස්වාමිනී ඔබවහන්සේ මේ වාගේ බලසම්පන්න කමක් ලබා ගත්තේ කෙසේද’? සුමන හිමියන් වදාළා ‘සංසාරයේ මම මහත් වූ පින්කම් බොහෝ සිදුකරලයි මෙවැනි සෘද්ධි උපදවා ගත්තේ’. එවිට මේ කුමාරයාගේ සිතේ අධිෂ්ඨානයක් ඇතිවුණා මමත් මේ වගේ සෘද්ධිමත් කෙනෙක් වෙන්න ඕන කියලා. එදා සිට මේ කුමාරයා නොයෙක් ආත්මභාව ලබා බොහෝ පින්දහම් කරගෙන සංසාරය පුරාවට ආවා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තුසිත දෙව්ලොවින් චුතව අමිතෝදන ශාක්‍යයාට පීතෘභාවය ලබාදෙමින් මනුලොව ඉපදුනා. තම ඥාති වර්ගයා මහත් අමන්දානන්දයට පත් වූ මේ කරුණ නිසා ‘ආනන්ද’ යැයි නම තිබ්බා.

ආනන්ද කුමාරයා බොහෝ සැපසේ හැදී වැඩී කාලයකට පසු තරුණ වියේදී ගෞතම සසුනේ පැවිදි වුණා. පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වුණා.

අපගේ් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 20 යනතුරු ස්ථිර උපස්ථායකයන් වහන්සේ නමක් සිටියේ නැහැ. එක එක කාලයේදී එක එක තෙරුන් වහන්සේලා උපස්ථාන කර තිබෙනවා. උන්වහන්සේට අවුරුදු 55 වෙද්දී සංඝයා රැස්කර වදාළා මම දැන් මහළුයි. මට ස්ථිර උපස්ථායකු අවශ්‍යයි කියා. එවිට ඒ සඳහා සාරිපුත්ත මොග්ගල්ලාන, අනුරුද්ධ, රේවත ආදී රහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. නමුත් තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට ළඟ සිටි හිමිනමක් ආනන්ද හිමියන්ට කියනවා ඔබවහන්සේත් මේ සඳහා ඉදිරිපත් වන්න කියා. ආනන්ද හිමියන් පවසනවා සුදුසුනම් මට ලැබෙයි කියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබලා ආනන්දයන් උනන්දු කළයුතු නැහැ. ආනන්ද මෙය බාර ගනියි යනුවෙන්. එවිට ආනන්ද හිමියන් කියා සිටියා ස්වාමිනි එසේනම් මට වර අටක් ඉල්ලීමට අවසර දෙන්න. ඒ තමා

ආයාචනා වර සතර

1. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි
2. භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි
3. භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි
4. භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි.

ප්‍රතික්‌ෂේප වර සතර


5. මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි
6. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි
7. ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි.
8. මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි.

ඔබ වහන්සේ මෙයට එකඟ වන සේක්වා කියා ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ එයට අවසර දුන්නා. ඉන්පසු ආනන්ද හිමියන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම භාණ්ඩාගාරික බවට පත්වුණා.



බුදුරදුන්ට අවශ්‍ය උණු පැන්, සිහිල් පැන් පමණක්‌ නොව අසනීප වූ අවස්‌ථාවලදී කැඳ බත්, බෙහෙත් ආදිය සැපයුනේ ද ආනන්ද හාමුදුරුවන් අතිනි. බුදුරදුන් වැඩසිටිය ගඳකිළිය හා අවට ඇමදීම සිදු කෙරුණේද ආනන්ද හිමියන් අතිනි. එපමණක්‌ නොව රාත්‍රී කාලයේදී බුදුන් වැඩ සිටිය ගඳකිළිය වටා එළියක්‌ ගෙන වරින් වර ගමන් කළේ බුදුරජාණන් වහන්සේ කතා කළහොත් ඊට පිළිවදන් දීම සඳහාය. මෙසේ ආනන්ද හාමුදුරුවන් විසින් බුදුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය තෙක්‌ම දිවා රෑ දෙකෙහි බලා ගත්තේ තම පණ දෙවෙනිකොට ගෙනය. ආනන්ද හාමුදුරුවන් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම කාලය ගෙවමින් සත්පුරුෂ ආශ්‍රයෙහි උපරිම ඵල ප්‍රයෝජනයන් නෙළා ගත්හ.



දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ ඝාතනයට නාලාගිරි ඇතා එවූ විට බුදුරජාණන් වහන්සේ බේරා ගැනීමට ආනන්ද හාමුදුරුවෝ බුදුන්වහන්සේ හා ඇතා අතරට පිවිසි අතර බුදුරජාණන් වහන්සේ සිය සෘද්ධි බලයෙන් ආනන්ද හාමුදුරුවන් එතැනින් ඉවත් කළ සේක.

මහා ප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට සම්බුදු සසුනේ පැවිදි බව ඉල්ලා සිටීමේදී බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්‌ෂේප කළද ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කරුණු කියා භික්‍ෂුණි සාසනය ආරම්භ කිරීමට කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි නැති විටදී උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම පිණිස බෝධීන් වහන්සේ නමක්‌ දෙව්රම් වෙහෙරෙහි රෝපණය කිරීමට කටයුතු කළේ ද ආනන්ද හාමුදුරුවන්ය. "ආනන්ද බෝධිය" නමින් ප්‍රකට වූ එම බෝධිය පිහිටි ස්‌ථානය අදටත් දැක බලාගත හැකිය.



බලවත් අසනීපයට පත්ව අසාධ්‍යව සිටි පූතිගත්තතිස්‌ස හිමියන්ගේ ශරීරය පුරා ගෙඩි හටගෙන පසුව ඒවා බෙලිගෙඩි තරමට විශාලවී පැලී සැරව ගලමින් සිවුරු තෙත්ව තිබූ අවස්‌ථාවක සිය ශිෂ්‍යන්ද උන්වහන්සේට නොසලකා සිටිය අවස්‌ථාවක බුදුන්වහන්සේ ඒ හිමියන්ට උපස්‌ථාන කරන විට ඊට සහාය වූයේ ආනන්ද හාමුදුරුවන්ය. විශාලා මහනුවර පැවැති තුන් බිය දුරු කිරීමට බුදුන්ගේ උපදෙස්‌ පරිදි රතන සූත්‍රය දේශනා කරමින් නගරය වටා පිරිත් පැන් ඉසිමින් විශාලාවට ශාන්තිය උදා කිරීමටද ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට සහාය වූහ.




ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ වෙතින්  ලැබ තනතුරු 5



1 “මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති)      මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.


2 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන්           අතුරෙන් අග්‍රයි.


3 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.


4 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන්       අතුරෙන් අග්‍රයි.


5 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

මෙසේ තනතුරු රාශියක්‌ ලැබූ ආනන්ද හාමුදුරුවන් අතිශය නිහතමානී වෙමින් තනතුරු නිසා තමන් බැබළෙනවා වෙනුවට තමන් නිසා තනතුරු බැබළවූහ.

ආනන්ද හිමියන්ගේ සිහිබුද්ධියේ ද බහ්‍රශ්‍රැත භාවයේ ද තත්ත්වය ඉතා හොඳින් ප්‍රකට වූයේ ප්‍රථම ධර්ම සංගායනාවේ දී ය. ධර්මධර ත්‍රිපිටකධාරී බහුශ්‍රැත ෂඩ් අභිඥාලාභී මහරහතුන් පන්සියයක් දෙනා වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනු ලබන කල්හි එහි දී සූත්‍ර පිටක අභිධර්මපිටක දෙක ම පිළිබඳ විස්සජ්ජක (පිළිතුරු දෙන) භික්ෂුව වශයෙන් මහ සංඝයා විසින් සම්මත කරනු ලැබුවාහු ආනන්ද හිමියෝ ය. උන් වහන්සේ ප්‍රශ්න විචාරක මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන එකුන් පන්සියයක් මහ රහතුන් වහන්සේ ම විස්මයට පත් වන අයුරින් තථාගත ධර්මය පිළිබඳ විසඳීම් කළ සේක.

ආනන්ද හිමියන් මෙසේ ධර්මය සංගායනා කරන කල්හි එහි පැමිණ සිටියා වූ ඇතැම් දේවතා කෙනෙක් ආනන්ද හිමියන් පිළිබඳ ව සැක පහළ කළහ. එනම් “මේ ආනන්ද ස්ථිවිර තෙම තථාගතයන් වහන්සේ විසින් ධර්ම භාණ්ඩාගාරික වශයෙන් එතදග්‍ර පාලියෙහි තබන ලදි. දැන් මෙතරම් ශ්‍රේෂ්ඨ අන්දමින් මහ සඟ පිරිස මැද විජිනි පතක් ගෙන ආසනාරූඪ ව ධර්ම දේශනා කරන්නේ සර්වඥ බවට වත් පැමිණියේ වනැ’ යි කියා යි.

දෙවියන්ගේ සිත්හි පහළ වූ මේ සැකය දුරු කරනු වස් තමන් වහන්සේ සම්බුදු නොවූ බවත්, මේ සියලු ධර්මය තථාගතයන් වහන්සේගෙන් අසා, උගත් බවත් අඟවනු පිණිස “ඒවං මේ සුතං ඒකං සමයං භගවා” ආදියෙන් නිදාන පාඨයක් ඇතුළත් කළහ. දෙවියන් තමන් වහන්සේ පිළිබඳ ව සිතන එවැනි සිතිවිලිවලින් තමන් වහන්සේට ගෞරවයක් ලැබීම නුසුදුසු බව සැලකීම ද උන් වහන්සේ තුළ පැවති තවත් උදාර ගුණයක් ලෙස සැලකිය යුතු ය. ආනන්ද හිමියන් විසින් කරන ලද මේ ධර්ම සංගායනාව පිළිබඳ කථාව සම්බුදුසස්න පවත්නා තෙක් ම ලෝකයා අතර අමරණීයත්වයෙන් පවතිනු ඇත.

ගිහියන්ට හා පැවිද්දන්ට ධර්මය උගැන්වීමෙන් ද ධර්ම ප්‍රචාරය කිරීමෙන් ද ධර්මධර බහ්‍රශ්‍රැතයන් දහස් ගණන් ඇති කරවීමෙන් දැ යි යන ක්‍රමයෙන් සම්බුද්ධ ශාසනයට මෙතරම් සේවයක් කළ ශ්‍රාවක නමක් නැතැ යි ප්‍රකාශ කිරීම සෙසු තථාගත ශ්‍රාවයකයන්ට අගෞරවයක් ද නොවනු ඇත. දෙවැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය දැරුවාහු ආනන්ද හිමියන්ගේ අතැවැසි (ගෝල) මහතෙරුන් වහන්සේලා ය. තථාගත පරිනිර්වාණයෙන් සියක් වසරක් ගිය කල වජ්ජිපුත්තක භික්‍ෂූන් විසින් ඉපදවූ ‘දස වස්තුව’ පිළිබඳ විනිශ්චයක් කොට එය අකැප වස්තූන් ලෙස සම්මත කොට කාලාසෝක රජුගේ දායකත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව කළා වූ පන්සියයක් මහරහතුන් වහන්සේලා අතුරෙන් ප්‍රධාන අට නමට ඇතුළත් වූ සබ්බකාමී, සාළ්හ, රේවත බුජ්ජසෝහිත, කාකණ්ඩකපුත්ත යස, සාණාවාසී සම්භූත යන මහ තෙරවරුන් වහන්සේලා ආනන්ද හිමියන්ගේ අතැවැසි මහ තෙරවරහු වූ හ. මෙයින් පෙනෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ සහායෙන් සිදු කළ බවත් දෙවැනි ධර්ම සංගායනාව ආනන්ද හිමියන්ගේ අතැවැසි තෙරුන් විසින් සිදු කළ බවත් ය.

මේ සම්බුදුසස්නෙහි ආනන්ද හිමියන් ලෙසින් රහත් වූ භික්‍ෂුවක් ද නැත. උන් වහන්සේ රහත් වූයේ ප්‍රථම ධර්මසංගායනාව පවත්වන්නට ආරම්භ කළ නිකිණි අව දියවක් දා අලුයම් වේලේ දී ය. එදිනට පෙරදින මහා කාශ්‍යප හිමියෝ ආනන්ද හිමියන් අමතා “ආනන්දයෙනි, ධර්ම සංගායනාව පවත්වන්නේ සෙට යි. තොප රහත් නුවූ හෙයින් එයට එක් විය ද නොහැක්ක. සම්බුදුහු ධර්ම භාණ්ඩාගාරය තොප අත තබා වදාළහ. එහෙයින් වීර්ය කරන්නැ”යි ඉල්ලා සිටියහ. ආනන්ද තෙරණුවෝ ද තුන්යම් රාත්‍රියෙහි සක්මන් කොට රහත් විය නුහුණු හෙයින් අලුයම් වේලෙහි මඳක් කය සතපා වීර්ය කෙරෙමියි සිතා දෙපා සෝදා සයනය වෙතට පැමිණ සයනය මත අත තැබීමත් දෙපය එසවීමත් රහත් වීමත් යන මේ තුන ම ඒ ක්‍ෂණයෙහි විය. නොහිඳ, නොසිට, නොනිදා, නොඇවිද රහත් වූ කෙනෙක් මේ ආනන්ද තෙරුන් හැර තවත් නැත්තා හ. අහෝ ආශ්චර්යයකි! ධර්ම ශක්තියක මහත.

රහත් වීම එසේ මෙන් ම, ආනන්ද හිමියන් මෙන් පිරිනිවන් පෑ අන් කෙනෙක් ද මේ බුදුසස්නේ තවත් නැත.

ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ එකසිය විසි අවුරුදු වයස් වූ පසු තමන් වහන්සේගේ ආයු පිරිහී ගිය බව දැන “ඇවැත්නි, මම මෙයින් සත්වන දා පිරිනිවන් පාන්නෙමි යි” දැන්වූ සේක. එවිට භික්‍ෂූහු “අහෝ! තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බහුශ්‍රැත ධර්මධර ආනන්ද හිමියෝ පිරිනිවන් පානා සේක. දෙවැනි බුදුහු ද නිවන්පුර වඩනා සේකැ” යි කියන්නට වන්හ. මෙසේ කටින් කට මේ කථාව පැතිර යෑමෙන් උන් වහන්සේගේ ඥාතිවරු-විශේෂයෙන් රෝහිණී නදිය දෙපස විසූ ශාක්‍ය කෝලිය දෙකුලයට අයත් ඥාතිවරු “ස්වාමීනි, සම්බුදු රජාණන් වහන්සේ අපගේ ඥතිවරයා වුව ද පිරිනිවන් පානා පිණිස කුසිනාරාවට වැඩියහ. එනිසා නුඹ වහන්සේ වත් අපේ ගමෙහිදී පිරිනිවන් පානා සේක්වා” යි ඉල්ලා සිටියහ. එතෙර වැසියෝ “ස්වාමීනි මෙතෙර දී පිරිනිවන් පානු මැනව” යි කී හ. මෙතෙර වැසියෝ ද “ස්වාමීනි, අපගේ පැත්තෙහි පිරිනිවන් පානු මැනැව” යි අයැද සිටියහ.

ආනන්ද තෙරණුවෝ ඒ අසා, ‘දෙතෙර වැසියෝ ම මට උපකාරී ව සිටියහ. මා එක් පැත්තක පිරිනිවන් පෑවේ නම් අනෙක් පැත්තේ අය ධාතු ඉල්ලා සිටිනු ඇත. එවිට තවත් ධාතු කෝලාහලයක් විය හැකි ය. එහෙයින් දෙතෙර වැස්සන්ට ම පහසු වන අයුරින්, ප්‍රසාදය යෙදෙන අයුරින් පිරිනිවන් පෑ යුතු’ යි සිතූ සේක.

මෙසේ සිතා සත්වන දිනයෙහි හෙවත් තථාගතපරිනිර්වාණයෙන් සතළිස් වන හවුරුද්දෙහි වෙසක් පුර පසළොස්වක දා රෝහිණී නදිය මැද අහසෙහි පලක් බඳ වැඩ හිඳ, දෙපස එක් වූ පිරිසට ධර්මදේශනා කළ සේක. අවසානයෙහි, “මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රය කරන ලදි. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන ලදි. එහෙයින් ම සම්පූර්ණයෙන් කෙලෙස් බර බහා තබන ලදි. (සියලු කෙලෙසුන් නැසීම). නැවත මාගේ ඉපදීමක් නැත” යි ප්‍රකාශ කළහ.

ඉක්බිති මහ තෙරණුවෝ “මාගේ සිරුර මැදින් බිඳී කොටස් දෙක ගඟ දෙපසට වෙන් ව වැගිරේවා!” යි අධිෂ්ඨාන කොට, තේජෝ ධාතු කසිණ සමාපත්තියට සමවැද අනුපාදාපරිනිබ්බාණයෙන් පිරිනිවන් පෑ සේක. සිරුරෙන් ගිනිදැල් මතු වී දැවී අධිෂ්ඨාන බලයෙන් දෙකඩ ව ගඟ දෙපසට වැටුණේ ය.

මහජනයා දැවෙන සිරුර දෙස බලා හඬා වැලපුණාහු තථාගතයන් වහන්සේ පිරිනිවි දින මෙන් මහත් ශෝකයක් පළ කළහ. “අහෝ! සම්බුදුරදුන්ගේ පා-සිවුරු ගෙන ගිය, සම්බුදුරදුන් පසුපස ගමන් කළ ආනන්ද හිමියන් සිටින කල බුදුරදුන් වැඩ සිටිනා සේ විය. දැන් ඉතින් දෙවැනි බුදුරදුන් වහන්සේ ද පිරිනිවි සේක. අපි කෙසේ ඉවසමු ද?” ආදීන් කිය-කියා ශෝකයෙන් වැලපුණාහු, ගඟ දෙපසට වැටුණු ධාතු ගෙන චෛත්‍ය කරවූ හ. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ තරම් බුදුන්ගේ ධර්මය ලෝකයාට බෙදාදීමට පුරෝගාමී වූ තවත් කෙනෙක්‌ සම්බුද්ධ සාසනයේ දක්‌නා නොලැබෙන තරම්ය.


ආනන්ද ථෙරග‍ාථ‍ා

‘‘ආතාපී නිපකො චාපි, සම්පජානො පතිස්සතො;
සොතාපත්තිඵලං පත්තො, සෙඛභූමීසු කොවිදො.’’


‘‘කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, මනා දැනුම් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ශෛක්‍ෂ්‍ය භූමියෙහි දක්‍ෂවූයේ, සෝවාන් ඵලයට පැමිණියේ වෙමි.’’


‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමභිනීහරිං
තාහං භූමිමනුප්පත්තො, ඨිතා සද්ධම්මමාචලා


‘‘මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් කොට (යමක්) ප්‍රාර්ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියේ, සසුනෙහි නිශ්චලව සිටියේ වෙමි.’’

‘‘මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි’’


‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.’’


‘‘බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.’’


‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.


‘‘මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.’’


උපුටා ගැනීම අන්තර්ජ‍ාලය ඇසුරිනි.

බක්කුල මහ රහතන් වහන්සේ

Bakkula Maha Rahathan Wahanse බක්කුල මහ රහතන් වහන්සේ


ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.


විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා “බක්‌කුල” ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.


3. බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.
2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´
´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´
´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´
´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.
´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.

36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.
´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
සතරවැනි බක්කුල සූත්‍රයයි. ( 3 – 4 )

බක්කුල මහ රහතන් වහන්සේ දිනක් භාවනා කරද්දී දකිනවා, උන් වහන්සේගේ ආයුෂ ගෙවී අවසන්. ඒ මොහොතේ භාවනාවෙන් නැඟිට, ස්වාමීන් වහන්සේලා සැමගේම කුටිවලට ගිහින් ඇමැතුවා.‘ආයුෂ්මතුනි, එළියට වඩින්න. අද මා පිරිනිවන් පානවා යනුවෙන් තම කුටියෙහි යතුර සංඝයාට දී, භික්ෂූන් වහන්සේලාට අවවාද කර, ස්වාමීනි, මා පිරිනිවන් පානවා යනුවෙන් අහසට පැන නඟින්න පෙර අධිෂ්ඨානයක් කළා. ‘මගේ පැවිදි ජීවිතය තුළ කිසිකෙනෙක් ලවා මා උපස්ථානයක් කරවාගෙන නැහැ. කාටවත් මගේ කය කරදරයක් වෙලා නැහැ. මේ මොහොතේ පිරිනිවන් පෑ පසුවවත්, මගේ දේහය තව කෙනෙකුට කරදරයක්, බාධාවක් නොවේවා’ යනුවෙන් අධිෂ්ඨානයක් කළා. ඒ වගේම අනාගතයේ දෙව්, මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන, වැඳුම් පිදුම් කරන සිව්වණක් ශ්‍රාවකයන්ට, මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර, අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී, ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා.

උපුටා ගැනීම අන්තර්ජ‍ාලය ඇසුරිනි.