උදාර සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පොහොය උදාව



නවම් පුර පොහොය බුදු සසුනේ සහ බුද්ධ චරිතයේ උදාර සිදුවීම් රාශියක් සිදු වූ පූජනීය දිනයකි.
1. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව්
තනතුරු ලබා දීම
2. ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදු වීම
3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම
4. ආයු සංස්කාරය අත්හැරීම
සුදුස්සාට සුදුසු තනතුරුදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීම ඊට හොඳම නිදසුනකි. මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේ සිටියදී මෙම දෙනමට තනතුරු ලබා දීම පිළිබඳ ව ඇතැම් භික්ෂූන් පවා දොස් නැගූහ. එහිදී බුදුරදුන් දේශනා කළේ මෙය මතුපිටින් බලා ලබා දෙන තනතුරු නොවන බවත්, සංසාරයේ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාකොට පෙරුම් පුරා පැමිණි බවත් ය. ඒ අනුව සැරියුත් මහ රහතන් වහන්සේ දකුණත් සව් ලෙසත්, ධර්ම සේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයත් බුදුරදුන් වෙතින් හිමි කරගත්හ. මුගලන් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගේ වමත් සව් ලෙසත්, ඍද්ධිමත් භික්ෂූන් අතර අගතනතුරත් හිමි කර ගත්හ. ප්‍රථම වරට වේළුවනාරාමයේ දී සංඝ සන්නිපාතය සිදු වූ විශේෂිත දිනය නවම් පොහොය යි. ජටිල භික්ෂූන් දහසක් සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක් භික්ෂූන් වහන්සේ ඇතුළු රහතුන් එක්දහස් දෙසිය පනහක් එකතුවීමෙන් මෙම සංඝ සන්නිපාතය සිදු වූහ.
බුද්ධත්වයෙන් විසි වසරක් යනතුරු විනය ශික්ෂාවන් පැනවීමත් සිදු නොවූහ. පැවතියේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. අල්ප ආයුෂ බුදුවරයාණන් වහන්සේලා තම ශාසනයෙහි පැවැත්ම වෙනුවෙන් මෙම අවවාද දේශනා කිරීම සිදු වේ. ඒ අනුව ගෞතම බුදුරදුන් භික්ෂූන් අරමුණු කොට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාකොට වදාළේ අද වන් උතුම් පොහොය දිනකදී ය.
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසුදු කිර ගැනීමත් බුද්ධ අනුශාසනාව යි.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූප ඝාති
සමණෝ හෝති පරං විහේඨයන්කො
ඉවසීම නමැති ක්ෂාන්තිය යි උතුම් තපස වන්නේ, බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ ඒ අමා නිවන උතුම් බව යි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් නොවේ. අනුන්නට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නේ නෑ.
කාටවත් නින්දා අපහාස කිරීම යහපත් නෑ . කාගෙවත් ජීවිතයක් හානි නොකළ යුතු යි. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ ගෙන දුර ඈත සෙනසුන්වල කල් ගෙවන්න බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙය යි.
මෙම අවවාදය විනයකොට සලකා භික්ෂු ඇවතුම් පැවතුම් සකසා ගැනීම බුදුරදුන් අනු දැන වදාළහ. වසර හතළිස් පහක් ලෝක සත්ත්වයාට ධර්ම දේශනාකොට ඉතිරි තුන් මාසයේ දී පිරිනිවන් පාන බව අධිෂ්ඨාන කිරීම ආයු සංස්කාරය අත් හැරිම යි. බුද්ධ පරිනිර්වාණයට සූදානම් වීම සිදු වූයේ මෙවන් උතුම් පොහොය දිනක දී ය.

කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

No comments:

Post a Comment