නිකිණි පොහෝදා ශාසනික සිදුවීම්


ප්‍රථම ධර්ම සංගායනාව

බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. මුල්ම ධර්ම සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි.

නිකිණි පොහෝදා ආරම්භ කරන ලද ‘පංචසතිකා’ නම් වූ මෙම පළමු සංගායනාව සිදුකිරීමට හේතුවූ ආසන්න කාරණා දෙකකි. මුල්කාරණාව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආගමික ශාස්තෘවර නිගණ්ඨනාථ පුත්‍ර අභාවප්‍රාප්ත වීමත් සමඟම එම ශාසනයේ අනුගාමිකයන් විවිධ විවාද ඇතිකොට ගෙන සී සී කඩ විසිරී යාමයි. මේ නිසා ශාසන භාරධාරි මහ රහතන් වහන්සේලා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ධර්ම සංගායනාවක් කර බුද්ධ ධර්මය ස්ථාපිත කළ යුතු බවයි.

මෙ සංගායනාව කිරීමට හේතුවූ දෙවන ආසන්නතම හේතුව වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වෘද්ධ ශිෂ්‍ය භික්ෂුවක් වූ සුභද්‍ර නම් පැවිද්දා
ඇවැත්නි, ශෝක නොකරන්න. නොවැළපෙන්න, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෙමු.’
යනුවෙන් හඬා වැළපෙන භික්ෂූන්ට ප්‍රකාශ කිරීමත් සමගම විවිධ පටු අදහස් ඇති භික්ෂූන්ගෙන් බුදුසසුන රැක ගත යුතුය යන අදහස ශාසනාභාරධාරි මහ රහතන් වහන්සේලා ඇතිකර ගැනීමයි.

ආනන්ද මහ තෙරුවන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද නිකිණි පුර පසළොස්වක පොහෝදා අලුයමය. ඊට පෙර දින දක්වාම රහත්භාවයට පත්වීමට නොහැකි වූ ආනන්ද මහතෙරුන් වහන්සේ මොහොතක් ඇඳෙහි සැතපෙමියි සිතා වාඩි වී හිස කොට්ටය මත තබන්නටත් පෙර, දෙපා ඇඳමතට ගන්නටත් පෙර ඒ අතර මැද කාලයේ අර්හත්භාවයට පත්වු සේක. රජගහනුවර සප්ත පණ්ණී නම් ගුහාද්වාරයේ අජාසත් මහ රජු විසින් කරවා දෙන ලද මණ්ඩපයක සංගායනාව කිරීමට යොදා ගත් අතර අන්‍ය මතධාරින්ගෙන් විය හැකි ගැහැට සලකා සම්පූර්ණ ආරක්ෂාවක් ඊට ලබා දී තිබුණි. මහරහත් භාවයට පත් ආනන්ද මහ තෙරුන් වහන්සේ තම රහත්භාවය ප්‍රකාශ කරනු වස් ඍද්ධියෙන් සියලු ආරක්ෂා විධි විධාන අභිබවා සියල්ලන්ටම පෙර නිකිණි පොහෝ දා අලුයම එම මණ්ඩපයට වැඩමවා සියල්ලන් පුදුමයට පත්කළ සේක.

නිකිණි පුර පසළොස්වක පොහෝදා මුල්කර ගෙන සිදුවන තවත් වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ඇසළ පුන් පොහෝ දා වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට නිකිණි පුර පසළොස්වක පොහෝ දා පොහොය කොට පසුදා වස් සමාදන් වන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තේතුං” (මහණෙනි , රාජනියෝගවලට අනුව කටයුතු කිරීමට අනුදැන වදාරමි.”) නම් වූ විශේෂ පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන ලද්දේද මෙම නිකිණි පොහෝදා නියම කරන ලද පසු වස් සමාදන් වීම නිමිති කර ගෙන ය.

ඇසළ පොහෝදා සිදු කරනු ලබන වස් සමාදන් වීමට බිම්බිසාර රජතුමා කැමති වූයේ නැත. ඊට හේතුව නම් මගධ රාජ්‍යයේ ඇසළ මාසය පුරා පැවැත්වෙන විනෝද උත්සවයක්ය. මේ අනුව මගධ රට වැසි භික්ෂූන් වහන්සේලා එතැන් පටන් ඇසළ පොහොයෙන් පසු වස් සමාදන් නොවී නිකිණි පොහෝදාට පසු දින පසු වස් සමාදන් වූ බව සඳහන් වී තිබේ.
තවද බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ නිකිණි පුර පසළොස්වක පොහෝ දින සේරුවිල මංගල මහා විහාරය වන්දනා කිරීමට යති. එසේම සේරුවිල නිකිණි පෙරහර ආරම්භ කරන්නේද මෙදින ය. බුදුරජාණන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්කොට ගොඩනගන ලදැයි සැලකෙන සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තබන ලද්දේද නිකිණි පොහෝදා යැයි පිළිගැනේ.
සේරුවිල මංගල මහා සෑය

බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සුත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය. බුදුරදුන් දහහතරවන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමඟ පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී උන්වහන්සේට පංච උපාදාන ස්ඛන්ධයෝ අනිත්‍යතාව හා ආනාපානසති භාවනාවේ වටිනාකම ද දෙසූ සේක.

රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේ උතුම්වූ අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂම කරන ලද්දේද මෙම දේශනාව අනුව භාවිත කිරීමෙන් පසු නිකිණි පෝදා දිනක බව සඳහන්වී ඇත.

ලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

සදහම් අමා ගඟ ගලාගිය ඇසළ පුන් පොහොය


අසිරිමත් බුදු සිරිතේ සහ ශාසනික ඉතිහාසයේ සිද්ධීන් රැසක් දැක්වෙන දිනයකි ඇසළ පොහොය.

අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු මෙලොවට බිහිවීම, බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ මුල්වරට වස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කිරීම, උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුල යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්ම දේශනාව පැවැත්වීම ඇරැඹීම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස වස් සමාදන් වීම සහ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වැදගත් වන්නා වූ සිදුවීම් රැසක්ද ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. ඒ අතර මහා විහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමා සම්මතය, අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදිව උපසම්පදා ලැබීම , මහරහතන් වහන්සේලා හැට දෙනමක් මුල්වරට ලංකාවේ වස් වැසීම, දුටුගැමුණු මහරජ රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එම සෑයෙහි ධාතු නිධානය කිරීම, දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනු ලබන ඇසළ පෙරහර පැවැත්වීම වැනි සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සමඟ බැඳී ඇති ආකාරය සඳහන් කළ හැකිය.

බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ තුසිත ලොව සන්තුසිත නම් දිව්‍ය රාජ්‍යයෙහි උපන් කල්හි විවිධ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආරාධිත පිළිගෙන මිනිස් ලොව ඉපදීමට පස්මහ බැලුම් බලා අවසානයේ දී සුද්ධෝදන මහ රජුගේ අගමෙහෙසිය වූ මහමායා දේවිය කුස පිළිසිඳ ගත් සේක. ඒ උතුම් ඇසළ පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව සිප් සතර හදාරා නිසි කලට විවාහ ප්‍රාප්තව යශෝධරාව නිසා උපන් රාහුල කුමරු තම පැවිද්දට බාධාවක් යැයි සිතා සතර පෙර නිමිති දැක ගිහිගේ පිළිබඳ කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක ය. එදින උන්වහන්සේ තවුස් පිරිකර හැඳ පොරවා පෙර බුදුවරුන් සිහිකොට ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී තවුස් පැවිද්දෙන් පැවිදි බවට පත්වූ සේක.

මෙසේ තාපස වේශයෙන් උපතත් මරණයත් දුරු කරන මාර්ගය සොයා යමින් උන්වහන්සේ අවසානයේ දී බුද්ධගයාවේ දී සම්මා සම්බුද්ධත්වයට පත් ව මුල් දම් දෙසුම පැවැත්විය යුත්තේ කාටදැයි කල්පනා කරන සේක. පස්වග තවුසන්ගේ හේතු සම්පත්තිය දැක බුද්ධත්වයෙන් පසු එළඹි ඇසළ මස පුන් පොහෝ දින සවස ඉසිපතනයට වැඩම කළ සේක. තමන් සත්‍යය අවබෝධ කළ බව කීප විටක්ම පැවසුවත් බුදුරදුන් විශ්වාස කිරීමට තරම් පස්වග මහණුන් බුද්ධිමත් නොවූ හෙයින් උන්වහන්සේ අවසානයේ දී මෙසේ වදාළ සේක.

“මා උරුවෙල් දනව්වේ දුෂ්කරක්‍රියා කරන කාලයේ නුඹලා රැවටීම පිණිස මට මෙසේ එළියක් පෙනේ. මෙබඳු අරමුණ ඇතිවිය’ යනුවෙන් ප්‍රකාශ කළා ද?”
නැත, ස්වාමීනි,

“මා දැන් බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන්නේ ඒ සත්‍යය අවබෝධ කළ නිසාමයි”
ඉන් අනතුරුව පස්වග මහණුන් වහන්සේලා බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වූහ. ඔවුහු ඉතා ගෞරවයෙන් යුතුව බුදුරදුන්ගේ මංගල ධර්මදේශනාව ශ්‍රවණය කළහ. එදින ඒ ධර්ම දේශනාව අවසන් වනවාත් සමඟම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට දහම් ඇස පහළ විය. උන්වහන්සේ උතුම් වූ සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. ඒ ඇසළ පුන් පොහෝදින බුදුබණ අසා ලොව මුල්ම සෝවාන් මගඵලලාභී උතුමාණෝ පහළ වූහ. බුදුරජාණන් වහන්සේ,

“අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ
අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ ! 
යනුවෙන්
පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළ සේක. එදිනම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සය නමක් ලොව මුල්වරට වස් සමාදන් වූහ.

පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ හෙයින් එලෙස රහත් ගුණ ප්‍රකට කිරීම නුසුදුසු යැයි වදාළ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට අකැපයැයි වදාරා තහනම් කළ සේක. ඒ ගැන බිම්බිසාර රජු බුදුරදුන්ගෙන් විමසූ විට එතැන් පටන් සාර මසකින් එළඹෙන ඇසළ පුන් පොහෝදින ගණ්ඩම්බ නම් අඹ ගසක් මුල උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යයක් පාන බව දෙසූ සේක. ඉන් අනතුරුව එළඹි ඇසළ පුන් පොහෝදින උන්වහන්සේ සැවැත්නුවර රාජ්‍ය කළ උයන්පල්ලා දුන් අඹ ගෙඩියක් වළඳා එම ඇටයට පැන් වත්කොට අත සෝදා එකෙනෙහිම හට ගත් අඹ ගස යට යමක මහා ප්‍රාතිහාර්යය ඇතුළු මහා ප්‍රාතිහාර්යයක් ප්‍රදර්ශනය කළ සේක. එලෙස ප්‍රාතිහාර්යය පාමින් ධර්මදේශනා කළ බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේදීම අහසට පැන නැඟී දහස් ගණන් සෙනග බලා සිටියදීම තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ සේක. ඒ උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට අභිධර්ම දේශනාව කිරීම පිණිස ය.

තවද ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදි කරවා මහමෙව්නා උයනේදී උපසම්පදාකොට මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නුදුරින් පිහිටුවන ලද අටසැට ලෙන්වල වස්වසන්නට යෙදුණේද ඇසළ පුන් පොහෝ දිනක ය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට කටයුතු යොදා ඒ පිළිබඳ මංගල ශිලාස්තම්භය පිහිටවූයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය. රුවන්වැලි මහා සෑය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බවට පත් වූයේ ඒ තුළ අතිවිශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින බැවිනි. එහි ද්‍රෝණයක් පමණ වූ ධාතූන් වහන්සේලා නිදන් කිරීමේ මහා ධාතු නිදානෝත්සවය පැවැත්වුණේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ. ලක් සසුන පිරිහීමෙන් පසු ලංකාවේ සාමණේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කොට අදාළ ශාසනික වත් පිළිවෙත් උගන්වා වදාළ සියම් රටේ උපාලි මහතෙරුන් වහන්සේ විසින් අසරණ සරණ සරණංකර සඟරජමාහිමියන් ඇතුළු මල්වතු අස්ගිරි මහා සඟරුවන උපසම්පදා කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ.

මේ උතුම් ඇසළ පොහෝදා බුදු ගුණ සිහිකොට උතුම් වූ නිවන් මග පසක් කර ගැනීමට අපි අදිටන් කර ගනිමු.

කැලණිය විශ්වවිද්‍යාලයේ , 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති, 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

Poson poya පොසොන් පොහොය

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව

මිහිඳු මහරහතන් වහන්සේ

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා රටවල් නවයකට භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ධර්මදූත පිරිස් පිටත්කොට යැවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අය අතුරෙන් ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර මිහිඳු මාහිමියන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිස රජ පවුලට අයත් අයගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි.

මිහිඳු මාහිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා කුමරියගේ පුතණුවන් වූ සුමන සාමණේරයන් වහන්සේ ද මිහිඳු මාහිමියන්ගේ මවගේ සහෝදරියගේ දියණි කෙනෙකුන්ගේ පුත්‍රයා වූ භණ්ඩුක උපාසක තුමා ද එම දූත පිරිසට අයත් වීම මේ රටේ දී උසස් පිළිගැනීමක් ඇතිවීම කෙරෙහි බලපෑවාට සැක නැත.

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවා වැඩි කලක් ගතවීමට පෙර මේ රටේ බුද්ධ ධර්මය පමණක් නොව දේශපාලන, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයක ම ගුණාත්මක විප්ලවයක් ඇති විය. මහා වංශයෙහි විසිවන පරිච්ඡේදය කියවන විට පෙනී යන්නේ මහින්දාගමනයෙන් එක් වර්ෂයක් ගතවන විට සෑම අංශයක ම විශ්මිත දියුණුවක් ඇති වූ බවයි. ධර්මදූත පිරිස පැමිණීමත් සමග ඉමහත් දියුණුවක් ඇතිවීමට ප්‍රධාන ම හේතුව වූයේ මිහිඳු මාහිමියන් තුළ පැවති කැපී පෙනෙන සුවිශේෂ දක්ෂතාවන් ය. ලංකාවට වැඩම වූ පළමු වන දින මිහින්තලයේ දී පිරිස සහිත රජතුමා මුණ ගැසුණු අවස්ථාවෙහි එක් වරම ධර්ම දේශනා කිරීමට පෙර අඹ ගසක් මුල්කොට රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කිරීමට මිහිඳු මාහිමියන් ක්‍රියා කළ ආකාරය වැදගත් ය. 

රජතුමාගේ ආරාධනයෙන් පසුදින අනුරාධපුර නගරයට වැඩම වූ දූත පිරිස රජතුමාගේ මහමෙවුනා උයනෙහි පිහිටි මාළිගාවේ වැඩසිටියහ. පසුදින රජතුමා මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව මිහිඳු මාහිමියන් එහි තැන් තැන්වලට වැඩමවමින් අනාගතයේ ථූපාරාමය, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන පිහිටුවීම පිළිබඳ සළකුණු කරවන ලද්දේ ඉතා දක්ෂ ඉංජිනේරුවෙකුගේ ස්වභාවයෙනි. අනුරාධපුර අගනුවර රජමැදුරට නුදුරින් පිහිටා තිබූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීම ශාසනයේ හා රටේ අභිවෘද්ධිය සඳහා විශාල වශයෙන් හේතු විය. දීර්ඝ කාලයක් මහා විහාරය නමින් සංඝ රත්නයේ ප්‍රධාන ආරාමය බවට පත් වූයේ මේ ස්ථානය යි. මිහිඳු මාහිමියන් වැඩම වීමෙන් වර්ෂයක් ගත වන විට මේ රටේ ඉතා වේගයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට පහසු වූයේ කරුණු කිහිපයක් නිසා ය. එයින් ප්‍රධාන වන්නේ මේ රටේ ජීවත් වූ බොහෝ අය ඒ වන විට බුදු දහම පිළිබඳව දැන සිටීම යි. බුදු බවට පත්ව සත් සති ගෙවා අවසාන වූ දිනයෙහි ප්‍රථමයෙන් ම බුදුරදුන්ට උදෑසන දානය පිළිගන්වන ලද්දේ තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. පැහැදීමට පත් ඒ දෙදෙනා කළ ඉල්ලීමට අනුව බුදුරදුන් විසින් වැඳුම් පිදුම් කිරීම සඳහා තම හිස පිරිමැද කේස ධාතු දෙන ලද බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.

තපස්සු - භල්ලුක වෙළෙඳ නායකයන් දෙදෙන ලංකාවට පැමිණ ඉහත කී කේස ධාතු වලින් කොටසක් තිරියායේ තැන්පත් කොට සෑයක් ඉදිකළහ. පසු කාලයේ ලියන ලද සෙල්ලිපියක ඒ වෙළෙඳුන් දෙදෙනාගේ නම් සහ කේස ධාතු පිළිබඳව සඳහන් වී තිබීම වැදගත් වෙයි. බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මස මහියංගනයටත්, පස්වන වස නාගදීපයටත්, අට වන වසරේ දී කැලණියටත් වැඩම කළ බව ප්‍රකට සිදුවීමකි. තෙවන වරට කැලණියට වැඩම වූ උන්වහන්සේ ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, කතරගම අනුරාධපුරය ඇතුළු ස්ථාන දහ තුනකට වැඩම වූ බවත්, බොහෝ ස්ථානවල දී ධර්ම දේශනා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අන්දමට බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩමවීම නිසා ලංකාවාසී බොහෝ අය බුදු දහම දැන වැළඳ ගත් බවට සැක නැත.

වංශකතාව සඳහන් කරන අන්දමට ලංකාවේ ආරම්භක රජතුමා විජය කුමාරයා ඇතුළු පිරිස ජීවත් වූයේ ඉන්දියාවේ වයඹ දිග කොටසේ ය. විජය කුමාරයා ඇතුළු හත්සියයක් පිරිස නැව් නංවා රටින් පිටුවහල් කරන ලද්දේ සම්බුදු රදුන් පිරිනිවන් පෑමට සූදානම් වන දිනයේ ය. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර දිවැස් යොමු කොට ලොව බලත් දී විජය කුමාරයා ප්‍රධාන පිරිස දැක ඔවුන් ලංකාවට පැමිණි පසු ආරක්ෂාව සලසන ලෙස සක්දෙව් රදුන්ට නියම කළ බව මහාවංශය සඳහන් කරයි. එම නියමය පිළිගත් සක් දෙවිඳුන් විසින් මෙහෙය වන ලද උපුල්වන් දෙවියන් තවුස් වේසයෙන් ගසක් මුල සිට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ආරක්ෂාව සැලසූ බව තවදුරටත් වංශකතාව සඳහන් කරයි. එම පිරිස බුදු දහම ගැන සෑහෙන අවබෝධයකින් සිටිය බව ආරක්ෂාව සඳහා පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීමෙන් පැහැදිලි වෙයි.

විජය රජතුමාගෙන් පසු රජ බවට පත් පණ්ඩුවාසදේව කුමාරයා අග බිසව බවට පත්කර ගන්නා ලද්දේ ඉන්දියාවේ සිට ගෙන්වා ගන්නා ලද භද්දකච්චානා කුමරිය යි. එතුමිය බුදුරදුන්ගේ පියාණන් වූ සුද්දෝධන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ දියණිය යි. ඇය කහවත් ඇඳ පැවිදි වෙසින් ලංකාවට පැමිණීමත්, බුදුරදුන්ට ළඟම ඤාතිත්වයක් තිබීමත් පිළිබඳව සිතන විට නිශ්චිතවම ඇය බෞද්ධ කාන්තාවක් බව පැහැදිලි වෙයි. ටික කලෙකින් භද්දකච්චානා කුමරියගේ සොහොයුරෝ හය දෙනෙක් ද ලංකාවට පැමිණ අනුරාධපුරය, කතරගම, රෝහණය, දිගාමඩුල්ල ආදී ස්ථානවල ගම් ඉදිකොට වාසය කළහ. කතරගම හාත්පස ප්‍රදේශවල ක්ෂත්‍රිය වංශිකයන් වාසය කළ බව බෝවත්තේගල සෙල්ලිපියෙහි ද, ධාතු වංශය ආදී ග්‍රන්ථයන්හි ද, සඳහන් වෙයි. මේ පිළිබඳව ලංකා ඉතිහාසය නමැති ග්‍රන්ථයට අගනා ලිපියක් සපයා ඇති මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කොට ඇත. ,ලක්දිව පදිංචියට පැමිණි මුල් පිරිසට පසුව මෙහි පදිංචියට පැමිණි සමහරු ශාක්‍ය වංශිකයෝ වූහ. බුදුරජාණන් වහන්සේ ද ශාක්‍ය වංශිකයෙකි. මේ කරුණු සැබෑ නම් ශාක්‍යයන් තමන්ගේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාගේ නමත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් දැන සිටින්නට ඇත., මේ අනුව මිහිඳු මාහිමියන් ලංකාවට වඩින විට බුදුරදුන්ගේ ලංකාගමනයේ සිට ඉහත දැක් වූ අවස්ථාවන්හි බුදුදහම වැළඳගෙන සිටි අයගේ පරම්පරාවන්ගෙන් පැවත එන අය විශාල වශයෙන් මෙරට ජීවත් වූ බව පෙනේ. මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව වඩාත් පහසුවීමට එම පිරිස ද හේතු වූයේ යැයි සාධාරණ ය.
මිහිඳු මාහිමියන් වැඩම වූ දිනයේ මිහින්තලයේ දී දෙසූ ධර්මය අසා රජතුමා ප්‍රධාන පිරිස බුදු දහම වැළඳගත්හ. එයින් ටික කලකට පසු අරිට්ඨ මහා ඇමතිවරයා ඇතුළු උසස් පන්තියේ පිරිසත්, සංඝමිත්තාගමනයෙන් පසු අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ ද පැවිද්ද ලබා ගත්හ. මේ අන්දමට රජ පවුල ප්‍රධාන උසස් පන්තියේ අය බුදු දහම වැළඳ ගැනීම නිසා සාමාන්‍ය ජනතාව ද එය අනුගමනය කරන්නට පටන් ගත්හ. ලංකාව තුළ බුදු දහම ඉතා ඉක්මනින් පැතිර යාමට මෙය ද ප්‍රබල හේතුවකි.

ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට විසූ සමහර අය චිත්තරාජ, කාළවේල, වළවාමුඛී ආදී යක්ෂයන් ඇදහූහ. එපමණක් නොව ව්‍යාධදේව, කම්මාරදේව ආදී දෙවිවරුන් උදෙසා ද පුද පූජා පැවැත්වූහ. මිහිඳු මාහිමියන් අනුරාධපුරයට වැඩම වූ මුල් අවස්ථාවේ ම රජතුමා ප්‍රධාන ජනතාවට දේශනා කළ ධර්ම අතර විමාන වත්ථු හා පේත වත්ථු ඇතුළත් විය. දෙවියන් හා යක්ෂයන් අදහමින් සිටි ජනතාවට ඒ හා සමානකමක් පෙන්නුම් කරන ඉහත කී ධර්මය ගැටුමකින් තොරව පිළිගැනීමට පුළුවන්කම ලැබුණි. එපමණක් නොව තල් ගස් හා නුග ගස් ඇතුළු වෘක්ෂයන් වන්දනා කරමින් සිටි ලංකාවාසී ජනතාවට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවාගෙන අවුත් මහමෙවුනා උයනේ රෝපණය කොට වැඳුම් පිදුම් කිරීමට පියවර ගැනීමත්, වැදගත් ය. සැකෙවින් ගත් විට පෙනී යන්නේ ඉපැරැණි ආගමික විශ්වාසයන් සමග නොගැටී අර්ථවත් වූත්, ප්‍රඥාගෝචර වූත් බෞද්ධ වෘක්ෂ වන්දනා ක්‍රමයන් බුදු දහම මගින් ඉදිරිපත් කිරීම නිසා මිහිඳු මාහිමියන්ගේ බලාපොරොත්තු වඩාත් ප්‍රතිඵලදායක කර ගැනීමට පහසු වූ බවයි.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ 
කොළඹ නව කෝරළයේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
දිවියාගහ යසස්සි නාහිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි.