සම්බුදු පහසින් පූජනීය මහියංගණ පුදබිම (දුරුතු පොහොය)



ලක්දිවදී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භුමියෙහි නිදන් කිරීම ස්තූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් දමහියංගණයට සුවිශේෂත්වයක් හිමිය. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වයි.

මහවැලි ගංගා නදීනිම්නයේ පිහිටි තුන්යොදුන් දික් වූ එක් යොදුන් පළල් වූ මහානාග නමින් හැඳීන් වූ මෙම බිම් කඩමහියංගණය නමින් එවකට හැඳීන් වූ බව මහාවංසයෙන් පැහැදිලිවේ. එමෙන්ම දීපවංසයෙහිමහියපොක්ඛල’ නමින් මහියංගණය හඳුන්වා තිබේ
වසර දෙදහස් හයසිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මමහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්යික මුලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූව ද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලිගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වාමහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. 

බුද්ධත්වයෙන් නවවැනි මස එලැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත. ශ්‍රී ලාංකේය වංසකථාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින්මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන් කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින් ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ අදාහන සෑයෙන් ලබාගත් ග්‍රීවා ධාතුව නිදන් කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකථාව දක්වන තොරතුරෙන් මෙම පින් බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට තිබේ. බුදුරදුන්ගේ පළමු ලංකාගමනයේ දී දිවයිනට රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැද එහි රැස් වූ දේව සමුහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනාවක් ද කළ බව වංසත්ථප්පකාසිනීය සඳහන් කරයි.

සරභු හිමියන් විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ග්‍රීවා ධාතුව ද දහ අටරියන් උස්වන ලෙසට නිමවන ලද ස්තුපයක නිධහන් කළ බව වංසකථා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකාර දැයි සිතිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැන්පත් කරන අවස්ථාවේිමේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයක් ගෙන එන ලද සීවලී හා සුමණ නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනීය දක්වයි. එමෙන්ම ස්තූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වය ද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙස ටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකටමහියංගණනම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. 

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටූවීමෙන් අනතුරුවමහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ.මහියංගණය හා ඒ ආශ්‍රීත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂුන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණින් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ඔලගංගලින් හමුවේ.

දේවානම් පිය තිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරුමහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත්මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ශනීයත්වය දිනා ගැනීමට සමත්ව ඇත.

දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශ්‍රීත කලාපය වඩාත් සුවිශේෂ භුමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් දමහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමණිට නිතැතින්ම හිමිවේ. දමිළ පිරිස් මෙසේ මෙම ප්‍රදේශයට පැමිණියේ ස්තූපයේ තැන්පත්ව තිබූ රන් කොල්ල කෑමට බව රාජාවලිය කියයි. එම පුවත කෙතෙක් දුරට නිරවද්‍ය ද යන්න ස්ථිරව කිව නොහැකි නමුත් දුට්ඨගාමණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසුවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භුමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සු බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය. 

දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජුමහියංගණ ස්තුපය ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්‍ථවනගල්ලවිහාර වංසය කියයි’ අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිවුවැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සක්ෂි වංසකථා තුළින් හෙළිදැක්වේ. සිවුවැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳපළේ නීති කඩ කොට අසුවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩමුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණි ඇති බවත් සනාථ වේ. 

පොළොන්නරු සමයේදී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබාදී තිබේ.
එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරිම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී ඇත. මහනුවර රාජධානි සමයේ ද වීර පරාක්‍රමබාහු, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරීය, වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින් බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩි දියුණූ කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කිර්තී ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි. 

වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජොති මාහිමියන්ගේ මුලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තුපය 1871 දී පිළිසකර කිරිම් ඇරඹුණ අතර 1890 දී එහි කොත පළඳවා ප්‍රකෘතිතත්වයට පත් කරන ලදි’ 1922 වන විට නැවතත් අබලන් වූ ස්තුපය අඹගස්වැවෙි රතනජෝති හිමියන්ගේ මුලිකත්වයෙන් වැඩ අරඹන ලදි. 

1949මහියංගණ විහාරවර්ධන සමිතියේ මුලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක් ද යන්න ද අනාවරණය විය. 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධික්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව් වීමත් සමඟමහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකථාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමට ද මං විවර විය.එමෙන්ම ස්තූපයේ ගඩොල් පරික්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලි හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණී. 

මහියංගන ස්තුපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇත.මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. 

මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලු අතර පෞරාණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් බව කීම අතීශෝක්තියක් නොවනු ඇත.


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි

Sri Padaya ශ්‍රී පාදය

සිරිපා වන්දනා ඇරඹෙයි පෝදා



පුරාතනයේ පටන් සමන්තකූටය ජගත් ආකර්ෂණයට ලක්වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි සිඛරය මත පිහිටුවා තිබීම නිසාය. උඳුවප් මස පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමයයි. මෙම වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුළිනි. 

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යාමයි. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණ එකල පාගමනින්ම වන්දනා ගමන්යාමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශී‍්‍ර පාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි විය. සමන් දෙවියන්ට භාරහාර වී ශී‍්‍ර පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම් විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී ශී‍්‍ර පාද වන්දනාවේ යෙදුණාහ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයයි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයාද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. එහි දී ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස කවි ගායනා කළහ. 

කවි පමණක් නොව සිරිපා වන්දනාවටම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන් රාශියක්ද පවතියි. මේවා ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද “වාගාලාප” ලෙස නම් කළ හැකිය. වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප ගැයීම සිදු කෙරේ. මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬ නඟා කියයි. ඒ අනුව සෙස්සෝ සාමූහිකව අනෙක් පේළිය හඬ නඟා කියති. 

එවැනි වාගාලාප කොටසක් මෙසේ පෙන්වාදිය හැකිය.
අපේ බුදුන් – අපි වඳින්ඩ

පෙරළි පෙරළි – අපි වඳින්ඩ
එරන් පතුල – අපි වඳින්ඩ
මැණික් පතුල – අපි වඳින්ඩ

වම් සිරිපා – අපි වඳින්ඩ
දෙදණ නමා – අපි වඳින්ඩ
දඬු කෝඩුට – කරුණාවයි
සමන් දෙවිඳු – කරුණාවයි


මෙම වාගාලාප වන්දනා කරුවන්ගේ මුවින් නික්මෙන්නේ සමන්ගිර නැග යන කලය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්හු

 ඉහළ නගින්නන් හමුවන කල මෙසේ කියති.
අපේ බුදුන් – අපි වැන්දා
ළල තබා – අපි වැන්දා
වඳින්ඩ යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි


එවිට සමනොල නගින පිරිස මෙසේ කියති.

වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි

සමනල ගිර නැගීමේදීත් බැසීමේ දීත් වන්දනාකරුවන් මෙම වාගාලාප කියනුයේ වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමටත් ආගමික සද්ධාව දියුණුකර ගැනීමටත් ය. සිරිපා වන්දාවේ දී තුන් සරණය නමැති ජන කාව්‍යයේ එන කවි ගායනා කිරීමද සම්ප්‍රදායික සිරිතකි.

තවද සිරිපා වන්දනාව හා ආවේණික වු විශේෂ වචන මාලාවක්ද තිබේ. මේ වචන මාලාව සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක වත් භාවිත වන බවක් දැකිය නොහැකිය. මෙම වචන මාලාව අතුරින් හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ඉර සේවය යන නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හිදී ආශිර්වාද කරගන්නේ කරුණාවයි කියමිනි. ජීවිතයේ ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කෝඩුකාරයා” නමිනුත් ප්‍රථමවරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා “දඬුකෝඩු” නමිනුත් කුඩා දරුවකු හෝ දැරියක කිරිකෝඩු නමිනුත් හැඳින්වේ. තද අඳුර සහිතව වළාකුළු පැතිරයාම සිරිපා වන්දනාවේ දී’කෝඩේ” නමිනුත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” නමිනුත් ව්‍යවහාර වේ. 

සිරිපා වන්දනාවේ දී භාවිතා වන “පරඬැල් පෑගෙනවා” යනුවෙන් අදහස් කරනුරයේ “කටු ඇනෙනවා” යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා ගන්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. “ඉඩදෙන්න” යනු එහි අර්ථයයි. සිරිපා වන්දනාකරුවා, ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය, “සැහැල්ලුව, නම් වේ. සමනොල කන්දේ ඉහළ කොටසේ තද සීතලක් පවතියි. එම තද සීතල සහිත ප්‍රදේශයෙහි ගමන් කිරීම “හිමේ නගිනවා” යනුවෙන් හැඳින්වේ. වන්දනා කරුවන් සිරිපතුල වැඳීමට පෙර පිරිසුදු වීම ‘පේවීම” නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකිය . සිරිපා වන්දනා කරන පිරිස “නඩය” නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා “නඩේ ගුරා” වන්දනාවට පමණක් ආවේණික මෙම වචන මාලාව සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම්කර ගැනීමයි. 

සිරිපා වන්දනාවේදී ගෙත්තම් කිරීම නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම බව මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන්දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදු කෙරෙයි. 

සිරිපා මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක්වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණිහෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම භගවා ලෙණ ඒ අතර කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජන ශ්‍රැති බිහිවී ඇත. රත්නපුර පාරේ ඇහැල කණුව අසලින් ඉහළට නගින්නට එදා තිබුණේ ඉතාමත් අවදානම් සහගත යකඩ ඉනිමගක්ය. සිරිපතුල හැටන් පාරෙන් බහින්නට පටන්ගත් කල මහගිරිදඹ හමුවන්නට පෙර භගවා ලෙන හමු වෙයි. එහෙත් බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන දැකීමට අවස්ථාව නොලැබෙයි. භගවා ලෙන වන්දනාකරුවන් නගින පඩි මගට මඳක් එපිටින් පිහිටා තිබීම එයට හේතුවයි. සිරිපා කරුණා කරන වන්දනා කරුවන් මහගිරිදඹ පසු කළ සැණින් මලුවට යාමට කඩිනම් වන නිසාද භගවා ලෙන අතපසු වෙයි. භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව යයිද විශ්වාසයක් ඇතැමුන් තුළ පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්වද පිහිටා ඇත. ඉන්දියාවේ සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන්ය. “ධර්මරාජ ගල’ යනු එම කොටසයි.

සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිනණුයේ පාත මලුවටයි. එම ප්‍රදේශය වන්දනා කරුවන් බෙහෙවින්ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිට වන්දනා කරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවයයි. උදෑසන සූර්යයා උදාවී ගෙන ඒම සිරිපා අඩවියේදී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මලුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. 

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන් හිදී සිදුවන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මලුවෙන් ඉවත්කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් අනතුරුව මලුවේ කාර්ය මණ්ඩලය විසින් නානා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශී‍්‍ර පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලයද එලෙසින්ම පවිත්‍ර කෙරේ. මුලු සිරිපා මලුවම සුවඳ පැනින් සෝදා සඳුන්කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරණි සිරිතකි. 

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සාම්ප්‍රදායිකව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මගින් මලුව වටා තෙවරක් වැඩම කරවා ගෙන විත් ශී‍්‍ර පාද වහන්සේ අබියස තැන්පත් කෙරේ. දේව පූජාවද එබඳුම පූජා පෙරහරක් මගින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවත්නට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි. ශී‍්‍ර පාදස්ථානයෙහි ආගමික තේවාව භාරව සිටින භික්ෂූන් වහන්සේ දෛනිකව උදේ සවස ශී‍්‍ර පාද වහන්සේ අබියස සහ සමන් දේවාලය තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන් ගේ යාතිකාවන්ද සිරිත් පරිදි පැවැත්වේ. 

ඌරුගමුවේ අස්සජි හිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි. 

පූජනීය වූ පින්බර බෝධිය (උඳුවප් පොහොය)



නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යස්සමූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං

සකල ජනමන සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමි දම්පුරා දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණ යට වජ්‍රාසනාරූඪව සියලු කෙලෙසුන් සුන්කොට සිව්සත්දම් තම නැණින්ම ප්‍රත්‍යක්ෂකොට ඒ උතුම් ලොවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
උතුම් බුද්ධත්වය ලබාගැන්වීමට අතිශයින්ම මහෝපකාරීවු වෘක්ෂ රාජයාණන් වහන්සේටද බෝධිය යන නාමයෙන් ගෞරව සම්මාන වන්දනා මාන පූජා සත්කාර කරන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ජනතාවට ලැබෙන සෙත් ශාන්තිය අපමණය. 

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් විහිදෙන බුදුගුණ මහිමය නිසා අප මහ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදීම එක්වන්ව උපන් කාල පරිච්ඡේදය අනුව 2600 වසරකට වැඩි දීර්ඝ කාල පරාසයක් තුළ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාව පරපුරෙන් පරපුරට තම තමන්ගේ අභිමතාර්ථයන් යතා පරිදි ඉෂ්ට සිද්ධකරගත් අතර මතුවටද එසේම වන්නේය. 

බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ජේතවනාරාමය ඉදිරිපස ආනන්ද බෝධින් වහන්සේද, අනුරාධපුර වැඩ සිටින දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද යන තුන් බෝධීන් වහන්සේ දිවමන් බුදුරජාණන් වහන්සේ සේම අපමණ දෙවි මිනිසුන්ගේ නෙත් සිත් සනසන සේක. 

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අරිට්ඨ අමාත්‍යවරයා ප්‍රධාන රාජදූත පිරිස රජුගේ හසුන් පත් රැගෙන දඹකොළ පටුනට ගොස් නැව් නැගී පාඨලී පුත්‍ර නගරයට සැපත්ව දම්සෝ නරනිඳු බැහැදැක සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙන්ම දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද ශී‍්‍ර ලංකාදීපයට වැඩම වන අපේක්ෂාව දේවානම්පියතිස්ස රජතුමාට හා මිහිඳු මහ රහතන් වහන්සේට මෙන්ම අනුලාදේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට ඇතිවග දක්වා සිටියහ.

ධර්මාශෝක රජතුමාද මෙවන් උතුම් එහෙත් බැරෑරුම් කාර්යේදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් අපේක්ෂා කළහ. තෙරුන්වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහක් පැවැති වග රජතුමාට මතක් කර දුන් සේක.
01. අශෝක මහ රජතුමා මහාබෝධි ශාඛාව ගන්නට බෝමැඩ ළඟට යන අතර මහාබෝධියෙන් දක්ෂිණ ශාඛාව තෙමේම සිදී රන් තටාකයෙහි පිහිටේවා.!
02.එම බෝධින් වහන්සේ පිහිටන කල ජය ශ්‍රී මහා බෝධිය හිම වලා ගැබකින් වැසේවා!
03.සත්වැනි දින හිම වලාගැබ පහවී රන්කටාරමේ පිහිටන අවස්ථාවේ පත්‍රවලින් හා ඵලවලින් සවණක් රැස් විහිදේවා!
04.ථූපාරාමයේ දකුණු අකුධාතුව නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා!
05. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතු මහාසෑයේ නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය සිදුකෙරේවා!
දහම්සෝ රජතුමාද මෙම අධිෂ්ඨාන පස අසා අතිශය සොම්නස්ව පාඨලීපුත්‍ර නගරයේ පටන් ජය ශ්‍රී මහ බෝධිය දක්වා මාර්ගය සරසවා අනිකුදු කුදුමහත් කටයුතු සූදානම් කරවූහ. 

ප්‍රථමයෙන් නවරියන් වට ප්‍රමාණ පස්රියන් උස අටඟුල් ඝන රන් කටාරමක් නිර්මාණය කරවා රජතුමා සිව්රඟ සෙනඟ පිරිවරා ආර්ය මහා සංඝරත්නය පෙරටු කරගෙන මහාබෝධිය සමීපයට සැපත් වූහ. තවද සපරිවාර රජ මැති ඇමතිවරුන් සමඟ නොයෙක් මල් ජාති අතුරා පුද පූජා පවත්වා මහාබෝධිය වන්දනාමාන සිදුකළහ. එකෙනෙහිම මහා බෝධියේ කඳ හා දක්ෂිණ ශාඛාවද හැර සෙසු සියල්ල වළාගැබින් වැසී ගියේය.මේ ප්‍රාතිහාර්ය දුටු රජතුමා පස්වනක් පී‍්‍රතියෙන් පිනාගොස් මහා සංඝරත්නයට එය ප්‍රකාශ කොට එකල දඹදිවම බෝධින් වහන්සේට පූජා කළහ.
යළිදු රජතුමා රන් පුටුවක නැගී රන් නූලක් ගෙන දක්ෂිණ ශාඛා කඳ වටේ ඔතා මහා බෝධිය තෙමේම වෙන්වී රන් කටාරමේ පිහිටියේය. 

පාලි මහා බෝධිවංශයේ විස්තරාර්ථයට අනුව චිර අධිෂ්ඨානයෙන් හා ශ්‍රද්ධා භක්තියෙන් සපිරි ධර්මාශෝක රජතුමා මුල රේඛාවට මත්තේ තුනඟුලක් පමණ ඉරි තුනක් ඇන්දාහ. එකෙනෙහිම මහ මුල් දහයක් පැන නැංගේය. රජතුමාණෝ රන්පුටුව මත සිට මෙම ප්‍රාතිහාර්ය දැක පස්වනක් පී‍්‍රතියෙන් පිනා සාදු නාද පැවැත්වූහ. දහස් ගණන් මුල්වලින්ද පංච ශාඛාවන්ගෙන්ද සමලංකෘතවූ දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේගේ ශාඛා අතර ඵල පත්‍රවලින් සවණක් රැස් විහිදෙන්නට විය. 

ධර්මාශෝක රජතුමා අනෝතත්ත විලෙන් ජලය ගෙන්වා බෝධින් වහන්සේ අභිෂේක කරවා අසහාය බෝධි පූජාවක් සිදුකළ අතර ප්‍රාදේශීය රජමැති ඇමැතිවරු හා ජනතාවද උපරිමයෙන් එයට සහභාගිවූහ. තවද මෙම රන් තටාකය තුළ තිරස්ව පිහිටවූ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා බුද්ධගයාවෙන් පැළලුප් නුවරටද එනුවරින් නැවත වින්ධ්‍යාවනය මැදින් තාම්‍රලිප්ති තොටුපොළ දක්වා ඉතා විචිත්‍රාකායෙන් සරසවා රාජකීය පෙරහරකින් වැඩමවා ගෙන අවුත් වේලාන්තයෙහි අනර්ඝ විචිත්‍ර මණ්ඩපයක වඩා හිඳුවා යළි පූජා පවත්වා මෙරටට වැඩමවීමට සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරවූහ. 

එසමයෙහි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම වීමේදී පිරිවර වශයෙන් භික්ෂුණීන් එකොළොසක් සමඟ සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සඳහා විශේෂ නැවක්ද සොළොස් කුලයක අට දෙනා බැගින් සියගණන් පිරවර සඳහා වෙනත් නැවක්ද, ලංකාවෙන් ගිය අරිට්ඨ ඇමැතිතුමන් ප්‍රධාන පිරිසට වෙනම නැවක්ද සකසා යොදවා රජතුමා දියට බැස දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ හිසමතින් නැවෙහි රන් පුටුව මත වඩා හිඳවූහ.

උඳුවප් මස පුර පෑළවිය දිනයෙහි මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ තාම්‍රලිප්ති තොටුපොළින් ලක්දිවට වැඩමවන මොහොතේ රජතුමාට ඇතිවූ පි‍්‍රයවිප්පයෝග දුක්වේදනාව වචනවලින් කඳුළු සැලීමෙන් ප්‍රකාශ කරන්නට වීම සත්‍ය වශයෙන්ම ස්වභාවික වන්නේය. 

දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවන නෞකාව ගමන් කරන විට දර්ශන පථයට ඉක්මවා යත්ම රශ්මිමාලා විහිදෙන බෝධින් වහන්සේ අපට නොපෙනී යන්නේ යැයි නැවත නැවත කියමින් වඳිමින් කඳුළු සලමින් වැළපෙමින් අශෝක රජතුමාණෝ යළි පාඨලී පුත්‍ර නගරය කරා සපරිවාරව පිටත්වූහ.
මෙසේ නොයෙක් ප්‍රාතිහාර්ය පාමින් බුදුරැස් විහිදුවමින් මහ සාගරයේ ජල තරංග මධ්‍යයේ නෞකා ගමන් කරන්නේ නාග භවනෙහි නාගයෝ අවුත් වටකොට දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ නෞකාවෙන් ඇරගෙන නාග ලොවට වැඩමවාගෙන රුවන් මණ්ඩපයක වඩා හිඳුවා සතියක් පුරා පුජා විධි පවත්වා යළි නෞකාවේම වඩා හිඳවූහ. 

මෙසමයෙහි දෙවන පෑතිස් රජතුමාද සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි උඳුවප් මස පුර පැළවිය දිනයෙහි පටන්කොට නුවර උතුරු දොරටුවෙහි සිට දඹුලුතොට දක්වා සරසවා සිව් රඟ සේනා සමඟ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිගෙන වඩා හිඳුවීමේ අපේක්ෂාවෙන් සොම්නස්ව සිටියහ. මෙසේ සමුද්‍රාසන්න විසිතුරු මණ්ඩපයක මත වඩා හිඳුවා අනේක විධ පූජා පවත්වා යළි සරසන ලද මණ්ඩපයක් මත වඩා හිඳුවා අනර්ඝ වූ විසිතුරු වූ රජ මහ පෙරහරකින් අනුරාධපුරයට වැඩම වූහ. සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ සහිත පෙරහර අනුරාධපුර නුවරට අතුරු දොරින් පිවිස මඟුල් මහා වීථීයෙන් ගෙන දකුණු දොරින් පිටත්කොට මහමෙව්නා උයනෙහි පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අති පූජනීය භූමියෙහි පිහිටවූහ. 

මෙසේ මහා ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටිය බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේ මෙන්ම දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලාද දේවානම්පියතිස්ස රජතුමා දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ප්‍රථමයෙන් වැඩමවූ දඹකොළ පටුනේ පටන් ඒ ඒ සිද්ධස්ථානවල රෝපණය කරවා එම සියලුම බෝධින් වහන්සේලාටම පුද පූජා පැවැත්වූහ. 

 අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි.