කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

 උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එය ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වාම පවතියි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් පවත්වා සිරිපා වන්දනා සමය ආරම්භ කරන අතර පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සල, රත්නපුර මහසමන් දේවාලය සහ සිරිපා කන්ද යන ස්ථානවල අනුපිළිවෙළින් සිදුකරන වතාවත් ඒ අතර ප්‍රමුඛත්වය ගනියි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ

භාරහාර

සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් දුරාතීතයේ පටන්ම හිමිව පැවතිණ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතර වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය ශ්‍රී පාදස්ථානය වීම එයට ප්‍රධාන හේතුවයි. පුරාතනයේ ඇතැමුන් මෙම වන්දනා ගමනට සහභාගි වූයේ තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දීමෙන් පසුවයි. ගමනාරම්භයට පෙර තෙරුවන් නමදින වන්දනාකරුවන් ඊළඟට සිදු කරනුයේ සමන් දෙවියන්ට භාරහාර වීමයි. පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී සිරිපා තරණය කරන අතර ගමන් මාර්ගයේ දී ඇතිවන ගමන් විඩාව සංසිඳුවා ගන්නේ කවි හා වාගාලාප ගායනා කරමිනි. මෙහිදී ‘තුන්සරණය’ නමැති ජන කාව්‍යයේ එන කවි මෙන්ම ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද වාගාලාප බොහෝ සෙයින් ගායනා කෙරෙයි.

වදන් මාලාවක්

සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවකවත් භාවිත වන බවක් දැකිය නොහැකි සිරිපා වන්දනාව හා ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද පවතියි.

හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ‘ඉර සේවය’ නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක ‘ආයුබෝවන්’ යැයි කීම හා සමාන ය. ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා ‘කෝඩුකාරයා’ ලෙසත් වැඩිහිටියා ‘දඬු කෝඩු’ ලෙසත් කුඩා දරුවකු හෝ දැරියක ‘කිරිකෝඩු’ ලෙසත් හැඳින්වේ.

සිරිපා අඩවියේ තද අඳුර සහිතව වලාකුළු පැතිරයාම ‘කෝඩේ’ නමිනුත්, වැසි වසින බව හැඟවීම ‘ගඟුල බානවා’ නමිනුත්, භාවිතයට එක් වී තිබේ.

සිරිපා තරණයේ දී ‘පරඬැල් පෑගෙනවා’ යනුවෙන් කීමෙන් අදහස් කරනුයේ ‘කටු ඇනෙනවා’ යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා සිටින්නේ ‘සංහිඳේ’ යනුවෙන් පැවසීමෙනි. ‘ඉඩ දෙන්න’ යනු එහි අරුතයි. සිරිපා වන්දනාකරුවා ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය හඳුන්වන්නේ ‘සැහැල්ලුව‘ නමිනි. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යා හැකි වන පරිදි මැසූ ලොකු උරයකි.

සමනොළ කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍රදේශයෙහි ගමන් කිරීම හඳුන්වන්නේ ‘හිමේ නඟිනවා’ යනුවෙනි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන් පිරිසුදුවීම ‘පේවීම’ නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය.

සිරිපා වන්දනා කරන පිරිස ‘නඩය’’ නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා ‘නඩේ ගුරා’ නම් වෙයි. සිරිපා වන්දනාවේ දී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම් කර ගැනීමයි. එනම් වචනය සංවර කර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා කරුණාවට බාධාවකි. සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ මෙම වචන මාලාව හඳුන්වාදිය හැක්කේ හුදෙක් ගැමි පාරිභාෂික වචන කෝෂයක් ලෙසයි.

ජනශ්‍රැති බොහොමයක්

සිරිපා වන්දනාවේ දී ‘ගෙත්තම් කිරීම’ නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදුකරයි.

සිරිපා ගමන් මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක් වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණි හෙල, ධර්මරාජගල, හැරමිටිපාන , ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන ඒ අතර ස්ථාන කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ද බිහි වී තිබේ.

හැටන් පාරේ පැමිණීමේ දී හමුවන ‘භගවා ලෙන’ දැකීමට බොහෝ වන්දනාකරුවන්ට අවස්ථාව නොලැබෙයි. එය වන්දනාකරුවන් නඟින පඩි මගට මදක් එපිටින් පිහිටා තිබීම එයට එක් හේතුවකි.

භගවා ලෙන මහගිරිදඹෙන් පසුව පිහිටා තිබීමත්, වන්දනාකරුවන් මහගිරිදඹ පසුකළ සැණින් මළුවට යාමට ඉක්මන්වීමත් එයට තවත් හේතුවකි. මෙම භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ ‘දිවා ගුහාව‘ යයි ද ඇතැමුන් තුළ විශ්වාසයක් පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.

දඹදිව සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන් ය. ‘ධර්මරාජගල’ යනු එම කොටසයි. මෙම ධර්මරාජගල නඟින විට එහි ගල්පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් මෙම ධර්මරාජගලේ ගල් පඩි ද ගණන් කළ නොහැකි බව ජනමතයකි.

මෙහි සමහර තැනක ගල් පඩි එකක් ද දෙකක් ද කියා තීරණය කිරීමට නොහැකිවීමත්, සමහර තැනක ගල් පඩි තිබේ දැයි, නිශ්චය කර ගත නොහැකි වීමත් එයට හේතුව‘ වන්නට ඇත.

ඉර සේවය

ලිහිණි හෙල යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක ගල් බෑවුමකි. සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිණෙනුයේ පාත මළුවටයි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින් ම ගැවසෙන විශ්‍රාමශාලා සහිත ප්‍රදේශය යි. මෙහි සිට වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ‘ඉර සේවය’ යි. උදෑසන පෙරදිගින් සූර්යයා උදා වී ගෙන ඒම සිරිපා අඩවියේ දී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මළුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාදස්ථානයට පමණක් ආවේණික වූවකි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ


පුද සිරිත්

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි දී සිදුකරන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මළුවෙන් ඉවත් කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් පසුව මළුවේ කාර්ය මණ්ඩලය විසින් නා නා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලය ද එලෙසින් ම පවිත්‍ර කෙරේ. මුළු සිරිපා මළුව ම සුවඳ පැනින් සෝදා සඳුන් කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරැණි සිරිතකි.

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සිදුවන්නේ සාම්ප්‍රදායික ව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මඟින් මළුව වටා තෙවරක් වැඩම කරවා ගෙනවිත් ශ්‍රී පාද වහන්සේ අබියස තැන්පත් කිරීමයි. පසුව දේව පූජාව ද එබඳුම පූජා පෙරහරක් මඟින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවතුන්ට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි.

ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමි සැළලිහිණි සංදේශයේ දී තත් සංදේශය ගෙන යන සැළලිහිණියාට සමනොළ ගල බලන ලෙස සඳහන් කළේ මෙසේ ය.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

මිතුරුතුමනි, එකල්හි දෙවඟනන් හා එක්ව සමන් දිව්‍ය රාජයා විසින් කාන්තියෙන් තෙත් වූ මදාරා පරසතු මල් සමූහයන් පූජා කොට වඳිනු ලබන්නා වූ බුදුරදුන්ගේ සිරිපා පද්මය පිහිටි සමනොළ පර්වතය පෙරදිගින් පෙනෙයි.


ඌරුගමුවේ අස්සජී හිමි

No comments:

Post a Comment