සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමූ වගයි

 


බුද්ධත්වයෙන් පසු දෙවැනි වර්ෂයේ තුන් බෑ ජටිල හිමිවරුන් ඇතුළු දහසක් පිරිවරත්, සැරියුත් මුගලන් තෙරවරුන් ප්‍රමුඛ දෙසිය පනහක් හිමිවරුන් ද යන එක් දහස් දෙසිය පනහක් මහ සඟ රුවන පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයේ දී සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කොට වදාළේ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ය.

මෙම අවස්ථාවේ පළමුව පැවිදි වූ හිමිවරුන් සිටිද්දී සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම පිළිබඳ ඇතැම් සංඝයා වහන්සේ අතර කතාබහක් ඇති වූ අවස්ථාවේ සැරියුත් මුගලන් දෙනම අනෝමදස්සී බුදු හිමියන්ගේ කාලයේ පටන් ප්‍රාර්ථනා කළ ලෙසට ම ගෞතම බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවක පත්වීම් ලද බවට බුදු හිමි කරුණු පහදා දීමෙන් එය සමනය කෙරිණි.

මෙම දෙනම වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවල පිහිට වූයේ ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූ දිනයේ දී ය.

සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති ලෙස හා ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන්නට වූහ.

මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානය ලබන්නට වූහ.

බුද්ධත්වයෙන් ප්‍රථම විසි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේ අණ කිරීම් වශයෙන් විනය නීති පනවා නැත. ඕවාද නම් අවවාද යන අර්ථයයි. ප්‍රාතිමෝක්ෂය නම් භික්ෂූන් වහන්සේගේ විනය නීති මාලාවයි. ප්‍රථම විසි වර්ෂය තුළ මහා සංඝයා වහන්සේ අතර බරපතළ වැරැදි සිදු නොවූ අතර, බොහෝ හිමිවරුන් රහත් ඵලයට පත් වූහ. තමන් වහන්සේට ම හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට තිබේ. මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වන ගාථා තුනකි. එමගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මය ම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං
විභඨෙයන්තෝ

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ.

සියලු පව් නොකිරීමත්, සියලූ කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි.

අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්ම ද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුම් මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි. යනු මෙම ගාථා තුනේ අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ් අවසාන වස් කාලය ගත කිරීමෙන් පසු රජගහනුවරින් නික්ම ආනන්ද තෙරුන් සමග චාපාල චේතිය වෙත වැඩම කොට සතර සෘද්ධිපාද වැඩූ අයකුට කැමැති නම් කල්පායුෂ විඳීය හැකි බව ජීවත් විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ අවස්ථාවේ ආනන්ද හිමියන් මාරාවේෂව සිටි හෙයින් බුදුරදුන් වදාළ දේ නොවැටහුණි. එවේලෙහි මාරයා පැමිණ බුදුරදුන්ට පිරිනිවන් පෑමට ආරාධනා කළ අතර, එතැන් සිට තුන් මසකට පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුරජාණන් වහන්සේ මාරයාට වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිශ්චිත කාලයක දී පිරිනිවන්පාන බවට තහවුරු කොට ආයුෂ අත් හැරීම ආයු සංස්කාරය අත් හැරීම නම් වෙයි.

රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි

No comments:

Post a Comment