තෙමඟුල සමරමින් බුදු පුදට එක් වන අසිරිමත් වෙසක් පෝදා

 


වෙසක් පුර පසළොස්වක පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය යි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට වැඩමවීම, තෙවැනි වරටත් බුදුරදුන් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසි වැනි වියේ දී පිරිනිවන් පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධ ව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය. මෙසේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

බෝසත් උපත



දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබූ තැන් පටන් අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරමින් වෙස්සන්තර ආත්ම භාවයේ දී දෙව්ලොව උපන්හ. එයින් පසු තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව උපන්හ. එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් මෙසේ ආරාධනා කළහ.

කාලො යං තෙ මහාවීර
උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයන් වහන්ස, මිනිස් ලොව මව්කුස ඉපිද මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා නිවන අවබෝධ කර ගැනීමට මේ සුදුසුම කාලයයි.

ඉක්බිති බෝසතාණන් වහන්සේ ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද, දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නො වන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් බැලූහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්දෝධන මහරජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවිය ගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සතර පෙර නිමිති



කෙමෙන් ළදරුවිය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුභ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය. සියලු පස්කම් සුව එහි පැවතිය ද කල්යත්ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසි නව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ සතර පෙර නිමිති නෙත ගැටුණි. වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින්ම බලපෑවේ ය. ඉක්බිතිව

මහාභිනිෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්




එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙත බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද වමත පෙර සයුරෙහි ද පා දකුණු සයුරෙහිද සිටියහ. මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි.

බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන එය ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය. ආර්ය

අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි.

කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැගී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශූචි පර්වතයක් මත්තෙහි අශූචියෙහි නො ගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැකයැ”යි වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝ දා උදෑසන අජපාල නුග රුක මුල වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව



සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය සිරිත් වශයෙන් නුග රුකට අධි ගෘහිත දෙවියන්ට පුදන දිය නුමුසු කිරිබත රැගෙන අජපල් නුග රුක වෙතට පැමිණියා ය. බෝසතාණන් වහන්සේ දැක රුක් දෙවියන් අද බිමට බැස ඇතැයි, බලවත් සොම්නසට පත්ව කිරිබත පිළිගැන්වූවා ය. බෝසතාණන් වහන්සේ නේරංජනා ගංතෙරට වැඩමවා පිඬු හතළිස් නවයක් කොට කිරිපිඬු අහර වැළඳූහ. ඉක්බිතිව අද මා බුදුවන්නෙම් නම් මේ රන්තලිය උඩුගං බලා යේවා”යි, අදිටන් කොට රන් පාත්‍රය දියට දැමූහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදුවනු ඒකාන්ත බව සිතූහ.

බුද්ධත්වය



එදින දහවල් කාලයේ සමාපත්ති උපදවමින් කල් යැවූ බෝසතාණන් වහන්සේ සවස් භාගයෙහි බෝමැඩ කරා ගමන් ගත්හ. අතරමඟ දී සොත්ථිය නම් බමුණා දුන් කුස තණ අට මිට රැගෙන ඇසතු බෝ ගස මුල එය අතුරා අසුනක් පණවා වැඩ සිටියහ. එහි දී “මේ මාගේ ශරීරයේ ඇට සම් නහර ගැලවී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි.” යි, අධිෂ්ඨාන කරගෙන බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට කෙලෙස් මරුන් ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වය ලැබූ සේක. ඉන් ලැබුණු සොම්නස බුදුරජාණන් වහන්සේ මෙම පී‍්‍රතිය වාක්‍යයෙන් ප්‍රකාශ කළ සේක.

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා

නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් ආත්ම භාව නමැති ගෙය සාදන තෘෂ්ණා නමැති වඩුවා සොය සොයා මෙතෙක් කල් සසර සැරි සැරූයෙමි. තණ්හා නමැති වඩුව, ම විසින් තා දක්නා ලද්දෙහි ය. නැවත තා මට ආත්මභාවය නමැති ගෙය නොසාදන්නෙහි ය. කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. අවිද්‍යා නමැති කැණිමඩල සිඳ බිඳ දැමුවෙමි. මාගේ සිත නිවනට පැමිණියේ ය. තණ්හාව නැති වී ගියේ ය.

පරිනිර්වාණය



බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වූ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර

පසළොස්වක පොහෝ දා රාත්‍රීයේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් නිරූපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූවිය සපුරා සිටියහ.

පරිනිර්වාණයට පෙර අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේලා අමතා “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය. එබැවින් නොපමාව සසුන්කිස සම්පූර්ණ කරත්වා.” යි අන්තිම අවවාදය දී වදාළහ.

පිරිනිවි ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජු ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු බව පෙර වදාරා තිබිණ.

ආදාහන පූජාව



මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර වන පරිදි සක්විති රජු ගේ සිරුර පළමුව අලුත් වස්ත්‍රයෙන් වසයි. පසුව කපු පුලුන්වලින් වසා යළිත් අලුත් වස්ත්‍රයෙන් වසයි. මේ ආකාරයට යුගල පන්සියයකින් සක්විති රජුගේ සිරුර වසා රන්මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණකින් වසා සෑම වර්ගයකට ම අයත් සුවඳ දරින් දර සෑයක් තනා සක්විති රජුගේ සිරුර ආදාහනය කරයි.

මෙම ක්‍රමය අනුව ම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.

ඌරුගමුවේ
අස්සජී හිමි

1 comment: