සාමයේ පණිවිඩය ලත් බක් පොහෝදා

 


සෞභාග්‍යයෙන් හා සශී‍්‍රකත්වයෙන් යුත් මෙම බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත මාසයකි.තුරු ලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් මෙම බක් මහ උදාවත් සමඟම ඇරඹිණි. මෙවර බක් මහේ අවසන් භාගයේ බක් පුර පසළොස්වක පොහොය දිනය ද උදා වුණි.

බුදු රදුන්ගේ දෙවැනි ලංකා ගමනය

චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.

අනුස්මරණීය දිනයක්

තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය.

එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.

මහාවංස තොරතුරු

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංස විස්තරයෙන් සුළු කොටසක් මෙසේ ය.

මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ ගතො
බොධිතො පංචමෙ වස්සෙ
වසං ජේතවනා ජිනො

මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන්ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වඩවසන සේක.

මහොදරස්ස නාගස්ස
තථා චූලෝදරස්ස ච
මාතුල භාගින්‍යොනං
මණී පල්ලංක හේතුතං

චූලෝදර - මහෝදර යන පිරිස් සහිත වූ නාගයන් ගේ මිණිපළඟ හේතුකොටගෙන

දිස්වා සපරිසජ්ජානං
සංගාමයං පච්චු පට්ඨිතං
සම්බුද්ධො චිත්ත මාසස්ස
කාලපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගමි

එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

සංග්‍රාමයට හේතුව

චූලෝදර - මහෝදර යන නාග ගෝති‍්‍රක රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තත්ත්වයක් ඇතිව ජීවත් වූහ.

චූලෝදර - මහෝදර ප්‍රමුඛ නාග ගෝති‍්‍රක මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සංග්‍රාමයට හේතුව වූයේ දායා ද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇතිකරගත් කලහය දුරදිග යාම යි.

මහාවංසය සඳහන් කරන පරිදි මහෝදර නා රජු ගේ සොහොයුරිය වූයේ තිරච්ඡිකා ය. ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුට ය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදර ය. ඒ අනුව චූලෝදර ඤාතිත්වය අනුව මහෝදර ගේ බෑණා විය. මහෝදරගේ පියා මියයාමට ප්‍රථම ඔහු සතුව තිබූ මැණික් පුටුව මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේ ය.

ඇතැම් විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකි ය. ඉක්බිතිව මෙම මැණික් පුටුවෙහි හිමිකරු වූයේ චූලෝදර ය. එහෙත් ස්වකීය පියාට අයත් ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදර ගේ දැඩි කෝපයට හේතු විය. වරින් වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්‍රමයෙන් වර්ධනය විය. අවසානයේ දී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණිපළඟ නිසා මහත් සංග්‍රා‍මයකට මුල පිරූ හ.

සමථයට පත්වීම

මෙම සංග්‍රාමය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩම කරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමඟි කර වූ බව මහාවංසය විස්තර කරයි. මෙහි දී යුද්ධයේ නිසරුකම ද, සාමයේ වටිනාකම ද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලුක, වට්ටක,ඵන්දන, ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ.

පාරිභෝගික වස්තුවක්

මෙම දහම් දෙසුමට සවන් දුන් දෙපිරිස ම සමගි වී බුදුන් සරණ ගියහ. එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුව ද බුදුරදුන්ට ම පිදූහ. එහි සුළු වේලාවක් වැඩසිටි උන්වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ට ම පවරා දුන්හ.

එහ ිදී මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළ බව මහාවංසයේ සඳහන් වේ. එම ඇරයුම පිළිගත් බුදුරදුන් තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ගේ ඉල්ලීම පරිදි සමනොළ කන්දෙහි සිරිපා සටහන තැබූ බව ද මහාවංසය විස්තර කරයි. ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන් ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ ලක්දිවට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදා වූ බව යි.


ඌරුගමුවේ
අස්සජී හිමි

No comments:

Post a Comment