සුමන සමන් දෙවියෝ Saman deviyo

 සුමන සමන් දෙවි ඇරයුමෙන් පිහිටුවූ සමනොළ සිරසේ ශ්‍රී පාද පද්මය



මෝහාන්ධකාරය දුරුකළා වූ ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ, සසර ගමනේ පීඩීත සත්ත්වයන් සසරින් එතෙර කරවීම පිණිස ස්වකීය ජීවිතය කැප කළ සේක.

එහි ප්‍රතිඵලය වූයේ මිනිසුන් පමණක් නොව දෙවි බඹුන් පවා සිය ජිවිතයේ විමුක්ති සුවය සාදනය කරගන්නට පෙළෙඹීමයි . ඒ මහාකාරුණිකයාණන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලැබුවා වූ ලක්වාසි අප සැම ද මේ සංසාර විමුක්ති ගමනේ පුණ්‍යවන්තයෝ ය.

මහාකරුණාවෙන් ලෝකය දෙස බලා වදාරමින් දෛනික කටයුතු ආරම්භ කළ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගත වූ තැන, මහා සංහාරයක් සංසිඳවනු පිණිස ලක්දිව මහියංගනයට වැඩම කළේ ය. ඒ චූලෝදර මහෝදර දෙදෙනා සමඟි කරවීම පිණිස යි .

එකල රත්නපුර දිස්ත්‍රික්කයේ ජන නායකයා ව සිටි සුමන සමන් නම් දැහැමි නායකයකු ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසන්නට මහියංගනයට පැමිණි සිටි අතර උන්වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලා සෑයක් ඉදිකළ බව මහාවංසයේ සඳහන් ව ඇත. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසූ පළමු අවස්ථාවේ දී ම සුමන උපාසක සෝවාන් ඵලයට පත් වූ බව ද එහි සඳහන් ව ඇති කරුණකි .

ඉන්පසු ව සම්බුද්ධත්වයෙන් අට වන වසර , මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණි පුරවරට වැඩම කළහ. එහිදී කැලණියට පැමිණි සුමන සමන් උපාසක , භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා තම බල ප්‍රදේශය වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳු මුදුනට වැඩම කර ඉර හඳ පවතින තාක් කාලයක් සැදැහැවතුනට වන්දනා කරන්නට, ශ්‍රී පතුල පිහිටුවීමට ආරාධනා කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩමකොට තමන් වහන්සේගේ වම් ශ්‍රී පතුලේ ලාංඡනය ගල් තලාවක් මත පිහිටවනු ලැබූ සේක.

අද පටන් ඇරඹෙන උතුම් සිරිපා කරුණා සමය සැදැහැවතුන් විසින් සැදැහැ සිතින් සිහිපත් කොට ගෞරවයෙන් පුද පූජා පවත්වා පින් දීම , චිරසම්භාවිත ශ්‍රී ලාංකේ ය චාරිත්‍රයක් වනුයේ එහෙයිනි.

සමනොල කන්දේ පිහිටු වූ ශ්‍රී පාද ලාංඡනය සියැසින් දුටු පළමුවැන්නා සුමන සමන් උපාසකතුමා ය. ඉන්පසු එහි රැස්ව සිටි සෙස්සෝ ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසීමට එහි පැමිණ සිටි දෙවිවරු ද , ශ‍‍්‍රී පාද ලාංඡනය දැක බලා වැඳ පුදා ගත්හ.

පසුදින උදය වරුවේ එම පා සටහන් වටා නිල් මැණික් සවි කිරීමට සුමන සමන් ජනනායක තුමා කටයුතු කළේ ය. ඒ සඳහා දක්ෂ ශිල්පීහු කඳු මුදුනට පැමිණි බැව් බෞද්ධ පොත පතෙහි සඳහන් ය. ශී‍්‍ර පතුල වර්ෂාවෙන් සහ අව් රශ්මියෙන් ආරක්ෂා කරගත යුතු බැවින් පාද සලකුණ වැසීයන පරිදි විශාල ගල් පතුරක් තබා වැසූ බව ශ‍ී‍්‍ර පාදය අවට ගම්වල විසූ පැරැන්නන්ගේ ජනකතාවල සඳහන් ය . එම ගල් ලෑල්ල මත අඩි 4 බැගින් පමණ දිගු වූ පා සලකුණු කැටයම් කරන ලද බවත්, එය නෙළුම් මල් සහ දිව්‍යම සංකේතවලින් සරසන ලද බවත් කියනු ලැබේ. ඉන් පසු සියවස් ගණනාවක් යන තුරුම ශ‍ී‍්‍ර පාද කන්ද තරණය කළ සැදැහැවත් බෞද්ධයන් විසින් වන්දනාමාන කරන ලද්දේ එම කැටයම් සහිත ගල්පතුල පිහිටි ස්ථානයි. මැණික්වලින් අලංකාර කරන ලද සැබෑ සිරිපතුල පිහිටියේ අඟල් 10 ක් පමණ ගණකම් වූ ගල් ලෑල්ල යට ආරක්ෂිතව ය.

පැරණි පොත පත සඳහන් කරනුයේ භාග්‍යවතුන් වහන්සේගෙන් තෙවරක් බණ අසන්නට පුණ්‍යවන්ත වුණු එකම පුද්ගලයා වූයේ සුමන සමන් උපාසක පමණක් ම යන්නයි.

ඔහු ගේ අභාවයෙන් පසු සුමන සමන් උපාසක දේවත්වයට පත් වූ බවත් අදටත් ශ්‍රී පතුල වන්දනා කරන්නට යන උදවියට සුමන සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව ලැබෙන බවත් එදා සිටම අපේ ඇත්තෝ විශ්වාසය තැබුහ.

සමන්තටකූට වර්ණනාවේ දක්වන ආකාරයට “බුදුරදුන් පා දික් කළ කල්හි අපායේ ගිනි නිවීගොස් පත්මාදයෙන් උන්වහන්සේගේ ශ්‍රී පතුල් පිළිගන්නා බව පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්හි පිහිටා ඇති විශේෂ ලක්ෂණ 236 ක් පිළිබඳ තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයේ ද හමුවෙන අතර සමන්තපාසාදිකාවේ ද එකී තොරතුරු සඳහන් ව ඇත.

එම ලක්ෂණයන්ගෙන් සමන්විත සිරිපතුල වන්දනා කිරීම මහත් ආනිසංස ගෙන දෙන බව බෞද්ධයන්ගේ පරම විශ්වාසයයි.

ශ්‍රී පතුල පිහිටු වීමට භාග්‍යවතුන් වහන්සේ වෙත සුමන සමන් දෙවිඳුන් කළ ආරාධනයේ දී , ගෙවූ ආයූෂ තිබූ සක්දෙවිඳු , සිරිපතුල් වන්දනාවෙන් පසු නැවත සිය පදවියෙහි පිහිටුවීමට හේතූ වු බව සිහිපත් කර තිබේ . එම පිනෙන් තුන් කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයු ලැබීමට හැකි වූ බව එහි සඳහන් ව ඇත .

සමන්ත කූට වර්ණනාවේ දක්වා ඇති පරිදි බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පුන් පොහෝ දා සවස් කාලයෙ හි සමන්ත කූට පර්වතය මස්තකයෙහි සිරිපා ලකුණ පිහිට වූ බව සඳහන් ය.

වසරේ අවසන් පොහොය දිනය වන අද උඳුවප් පොහොය දිනයේ පටන්, වෙසක් පුන් පොහොය දිනය දක්වාම සිරිපා කරුණා සමය සිදුවේ. පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව හා දේවාභරණ පෙරහරින් වැඩම කරවමින් සිරිපාද මලුවේ සමන් දෙවොලේ තැන්පත් කිරීමෙන් අනතුරු ව සිරිපා කරුණා සමය ආරම්භ වෙයි.

සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ සිරි පතුල පිහිට වූ මේ සිද්ධියෙන් වසර හයසීයක් පමණ ගත වූ විට ශ‍ී‍්‍ර පාදස්ථානය පිළිබඳ පුවත ජනකතාවක් පමණක් බවට පත් වී භාග්‍යවතුන් වහන්සේගේ පාද පද්මය පිහිට වූ ස්ථානය පිළිබඳ දැනුම මිනිසුන් කෙරෙන් අතුරුදන් විය. ඒ අතර පණ්ඩුකාභය රජතුමාගේ (ක්‍රි. පූ. 436 - 366) මුනුපුරු වූ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ දී බුදුදහම ලංකාවට ගෙන ආවේ ය. ඉන්පසු ශ‍ී‍්‍ර පාද ස්ථානය සොයාගත් පළමුවැන්නා වළගම්බා රජු (ක‍ි‍්‍ර. පූ. 104 - 76) ලෙස සැලකෙන්නට විය .

එකල කුඩා රාජධානි කීපයක් ලෙස පැවැති ලංකාව පුරා යුද ගිනි ඇවිළ ගිය අතර, ඉන් ගැලවීම සඳහා වළගම්බා රජතුමා කඳු මුදුනකට පැන ගොස් සැඟව ගත්තේ ය. එසේ සිටියදී ඔහුට ශ‍ී‍්‍ර පාදස්ථානය හමු විය. එතැන් පටන් රජ දරුවෝ ද, සාමාන්‍ය ජනයා ද වැල නොකැඩී වන්දනාමාන පිණිස එහි පැමිණියහ.

අතීතයේ මෙම කඳු ශිඛර තරණය ඉතා දුෂ්කර ය. නියමිත පාරක් හෝ පියගැටපෙළක් නැති කන්දේ ඇතැම් තැන්වල බඩගා ගොස් වැඳ පුදා ගැනීමට බැතිමතුනට සිදුවිය.

ශ‍ී‍්‍ර පාද ස්ථානය පිළිබඳ පළමුවන ඓතිහාසික ලිඛිත සිහිපත් කිරීම හමුවන්නේ විජයබාහු (1065 - 1119) රජතුමාගේ රාජ්‍ය සමයෙනි. වන්දනාකරුවන් ශ‍ී‍්‍ර පාද කරුණාවට විඳීන දුක දුටු විජයබාහු රජු ගිලීමලේ නමැති ගම්මානය ශ‍ී‍්‍ර පාදස්ථානයට කැප කර වන්දනාකරුවන්ට පහසුකම් සලසන ලෙස එහි වැසියන්ට අණ කර ඇත. ගිලීමලේ සහ අඹගමුව ගම්මානවල ඇති විජයබාහු රජ සමයට අයත් සෙල්ලිපිවල මෙකී රජ අණ පිළිබඳ පුවත සටහන් ව ඇත. රාජ නියෝගයත් සමඟම ගිලීමලේ ගම වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත් බව ද ජනප්‍රවාදයේ සඳහන් කරුණකි.

එදත් අදත් හෙටත් මේ ඉර හද පවතිනතාක් කාලයක් සැදැහැවතුන් ගේ වන්දනාමානයට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පතුල පිහිටුවීම පිළිබඳ ඉතිහාසයේ ලියැවෙන සාක්ෂි බොහොමයකි.

 වසන්ත ජයසිංහ ආරච්චි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

No comments:

Post a Comment