උඳුවප් පෝ දා වැඩම කළ අසිරිමත් බෝ සමිඳු

 



උඳුවප් සීතල සිරිමා බෝ ඉතිහාසය සිහිගන්වයි . ලිඛිත ඉතිහාසයක් සහිතව ලොව ඇති පැරණිම වෘක්ෂය අනුරාධපුර මහ‍මෙවුනා උයනේ පිහිටි අප ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ය.

බුද්ධ වර්ෂ 236 දී මෙරටට වැඩමකර වූ උන්වහන්සේ මෙරට පූජනීයත්වයේ මුදුන් මල්කඩ සේ ම ආගමික,ජාතික,සාමාජීය , දේශපාලන හා සංස්කෘතික ආදී සෑම අංශයකින් ම අති උතුම් පූජනීය වස්තුව වේ.

එසේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින ලෝක ධාතුවෙහි ඇති ආශ්චර්යමත් ජීවමාන වස්තුවකි.

දේවානම් පියතිස්ස රජ දවසේ සිට අද දක්වා ඒ අනුහස සිරිලක් ධරණීතලය පුරා බලපවත්නේ ය. සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් පරදා ලොව්තුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට සෙවණ ලබාදෙමින් මහෝපකාරී වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව නේරංජන ගඟ අසබඩ බුද්ධගයා භූමියේ පිහිටියේ ය. මුල දී අස්වත්ථ හෙවත් ඇසතු වූ මෙම වෘක්ෂය බෝසතාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හැඳීන්විය.

ජය ශී‍්‍ර‍ මහා බෝධීන් වහන්සේ සතුව ඇත්තේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ඤාණය තුළින් පිළිබිඹු කළ අනන්ත බුදුගුණ මහිමයේ ශක්තියයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ බෝධීන් වහන්සේ උදෙසා දක්වන පූජෝපහාරයක් (අනිමිසලෝචන පූජාව)ලෙස සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ ඇසිපිය නොහෙළා දින හතක් බලා හිදීමෙන් බුදුන් සතු මහා ශක්තිය උන්වහන්සේගේ නේත්‍රාවන්ගෙන් රන්වන් බෝ කඳට අන්තර් ග්‍රහණය කළ බව අප තේරුම් ගත යුතු සත්‍යයි.

මේ නිසා මුළුමහත් බොදු ජනතාව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජෝපහාර දක්වයි. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා රෝපණ මංගල්ලය සිදුකළේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දෙවන පෑතිස් මහ රජුගේ මූලිකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මේ වන විට උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 2530 කි. මහ මෙවුනාවේ රෝපණයකර දැනට වසර 2450කි. එදා මෙදාතුර නොයෙකුත් අව්, වැසි, කුණාටු දුර්භික්ෂ යුද ගැටුම් කලකෝලාහල මැද මහ විහාරීය භික්ෂූන් වහන්සේ සමඟින් රාජ රාජ මහාමාත්‍යාදීන් ද, බොදු ජනතාව ද බෝ සමිඳු නිරුපද්‍රිත ව ආරක්ෂා කරගැනීම කෘතඥතාපූර්වක ව ස්මරණය කළයුතු ය.

බෝධීන් වහන්සේගේ අංකුරයක් වෙන්කර ගැනීම, එය රෝපණය, අෂ්ඨපල බෝධීන් හට ගැනීම හා දෙතිස් ඵළ බෝධීන් හටගැනීම,වැඩම කිරීම ආදි සියලු සිද්ධීන් ඉතා ආශ්චර්යමත්, ඇදහිය නොහැකි තරම් මහා ආනුභාව සම්පන්න සිද්ධීන් ය. ධර්මාශෝක රජු මහ බෝ වෙනුවෙන් පූජා නොකළ දෙයක් නොමැත.සොළොස් මහා ජනපද රාජ්‍යන් සහිත දඹදිව ම එතුමා මහ බෝ සමිඳුන්ට පූජා කළේ ය. අවසානයේ තමා වෙනුවෙන් ඉතිරි ව සිටි දියණිය වන සංඝමිත්තා මෙහෙණිය ද බෝධිය වෙනුවෙන් පුදා, සිරිලකට පිටත් කර හැරියේ ය.බෝධිය ද රජු වෙනුවෙන් අනුහස් පෑවේය.

‘‘ඉක්බිති මහ බෝධි තොමෝ සූර්ය අස්තංගත වන කල්හි රෙහෙන නැකතින් පෘථිවියෙහි පිහිටියා ය. පොළොව ද කම්පිත විය. මුල් කටාරම් මුව විටෙන් නැඟී ඒ රන් බඳුන වෙළාගනිමින් පොළෝ තලයට බැස්සාහ. රැස්ව සිටි සියලු ජනයෝ පිහිටියා වූ මහ බෝධිය හාත්පසින් සුවඳ මල් ආදී වූ පූජා වස්තූන්ගෙන් පිදූහ. මහා මේඝය තෙමේ වැස්සේ ය. හාත්පසින් ම ගැප් හා සිහිල් වළාවෝ මහා ‍බෝධිය වැසූහ.මහ බෝ තොමෝ සත් දිනක් දැකුම් රහිත වුවා ජනයා කෙරෙහි ප්‍රසාද උපදවන්නේ එම හිම ගැබෙහි වැඩ සිටියහ. සත් දවස ඇවෑමෙහි ඒ සියලු මේඝයෝ පහව ගියහ. සවනක් රැස් හා මහ බෝ තොමෝ ද පෙනිණි.(විජේසේකර:සංස්.2015-83) ‘‘ මහා වංසය බෝධි රෝපණ රාජකීය මහා මංගල්ලය දක්වන අවස්ථාවේ උන්වහන්සේගේ අනුහස පෙන්වන්නේ එසේ ය.

විවධ රාජ යුගවල දී විවිධ සංවර්ධනයනට බෝ මලුව ලක්විය.බෝධියේ ශක්තිය තුළින් ධාර්මික ව රට පාලනය කිරීමට අධිෂ්ඨාන කරගත් සියලු රජවරු, ඔවුනට ආ සියලු බලවේග පරාජය කරමින් ජාතිය නඟා සිටු වූහ. ජනී ජනයා ද සිය දුක් ගැහට හා ප්‍රාර්ථනාවන් බෝ සමිඳුන්ට පවසා පිහිට ලැබූහ.

ඊටත් වඩා බෝධීන් වහන්සේ සමඟ ගොඩ නැඟුණු සංස්කෘතිය ජාතියේ පැවැත්ම සහතික කරන බව අප වටහා ගත යුතු වේ. බෝධීන් වහන්සේ වෙනුවෙන් ඉටුකරන දැවැන්ත චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පවතී.දෛනික චාරිත්‍ර සහ වාර්ෂික මංගල්ලයන් ආදී රාශියක් ඒ අතර වේ. මහ සඟරුවන ඉතිහාසයේ පටන් අදත් එම කාර්යයන් නොපිරිහෙලා ඉටුකරති.

එමෙන්ම බෝධින් වහන්සේගේ නාමයෙන් ගොඩනැඟුණු සමාජ, ආර්ථික, දේශපාලන උරුමයක් ද අපට පවතී. වර්තමාන ලෝකය එම බෝධි සංස්කෘතියෙන් කියාදෙන සොබා දහමෙන් ඈත් වී සිටී.ඒ ආදීනවය මත මුළු ලොව මූණ දෙන ව්‍යසනය තේරුම් ගැනීමට මේ උඳුවප් පුන් පොහෝ දිනය හොඳම අවස්ථාවකි.

වසර දෙදහස් පන්සීයක් ඉක්මවා මේ දේශය සුරැකි මහබෝ රජුන් තවත් වසර දහස් ගණනක් වැජඹේවායි යන්න අපගේ ඒකායන පැතුමයි . ඔබට ඒ උතුම් වූ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා.


අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි

No comments:

Post a Comment