භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පුන් පොහෝ දා

 

බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට හේතුව යි. බිනර පොහෝ දා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.

එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතීගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. චුල්ල වග්ග පාලියෙහි භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙන පරිදි එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.

"අලං ගොතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති"

ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා යන්න මෙහි අර්ථයයි.

පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි වන කාන්තාවෝ නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහිදී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය, කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාරශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත් ව දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාර ගෙය තුළට ඇතුලුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටු අබියස ශෝකී බර ව සිටියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස් ගෙන මනා සංවිධානයක් ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.

ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමි බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැළ කළහ. එහිදී ද බුදු රදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ ‘ආනන්දයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදිවීම නුඹට රිසි නොවේවා’යි, වදාරමිනි. එවිට ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. ‘භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද අනුමත නොකරන සේක. වෙනත් මගකිනුත් කාන්තා පැවිද්ද අයැද සිටී නම් මැනවි.’ එසේ සිතා බුදුරදුන් හමුවේ මෙසේ සැල කළහ.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදි ව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අරහත් පල පසක් කරගන්නට හැකි ද?

බුදුරදුන් - අනඳයෙනි, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදිව සෝවාන්, සකෘදගාමී, අනාගාමී හා අරහත් පල පසක් කරගන්නට හැකි ය.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට, සෝවාන්, සකෘදගාමි, අනාගාමී හා අරහත් ඵල පසක් කර ගන්නට හැකි නම්, භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට කළ බොහෝ උපකාර ඇත්තී ය. සුළු මෑණියෝ ය. වැඩූ පෝෂණය කළ තැනැත්තී ය. කිරි දුන් තැනැත්තී ය. මව කලුරිය කළ කල්හි සිය තනයෙන් කිරි පෙවුවා ය. භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකි ය.

බුදුරදුන් - අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමීය, ගරු දහම් අටක් පිළිගන්නී නම්, එය ම ඇය ගේ උපසම්පත්තිය වේවා.

මෙහිදී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

* උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවි හිමියෙන් කළ යුතු ය.

* භික්ෂුණිය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නොවිසිය යුතු ය.

* අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

* වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දෙයින්, ඇසූ දෙයින් සැක කළ දෙයින් යන තුන් දෙයින් (දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා) පවාරණය කළ යුතු ය.

* බර ඇවතකට පත් භික්ෂුණිය භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය.

* දෙ අවුරුද්දක් ම උභතො සංඝයා වෙත හික්මෙන්නියකව සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.

* භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

* භික්ෂුණිය විසින් භික්ෂුවකට ‘ මෙසේ සිටින්න, මේ දේය කරන්න’ ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතා බහ නො කළ යුතු අතර, භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතු ය.

මෙසේ මෙම ගරු ධර්ම අට ආනන්ද හිමියන්ට විස්තර කරදුන් බුදුරජාණන් වහන්සේ අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම්, එයම ඇයගේ උපසම්පදාව වන්නේ යැයි වදාළහ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ. එවිට එතුමිය ප්‍රකාශ කළේ ‘කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස සෝදා නා උපුල් මල්දමක් හෝ සමන් මල් දමක් හෝ යොහොඹු මල් දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුම් හිසෙහි පිහිටුවන්නේ ද එසේම මම මෙම ගරු දහම් අට දිවිහිමියෙන් සුරකිමි. පිළිගනිමි” යනුවෙනි. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත එළඹ ‘භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතීගෝතමිය විසින් ගරු දහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් දෑ උපසපුව ලැබූහ’යි කීහ.

පසුව බුදුරදුන් වදාළේ ‘අනඳයෙනි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද නොලද නම් මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නොවන්නේ ය. දැන් මෙතැන් සිට පන්දහස් වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය යන්නයි.

අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන්ගේ උපමාව වූයේ මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වළක්වනු පිණිස කල්තබා ම නියරක් බඳනේ ද එසේම මා විසින් දිවි හිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බවයි.

භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනර පුර පසළොස්වක පොහොය දිනෙක මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිසද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.


ඌරුගමුවේ
අස්සජී හිමි

No comments:

Post a Comment