සාරිපුත්ත මහරහතන්වහන්සේ

Sariputta Maha Rahathan Wahanse සාරිපුත්ත මහ රහතන් වහන්සේ


ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වූයේ සැරියුත් මහරහතන් වහන්සේ ය. වංගත බමුණාගේ සහ රූපසාරී බැමිණියගේ පුත්‍ර රත්නයක් ලෙස ඉපදුණි. සාරී බැමිණියගේ පුත්‍රයා වූ බැවින් සාරිපුත්ත යන නමින් ප්‍රකට විය.
උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේ ය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පද ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ය.

ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙකෙකුහට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳීන් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවී ය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන්ගේ දකුණත් සව් තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහපත් දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය.

දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේ ය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තෙරුන්ගේ කැමැත්ත අනුව පොකුණෙන් පැන් ගෙන සනහා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වී ය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කරමින් දහම් දෙසූහ. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇති ව උපත ලැබුවේ ය. තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්ව ම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේ ය. එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක.

“ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේ ය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන අවස්ථාවකි.

සැරියුත් තෙරුන් වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන් සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ.

මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සහෝදර, සහෝදරියන් සියල්ලම මඟඵල නිවන් අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියා ය.

සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් විය. මෙය අවස්ථා කිහිපයක දී ම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්තේ ය. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ගේ අවසාන සමය ළඟා වී ඇති බවයි. උන්වහන්සේ, බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ, පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ ගේ මව වූ රූපසාරී බැමිණිය සම්මා දිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව ය. අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන, මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන ඇයට පැහැදීම ඇති වී දහම් ඇසීය. එකල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවා ය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළහ. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක් ද කරවූහ.

උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරිනි.

No comments:

Post a Comment