කඨින චීවර පූජා පින්කම ඇරඹෙන පින්බර වප් පොහොය



වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොයෙනි. කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය වප් පොහොයෙන් ඇරඹෙන හෙයින් මෙම මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක් ව ඇත.
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවත්” මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි වන්නේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයක දී එක් වරක් පමණෙකි.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වන කාලය, දෙ වැදෑරුම් ය. එය පෙරවස් හා පසුවස සමාදානය යි. ඇසළ පුර පසළොස්වක පොහොය දා පෙරවස් ආරම්භ වන අතර” පසුවස් ආරම්භ වන්නේ නිකිණි පොහෝදා ය. වප් පොහෝදා මහා පවාරණය සිදු කෙරෙයි.

සාකේත නුවර වස් එළඹි භික්ෂූන් වහන්සේ තිස් නමක් මහා පවාරණය සිදු කොට බුදුරදුන් දකිනු පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ හ. අතරමග දී වැස්සකට මුහුණ දුන් උන්වහන්සේලා වැසි දියෙන් තෙමී ගිය සිවුරුවලින් යුතුව සිටිය හ. එම අපහසුතාවට මුහුණ දුන් භික්ෂූන් වහන්සේ දෙස බලා මතු එවන් දෙයක් සිදුනොවීම කෙරෙහි සලකා බැලූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි. කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින චීවර පරිභෝග කිරීමට අවස්ථාව ලැබුණි.
මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් ප්‍රසාදයට පත්ව එසේ පැවිදි බව ලැබූ මෛත්‍රීය බෝසතාණන් වහන්සේ එයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි ලොව්තුරු සම්මා සම්බුද්ධත්වයට පත්වන බව කියවෙයි.

ලංකාවාසීන්ට බුදුදහම පිළිබඳ වූ නිර්මල පණිවුඩය රැගෙන සිරිලකට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ය. එම මහින්දාගමනයෙන් ඇරැඹි ශාසනික නවෝදය සිරිලක කාන්තා පක්ෂය කෙරෙහි ද ප්‍රබල ලෙස ම බලපෑමක් ඇති කළේය. ඒ අනුව සසුන්ගතව කුසල් රැස්කර ගැනීමේ අපමණ උනන්දුවක් ඔවුනට ඇතිවිණ. පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා මහරහත් තෙරණිය සිරිලකට වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සන්දේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. මෙම ඉල්ලීම නිසාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුම් වූ දක්ෂිණ ශාඛාව ද වැඩම කරවා ගැනීමේ අවස්ථාව උදාවුණි.

වරෙක දේවානම්පියතිස්ස රජු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් “සිරිලක සම්මා සම්බුද්ධ ශාසනය පිහිටියේ දැ’යි විමසා සිටියේ ය. එයට මිහිඳු මහරහතන් වහන්සේ දුන් පිළිතුර වූයේ “එ සේය. මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැස නැත” යන්න යි. එවිට රජු විමසූයේ” ශාසනය කෙසේ නම් මුල්බැස ගන්නේ ද” යන වගයි. එවිට මිහිඳු මහරහතන් වහන්සේ රජුට පැහැදිලි කර සිටියේ” යම් කලෙක මෙම හෙළදිව සිංහල මවුපියන්හට උපන් දරුවෙක් මෙහිදීම පැවිදිව, විනය ඉගෙන ගෙන මෙම දිවයිනෙහි දී ම විනය උගන්වයි ද, එකල්හි මෙහි බුද්ධ ශාසනය මුල්බැස ගත්තා වන්නේ ය” යනුවෙනි. උන්වහන්සේ අවධාරණය කර මෙකී සුදුසුකම් සියල්ලම සපුරා සිටියේ ලක්දිව ප්‍රථම සිංහල රහතන් වහන්සේ වූ මහා අරිට්ඨ හිමියන් ය. එබැවින් දේවානම්පියතිස්ස රජු විනය සංගායනාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළ අතර” මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ සැට අට නමක් දහසක් බැගින් වූ භික්ෂු පිරිවර සමඟ ඊට සහභාගි වූහ. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනීම ඇතිව ථූපාරාම විහාර මධ්‍යයට රැස්ව භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන වප් පුර පසළොස්වක පොහොදා විනය සංගායනාව ආරම්භ කළ හ. එය ලංකා ඉතිහාසය තුළ වප් පොහෝ දිනෙක සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමකි.

ධර්ම විනයානුකූලව වස් වැසූ එසේම වප් පොහෝදා මහා පවාරණය සිදු කළ උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලංකාවේ පමණක් නොව ලොව ථෙරවාදී බෞද්ධ සෑම රටක ම වප් පොහෝදා සිට ඊළඟ ඉල් පොහෝදා දක්වා වූ කාලය තුළ අසිරිමත් චිත්තාකර්ෂණීය වූ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සව පැවැත්වෙයි. මෙම කඨින පූජා පවත්වන සැදැහැවත් දායකකාරකාදී සාධු ජනයාට එමගින් මෙලොව පරලොව දියුණුව ලබා ගත හැකි වෙයි. බුදුරදුන් දවස වැඩසිටි නාගිත මහරහතන් වහන්සේ ගේ උතුම් චරිත කතාව කියවා බැලීමේ දී මෙහි අනුසස් කෙ තරම් පවතී ද යන්න මැනවින් වටහා ගත හැකි ය.

නාගිත තෙරණුවෝ එක් භවයෙක කඨින පූජාවක් සිදු කොට එම උතුම් කුසලය නිවන් මගට හේතුවේවායි, ප්‍රාර්ථනා කළ හ. එතැන් සිට සතර අපායේ නො ඉපිද දෙව් ලොව හා මිනිස් ලොව යන සත්වැදෑරුම් කාම ලෝකයන් හි දෙව් මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි එහි භික්ඛු භාවයෙන් පැවිදිව,අර්ථ, ධර්ම නිරුක්ති සහ පටිභාණ යන සිව් අවබෝධය ද සහිතව සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ හ.

සැදැහැවත් සාධු ජනයා මහත් උනන්දුවෙන් අපමණ සැදැහැ සිතින් මෙම කඨින චීවර පූජා පින්කම් පවත්වනුයේ මෙබඳු මහත්ඵල මහානිසංස මේ තුළින් උදාවන බව මැනවින් අවබෝධ කරගත් නිසා ය.
අද වන විට මෙරට ඒ ඒ විහාරස්ථාන වල සැදැහැවත් දායක පිරිස් ස්වකීය ශක්තිය උපරිම ලෙස යොදා පෙර නොවූ විරූ තරම් චිත්තාකර්ෂණීය වූ සංස්කෘතිකාංග සහිත පෙරහර ආදිය ඇතුළත් කර ගනිමින් සැදැහැබැති සිත් වැඩෙන පරිදි කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය ඉතා සාරවත් ලෙස නිමාවට පත් කරති. ඊට ස්වකීය ඤාති හිතමිතුරෝ ද සම්බන්ධ කර ගනිමින් ඔවුනට ද මෙම පුණ්‍ය කර්මයට දායක වී පින් රැස්කර ගැනීමේ අවස්ථාව උදාකර දෙති. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කඨින පෙරහර තුන්යම් රාත්‍රිය පුරාවට ම වීදි සංචාරය කරයි. නාගරික පරිසරය තුළ බොහෝ අවස්ථාවල එය ආරම්භ වන්නේ මධ්‍යම රත්‍රිය ඉකුත්ව ගිය පසුව යි. කවර වේලාවක ආරම්භ වුව ද කඨින පෙරහර විහාරස්ථානයට ගෙවදින්නේ අලුයම් කාලයෙහි සාමාන්‍ය පරිදි හිරු උදාවීමෙන් පසුව යි.

වප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම විහාරස්ථානවල කඨින මහා පින්කම් ඇරඹෙන හෙයින් මෙම අසිරිමත් චීවර මාසය සැදැහැවතුන් අතර ධාර්මික හැඟීම් . සාමූහික ක්‍රියාකාරකම් , අන්‍යෝන්‍ය සුහදතාව, ධාර්මික විනෝදය සහ මනා සංවිධානශීලිත්වය මැනවින් මූර්තිමත් වන කාලවකවානුවක් ලෙස හඳුන්වා දිය හැකි ය. පුරාතන චාරිත්‍රවිධි රැසක් ක්‍රියාවට නංවන මෙම කඨින පින්කම්වලට සහභාගි වී අපේ සංස්කෘතික අනන්‍යතාව ළමා පරපුරට අවබෝධ කරවීමේත්, අද බොහෝ දෙනෙකු මුහුණ පා සිටින කාර්යබහුල ජීවන රටාවෙන් මදකට මිදි ජීවිතයට අර්ථවත් කුසලයක් අත්පත්කර ගැනීමේත් දුර්ලභ අවස්ථාව ද මෙමගින් උදාවෙයි. 

ඌරුගමුවේ
අස්සජී හිමි
උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

No comments:

Post a Comment