යුද බිය දුරු කොට සාමය උදා කළ බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය (බක් පො‍‍හොය)






බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වන වර්ෂය ද උදාවෙමින් පැවතුණි. ලෝවැසියන් පිළිබඳ පතළ මහා කරුණාවෙන් ලොව දෙස බලා වදාරණ බුදුරජාණන් වහන්සේ එකල ලංකාවේ වාසය කළ චුලෝදර හා මහෝදර නම් නාරජුන්, දෙපොළ මැණික් පුටුවක් මුල් කරගෙන යුද්ධ කිරීමට යන බව සැවැත්නුවර ජේතවනාරාමයේ සිට දිවැසින් දුටු සේක.
යුද්ධයක් හටගත්තේ නම් ලක්වැසි නාග පිරිසට සිදුවිය හැකි විනාශය දුටු බුදුරජාණන් වහන්සේ ඊට මාස කීපයකට පෙර තම ඤාතීන් වූ ශාක්‍ය, කෝලිය දෙපිරිසට අනුකම්පා කර යුද්ධයේ ආදීනව පෙන්වා වදාළේ යම් සේ ද? එපමණ ම වූ මහා කරුණාවෙන් යුක්තව ලක්දිව නාගදීපයට වැඩම කර විනාශකාරි යුද්ධය වැළැක්වීමට කටයුතු කළේ අද වන් බක් පොහෝ දිනක ය.
එදා ශාක්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් යුද්ධයක් ආරම්භ කළේ ජලය මුල් කරගෙන ය. මෙදා නාග ගෝත්‍රිකයින් ලංකාවේ යුද්ධයක් ආරම්භ කළේ මැණික් පුටුවක් හෙවත් සිංහාසනයක් මුල් කරගෙන ය. රෝහිණී ගඟේ ජලය තමන්ට දෙන්නැයි කියමින් ශාක්‍යයන් හා කෝලියයන් කලහ කරන්නට වූ අතර මැණික් පුටුව තමන්ට දෙන්නැයි කියමින් චූලෝදර හා මහෝදර විවාද කරන්නට වූහ.
සවස් භාගයේ රෝහිණී ගඟ දෙපස ශාක්‍යයන් හා කෝලියයන් කඳවුරු බැඳගෙන යුද්ධ කිරීමට මුහුණට මුහුණ ලා සිටි අතර බුදුරදුන් අහසින් වැඩම වා, අඳුර දැඩිකොට ඥාතීන් මැද මෙම ප්‍රශ්න අසා ඊට නිසි පිළිතුරු ද ලත් සේක. එම දෙබස මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ : කුමක් නිසා ඔබලා රැස් වූ යේද?
ඤාතීහු : යුද්ධයකටය.
බුදුරජාණන් වහන්සේ : කුමක් නිසා යුද්ධ කරන්නේද?
ඤාතීහු : ජලය නිසා ය
බුදුරජාණන් වහන්සේ : ජලය ද පොළොවද වඩා වටින්නේ?
ඤාතීහු : පොළොව ය
බුදුරජාණන් වහන්සේ : රජවරු කොපමණ වටීද?
ඤාතීහු :පොළොවටත් වඩා වටියි
බුදුරජාණන් වහන්සේ : එසේ නම්, එතරම් වටින්නේ නැති දේවල් වෙනුවෙන් රජවරු විනාශ වන්නේ ඇයි? මෙයින් පසු උදා වූ බක් පොහෝ දිනයේ අප ලංකාද්වීපයේ ද මෙබඳුම කලබැගෑනියක් විය. ලංකාද්වීපයේ පටන් මහා සමුද්‍රය දක්වා යොදුන් පන්සියයක් දුරට බලය පතුරුවාගෙන සිටි මහෝදර නම් නා රජෙක් සිටියේ ය. ඔහුගේ නැගණිය තිරවිකා වූවා ය. ඇය කන්වඩමන් නම් පර්වතයේ විසූ නාගයෙකු සමඟ විවාහ වූ අතර චූලෝදර නම් පුත්‍රයෙක් ඇයට උපන්නේ ය. චූලෝදර ලක්වැසි නාගයින්ට ප්‍රධාන වූ අතර මහෝදරගේ පියා මිය යන මොහොතේ අගනා මැණික් පුටුව තිරවිකාට පැවරුවේ ය. මේ නිසා මේ අගනා වස්තුව තම තමන්ට අත්පත් කර ගැනීම පිණිස මහෝදර හා චූලෝදර නාගදීපයේ දී යුද්ධ කිරීමට කඳවුරු බැඳ ගත්හ.
සිදුවීමට යන විනාශය දුටු බුදුරජාණන් වහන්සේ අහසින් නාගදීපයට වැඩම කර අහසේ පලක් බැඳ වැඩ සිට මහ අඳුරක් මවා නාගයන් බයට පත් කළ සේක. අඳුරේ බබළන බුදුරදුන් දුටු නාගයෝ අභය ඉල්ලා උන්වහන්සේට බැගෑපත් වන්නට වූහ. යුද්ධය නම් කෙතරම් බියකරු නිරර්ථක දෙයක් දැයි පැහැදිලි කරමින්, යුද්ධ කිරීමෙන් ජාති ජාතිත් නොසංසිඳෙන වෛරයක් ඇති වන බව දේශනා කළ උන්වහන්සේ ඒ පිළිබඳ නිදසුනක් ලෙස කාකෝලුක ජාතකය දෙසු සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ලක්වැසි නාග පිරිසට අනුකම්පා කරමින් දේශනා කොට වදාළේ තම ඤාතීන් එදා රෝහිණි ගඟ දෙපස කඳවුරු බැඳගෙන එතරම් නොවටිනා ජලය වෙනුවෙන් වටිනා රජවරුන්ගේ ජීවිත විනාශ කර ගන්නට උත්සාහ කළ බවත් එය වළක්වා යුද්ධයේ ආදීනව වදාරමින් ඵන්දන ජාතකය දේශනා කළ බවත් ය.
මෙහි දී උන්වහන්සේ ලක්වැසි නාග පිරිසට පැහැදිලි කර දුන්නේ කෙතරම් උසස් හෝ පහත් අයෙකුට වුවත් නිකරුණේ වෛර බැඳ හිංසා කළහොත් ඒ අය ද වෛර බැඳ අවසානයේ දී මහා විනාශයක් කරන හෙයින් කවදාවත් කිසිවෙකුට හිංසාවක් නොකළ යුතු බවයි.
මෙහිදී ශාක්‍ය කෝලිය දෙවංශිකයින්ගේ යුද්ධය වර්තමාන කථාව ලෙස ලක්වැසි නාගයන්ට විස්තර කර දුන් බුදුරජාණන් වහන්සේ එහි අතීත කථාව වදාළ සේක.
බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි මොහොතේ යුද්ධ කිරීමට කඳවුරු බැඳ සිටි නා පිරිස ඔවුනොවුන් හෙළා දකිමින්, පහත් කොට සලකමින් හා තමා උසස්කොට සිතමින් කටයුතු කළහ. නමුත් මේ අවස්ථාවේ දී උන්වහන්සේ ඔවුන්ට ලටුකික ජාතකය ද දේශනා කරමින් උසස් හෝ පහත් ඕනෑම අයෙකු සැහැල්ලු කොට සලකා ඔවුන්ට පීඩා කිරීමෙන් ඔවුන් තුළ වෛරයක් ඇති වන බවත් ඒ වෛරය නිසාම පලිගැනීමත් එයින් ඕනෑම බලවන්තයෙකු වුවත් විනාශ වන බවත් පැහැදිලි කළ සේක.
ඒ ලටුකික ජාතකය මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ එක් දිනක් “මේ දේවදත්ත කිසිම කෙනෙකුට දයාවක් නැත” යනුවෙන් භික්ෂූන් කියනු අසා “මහණෙනි, මෙකල පමණක් නොව අතීතයේදීත් දේවදත්ත භික්ෂුව කාටවත් දයාවක් දැක්වූයේ නැත” යනුවෙන් වදාළ සේක.
මුලදි උන්වහන්සේ ලටුකික ජාතකය දේශනා කළේ ජේතවනාරමාවාසී භික්ෂූන් වහන්සේලාට ය. පසුව උන්වහන්සේ ලක්දිව යුද්ධ කිරීමට රැස්වූ ඒ නාග පිරිසට නැවතත් එම ජාතකය මෙසේ දේශනා කළ සේක.
“අතීතයේ බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයේ අප මහා බෝධි සත්ත්වයාණන් වහන්සේ අසූ දහසක් ඇතුන්ට නායක ඇත්රාජයාව උපන් සේක. එකල එක් කැටකිරිලිල්යක් පාර ළඟ ගසක කූඩුවක් තනා බිත්තර දා කුරුලු පැටවුන් රකිමින් සිටියා ය. දිනක් බෝසත් ඇත් රජු සමඟ ඇත් සේනාව එ මගින් ගමන් කරන විට” තම කුරුළු කූඩුව නොතලා යන්නැයි” කිරිල්ලිය ආයාචනා කළ හෙයින් බෝසත් ඇත් රජු කුරුලු කූඩුව නොපෑගෙන සේ එය මැදි කොට සිටගෙන සිට, අනතුරුව “පිටුපසින් එන ඇතෙක් ඉතාම චණ්ඩයි, පරුෂයි, පුළුුවන්නම් උගෙන් ද මේ කුරුළු කූඩුව බේරා ගන්න” යැයි කීවේ ය. කිරිල්ලිය එම නපුරු ඇතාට ද බැගෑපත් වුවත්” නුඹ වැනි දුර්වලයෙකු මට කුමක් කරයි ද?” මම වම් පයින් පමණක් නුඹේ පැටවුන් පාගමි” යි කියා පැටවුන් පාගා දමා ඊට මුත්‍ර ද කළේය. මේ නිසා ඇතා කෙරෙහි වෛර බැඳගත් කැටකිරිල්ලිය තම කථාව කවුඩෙකුට කියා ඇතාගේ ඇස්වලට කොටවා ඇතා අන්ධ කරවූවා ය. එසේ ම, නිල මැස්සෙකුට කියා ඇස් දෙකට ඉහඳ තැබ්බවී ය. මෙයින් අසරණ වූ ඇතා ජලය සොයමින් වනයේ අතරමං විය. මෙවිට කැටකිරිල්ලිය ගෙම්බෙකුට කියා නාද කරවා කඳු මුදුනකට ඇතා ගෙන්වාගෙන නැවත කඳු පාමුල සිට නාද කරවා කන්දෙන් පහළට ඇතා පෙරළා දමා මිය යන්නට සැලැස්වී ය.
බුදුරජාණන් වහන්ස් ලංකාවට වැඩම කිරීමට ප්‍රථම ශාක්‍ය හා කෝලිය දෙපාර්ශ්වයට දේශනා කරන ලද ජාතක කථාවලින් බහුතරයක් දෙවන වර ලංකාවට වැඩම කොට ලක්වැසි නාග පිරිසට අවවාද කරන අවස්ථාවේ දී දෙසා වදාළ සේක. මේ අනුව පැහැදිලි වන්නේ ලංකාවාසී නාග සමූහයා එහි දී තමාගේ ඤාතීන් බඳුය යන හැඟීම උන්වහන්සේතුළ තිබු බව ය. ඒ නිසා ම උන්වහන්සේ ලක්වැසි නාග පිරිසට දේශනා කළේ කෙනෙකු පහත් කොට සලකා කටයුතු නොකළ යුතු බව ය. තවද, තව කෙනෙකු පිළිබඳ වැරැදි වැටහීමක් ඇති කරගෙන ඒ අනුව තලා, පෙළා හෙළා කටයුතුකිරීමෙන් ඒ අය තුළ වෛරය ඇති වන බවත් ය. මෙසේ වෛරයක් ඇති කරගන්නා පුද්ගලයා ඉතා කුඩා, පහත් හෝ අසරණ අයෙකු වුවත් ඒ අය තුළ ඇති වුණ වෛරය කරන කොට ගෙන මහා විනාශයක් ඇතිවීම අනිවාර්ය කාරණයක් නිසා එබඳු පටු අදහස්වලින් මිදී මෛත්‍රිය හා කරුණාව මුල්කර ගත්, සැමට සමසේ සලකන පුද්ගලයන් බවට පත් වීමෙන් සාමය උදාකර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ ලංකාවාසි නාග පිරිසට දේශනා කළ සේක. ඒ අනුව අප ද කල්පනා කළ යුත්තේ බුද්ධ දේශනාවලට අනුව වෛරය,ක්‍රෝධය පලිගැනීම වැනි නරක සිතුවිලි දුරු කර, බක් මස බුදුරදුන් ලක්වැසි නාග පිරිසට දෙසු අමාදහම පිළිපැද මෙලොව සුවසේ ජීවත්වීමට ඇවැසි පරිසරය නිර්මාණය කර ගැනීම ය.

අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment