සිරි මහ බෝ සමිඳුන් වැඩම කරවූ උඳුවප් පුර පොහෝ දිනය






සිරි සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම වීම ද, මෙහෙණි සසුන ඇරඹීම ද, සිරි පා වන්දනාව පටන් ගැනීම ද වැනි වටිනා ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිදුවී ඇත.

ගොවිතැනින් ජීවත් වූ ලක්වැසියා සීතල කාලය ඇරඹෙන මාස් කන්නයේ උඳු වගා කළ බැවින් මේ මාසයට උඳුවප් යනුවෙන් කියන ලදැයි පැවසේ. ගොවිතැනින් ඉසුරුමත් වූ ලක්වැසියා උසස් ආගමික දිවිපෙවෙතකට යොමු වූයේ සඟමිත් මහ රහත් තෙරණින් වහන්සේ ගේ වැඩමවීමත් සමඟ ම ය . එතුමියගේ කුළුණු බර මෙත් සිත නිසා ම ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමට හැකි වූ අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වඩමවන ලද සිරි මා බෝ සමිඳුන්ගේ අනුහස නිසා මෙරට සදහම් දිවයිනක් වීමේ කටයුත්ත ද සිදුවිය.

අනුබුදු මිහිඳු මා හිමියන් සිරිලකට වැඩම කිරීමෙන් පසු දේශිත මුල්ම බණ දෙසුම් ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියත්, එසේ කිරීම භික්ෂූන්ට නුසුදුසු යැයි මා හිමියෝ දෙසූ සේක. ඒ අනුව කාන්තාවන් පැවිදි කරවීමට සඟමිත් මහ රහත් තෙරණිය වැඩම කරවා ගැනීමටත්, ඒ සමඟ ම සිරි මා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීමටත් තීරණය විණි.

ඒ අනුව දෙවන පෑතිස් රජු තම බෑණනුවන් වූ අරිට්ඨකුමරු ඇතුළු දූත පිරිසක් දම්සෝ රජු වෙත පිටත් කර යවා මිහිඳු මාහිමියන්ගේ අදහස් ඉදිරිපත් කරවීය. තම පුතණුවන් වූ මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීමට ගරු කළ දම්සෝ මහ නිරිඳු මූලික කටයුතු සම්පාදනය කරන්නට විය. සැදැහැසිතින් බෝසමිඳු පුදා තෙලිතුඩකින් ශාඛාව වෙන් කළ යුතු තැන ඇන්ඳා පමණි. ආශ්චර්යයකි! විවිධ ප්‍රාතිහාර්ය පාමින් දකුණූ ශාඛාව රන් පාත්‍රයේ පිහිටියේ ය. ඉන් අනතුරුව දම්සෝ නිරිඳු බෝ සමිඳුන්ගේ රැකුමට අටළොස් කුලයක පිරිසක් සමඟ සිය දියණිය වූ සඟමිත් තෙරණිය උත්තරා ,හේමා, පසාදපා, අග්ගිමිත්තා, දාසකා වේග්ගු, පබ්බතා, මත්තා, මල්ලා හා ධම්මදාසියා යන තෙරණිවරුන් දස නම ද සමඟ මෙ ලක්දිවට එවීය.

මේ උතුම් කුළුණුබර මෙහෙණිවරු ලක්දිව පැවිදි වීමට බලා සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කොට සිරිලක මෙහෙණි සසුන පිහිටුවන ලද්දේ අද වැනි උඳුවප් පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව දෙවන පෑතිස් රජු සිය ඇත්හල සමීපයේ මෙහෙණවරක් ඉදිකොට තෙරණිවරුන්ට පුද කළ අතර එය ‘හත්ථාල්හක මෙහෙණවර’ යනුවෙන් ප්‍රසිද්ධ විය. ලක්වැසි කාන්තාවන් හා මෙරට මෙහෙණි සසුන වෙනුවෙන් සිය දිවිය පිරිනැමූ සඟමිත් තෙරණිය වයස අවුරුදු පනස්නවයේ දී උත්තිය රජුගේ නව වැනි වසරේ දී එම මෙහෙණ වරේ දී ම පිරිනිවන් පා වදාළාය. රජු විසින් ශ්‍රී දේහයට පුද සත්කාර කර සත්වැනි දින ශ්‍රී මහා බෝධිය අසල ශ්‍රී දේහය ආදාහනය කොට ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් ද කරවීය.

උඳුවප් පුන් පොහෝ දින ඇරඹෙන සිරිලක තවත් එක් මා හැඟි පින්කමක් නම් සිරිපා වන්දනාවයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමන්ගිර මුදුනේ පිහිටා ඇති අතර උඳුවප් පුන්පොහෝ දා පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුන් වහන්සේත්, සමන්දේව ප්‍රතිමාවත් මහ පෙරහරින් සිරි පා මලුව තෙක් වැඩම කරවීමෙන් මෙම සුවිශේෂ වන්දනාව ඇරඹේ.

උඳුවප් පොහෝදා බොහෝ බෞද්ධයෝ වන්දනා කිරීමට අනුරාධපුරයට යාමට අමතක නොකරති. එක් අතකින් සිරි පා කරුණාව ඇරඹීමත්, අනෙක් අතින් ජය සිරිමා බෝසමිඳුන් වැඩම වූ දිනය වීමත් නිසා ලක් වැසියෝ ඉතාමත් ම සැදැහැ සිතින් මේ වන්දනා කටයුතුවලට යොමු වෙති. ඔවුන් විශේෂයෙන්ම අනුරාධපුර වන්දනාවට යොමු වන්නේ සිරිමා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නට ය. ආදි කාලයේ පටන් පැවත එන ඒ පැරණි සිරිත අද පවා දැක ගැනීමට පුළුවන.
ලක්දිව බොහෝ පෙරහර පැවැත්වෙන මාසයක් ලෙසද උඳුවප් මාසය හඳුන්වා දීමට පුළුවන. විශේෂයෙන්ම ලංකාවේ ගම් නියම්ගම් රාශියකම සංඝමිත්තා පෙරහර පැවැත්වෙන්නේ උඳුවප් පුන් පොහෝ දින ය. මේ අතර මාතර වෙහෙරහේනේ උඳුවප් මහ පෙරහර ඉතා අලංකාර නර්තනාංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයකි.

උඳුවප් පොහෝදා ලාංකික කාන්තාව ආගමික විමුක්තිය අත්පත් කරගන්නට අවස්ථාව ලද නිසා එක් අතකින් බලන කල එය සුවිශේෂ මංගල අවස්ථාවක් ලෙස සැලකීම් වරදක් නැත. නමුත් අප ලාංකික බෞද්ධයන් ලෙස කල්පනා කළ යුතු වන්නේ සිරි සංඝමිත්තා මහ රහත් තෙරණියන්ගෙන් උරුම වූ මහබෝධි සංස්කෘතිය හෙවත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය මැනවින් ආරක්ෂා කර සිරිලක බුදුසසුන වසර පන්දහසක් කල් පවත්වා ගැනීමට කටයුතු කිරීමයි.

ආචාර්ය, 
රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයේන් උපුටා ගැනීමකි

No comments:

Post a Comment