බුදුරදුන් දවස මෙහෙණි සසුන (බිනර පොහොය)



සුද්ධෝදන මහ රජතුමා රෝගාතුර වී සිටිනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දැකීමට කැමැත්තෙන් සිටිනා බව දැක ශ්‍රාවක පිරිසකුත් සමඟ ඍද්ධියෙන් එහි වැඩි සේක. රෝගාතුර වූ රජ සැතපී උන් ඇඳ ඉස පැත්තේ පැනවූ අස්නෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ හිස මත දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක.

නන්ද රහතන් වහන්සේ රජතුමාගේ දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි ම අත රුජාව ද දුරුවිය. අනඳ තෙරණුවෝ වමත, සැරියුත් තෙරණුවෝ හා මුගලන් තෙරණුවෝද දෙපසහිද සිය අත තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි රජුගේ සිරුරේ සියලු රුජාව මුළුමනින් ම දුරු විය. ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාට අනිත්‍ය ධර්ම කතාවකින් අනුශාසනා කළ සේක. ධර්ම කතාව අවසානයේ සුද්ධෝදන රජු රහත් විය. මේ අවස්ථාවෙන් සත් දිනක් ව සුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා සත් දින අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඒ මංචකයෙහි ම ඇමැතිවරුන් කැඳවා තමන්ගෙන් වරදක් ඇතිවී නම් ක්ෂමා කරන ලෙස වදාරා සිටියහ. එවිට වටා රැස්ව සිටි ප්‍රජාපතී ගෝතමී දේවි ප්‍රමුඛ ලොකු කුඩා සියල්ල ශෝකවීමේ නිශ්ඵල බව දන්වා අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කතායෙන් අවවාද කොට ඒ යහන මත ම සැතපී සුද්ධෝදන රජු පිරිනිවන් පෑහ.

භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහනය කරවා රැස්වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම විසාලා මහනුවරට වැඩි සේක. මෙයින් පසු යශෝධරා දේවි මහණ වෙමියි මේවන විට තැත් කළාය. මහ ප්‍රජාපතී ගෝතමී ඒ අසා “දුව මා වැනි මවකට පවා තෙ වරක් ආයාචනය කොටත් භාග්‍යවතුන් වහන්සේ පැවිද්දට අවසර නුදුන් සේක. උන්වහන්සේ බුදුව සිටින සමයෙහි පවා තෙපි උන්වහන්සේ ඉදිරියේ එඩිතර වැ පුරා වචන දෙකක්වත් කියා ගත නුහුණ වූහ. එසේ කල දැන් තෙපි කෙසේ පැවිද්ද ඉල්ලා ගන්නට තරම් විශාරද වන්නාහුද? එය තොපට බැරිය. මම ම ගොස් පැවිද්ද ඉල්ලා ගන්නෙමි. ඉන්පසු මහණවුව යැයි ඇය නවතාලූය.

(ශාක්‍ය මුණීන්ද්‍රාවනය හෙවත් සිද්ධාර්ථ ගෞතම චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ – පි. 149-150-1986)

ඉහත සඳහන් සිදුවීමෙන් පසුව මහා ප්‍රජාපතී ගෝතමී බුදුරජාණන් වහන්සේ නැවත වරක් හමුවී තමා ප්‍රමුඛ කාන්තාවන්ට සසුනෙහි භික්ෂුණීන් වහන්සේලා ලෙසින් මහණවීමට අවසර ඉල්ලා සිටීමට තීරණය කළා ය.
ඊට පෙර එම සිදුවීම මෙසේය.

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, තථාගත සසුනේ කාන්තාවන්ට පැවිද්ද ලැබෙනවා නම් මැනවැයි සැළ කළාය. තථාගතයන් වහන්සේ ගෝතමිය, ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද බලාපොරොත්තු වන්නට එපා යැයි වදාළහ. දෙවැනි හා තෙවැනි වත් ඇය ආයාචනා කළාය. බුදුරජාණන් වහන්සේ දෙවැනිවත්, තෙවැනිවත් එසේ වදාළ සේක. මහ ප්‍රජාපතී ගෝතමිය තථාගතයන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුමත නොකරතියි දුකින් දොම්නසින් කඳුළු පිරි මුහුණින් හඬමින් වැඳ පැදකුණු කොට ගියා ය.

(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 132-133 –1999)

මේ සිදුවීමෙන් පසුව ඒ වන විට ශාක්‍ය කුමාරවරු පන්සියයක් පමණ බුදුසසුනේ පැවිද්ද ලබා ගෙන සිටියහ. බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේ සිටි සමයේ දී ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් සමඟ කෙස් කප්පවා කහවත් හැඳ පෙරවා කූටාගාර ශාලාවට ඉදිමුණු පයින් ම දූවිලි පිරි ගතින් ම බොහෝ වෙහෙසී ගෙන නෙත්පුරා කඳුළු පුරවාගෙන හඬ හඬා කූටාගාර ශාලාවේ දොරටුව ළඟ සිටියහ. ආනන්ද හිමියෝ ඒ දැක කුමක් නිසාදැයි ප්‍රජාපතී ගෝතමිය ගෙන් ඇසූහ.

ආනන්ද, ස්වාමීනි, අප මහා භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට තථාගත සසුනේ පැවිද්ද අනුමත නොකරතියි කීවාය. එවිට අනඳ තෙරුන් වහන්සේ ගෝතමිය මා එහෙනම් ආයාචනා කරනතුරු මෙතැන සිටින්නැයි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට පැවිද්ද අනුමත නොකරතියි දොරටුවෙන් පිටත මහා ප්‍රජාපති ගෝතමිය හඬ හඬා සිටින්නීයැයි සැළ කළේය.

භාග්‍යවතුන් වහන්සේ ,ආනන්ද ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද කාන්තාවන්ට බලාපොරොත්තුවන්ට එපා යැයි වදාළහ. මේ ඇසූ ආනන්ද තෙරණුවෝ මෙසේ පවසමින් කාන්තාවන්ට තථාගත සසුනෙහි පැවිදි වී සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ ලබා ගන්නට නුසුදුසු දැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ආනන්දය, සුදුසුයැයි වදාළහ. එසේනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ප්‍රජාපති ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර වූවාය. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මැණියෝ ය. හදා වඩා ගත්තා ය. පෝෂණය කළා ය. මෑණියන් කළුරිය කළ පසුව කිරිමව් වූවා ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට සසුනෙහි පැවිද්ද ලබා දෙනවානම් මැනවැයි සැලකර සිටියහ.

‘ආනන්දය එසේනම් ගෝතමිය මේ ගරු ධර්ම අට පිළිගන්නවා නම් එය පැවිදි උපසම්පදාවක් වෙනවා ඇත. එම ගරුධර්ම අට මෙසේ ය
1.උපසම්පදා වෙන් වස් සියයක් වු මෙහෙණිය විසින් එදාම උපසම්පදා වූ භික්ෂුව දැක වැඳ හුනස්නෙන් නැගී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතුය.

2.භික්ෂූන් නැති පෙදෙසක ආවාසයක මෙහෙණිය විසින් වස් නො විසිය යුතුය.
3.අඩමසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු අවවාද දීමට භික්ෂුවගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

4.වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

5.ගරු ඇවැතකට පත් භික්ෂුණිය උභතො සංඝයා විෂයෙහි නොඅඩුව අඩ මසක් වත් මානත පිරිය යුතු ය.

6.දෑ අවුරුද්දක් ශික්ෂ මාණාවකව සිට එයට පසුව උපසම්පදාව ලැබිය යුතු ය.

7.මොනම කාරණයකිනුත් භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8.භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු ය.

ආනන්ද තෙරුන් වහන්සේ මේ ගරු ධර්ම අට ප්‍රජාපතී ගෝතමියට පැහැදිලි කර දුන්නා ය. ඉන් පසු භික්ෂුණී ශාසනය පිහිටියේ ය. 

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි

No comments:

Post a Comment