මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක් නිරායාසයෙන්ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරා ස්වකීය ජන්මභූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණ ඇතිව මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒවා අතර ඤාතීන් ගේ මානය බිඳ හෙළීම,යමාමහ පෙළහර පැවැත්වීම යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමට අවශ්‍ය පියවර ගැනීම, කාන්තාවන් ප්‍රථම වතාවට බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.
මේ අනුව බුදුරදුන් ස්වකීය ඤාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුක්තව ඓතිහාසික ගමනක් ඇරඹු මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකිය. ඤාති වර්ගයාට පමණක් නොව රජගහනුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මග දෙපසට අයත් ගම්දනව්වල ජනතාවට ද ධර්ම දායාදය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය.
පෙර ඇසළ පොහෝ දිනෙක රාත්‍රි කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහරජු තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බුද්ධත්වයට පත් තම පුතු මේ වන විට කොහි වෙසෙන්නේ දැයි, රජු විපරම් කොට බැලීය. බුද්ධත්වයෙන් පසුවු බිම්බිසාර රජු විසින් පාලනය කරන ලද මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව පියරජු දැන ගත්තේය.
එබැවින් බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩමවන ලෙස ආරාධනා කරන මෙන් දන්වා රජුගේ ඇමතියෙකු ප්‍රමඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට පිටත්කොට යැවීය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදි පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක්ම දූත පිරිස් පිටත්කොට යැවු නමුත් ඉන් එකද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණියහ. පෙර සේම සිදු වූයේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම පමණෙකි. දස වැනි වාරයේදි සිදුහත් කුමරු උපන් දිනයේම උපත ලද කාලුදායි ඇමතිවරයා දහසක දූත කණ්ඩායමක්ද සමග රජගහනුවර වේළුවනාරාමයට පිටත්කර හැරීය. කාලුදායි ඇමැතිවරයා රජුගේ ඉල්ලීම බාරගත්තේ එක් කොන්දේසියකට යටත්වය. එනම් බුදුරදුන්ගෙන් ධර්මය අසා පැවිදිවීම සඳහාද රජුගෙන් අවසර ගැනීමය. මෙම අවසරය ලත් කාලුදායි ඇමතිවරයා සහ පිරිවරින් යුක්තව කිඹුල්වත්පුර නුවර සිට රජගහනුවර වේළුවනාරාමය දක්වා ගියේ ඉමහත් සොම්නසිනි. වේළුවනාරාමයේදි බුදුරදුන් හමු වූ කාලුදායි බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේය.
ඉක්බිතිව කාලුදායි තෙරුන්ගේ පැවිද්දෙන් දින හත අටක් ගත විය. ඒ සමගම කාලගුණය ද බෙහෙවින්ම යහපත් වූ වසන්ත සමය උදා විය.
සිය මව්බිමට වැඩම කරවීම සඳහා බුදුරදුන් වෙත ඇරයුම් කිරීමට මේ සුදුසුම කාලය බව කාලුදායි තෙරණුවෝ වටහා ගත්හ. එබැවින් බුදුරදුන් වෙත එළඹ සිත් ඇදගන්නා සෞන්දර්ය වර්ණනාවකින් යුක්තව රජගහනුවර සිට කිඹුල්වතට යන සැට යොදුන් ගමන්මග වර්ණනා කළහ.
එම මග වැණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරදුන් විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගහනුවර සිට කිඹුල්වත්පුරනුවර බලා ගමන් ආරම්භ කළහ.
දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන්ට වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙල කළ ශාක්‍යයෝ ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත්හ. සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාක්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ඉදිරියට ගියහ. සුද්ධෝදන මහරජු ඇතුලු ශාක්‍යයෝ පසුපසින්ම ගමන් කළහ. ඉක්බිතිව ඔවුහු බුදුරදුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදි බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජ කුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වු වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල වන බැවින් නොවැඳම පිරිස කෙළවරට වී සිටියහ.
ශාක්‍යයන්ගේ මානය පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පවත්වා ස්වකීය ශරීර ශක්තිය පෙන්වූහ. මිනිසෙකු ලෙස සිටින කෙනෙකුට කළ නොහැකි තරම් අපූර්ව විශ්මිත ක්‍රියා මාලාවක් මෙම ප්‍රාතිහාර්යය තුළින් සිදු කෙරෙයි. එය ජලය හා ගින්න ආධාරකොට පැවැත්වු ඇදහිය නොහැකි තරම් වන අතිවිශේෂ ප්‍රාතිහාර්යයකි. මෙම දර්ශනයෙන් ශාක්‍යයන්ගේ මානය දුරු විය. එහිදී ශාක්‍යයන් අතරින් ඉදිරියට පැමිණි සුද්ධෝදන මහරජු දොහොත් මුදුන් දි “පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම” යි කියා බුදුරදුන්ට නමස්කාර කළේය. එවිට එහි සිටි සියලුම ශාක්‍යයෝ බුදුරදුන්ට වැඳ නමස්කාර කළහ.
පසුදින දන් පිණිස ආරාධනයක් නොලද හෙයින් අනෙකුත් රහතන් වහන්සේලා ද සමග බුදුරදුන් ගෙපිළිවෙලින් කිඹුල්වත පිඬු සිඟා වැඩියහ. මේ බව යශෝධරා දේවිය මඟින් සුද්ධෝදන මහ රජුට සැලවීමත් සමඟම ඇතිවූයේ ඉමහත් කම්පනයකි. වහා සළුපිළි හැඳ පිඬු සිඟා වඩින බුදුරදුන් ඉදිරියට දිවගිය රජු අප රාජ වංශයට මෙසේ නින්දා කරන්නේ ඇයි”දැයි ඍජුවම ප්‍රශ්න කළේය. එහිදී “මහ රජ ඒ ඔබේ වංශයයි. එහෙත් මේ අපගේ බුද්ධ වංශයයි. බුද්ධ වංශයට අයත් සියලු බුදුවරයන් වහන්සේලා පිඬු සිඟා යැපුණහ. මමද එම චාරිත්‍රය අනුගමනය කරමි”යි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
එම පිළිතුරෙන් රජු වඩාත් විශ්මයට පත් විය. පසුව මහරජු බුදුරදුන් ප්‍රමුඛ මහසඟගණ රජ මාලිගාවට වැඩමවා ගෙන ගොස් දන් පිළිගැන්වීය. අවසානයේදි බුදුරදුන් දේශනා කළ ධර්මය අසා සුද්ධෝදන මහරජු හා මහාප්‍රජාපතී ගෝතමිය මාර්ගඵල ලැබූහ. අනුන් ගැන බලාපොරොත්තු නොවී තම අවශ්‍යතාව තමාම ඉටුකරගත යුතුය. යන ආදර්ශය බුදුරදුන්ගේ මෙම ක්‍රියාව තුළින් ලෝකයාට ශේෂ විය.
අනතුරුව පිය මහ රජු හා සැරියුත් මුගලන් යන තෙරුන් වහන්සේලාද කැටුව යශෝධරා දේවියගේ මාලිගයට වැඩම කළ බුදුරදුන් දුටු යශෝධරා දේවිය හඬමින් වැඳ වැටුණාය. ඇයට රිසි සේ හැඬීමට බුදුරජාණන් වහන්සේ ඉඩ සලසා දුන්හ. මෙහිදී සුද්ධෝදන මහරජු යශෝධරාව ගේ උදාර ගුණ වර්ණනා කරන්නට විය. පිය මහරජු යශෝධරාව ගැන කළ ගුණ වැණුම අසා සිටි බුදුරජාණන් වහන්සේ එය මුල්කොට “චන්දකින්නර ජාතකය” වදාළහ.
බුදුරදුන්ගේ කිඹුල්වත්පුර ගමනේදි සිදු වූ තවත් විශේෂ සිදුවීම් නම් රාහුල කුමරු හා නන්ද කුමරු ගේ පැවිද්දයි.
එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ පැවිදිවීමට අවසර ඉල්ලීමද තවත් ඓතිහාසික සිදුවීමකි. මුල දී කාන්තා පැවිද්ද අනුමත නොකළ බුදුරජාණන් වහන්සේ පසුව අෂ්ටගරු ධර්ම පැනවීමෙන් ඒ සඳහා අවසරය ලබා දුන්හ. මැදින් පොහෝ දිනෙක ඇරඹුණු බුදුරදුන්ගේ කිඹුල්වත්පුර චාරිකාව ශාසනික වශයෙන් සුවිශේෂි සිද්ධි මාලාවක මූලාරම්භය බව මේ අනුව පෙනී යයි. එබැවින් මැදින් පොහෝ දිනයේ වැදගත්කම මෙනෙහි කොට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් මෙදින අනුස්මරණය කිරීමට සැවොම අධිෂ්ඨාන කරගත යුතුය.
ඌරුගමුවේ අස්සජි හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් උපුටාගැනීමකි
No comments:
Post a Comment