(වප්පුරපසලොස්වක පොහොය) කඨින පූජෝත්සවය හා සබැඳි සමාජ යථාර්ථය


බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ.


අකාලික වූ දහමක් ලෙසින් විවරණය කෙරෙන බුදු දහම තුළ පුද්ගලයා හා සමාජය පිළිබඳ ගැටලුව හා එහි යථාර්ථවත් බව විමර්ශනය සිදු කරන අතර මානව සන්තාන ගත සිතුවිලි හා එහි සංයත බව ඇති කරනු වස් නිවැරදි පිළිවෙතක් වෙත පුද්ගලයා යොමු කරවනු ලබයි. පුද්ගල සමූහයකින් සමන්විත සමාජයක පුද්ගල චින්තනය ද විවිධය. ආගම හා බැඳෙන පුද්ගල බද්ධතාව ඒකීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ කිරීම හා යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. 

ආගම තුළින් පුද්ගල සංයත බව ඇති කරනු ලබන අතර පුද්ගල නිෂ්ඨාවක් වෙත යන ගමනට අර්ථාන්විත බවක් ලබාදෙයි. බුදු දහමේ මූලික පරමාර්ථය නිවන වුවද නිවන තෙක් යන ගමනේ දී කායික හා මානසික සුඛ විහරණය හා එහි යථාර්ථවත් බව බුදු දහම විසින් නිරතුරු සනිටුහන් කරනු ලැබේ. මේ නිසා පුද්ගල බද්ධතාව වඩා තහවුරු කරමින් සාමය සමඟිය හා පොදු බව මානව සිතුවිල්ලට හා ක්‍රියාකාරීත්වයකට එක්කොට ආත්මාර්ථිත බවින් පුද්ගලයා නිදහස් කොට පොදු පරමාර්ථයකට යොමුවීම ඔස්සේ මමත්වයෙන් තොර ජීවන ගමනකට යොමුවීමක් ද දක්නට ලැබේ. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සිත හා සිතිවිලිවලට මූලික තැනක් හිමි වුව ද සිත හා සිතිවිලි දමනයටත් ගතේ සිතේ සංවර බව ද අනෙක් පසින් උපනිශ්‍රය වන බව පැහැදිලිය. මේ නිසා මුල් බුදු සමයට වඩා පසු කාලයේදී ආගම පදනම් කරගත් උත්සව සම්ප්‍රදාය වඩාත් සංවර්ධනයක් වෙත ගමන් කිරීමේ එක් අරමුණක් වන්නේ සමාජය තුළ සදාචාරය මෙන්ම සංවරත්වය ඇති කිරීමය. ජනපි‍්‍රය ආගමක් බවට බුදුසමය පත්වීමට ජනවිඥානයට ගැළපෙන ආකාරයෙන් ධර්ම කරුණු සකස්වීමද එහි ප්‍රායෝගිකත්වයට ජනතාව නැඹුරු කිරීමක් ද විය. ගිහි පැවිදි දෙපාර්ශ්වයේ සංයත බව මතු කෙරෙන ආගමික පදනමක් ඇති උත්සවයක සමාරම්භය වස් සමාදානයෙන් ආරම්භ වේ.


ආගමික උත්සවයක සමාරම්භය
එදා දඹදිව බ්‍රාහ්මණ හා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් නියෝජනය කළ පිරිස් විසින් වැසි සමය එළඹෙත්ම එක්තැන්ව ගත කළ දිවිය ආදර්ශයට ගනිමින් හා මහජන මතයට ගරු කරමින් භික්ෂු දිවියට ද එම ගුණාංගය එකතු කරලීමට බුදුරදුන් ගත් තීරණයක් ලෙසින් වස් සමාදානය අර්ථ ගැන්විය හැකිය. “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යන බුදුවදන ප්‍රඥප්තියක් හැටියට ගරු කළ උපසපන් ලාභී භික්ෂුව වැසි සමය උදාවත්ම විසීමට සුදුසු තැනක් සොයා යන අතර දායකකාරකාදින්ගේ සිවුපසය ලබමින් සිය ආධ්‍යාත්මීය පාරිශුද්ධියට මෙන්ම සිය දායකකාරකාදීන්ගේ විමුක්ති මඟ සවිමත් කරලීමට සිය උපදේශනය ලබාදීමට ද කටයුතු කරනු ලබයි. තුන් සිවුරට අමතරව තවත් සිවුරක් තබා ගැනීමට අවසරය දීමක් ලෙසත් වස් විසූ භික්ෂුවට කඨිනයක් ලබා ගැනීම සුදුසු බව බුදුහු අනුදැන වදාළ අතර එම චීවර පූජාව අට මහා කුසලයට ගැනෙණ පින්කම ලෙසින් ද සමාජ ගතවීම හරහා කඨිනයත් කඨින පූජාවත් බෞද්ධ ලෝකයේ මහාපූජෝත්සව ගණයට එකතු වේ. බුද්ධ කාලයෙන් පසු අවධිය ගම්, නියම්ගම් හා ජනපද ඇසුරින් රාජරාජ මහාමාත්‍යයවරුන්ගේ අනුග්‍රහ ලැබූ බෞද්ධ පින්කම් අතර කඨිනය මුල් කරගත් පින්කම වාර්ෂික බෞද්ධ පින්කම අතර ප්‍රධාන පින්කම බවට පත්ව තිබේ. 


ප්‍රධාන කුසලය
වස් සමය ලෙසින් සැලකෙන තුන්මාසයක් මුළුල්ලේ භික්ෂුවට සිව්පසයෙන් උපස්ථානය කළ දායක කාරකාදීනට උන්වහන්සේ මුල් කරගනිමින් අටමහා කුසල් අතර ප්‍රධාන කුසලය ලෙසින් සැලකෙන කඨින පූජාවක් සිදු කිරීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙසින් සැලකිය. එය නිවනින් කෙළවර වෙන නිවන තෙක් නොනැසෙන පින්කමක් ලෙස ජන හදවත්වලට එකතුවීම නිසා උපහාරයන් දක්වමින් ගෞරවාන්විතව පූජා කරනු ලබන චීවරයක් බවට කඨින චීවරය පත් කරලනු ලබයි. එය හුදෙක් පින්කමෙන් ඔබ්බට ගිය බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ. ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කරලනු ලබන කාලයක් ලෙසට වස් කාලය සැලකෙන අතර කඨින චීවරය විසින් එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කරලනු ලබයි. බොදුනුවන් තුළ වන කඨින චීවරයට ඇති ලැදිකම, භික්ෂුව කඨින චීවරය දැරීම, ඊට කරනු ලබන සිරිත් විරිත් ආදිය භික්ෂුවට සිය දායක පිරිස ළඟාකරවීමක් විය. එමෙන්ම චීවරය සකස් කර ගැනීම හරහා සෑම දෙනාගේ දායකත්වය ආධාරය උපකාරය උස් පහත් භේදයකින් තොරව ලබාදීම ඔස්සේ එම චීවරය දරන භික්ෂුවට ගිහි පාර්ශ්වය සමීප කරනු ලැබීය. මෙම ද්වන්දාත්මක බන්ධනය දෙපාර්ශවයේම ශික්ෂණයට එක් අතකින් හේතු වූවා පමණක් නොව, අනික් අතින් දෙපාර්ශ්වයේම විමුක්ති මඟ සැකසීමක් ද වේ. සාමයට හා සමානාත්මතාවයට එමඟින් ලැබුණු අවකාශ පුළුල් විය. ගමත් එය පිහිටි ප්‍රදේශයත් එකට එක් කළ ප්‍රධාන පින්කම හැටියට කඨින පූජාව වර්තමානය වන විට පන්සල කේන්ද්‍රිතව වර්ධනය වී තිබේ. ගමේ ජීවත් වන ලොකු කුඩා සැවොම එක්ව බෙරහඬ මැද සාදු නාද දෙමින් පෙරහරකින් දායක නිවසක සිට අලුයම කාලයේ හිස මත තබා වැඩමවන කඨිනය ගම්මුන් දරන්නේ ගමට කරනු ලබන ආශිර්වාදයක් ලෙසටය. ගම පුරා හිස මත තබා වැඩමවන චීවරය අර්ථවත් කරන ලද්දේ ආගම හා ජනයා අතර පවතින අවියෝජනීය සබඳතාවයයි. සැවොම එකට එක්ව සාදු නාද දෙන්නේ හද පිරි සතුටිනි. පෙරහරින් විහාරස්ථානය කරා ගෙන එනු ලබන චීවරයක් සැකසීමට සුදුසු රෙදි කඩ (දුස්සය) සෑම දෙනාම මහත් බැතියෙන් සාදු නාද මධ්‍යයේ භික්ෂූන් වහන්සේට පූජා කරනු ලබන්නේ මහත් ශ්‍රද්ධාවෙනි. සෑම දෙනාම සම මෙත් සිතින් එකම තලයක වාඩි වී අපිරිමිත බැති සිතින් භික්ෂුව වෙත පුදන චීවරය සැකසීමට සුදුසු රෙදි කඩින් සකසන චීවරය සිය දෙඅතින් තබාගෙන උපාසක ලීලාවෙන් සඟ සතු කරනු ලබන්නේ වාද භේදාදියෙන් තොර සමානාත්මතාවය මූර්තිමත් කරමිනි. මේ නිසා කඨින චීවර පූජාව මතු පිටින් දැක්වෙන තත්ත්වයට වඩා සමගිය, සමාදානය, සහෝදරත්වය, මිත්‍රත්වය තහවුරු කෙරෙන මානව දයාව වැනි සදාචාරයට පසුබිම සකසන බෞද්ධ පුද පූජාවන් අතර සමාජය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන පින්කමක් ලෙසින් ද තවත් පසෙකින් අර්ථ විවරණය කළ හැකිය. 

බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදාය තුළ වැස්ස කේන්ද්‍රකොට එක්තැන්ව විසීමේ පිළිවෙත අරුත් ගන්වමින් නව දැක්මක් මත ඇති කෙරෙන වස්වැසීමේ සම්ප්‍රදායත් වස් අවසානයේදී වස් සමාදන් වූ භික්ෂූන් කේන්ද්‍රකොට කරනු ලබන කඨින පූජාව සම්බන්ධිත න්‍යායාත්මක පදනම බුද්ධ දේශනයෙන් ඉදිරිපත් කළ ආකාරය මහාවග්ග පාලියේ වස්සුපනානායිකඛන්ධකයෙන් අනාවරණය වේ. වස් සමාදානයේ සිට කඨින චීවර පූජාව දක්වා වූ න්‍යායාත්මක පදනම හා චාරිත්‍ර හා වාරිත්‍රයන් මෙමඟින් අවධාරණය කෙරේ.
ඒ අනුව බොදුනුවන්ගේ සංසාරික අභිමථාර්ථයන් ඉටු කෙරෙන මහා පිනක් මෙමඟින් අත්පත් කරගන්නවා පමණක් නොව, අනෙක් අතට අව්‍යාජත්වය, සදාචාරය ශක්තිමත් කෙරෙන බැම්මක් ලෙසටත් අභ්‍යාසයක් ලෙසටත් වාර්ෂිකව සිදු කරන කඨින පූජාව හඳුන්වාදිය හැකිවන අතර බෞද්ධ ජනයාගේ එකමුතුකමේ සංකේතාත්මක බව පෙන්වාදිය හැකි අවස්ථාවක් ලෙසටත් බෞද්ධ සමාජයේ යථාර්ථයන් මතුකිරීමක් ද කඨින පූජාව තුළින් ඉටු කෙරෙන බව සඳහන් කිරීම නිවැරදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හගුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ අන්තර් ජාල කලාපය


No comments:

Post a Comment