මැදින් පුරපසලොස්වක පොහොය



මැදින්පුර පසළොස්‌වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. බුදුරජාණන් වහන්සේ පියරජු ඇතුළු තම නෑයන්ට දහම් දේශනාකොට සදහම් මගට යොමු කළේ මැදින් පුර පෝදාය.

සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්‌ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස්‌ යෑවීය. ඒ සියලු දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවීය. අනතුරුව කාළුදායි ඇමැතිවරයා දුත පිරිසක්‌ සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යෑවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස්‌ පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාඛ්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසක්‌ රහතන් වහන්සේලා සමඟ කිඹුල්වත්පුරට වැඩම කළහ.

බුදුපාමොක්‌ මහ සඟන පිළිගැනීමට එදින ශාක්‍යයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. එහෙත් මල් ආදිය බුදුරදුන්ට පුදා නමස්‌කාර කළේ කුඩා දරු දැරියන් පමණි. ඊට හේතුව ශාක්‍යයන් තුළ පැවැති අධික මානය හා අහංකාර බවයි. එය දිවැසින් දුටු බුදුරදුන් යමාමහ ප්‍රාතිහාර්ය පෑවේය. එය දැක විශ්මයට පත්වූ ශාක්‍යවංශික ඥාතීහු බුදුරදුන්ගේ විශිෂ්ට හැකියා දැක බුදුරදුන් ඇතුළු මහා සඟනට නමස්‌කාර කළහ. පියරජු ද එහිදී වන්දනා කළේය. බුදුරදුන් එම අවස්‌ථාවේ වෙස්‌සන්තර ජාතකය මුල්කරගෙන ධර්මය දේශනා කළහ. ඒ ඇසූ පියරජු ඇතුළු ඥාතීහු ධර්මාවබෝධය ලබා ගත්හ. ශාක්‍යවංශිකයෝ එදින බුදුරදුන් ඇතුළු භික්‌ෂු සංඝයාට වැඩසිටීමට නිග්‍රෝධාරාමය නමින් ආරාමයක්‌ තනවා පූජා කළහ.

පසුදා බුදුපාමොක්‌ මහ සඟන කිඹුල්වත් නුවර පිඬුසිඟා වැඩියෝය. ඒ දුටු පියරජු බුදුරජුන් වෙත පැමිණ පිඬුසිඟා වැඩම කිරීම අපේ වංශයට නිඟාවක්‌ බව කීය. එහිදී බුදුරදුන් පියරජු අමතා තමන් දැන් බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ වංශයේ බවත් බුද්ධ වංශයේa සියලු බුදුවරු පිඬුසිඟා වඩින බවත් දේශනා කළ සේක. එහිදී රජු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට පසුදා දහවල් දානයට තම රාජ මාළිගයට වැඩමකරවන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් බුදුරදුන් පසුදා දහවල් දානයට වැඩම කොට දානය වළ¹ අවසානයේ ධර්මය දේශනා කළ සේක. එම ධර්මය අසා පියරජු ඇතුළු ඥාති පිරිස දහම් අවබෝධය තුළින් මාර්ගඵල ලබාගත්හ. එහිදී සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියද සෝවාන් මාර්ගඵලයට පත්විය යශෝධරා දේවියගේ සිරියහන් ගැබට ද වැඩි බුදුරදුන් ඇයගේ ගුණ වර්ණා කරමින් සඳකිඳුරු ජාතක කථාව දේශනා කළ සේක.

බුදුරදුන් මැදින් පුර පොහෝදා සිදු කළ කිඹුල්වත්පුර ගමනේදී විශාල පිරිසක්‌ දහම් අවබෝධ ලබාගත් අතර තවත් පිරිසක්‌ පැවිදි බිමටත් පත්වූහ. නන්ද, රාහුල, ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.

No comments:

Post a Comment