Poson Poya Day Animation

සිරි මිහිඳු රන් හිරු මඬල පායා ලක් දෙරණ දම් දිවයිනක් වූ දා



අද දවස අනුබුදු මිහිඳු බුදු පුතුන් සිහියට නැගෙන මිස්සක පව්ව පිරිමදිමින් හමන පවනින් සිත් සැනසෙන පොසොන් අමා සංදේශය රැගෙන පුන්සඳ උදාවන පින්බර දවසයි.

අපි අද දෙවනපෑතිස් නිරිඳුන් ඇතුළු ලක්වැසියන්ට අභිමානනීය නවෝදයේ මාවත එකලු කළ, සිරි මිහිඳු රන් හිරුමඬල පායා මෙපින් බිම දිදුලන දහම් විමානයක් බවට පත්කළ පූජනීය ඉතිහාසය පහන් සිතින් සිහිකොට ගුණ නැණ බෙලෙන් ප්‍රබුද්ධ වෙමු.

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මතු පස්වා දහස් කාලයක් සම්බුදු සසුන සුරැකෙන ලොව ඇති එකම තැන මේ කුඩා දිවයින බවත්, දහම් සෝ රජිඳු, සිරි මිහිඳු සමිඳු සහ දෙවනපෑතිස් නිරිඳු එහිලා පුරෝගාමීන් වන බවත් දුටු සේක. ඒ උදෙසා පඤ්චමහා අධිෂ්ඨානයන් හා කුඩා අධිෂ්ඨාන බොහොමයක් පිහිටුවා පිරිනිවන් වඩින මොහොතේ සක්දෙවිඳු අමතා මිහිඳු හිමියන් ලක්දිව වඩින ගමනේ දී එහිලා සහාය වන්න යැයි ද වදාළහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් ගත වූ පසු දඹදිව රජ පැමිණි ධර්මාශෝක රජතුමා මුළු භාරතයම එක්සේසත් කළේ ය. මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ ඇසුර ලබා සම්බුදු සසුනෙහි සිත පහදවා වෙහෙර විහාර අසූහාරදහසක් කර නිති සිව්පසයෙන් මහසඟන පුදා ශ්‍රමණවේශධාරීන් සැටදහසක් නෙරපා ශාසනය ශෝධනය කළේ ය. තුන්වැනි ධර්ම සංගායනාව කරවා සාමන්ත රාජ්‍යයන් ගණනාවකට ධර්මදූත භික්ෂූන් යොමු කරවීය. ශාසනයේ උරුමය ලබනු රිසිව තම පුත් මිහිඳු කුමරුන් හා දියණිය සංඝමිත්තාවන් සසුන්ගත කරවූ දම්සෝ නිරිඳු අපමණ ලෝක ශාසනික මෙහෙවරක් සිදුකොට පසුකලෙක ලක්දිව උපත ලබා පැවිදිව නිවන් දුටුවේ ය.

උපතින් විසි හැවිරිදි වියේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි උපසම්පදාව ලැබූ සිරි මිහිඳු හිමියෝ උපසම්පදා මාලකයේ දී ම සිව්පිළිසිඹියා ලාභීව රහත් වූහ. ඉන්පසු පුරා වර්ෂ තුනක් මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ සමීපයේ අර්ථකතා සහිත ත්‍රිපිටකය ඉගෙන වාචෝත්ගත කළහ. ඉන්පසු වර්ෂ නවයකට ආසන්න කාලයක් භාරතීය භික්ෂූන්ට ධර්ම විනය උගන්වා වදාළහ.

මහා සංඝරත්නය විසින් උපතින් තිස්දෙහැවිරිදි වියේ පසුවන මිහිඳු මහරහතන් වහන්සේ අමතා “තම්බපණ්ණී දිවයිනට ගොස් ශාසනය පිහිටුවන්න” යැයි ආරාධනා කරන ලදුව ඒ සඳහා මේ කාලය දැයි දිවැසින් බැලූහ. ඒ වන විට තම්බපණ්ණියේ රජ කළ මුටසීව රජතුමා මහලු බවත් මාස කිහිපයක් ඇවෑමෙන් ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරු රජවන බවත් දුටු සේක.

පුරා මාස හයක් තම ඥාතීන්ට අනුග්‍රහ කළ මිහිඳු හිමි තම මව්තුමිය බැලීම සඳහා උජ්ජේනිපුර වේදිස නගරයට වැඩි සේක. වේදිසගිරි මහා විහාරයෙහි මාසයක කාලයක් වැඩ හිඳිමින් මව් දේවියට අනුග්‍රහය කළහ. එකල්හි එහි පැමිණි සක්දෙව් රජතුමා මිහිඳු හිමියන්ගේ පා පියුම් වැඳ

“ස්වාමීනී ලක්දිව රජ කරන දෙවනපෑතිස් නිරිඳු නුඹ වහන්සේගේ පියමහා රජතුමා විසින් යවන ලද මංගල පෙළහර ලැබ දෙවන වතාවටත් රාජාභිෂේකව තුණුරුවන් ගැන අසා සතුටු විය. බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ දී ම

“මාගේ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි මිහිඳු නම් මහතෙර නමක් ලක්දිව මිනිසුන් පහදවා සසුන් පිහිටුවති” යනුවෙන් නුඹ වහන්සේට ම විවරණ දී වදාළහ. එබැවින් නෙපමාව ම ලක්දිව වඩිනු මැනවි. මම සහාය වෙමි” යි කියා ආරාධනා කළහ.

ඒ ආරාධනාව පිළිගත් සිරි මිහිඳු හිමියෝ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහා තෙරුන් වහන්සේ සතර නම ද සංඝමිත්තාවගේ පුත් සුමණ සාමණේරයන් ද භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමා ද කැඳවා වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැඟුණහ.

දෙව් බඹුන්ගේ පුද පෙළහර මැද ස්වර්ණ හංස සමූහයක් සේ ආකාසයෙන් ගමන් කොට අනුරාධපුර නගරයට නැඟෙනහිර මිස්සක පර්වතයෙහි පිළය නම් ගල්කුල මස්තකයට බැස මී අඹ ගසක් මුල අඹතලා නම් සෙල් අත්ල මත පිළිවෙළින් වැඩ හුන් සේක.

එදා සතළිස් දහසක් සේනාව පිරිවරා මිහින්තලාවේ මුව දඩයමට ගිය දෙවනපෑතිස් රජුට මිහිඳු තෙරුන් දැක්වීම පිණිස එක් දේවතාවෙක් රෝහිත නම් මුව වෙසක් මවා ගෙන තණ කන්නා වූ මුවෙකු මෙන් රජුට නුදුරින් පෙනි පෙනී දිව යමින් පර්වතාභිමුකව ගොස් අඹතලාවට වැද අතුරුදන් විය. පිටුපසින් හඹා ගිය රජු පිරිසගෙන් වෙන්ව හුදකලා වී මිහිඳු මහරහතන් වහන්සේගේ අභිමුඛයට ඇවිද ගියේය. බොහෝ දෙනා දුටු කල රජු බිය වේ යැයි සිතූ තෙරුන් වහන්සේ “මේ රජ මා පමණක් ම දකීවා. සෙස්සන් නොදකීවා” යි අදිටන් කළහ. ඉන්පසු කරුණා පුරස්සර මිහිරි හඬින් “තිස්ස මා වෙත පැමිණෙන්න” යනුවෙන් නමින් ම ආමන්ත්‍රණය කළහ.

මේ හෙළදිව මාගේ නමින් ඇමතීමට සමත් කසාවත් දරන්නා වූ මොහු මිනිසෙක් ද නොහොත් දෙවියෙක් දැයි සිතූ රජු ඇමතූ මිහිඳු සමිඳු “මහරජ අපි ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. නුඹට ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.” යි වදාළහ.

එබස් ඇසූ රජතුමාට තම නොදුටු මිතුරු ධර්මාශෝකයන් “මම තෙරුවන් සරණ ගියෙමි. ඔබත් සිත පහදවා තෙරුවන් සරණ යන්න” කියා ලියා එවූ සංදේශය සිහිවී ආර්යයන් වහන්සේලා වැඩියාහු යැයි දුනු දිය අතහැර වැඳ නමස්කාර කොට එකත්පසෙක හිඳ පිළිසඳරෙහි යෙදුනහ. එකෙනෙහි සතළිස් දහසක් පුරුෂයන් රජු පිරිවරා ගත්හ. ඒ මොහොතේ තෙරුන් වහන්සේ තමා හා පැමිණි සෙසු පිරිස ද රජු ඇතුළු පිරිසට දැක්වූහ.

මිහිඳු හිමියෝ රජුගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඔහු ලබා දුන් පිළිතුරු අනුව බුද්ධිපාටවය පිළිබඳ සෑහීමකට පත්ව රජු ඇතළු පිරිසට චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් බණ වදාරා සියලු දෙනා සරණශීලයෙහි පිහිටවූහ. අනතුරුව

“ස්වාමීනී රජගෙට වැඩිය මැනවැ” යි ආරාධනා කළ රජතුමා අනුරාධ නගරයට ගොස් සියල්ල සංවිධානය කරවීය.

භණ්ඩුකයන් ද මිස්සකපව් අඹතලාවේ දී එදිනම පැවිදි උපසම්පදාව ලබා රහත් විය. එදා රාත්‍රියේ දී මිහිඳු හිමි වදාළ සමචිත්ත පර්යාය සූත්‍රය අසා අසංඛ්‍යෙයක් දෙවියෝ නිවන් දුටහ. පසුදා දෙව්පුරයක් සේ සරසන ලද නුවර බලා අහසින් වැඩි රහතන් වහන්සේලා ගෞරවයෙන් පිළිගත් රජතුමා ආහාර පානයෙන් සංග්‍රහ කළහ. අනතුරුව රජමැදුරේ දී වදාළ දහම් අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් දෙනා සෝවාන් වූහ. මහින්දාගමනයේ ආරංචිය ලක්දිව පුරා අකුණු එළියක් සේ පැතිර ගියේ ය. ඇසූ ඇසුවෝ මිහිඳු හිමි බලන්නට එක්රොක් වූහ. පැමිණි සියල්ලන්ට ම දහම් දෙසූ තෙරණුවෝ ඔවුනට තිසරණය ද මගඵල නිවන ද ලබා දී සුවපත් කළහ. දේවානම්පියතිස්ස රජු ඇතුළු ලක්වාසීන්ගේ කාය වාග් මනෝ සමාචාරයන් තථාගත ධර්මයට අනුකූලවීමට වැඩි කාලයක් ගත නොවීය. මුලු ලක්දෙරණ ම බුදුසව්වන්ගෙන් පිරී යද්දී අරිට්ඨ ඇමතිතුමා ඇතුළු පිරිස පැවිදිව රහත් විය. අපමණ සතුටට පත් දෙවනපෑතිස් නිරිඳු ලංකා භූමියම සම්බුදු සසුනට පූජා කළහ. සිරි මිහිඳු බුදුපුතුන්ගේ මඟ පෙන්වීමෙන් පඨමක චේතිය හෙවත් ථූපාරාමය ඉදි වී බුදුහිමි වෙනුවට පූජා ලබන චේතිය පහළ විය. සංඝමිත්තාගමනය සමඟ මහාබෝධීන් වහන්සේ ද මෙරටට වැඩම කළහ. අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි ව භික්ෂුණී ශ්‍රාවිකාවන් ද පහළ විය. සිව්වණක් පිරිස සහිත ලක්බුදු සසුන පස්වා දහස් කාලයක් ආයු සිරි ලැබූ සේක.

මිහිඳු හිමියෝ අවුරුදු සතළිසකට ආසන්න කාලයක් මෙරට වැඩහිඳිමින් තථාගත ධර්මයේ ශක්තියෙන් ඔපවත් වූ සිහලයන්ගේ සදාචාරය, සාඩම්බරය, අභිමානය හා සංස්කෘතියෙන් සුරක්ෂිත අනාගතය සමඟින් මෙලොව පරලොව උභයාර්ථයත්, උත්තම නිර්වාණාර්ථයත් සාධනය කොට දී මෙහි ම පිරිනිවන් වැඩියහ. මේ හෙළබිම උපන් අපට සිරි මිහිඳු මුනිවරයන් දැක් වූ සෙනෙහස දෙවැනි වන්නේ බුදුකරුණාවට ම පමණි. එබැවින් ඔබ වහන්සේ අපට අනුබුදුහුම ය. ඔබ වහන්සේ අපට පෑ සෙනෙහසින් දිරි ලැබුවෙමු. අභිමන් ලැබුවෙමු. උතුම් ප්‍රවේණියක්, ඓතිහාසික උරුමයක්, අවිවරණීය රමණීයත්වයක් ලැබුවෙමු. ඔබ වහන්සේට මුළු මානව වංශය ම සදාකාලයට ණයගැති වනු ඇත.


රාජකීය පණ්ඩිත
ආචාර්ය
බලංගොඩ රාධ හිමි

සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය හා සබැඳෙන බක් පුරපසළොස්වක පෝ දා

 


බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.

සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.

මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්‍රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්‍යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්‍රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්‍රවල කියැවේ.

මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.

ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්‍ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.

පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්‍රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.

බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්‍යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.

දම් අසා ප්‍රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.

අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.

සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්‍යය බඳවා තිබේ.

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්‍රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්‍රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.

අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.

මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.

රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි