සදහම් අමා ගඟ ගලාගිය ඇසළ පුන් පොහොය


අසිරිමත් බුදු සිරිතේ සහ ශාසනික ඉතිහාසයේ සිද්ධීන් රැසක් දැක්වෙන දිනයකි ඇසළ පොහොය.

අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු මෙලොවට බිහිවීම, බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ මුල්වරට වස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කිරීම, උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුල යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්ම දේශනාව පැවැත්වීම ඇරැඹීම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස වස් සමාදන් වීම සහ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වැදගත් වන්නා වූ සිදුවීම් රැසක්ද ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. ඒ අතර මහා විහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමා සම්මතය, අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදිව උපසම්පදා ලැබීම , මහරහතන් වහන්සේලා හැට දෙනමක් මුල්වරට ලංකාවේ වස් වැසීම, දුටුගැමුණු මහරජ රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එම සෑයෙහි ධාතු නිධානය කිරීම, දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනු ලබන ඇසළ පෙරහර පැවැත්වීම වැනි සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සමඟ බැඳී ඇති ආකාරය සඳහන් කළ හැකිය.

බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ තුසිත ලොව සන්තුසිත නම් දිව්‍ය රාජ්‍යයෙහි උපන් කල්හි විවිධ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආරාධිත පිළිගෙන මිනිස් ලොව ඉපදීමට පස්මහ බැලුම් බලා අවසානයේ දී සුද්ධෝදන මහ රජුගේ අගමෙහෙසිය වූ මහමායා දේවිය කුස පිළිසිඳ ගත් සේක. ඒ උතුම් ඇසළ පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව සිප් සතර හදාරා නිසි කලට විවාහ ප්‍රාප්තව යශෝධරාව නිසා උපන් රාහුල කුමරු තම පැවිද්දට බාධාවක් යැයි සිතා සතර පෙර නිමිති දැක ගිහිගේ පිළිබඳ කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක ය. එදින උන්වහන්සේ තවුස් පිරිකර හැඳ පොරවා පෙර බුදුවරුන් සිහිකොට ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී තවුස් පැවිද්දෙන් පැවිදි බවට පත්වූ සේක.

මෙසේ තාපස වේශයෙන් උපතත් මරණයත් දුරු කරන මාර්ගය සොයා යමින් උන්වහන්සේ අවසානයේ දී බුද්ධගයාවේ දී සම්මා සම්බුද්ධත්වයට පත් ව මුල් දම් දෙසුම පැවැත්විය යුත්තේ කාටදැයි කල්පනා කරන සේක. පස්වග තවුසන්ගේ හේතු සම්පත්තිය දැක බුද්ධත්වයෙන් පසු එළඹි ඇසළ මස පුන් පොහෝ දින සවස ඉසිපතනයට වැඩම කළ සේක. තමන් සත්‍යය අවබෝධ කළ බව කීප විටක්ම පැවසුවත් බුදුරදුන් විශ්වාස කිරීමට තරම් පස්වග මහණුන් බුද්ධිමත් නොවූ හෙයින් උන්වහන්සේ අවසානයේ දී මෙසේ වදාළ සේක.

“මා උරුවෙල් දනව්වේ දුෂ්කරක්‍රියා කරන කාලයේ නුඹලා රැවටීම පිණිස මට මෙසේ එළියක් පෙනේ. මෙබඳු අරමුණ ඇතිවිය’ යනුවෙන් ප්‍රකාශ කළා ද?”
නැත, ස්වාමීනි,

“මා දැන් බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන්නේ ඒ සත්‍යය අවබෝධ කළ නිසාමයි”
ඉන් අනතුරුව පස්වග මහණුන් වහන්සේලා බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වූහ. ඔවුහු ඉතා ගෞරවයෙන් යුතුව බුදුරදුන්ගේ මංගල ධර්මදේශනාව ශ්‍රවණය කළහ. එදින ඒ ධර්ම දේශනාව අවසන් වනවාත් සමඟම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට දහම් ඇස පහළ විය. උන්වහන්සේ උතුම් වූ සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. ඒ ඇසළ පුන් පොහෝදින බුදුබණ අසා ලොව මුල්ම සෝවාන් මගඵලලාභී උතුමාණෝ පහළ වූහ. බුදුරජාණන් වහන්සේ,

“අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ
අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ ! 
යනුවෙන්
පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළ සේක. එදිනම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සය නමක් ලොව මුල්වරට වස් සමාදන් වූහ.

පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ හෙයින් එලෙස රහත් ගුණ ප්‍රකට කිරීම නුසුදුසු යැයි වදාළ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට අකැපයැයි වදාරා තහනම් කළ සේක. ඒ ගැන බිම්බිසාර රජු බුදුරදුන්ගෙන් විමසූ විට එතැන් පටන් සාර මසකින් එළඹෙන ඇසළ පුන් පොහෝදින ගණ්ඩම්බ නම් අඹ ගසක් මුල උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යයක් පාන බව දෙසූ සේක. ඉන් අනතුරුව එළඹි ඇසළ පුන් පොහෝදින උන්වහන්සේ සැවැත්නුවර රාජ්‍ය කළ උයන්පල්ලා දුන් අඹ ගෙඩියක් වළඳා එම ඇටයට පැන් වත්කොට අත සෝදා එකෙනෙහිම හට ගත් අඹ ගස යට යමක මහා ප්‍රාතිහාර්යය ඇතුළු මහා ප්‍රාතිහාර්යයක් ප්‍රදර්ශනය කළ සේක. එලෙස ප්‍රාතිහාර්යය පාමින් ධර්මදේශනා කළ බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේදීම අහසට පැන නැඟී දහස් ගණන් සෙනග බලා සිටියදීම තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ සේක. ඒ උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට අභිධර්ම දේශනාව කිරීම පිණිස ය.

තවද ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදි කරවා මහමෙව්නා උයනේදී උපසම්පදාකොට මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නුදුරින් පිහිටුවන ලද අටසැට ලෙන්වල වස්වසන්නට යෙදුණේද ඇසළ පුන් පොහෝ දිනක ය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට කටයුතු යොදා ඒ පිළිබඳ මංගල ශිලාස්තම්භය පිහිටවූයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය. රුවන්වැලි මහා සෑය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බවට පත් වූයේ ඒ තුළ අතිවිශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින බැවිනි. එහි ද්‍රෝණයක් පමණ වූ ධාතූන් වහන්සේලා නිදන් කිරීමේ මහා ධාතු නිදානෝත්සවය පැවැත්වුණේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ. ලක් සසුන පිරිහීමෙන් පසු ලංකාවේ සාමණේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කොට අදාළ ශාසනික වත් පිළිවෙත් උගන්වා වදාළ සියම් රටේ උපාලි මහතෙරුන් වහන්සේ විසින් අසරණ සරණ සරණංකර සඟරජමාහිමියන් ඇතුළු මල්වතු අස්ගිරි මහා සඟරුවන උපසම්පදා කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ.

මේ උතුම් ඇසළ පොහෝදා බුදු ගුණ සිහිකොට උතුම් වූ නිවන් මග පසක් කර ගැනීමට අපි අදිටන් කර ගනිමු.

කැලණිය විශ්වවිද්‍යාලයේ , 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති, 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

Poson poya පොසොන් පොහොය

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව

මිහිඳු මහරහතන් වහන්සේ

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා රටවල් නවයකට භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ධර්මදූත පිරිස් පිටත්කොට යැවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අය අතුරෙන් ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර මිහිඳු මාහිමියන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිස රජ පවුලට අයත් අයගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි.

මිහිඳු මාහිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා කුමරියගේ පුතණුවන් වූ සුමන සාමණේරයන් වහන්සේ ද මිහිඳු මාහිමියන්ගේ මවගේ සහෝදරියගේ දියණි කෙනෙකුන්ගේ පුත්‍රයා වූ භණ්ඩුක උපාසක තුමා ද එම දූත පිරිසට අයත් වීම මේ රටේ දී උසස් පිළිගැනීමක් ඇතිවීම කෙරෙහි බලපෑවාට සැක නැත.

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවා වැඩි කලක් ගතවීමට පෙර මේ රටේ බුද්ධ ධර්මය පමණක් නොව දේශපාලන, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයක ම ගුණාත්මක විප්ලවයක් ඇති විය. මහා වංශයෙහි විසිවන පරිච්ඡේදය කියවන විට පෙනී යන්නේ මහින්දාගමනයෙන් එක් වර්ෂයක් ගතවන විට සෑම අංශයක ම විශ්මිත දියුණුවක් ඇති වූ බවයි. ධර්මදූත පිරිස පැමිණීමත් සමග ඉමහත් දියුණුවක් ඇතිවීමට ප්‍රධාන ම හේතුව වූයේ මිහිඳු මාහිමියන් තුළ පැවති කැපී පෙනෙන සුවිශේෂ දක්ෂතාවන් ය. ලංකාවට වැඩම වූ පළමු වන දින මිහින්තලයේ දී පිරිස සහිත රජතුමා මුණ ගැසුණු අවස්ථාවෙහි එක් වරම ධර්ම දේශනා කිරීමට පෙර අඹ ගසක් මුල්කොට රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කිරීමට මිහිඳු මාහිමියන් ක්‍රියා කළ ආකාරය වැදගත් ය. 

රජතුමාගේ ආරාධනයෙන් පසුදින අනුරාධපුර නගරයට වැඩම වූ දූත පිරිස රජතුමාගේ මහමෙවුනා උයනෙහි පිහිටි මාළිගාවේ වැඩසිටියහ. පසුදින රජතුමා මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව මිහිඳු මාහිමියන් එහි තැන් තැන්වලට වැඩමවමින් අනාගතයේ ථූපාරාමය, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන පිහිටුවීම පිළිබඳ සළකුණු කරවන ලද්දේ ඉතා දක්ෂ ඉංජිනේරුවෙකුගේ ස්වභාවයෙනි. අනුරාධපුර අගනුවර රජමැදුරට නුදුරින් පිහිටා තිබූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීම ශාසනයේ හා රටේ අභිවෘද්ධිය සඳහා විශාල වශයෙන් හේතු විය. දීර්ඝ කාලයක් මහා විහාරය නමින් සංඝ රත්නයේ ප්‍රධාන ආරාමය බවට පත් වූයේ මේ ස්ථානය යි. මිහිඳු මාහිමියන් වැඩම වීමෙන් වර්ෂයක් ගත වන විට මේ රටේ ඉතා වේගයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට පහසු වූයේ කරුණු කිහිපයක් නිසා ය. එයින් ප්‍රධාන වන්නේ මේ රටේ ජීවත් වූ බොහෝ අය ඒ වන විට බුදු දහම පිළිබඳව දැන සිටීම යි. බුදු බවට පත්ව සත් සති ගෙවා අවසාන වූ දිනයෙහි ප්‍රථමයෙන් ම බුදුරදුන්ට උදෑසන දානය පිළිගන්වන ලද්දේ තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. පැහැදීමට පත් ඒ දෙදෙනා කළ ඉල්ලීමට අනුව බුදුරදුන් විසින් වැඳුම් පිදුම් කිරීම සඳහා තම හිස පිරිමැද කේස ධාතු දෙන ලද බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.

තපස්සු - භල්ලුක වෙළෙඳ නායකයන් දෙදෙන ලංකාවට පැමිණ ඉහත කී කේස ධාතු වලින් කොටසක් තිරියායේ තැන්පත් කොට සෑයක් ඉදිකළහ. පසු කාලයේ ලියන ලද සෙල්ලිපියක ඒ වෙළෙඳුන් දෙදෙනාගේ නම් සහ කේස ධාතු පිළිබඳව සඳහන් වී තිබීම වැදගත් වෙයි. බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මස මහියංගනයටත්, පස්වන වස නාගදීපයටත්, අට වන වසරේ දී කැලණියටත් වැඩම කළ බව ප්‍රකට සිදුවීමකි. තෙවන වරට කැලණියට වැඩම වූ උන්වහන්සේ ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, කතරගම අනුරාධපුරය ඇතුළු ස්ථාන දහ තුනකට වැඩම වූ බවත්, බොහෝ ස්ථානවල දී ධර්ම දේශනා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අන්දමට බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩමවීම නිසා ලංකාවාසී බොහෝ අය බුදු දහම දැන වැළඳ ගත් බවට සැක නැත.

වංශකතාව සඳහන් කරන අන්දමට ලංකාවේ ආරම්භක රජතුමා විජය කුමාරයා ඇතුළු පිරිස ජීවත් වූයේ ඉන්දියාවේ වයඹ දිග කොටසේ ය. විජය කුමාරයා ඇතුළු හත්සියයක් පිරිස නැව් නංවා රටින් පිටුවහල් කරන ලද්දේ සම්බුදු රදුන් පිරිනිවන් පෑමට සූදානම් වන දිනයේ ය. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර දිවැස් යොමු කොට ලොව බලත් දී විජය කුමාරයා ප්‍රධාන පිරිස දැක ඔවුන් ලංකාවට පැමිණි පසු ආරක්ෂාව සලසන ලෙස සක්දෙව් රදුන්ට නියම කළ බව මහාවංශය සඳහන් කරයි. එම නියමය පිළිගත් සක් දෙවිඳුන් විසින් මෙහෙය වන ලද උපුල්වන් දෙවියන් තවුස් වේසයෙන් ගසක් මුල සිට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ආරක්ෂාව සැලසූ බව තවදුරටත් වංශකතාව සඳහන් කරයි. එම පිරිස බුදු දහම ගැන සෑහෙන අවබෝධයකින් සිටිය බව ආරක්ෂාව සඳහා පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීමෙන් පැහැදිලි වෙයි.

විජය රජතුමාගෙන් පසු රජ බවට පත් පණ්ඩුවාසදේව කුමාරයා අග බිසව බවට පත්කර ගන්නා ලද්දේ ඉන්දියාවේ සිට ගෙන්වා ගන්නා ලද භද්දකච්චානා කුමරිය යි. එතුමිය බුදුරදුන්ගේ පියාණන් වූ සුද්දෝධන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ දියණිය යි. ඇය කහවත් ඇඳ පැවිදි වෙසින් ලංකාවට පැමිණීමත්, බුදුරදුන්ට ළඟම ඤාතිත්වයක් තිබීමත් පිළිබඳව සිතන විට නිශ්චිතවම ඇය බෞද්ධ කාන්තාවක් බව පැහැදිලි වෙයි. ටික කලෙකින් භද්දකච්චානා කුමරියගේ සොහොයුරෝ හය දෙනෙක් ද ලංකාවට පැමිණ අනුරාධපුරය, කතරගම, රෝහණය, දිගාමඩුල්ල ආදී ස්ථානවල ගම් ඉදිකොට වාසය කළහ. කතරගම හාත්පස ප්‍රදේශවල ක්ෂත්‍රිය වංශිකයන් වාසය කළ බව බෝවත්තේගල සෙල්ලිපියෙහි ද, ධාතු වංශය ආදී ග්‍රන්ථයන්හි ද, සඳහන් වෙයි. මේ පිළිබඳව ලංකා ඉතිහාසය නමැති ග්‍රන්ථයට අගනා ලිපියක් සපයා ඇති මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කොට ඇත. ,ලක්දිව පදිංචියට පැමිණි මුල් පිරිසට පසුව මෙහි පදිංචියට පැමිණි සමහරු ශාක්‍ය වංශිකයෝ වූහ. බුදුරජාණන් වහන්සේ ද ශාක්‍ය වංශිකයෙකි. මේ කරුණු සැබෑ නම් ශාක්‍යයන් තමන්ගේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාගේ නමත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් දැන සිටින්නට ඇත., මේ අනුව මිහිඳු මාහිමියන් ලංකාවට වඩින විට බුදුරදුන්ගේ ලංකාගමනයේ සිට ඉහත දැක් වූ අවස්ථාවන්හි බුදුදහම වැළඳගෙන සිටි අයගේ පරම්පරාවන්ගෙන් පැවත එන අය විශාල වශයෙන් මෙරට ජීවත් වූ බව පෙනේ. මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව වඩාත් පහසුවීමට එම පිරිස ද හේතු වූයේ යැයි සාධාරණ ය.
මිහිඳු මාහිමියන් වැඩම වූ දිනයේ මිහින්තලයේ දී දෙසූ ධර්මය අසා රජතුමා ප්‍රධාන පිරිස බුදු දහම වැළඳගත්හ. එයින් ටික කලකට පසු අරිට්ඨ මහා ඇමතිවරයා ඇතුළු උසස් පන්තියේ පිරිසත්, සංඝමිත්තාගමනයෙන් පසු අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ ද පැවිද්ද ලබා ගත්හ. මේ අන්දමට රජ පවුල ප්‍රධාන උසස් පන්තියේ අය බුදු දහම වැළඳ ගැනීම නිසා සාමාන්‍ය ජනතාව ද එය අනුගමනය කරන්නට පටන් ගත්හ. ලංකාව තුළ බුදු දහම ඉතා ඉක්මනින් පැතිර යාමට මෙය ද ප්‍රබල හේතුවකි.

ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට විසූ සමහර අය චිත්තරාජ, කාළවේල, වළවාමුඛී ආදී යක්ෂයන් ඇදහූහ. එපමණක් නොව ව්‍යාධදේව, කම්මාරදේව ආදී දෙවිවරුන් උදෙසා ද පුද පූජා පැවැත්වූහ. මිහිඳු මාහිමියන් අනුරාධපුරයට වැඩම වූ මුල් අවස්ථාවේ ම රජතුමා ප්‍රධාන ජනතාවට දේශනා කළ ධර්ම අතර විමාන වත්ථු හා පේත වත්ථු ඇතුළත් විය. දෙවියන් හා යක්ෂයන් අදහමින් සිටි ජනතාවට ඒ හා සමානකමක් පෙන්නුම් කරන ඉහත කී ධර්මය ගැටුමකින් තොරව පිළිගැනීමට පුළුවන්කම ලැබුණි. එපමණක් නොව තල් ගස් හා නුග ගස් ඇතුළු වෘක්ෂයන් වන්දනා කරමින් සිටි ලංකාවාසී ජනතාවට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවාගෙන අවුත් මහමෙවුනා උයනේ රෝපණය කොට වැඳුම් පිදුම් කිරීමට පියවර ගැනීමත්, වැදගත් ය. සැකෙවින් ගත් විට පෙනී යන්නේ ඉපැරැණි ආගමික විශ්වාසයන් සමග නොගැටී අර්ථවත් වූත්, ප්‍රඥාගෝචර වූත් බෞද්ධ වෘක්ෂ වන්දනා ක්‍රමයන් බුදු දහම මගින් ඉදිරිපත් කිරීම නිසා මිහිඳු මාහිමියන්ගේ බලාපොරොත්තු වඩාත් ප්‍රතිඵලදායක කර ගැනීමට පහසු වූ බවයි.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ 
කොළඹ නව කෝරළයේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
දිවියාගහ යසස්සි නාහිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි.

දියණිවරුන්ගේ සැබෑ කතාව



සද්පුරුෂ ලෝකයෙහි සෑම ගුණබර අම්මා කෙනෙකුගේ ම පිය කෙනෙකුගේ ම සිත්වල සකස්වන දරු සෙනෙහස බොහෝම ය. එම දාරක ප්‍රේමය මතුවන තැන තමන්ට ලැබෙන්න සිටින්නේ හෝ ලැබුණේ දියණියක් ද පුතණුවෙක් ද යන අදහසට වඩා මට දරුවෙක් බිහිවුණා යන අදහස පෘතග්ජන ලෝකයේ සද්පුරුෂ මවුපියන්ගේ සිත්වලට සොම්නසක් ගෙන එන බව ඉතා ම පැහැදිලියි.

එසේ වුව ද යම් අයෙක් දියණියකගේ ලැබීම සිත සතුටු නොවීමට කාරණයක් කරගත්තේ නම් එය ගුණවන්ත අම්මා කෙනෙකුගේ, සද්පුරුෂ පිය කෙනෙකුගේ හදවතේ ඇතිවන දාරක සෙනෙහසට බාධාවක් විය හැකි ය.
බුදු උතුමෙක් මේ ලෝකයට පහළ වූයේ අම්මා කෙනෙක් නිසා ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසා ම ය. රටක් රාජ්‍යයක් පාලනය කරන විශාල ජන පිරිසකට නායකත්වයක් දෙන ධර්මානුකූල රජ කෙනෙකුට පවා මඟ පෙන්වන්නේ අම්මා කෙනෙක් ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසයි. මේ ලෝකයේ ආරම්භයේ පටන් ම අම්මාවරුන්ගේ කාර්යභාරය බුදු, පසේ බුදු මහ රහත් උතුමෝ, සක්විති හා මහරහත් සද්පුරුෂ උතුමෝ ලෝකයට දායාද කරමින් ලොව සද්පුරුෂ කළ ආකාරය මවුවරුන්ගේ කතාවෙන් තේරුම් ගත හැකියි.

මවුවරුන්ගේ කතාවේ පිටුපස සිටින්නේ දියණිවරුන්මයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවෙන් දියණිවරුන්ගේ සැබෑ කතාව අපි මතු කොට දකිමු.දිනක් පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැද නමස්කාර කොට එකත් පසව හිඳගත්තේ ය. මෙසේ ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ සමඟ දැහැමි කතාවක යෙදී සිටින අතර, එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසොල් රජු වෙත එළඹුණේ ය. එසේ එළැඹ පසේ නදී කොසොල් රජතුමාට දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දුවක වැදුවා යැයි කනට කර සැල කළහ. එසේ කී මොහොතේ පසේ නදී කොසොල් රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් බවට පත්වුණි. මුහුණේ මෙතෙක් තිබූ ප්‍රසාද පෙනුම බැහැර විය. ශෝකාකූල පෙනුමෙන් යුතු වූවේ ය.
මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාගේ නොසතුටු සිත් දැන මේ ගාථා රත්නය දේශනා කළ සේක.

“ඉත්ථි පිහි ඒකච්ඡියා
සෙයයා පෝස ජනාධිප
මෙධාවිනී සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යො ජායතී පෝසෝ
සුරො හෝති දිසම්පති
තාදිසා සුභගියා පුත්තො
රජ්ජම්පි අනුසාසතී ති

රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ශ්‍රේෂ්ටයි. එහෙයින් ඒ දියණිය පෝෂණය කරන්න. නුවණ ඇති, සිල්වත්, තම මවුපියන්ට පමණක් නෙමෙයි, නැන්ද මාමා පවා දෙවියන් කොට සලකා වෙසෙන, ස්වාමියාට ගෞරවයෙන්, පතිව්‍රතාව රකින යම් ස්ත්‍රියක් වේ ද? ඒ ස්ත්‍රී ඉතා ම උතුම් ය. දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙම දක්ෂයෙක් වේ. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනය ද කෙරේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දියණියක් ලැබීම නිසා අසතුටට පත් වූ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් කරුණු පෙළ අප විසින් ද ධර්ම විවරණයකට සකසා ගත යුතුම ය.

බුදුරජාණන් වහන්සේ දවස කාන්තාවන්ට පැවතුණේ ඉතාම අඩු සැලකීමකි. බ්‍රාහ්මණ සමාජයතුළ කාන්තාවන් සලකනු ලැබූයේ දරුවන් ලබාදෙන්නටත්, මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමටත් යොදා ගන්නා වූ යන්ත්‍රයක් හැටියටය. ඔවුන් සඳහන් කළේ, තවුසන් විසින් හෝ ඉසිවරු විසින් ලැබිය හැකි යම් නුවණක් වේ ද? ඇඟිලි දෙකේ නුවණක් ඇති කාන්තාවන්ට එය ලැබිය නොහැකි බවයි.

“යං තං ඉසීහි පත්තබ්බං
ඨානං දුරභි සම්භවං
නතං ද්වංගුල පඤ්ඤාය
න සක්කා පප්පෝති ඉත්ථියා" 
යනුවෙනි.

මෙවැනි අදහස් පෙළකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජය සකස් වූ අතර බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් පෙළ දියණියකගේ, බිරිඳකගේ, අම්මා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය, පුරුෂ නායකත්වයක් ඇති සමාජයට මැනවින් පෙන්වා දුන්හ.

බුදු දහම තුළ කාන්තාවන්ට ලබා දෙන්නේ විශේෂ ස්ථානයකි. මුල් අවස්ථාවේ දී භික්ෂුණී ශාසනය පිහිටුවන්නට සූදානම්වන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් එය තුන්වෙනි අවස්ථාව දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ශාසනික වශයෙන් අනාගතය දෙස බැලීමෙනුයි. ඒ වගේ ම අනිටු විපාක දැක ගැනීම නිසා ය.

එනම් හුදකලා ජීවිත පවත්වන, නිදහස් ජීවිතවලට අවසර ඇති. මේ ශාසනයෙහි විවිධ පුද්ගලයන් ශාසනයට ඇතුඵවීමෙන් මේ ශාසනය කිළිටිවීමට ඇති අවස්ථා බොහෝයි. ඒ අතරට පාලනයකින්, සංයමයකින් තොරව කාන්තා පිරිස් ද ඇතුළුවීමෙන් නිදහස් ජීවිත හුදකලාව ගත කරන පිරිසකට වැරැදි ලෙස ද පාවිච්චි කළ හැකියි. යොදාගත හැකියි. මේ කරුණෙහි සලකා භික්ෂුණී ශාසනය ආරම්භයේ දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේ දීම අකැමැති වන්නට ඇතැයි, සිතිය හැකියි.

එහෙත් සංයමය, දමනය පිණිස විනය ශික්ෂණයකින් යුක්තව භික්ෂුණී ශාසනය ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වගේ ම භික්ෂූණීන්ටත් එකහා සමානව ම ගෞරවය, ආරක්ෂාව, තනතුරු ලබා දුන් බව ඉතාම පැහැදිලි ය.සැරියුත්, මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කළ සේ ම ඛේමා, උප්පලවන්නා තෙරණියන් අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළ සේක. භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිදි අග තනතුරු ලබාදුන්නා සේ ම භික්ෂුණීන් වහන්සේලාටත් සුදුසු පරිදි අග තනතුරු ලබා දුන් සේක.

තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පිරිණිවන් පෑම පිණිස අවසර ඉල්ලා පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට දැක් වූ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කාන්තා සමාජය කෙරෙහි දක්වන ලද සැලකිල්ල සිතා ගත හැකියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ අභියස ගෞරව කොට සැවැත් නුවර ජේතවනාරාමයෙන් බැහැරට වඩිනා මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ නම් වූ තම සුළුමෑණියන් පිටු පස, වචනයෙන් හැඳින්වූ ලෙස බුද්ධ මාතාවන් පිටුපස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පිටුපස වැඩම කළානම්, ඒ බුද්ධ මාතාවන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිටුපස ය. ඉන් අදහස් කළේ එතුමියට බැහැරට වඩින්නට හැර උන්වහන්සේ ද ජේතවනාරාමයෙන් පිටවන ගේට්ටුව දක්වා ම වැඩම කොට එතුමිය වෙත කළ ගෞරවයයි.

මේ අදහස් පෙළ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දුන් අවස්ථාව වර්තමාන පරිසරයට ද, පවුල් ජීවිතවලට ද ගළපා බලමු.
“ඉත්ථි පිහි ඒකච්ඡියා....... ගාථා රත්නයෙහි අදහස සිහිපත් කරන්නේ නම්, රජතුමනි, යම් දියණියක් නුවණැති නම්, සිල්වත් නම්, තම මවුපියන්ට සේ ම නැන්ද මාමාට දෙවිකොට සලකන්නේ නම්, ස්වාමියාට ගුණබර ස්වාමි දියණියක් ව පතිව්‍රතා දහම රැකගෙන කටයුතු කරන්නේ නම්, ඒ ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි යනුවෙනුයි. ඒ වගේ ම ස්ත්‍රිය බිහිකරන දරුවෙක් දක්ෂ ලෙස හදන්න, වඩන්න එබඳු දියණියක්, අම්මා කෙනෙක් සුදුසුවන්නේ ම ය යන අදහසයි.
බුදු දහම තුළ සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ දී එනම් නිවන් අවබෝධයේ දී ස්ත්‍රී පුරුෂ භේදයක් නොදැක්වෙයි.

“ඉත්ථිභාවො කිං කයිරා
චිත්තම්හි සුසමාහි තො”

සිත සමාධිගත වෙන්නේ නම් ස්ත්‍රී භාවය කිසිදු ආකාරයකින් පීඩාවක් නොවන බව ධර්ම කතාවේ පෙන්වා දෙයි. සිත සමාධි ගත කිරීම හෝ නොකිරීම සකස් වෙන්නේ ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක්වීම අනුව නොවේ. පාරමී ධර්ම සම්පූර්ණවීමෙන්, ඒ වගේ ම සම්මා දිට්ඨියෙන් පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට ලෝකෝත්තර දහමට නතුකොට අනුගමනය කිරීමෙන් ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුරුෂ පක්ෂය මෙන් ම ස්ත්‍රී පක්ෂයත් මේ චිත්ත සමාධිය දියුණු කොට පරමාර්ථ ධර්ම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන ලැබූ බව නිවනෙන් සැනසුණු බව දහම් කතාවෙ ඉතාම පැහැදිලි ය.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

බුදුසරණ පත්‍ර‍යෙන් උපුටා ගැනීමකි.

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහොය



අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෙස්සන්තර ආත්මභාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් දෙව්රජ ව උපන් සේක. උන්වහන්සේ මිනිස් ලොව ඉපිද, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය එළඹ ඇති බව දුටු දෙව් බඹහු මෙසේ බෝසතුන්ට ආයාචනා කළහ.

‘කාලෝ යං තේ මහාවීර,
උප්පජ්ජමාතු කුච්ඡියං
සදේවකං තාරයන්තෝ
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයාණන් වහන්ස, දෙවියන් සහිත මිනිසුන් ඇතැම් සත්ත්වයන් සසර දුකින් එතෙර කරවීම පිණිස මිනිස් මව්කුසක ඉපිද අමෘත වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට දැන් ඔබවහන්සේට කාලය පැමිණ තිබේ.

මෙම ආරාධනාව පිළිගත් අප බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව කාලය, දේශය, ද්වීපය, කුලය හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇද්දැයි දිවැස් යොමා බැලූ සේක. ඒ අනුව පරමායුෂ අවුරුදු සියයක් වූ මිනිස් ලොව උසස් වූ ජම්බුද්ධීපයේ බුද්ධිමතුන් සහිත මධ්‍ය දේශයේ, ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට අධිෂ්ඨාන කළ සේක. ඇසළ මාසයේ දිනක අපමහ බෝසතාණන් මහාමයා දේවියගේ කුස පිළිසිඳ ගත් අතර, ඉන්පසු එළඹි වෙසක් පොහෝ දින සිය මව්පියන් දකින්නට ඇය දෙව්දහනුවරට යන ගමනේ ලුම්බිනි උයනට ළඟා වීමත් සමඟ ම ප්‍රසව වේදනාව දැනෙන්නට විය. මද වේලාවකින් අප මහා බෝසතාණන් මව්කුසින් බිහි වූහ.


මව්කුසින් බිහිවූ බෝසතාණන් බඹුන් සිව් දෙනෙකු විසින් රන් දෑලකින්ද, ඔවුන් අතින් සතර වරම් දෙවිවරු ද, ඉන් පසු ඇමැතිවරුන් විසින් ද පිළිගන්නා ලද අතර, උන්වහන්සේ බිමට පය තැබූ විගස නෙළුම් මල් පැන නැගී ඒ මත වැඩ සිට මෙසේ වදාළ සේක. ‘මම ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීම යි. මෙයින් පසු මට නැවත උප්පත්තියක් නැත.’

ඉන් අනතුරුව සොළොස් වියට පත් අප මහා බෝසතාණෝ යශෝධරා දේවිය සරණ පාවා ගෙන රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුනෙහි කාලය ගෙවමින් සිටින කාලයේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කොට තවුස් පැවිද්දෙන් පැවිදි වූහ.

මෙසේ ගිහි ගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව වසර හයක් ගත වූ තැන එළඹි වෙසක් මස පුර තුදුස්වක් දින රාත්‍රී සිහින පහක් දුටු අතර, තමන් සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ඒකාන්ත යැයි පසක් කරගත් උන්වහන්සේ අජපාල නුගරුක වෙත වැඩිසේක. එතැන දී සුජාතාවගේ කිරිපිඬු දානය ද පිළිගෙන නේරංජනා තීරයට වැඩමකොට පාත්‍රය උඩ ගං බලා යන බව දැක සතුටු වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කර අපරාජිත පර්යංකයෙන් වැඩසිටි සේක. මෙසේ වැඩසිටින බෝසතුන් බිය ගැන්වීමට වසවර්තී මාරයා කො පමණ උත්සාහ කළද, මාරයා තැති ගන්වා මාර සෙනඟ පලවා හැර අවසානයේ දී උන්වහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගත් සේක. ඉන් අනතුරුව දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විසුද්ධිය හා ඤාණ දස්සන විසුද්ධිය ඇතිකර ගත් උන්වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මෙලෙස අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කලියුග වර්ෂයෙන් 2513 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොදා ය. මෙසේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් උන්වහන්සේ තම සිත තුළ උපන් පී‍්‍රතිය උදාවන වාක්‍යයකින් මෙලෙස වදාළ සේක.


“අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරගවේසන්තෝ - දුක්ඛාජාති පුනපුනං
ගහකාරක දිට්ඨෝසි - පුනගේහං නකාහසි,
සබ්බාතේ පා සුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣගා”

නැවත නැවත ඉපදීම දුකයි, ඒ නිසා ආත්මභාව නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයමින් නොයෙක් උප්පත්ති ඇති සසරේදී ම ඇවිද්දෙමි. තණ්හාව නමැති වඩුවා, දැන් මම නුඹව දැක්කෙමි. මින් පසු නුඹ කවදාවත් මෙම ගෙය හදන්නේ නැත. නුඹේ සියලු කෙලෙස් නමැති පරාල මම කඩා දැමුවෙමි. අවිද්‍යාව නමැති කැණිමඩල පලා දැම්මෙමි. සිත නිවනට ගියේ ය. තෘෂ්ණාව ක්ෂය කළෙමි.

මෙලෙස සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස දහම් දෙසමින් වැඩ සිටිසේක. අසූ වයසට එළඹෙමින් සිටි සේක. එවිට මාරයා උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ආරාධනා කළේ ය. එම ආරාධනාව පිළිගත් උන්වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූඨාගාර ශාලාවට සියලු භික්ෂූන් රැස් කරවා අවසානයේ දී මෙසේ වදාළ සේක.


“හන්දානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ, න චිතං තථාගතස්ස පරිනිබ්බාණං, භවිස්සති, ඉතො තිණ්ණං මාභනමච්යේන තථාගතෝ පරිනිබ්බායිස්සරි.”

මහණෙනි, මම දැන් ඔබලාව කාරුණිකව අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය. අප්‍රමාදීව කටයුතු කරමි. ළඟදීම තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගත වූ තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ ය.

තුන් මසක් ඇවෑවෙන් වෙසක් පුර පසළොස්වක දින උදා විය. බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් සමගම කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනට වැඩම කොට එහි පනවන ලද අසුනක සිංහ සෙය්‍යාවෙන් සැතපුණ සේක. එසේ සැතපී උන්වහන්සේ ආනන්ද තෙරුන්ට ඉතා වටිනා අවවාද රැසක් ම ලබා දුන් සේක. ආමිස පුජාවෙන් තථාගතයාණන් පුදනවාට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උතුම් බව උන්වහන්සේ වදාළ සේක. තවද,
“ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු දැක සංවේගය ඇති කර ගත යුතු ස්ථාන සතර, බෝසතුන් උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත් වූ තැන හා පිරිනිවන් පාන තැන යැයි උන්වහන්සේ වදාළ සේක.

මෙසේ භික්ෂූන්ට අවවාද ලබා දුන් බුදුරජාණන් වහන්සේ එදින රෑ පශ්චිම යාමයේ තමන් පිරිනිවන් පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙන මෙන් ආනන්ද තෙරුන්ට පවසා අවසන් බුද්ධ වචනය වූ ‘හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් වදාරා ප්‍රථමස්ථානයේ සිට නිරෝධ සමාපත්තිය දක්වා ද නිරෝධ සම්පත්තියේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා ද සමවැඳ එයින් නැගී සිට නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ කල්හි ශක්‍ර දේවේන්ද්‍ර ‘අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ, උප්පංජිත්වා නිරුජඣන්ති. තේසාං වූ පසමෝ සුඛෝ” යනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කළේය. එවිට බියකරු භූමි චලනයක් ඇතිවිය. අහස ගිඟුරුම් දුන්නේ ය.

අලුතෑපොල 
ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය, 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි

අසමසම බුදුරජාණන් වහන්සේ



බුදුරජාණන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරය. වැඩුනේ මනුෂ්‍යයන් අතරය. එසේ වුවද උන්වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙලෙස් කුණු තවරා නොගත් හ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයත්, සේතව්‍ය නුවරත් අතර මාර්ගයෙහි වැඩි සේක. එම මාර්ගයෙහි යමින් සිටි ද්‍රෝණ නැමැති බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක, “පුදුමයෙකි, ආශ්චර්යයෙකි, ඒකාන්තයෙන්ම මේ මිනිසෙකු ගේ පා සටහන් නොවනු ඇත. “යනුවෙන් සිතා බුදුරදුන් වැඩ සිටි දෙසට ගමන් කළේය. බුදුරදුන් ගසක් මුල වැඩ සිටිනු දැක උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
ඔබවහන්සේ දෙවියෙක් ද? බමුණ, මම දෙවියෙක් නොවෙමි, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද? බමුණ, මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබ වහන්සේ යක්ෂයෙක් ද? බමුණ, මම යක්ෂයෙක් නොවෙමි, ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? බමුණ, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

මේ ආකාරයට දෙවියෙක්, ගන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවේ නම් ඔබ වහන්සේ කවරෙක් ද? බමුණ ඔබ ඔය සඳහන් කළ අය ආශ්‍රවයන් ප්‍රහීණ කළ අය නොවෙති. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ අයෙක් වෙමි. මුදුන සිඳලූ තල් ගස් මෙන් නැවැත නූපදින තත්වයට මා පත්ව ඇත. නෙළුම් මලක් දියෙහි ඉපිද දියෙහි වැඩී දියෙන් මතු වී දියෙහි නොගැටී පවතින්නාක්මෙන් මමද ලෝකයෙහි ඉපිද, ලොව මිනිසුන් අතර හැදි වැඩී නමුත් ලෝකයා සමඟ නොගැටී නො ඇලී සිටිමි. මේ නිසාම මම බුදුවරයෙක් වෙමි, බමුණ, මා බුදුවරයෙකැයි සලකන්න. බුදුරජාණන් වහන්සේත් ද්‍රෝණ බමුණාත් අතර පැවැති මේ සාකච්ඡාව තුළින් කෙලෙස් සහිත සාමාන්‍ය මිනිසුන් ගණයට බුදුරදුහු අයත් නොවන බවත් මනුෂ්‍යයෙක් වුව ද කෙලෙස් රහිත බැවින් බුදුරදුහු උත්තරීතර මනුෂ්‍යයෙකු ලෙස දක්වා ඇති බවත් පැහැදිලි වේ.
නෙලුම් මල බුදුන් වදාළ ලොවුතුරු දහම සංකේතවත් කරයි. දියෙහි මෙන්ම මඩෙහිද නොතැවරී සිටීමේ හැකියාව නෙලුම් මලට ඇත. සිත අලවන, සිත කිලිටිකරන අරමුණුවල නො ඇලීම විමුක්ත සිතෙහි ලක්ෂණයයි.
බුදුදහම අන්ධ විශ්වාසයන්ගෙන් තොර ය. බෞද්ධයා කිසියම් පුද්ගලයෙකුට හෝ ග්‍රන්ථයකට වහලකු වන්නේ නැත. බෞද්ධයා යනු සිතීමේ නිදසම ඇත්තෙකි. බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වන්නේ නිවැරදි චින්තනය තුළිනි. තමන්ට ඇති පිහිට තමාමය යනුවෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව බුදුදහම අපට පෙන්වා දෙයි. ධර්මයට අනුව බුදුරදුහු බෞද්ධයන්ට පමණක් උරුම වූ අයෙකු නොවන අතර වර්තමාන ලෝකයා වඩ වඩාත් බුදුරදුන් වෙත ලංවන අයුරු අද අපට දැකගන්නට පුළුවන.

බුදුරදුහු මගධ රට චාරිකාවෙහි වඩින අවස්ථාවක රාත්‍රියෙහි කුඹල්හලක නවාතැන් ගත්හ. තමන් වහන්සේට කලින් එහි පැමිණි පැවිද්දෙක් ද එහි නවාතැන්ගෙන තිබිණි. දෙදෙනාම ඔවුනොවුන් නො හඳුනති. මේ පැවිද්දාගේ ඉරියව්,ඇවැතුම්, පැවැතුම් සංවරය, මේ නිසා ම බුදුරදුහු ඔබ පැවිදි වුයේ ඇයි? ඔබගේ ශාස්තෘවරයා, කවරෙක්දැයි විචාළහ.
“ඇවැත්නි” ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ යහ. උන්වහන්සේ සංසාර විමුක්තිය වෙනුවෙන් ධර්මය දේශනා කරන බව මම අසා ඇත්තෙමි. උන්වහන්සේ වෙනුවෙන් මම පැවිදි වුයෙමි. බුදුරදුහු “භික්ෂුව, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද? “ ඇවැත්නි, උන්වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටිති.” “භික්ෂුව ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තිබේද?
ඇවැත්නි, මා කිසිදිනෙක දැක නැත. දැක්කත් නො හදුනමි. මේ නොහදුනන තරුණයා පැවිදි වී ඇත්තේ තමන් උදෙසා ය. එසේ වුවද තමන් කවරෙක්දැයි නොකියා බුදුරදුහු ඔහුට ධර්මය දේශනා කළහ. මේ ධර්මය අසා අවසන් වන විට මා සමඟ මේ කතාකළේ මා සොයාගෙන යන ඒ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ බව මේ තරුණ පැවිද්දාට අවබෝධ විය.
 වහා නැගිට බුදුරදුන් පාමුල වැඳ වැටී නොදැනුවත්කමින් ඇවැත්නි කියා ඇමතීම ගැන සමාව ඉල්ලීය. තමාට මේ දේශනාව කරන ලද්දේ කවරෙක් දැයි මුලින් නොදැන සිටියත් මේ තරුණ භික්ෂුව සත්‍ය දුටුවේය. මෙම සිද්ධිය අපට කියාදෙන එක් පණිවිඩයක් නම් භක්තිය, අන්ධ විශ්වාසය නොව සත්‍ය දැකීමම බුදුදහමෙහි මුලික පදනම වන බවයි. මෙහි දී බුදුරදුන් කුඹල්හලෙහි වැඩ සිටි ආකාරයත්, මුලින් තමා කවරෙක්දැයි හඳුන්වා නොදීමත් තමන් වහන්සේගේ වැදගත්කම, ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් නොකිරීමත් තම දේශිත ධර්මය තුළින් තමා කවරෙක්දැයි අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදාකර ලීමත් බුද්ධ චරිතය තුළින් අප දකින සුවිශේෂී ගුණාංග කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය.
එක් දවසක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරන බුදුරදුහු ගසක් මුල වැඩ සිටින්නට සුදානම් වූහ. මහා කාශ්‍යප හිමියෝ තම සඟල සිවුර හතරට නමා ඒ මත වැඩ සිටින ලෙස බුදුරදුනට ආරාධනා කළහ. ඒ මත වැඩ සිටි බුදුරදුහු ඒ සිවුර පිරිමදිමින් කාශ්‍යප. ඔබේ මේ සඟල සිවුර ඉතා මෘදු මෙළොක්යැයි වදාළහ. මෙයට කන්දුන් මහා කාශ්‍යප හිමි ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්නා සේක්වා යි අයැද සිටියහ. කාශ්‍යප මා පොරවා පරණ වි ඇති හණවූලෙන් කර ඇති මගේ මේ පාංශුකූල චීවරය පොරවා ගැනීමට ඔබ කැමැතිද? එහෙමයි බුදුහාමුදුරුවනේ යනුවෙන් කාශ්‍යප හිමි පිළිතුරු දුනි. මේ අයුරින් කාශ්‍යප හිමියන් පෙර වූ මෘදු මොළොක් සඟළ සිවුර බුදුරදුන්ට දී බුදුරදුන් පෙර වූ හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හිමියෝ පොරවාගත්හ.

මිත්‍රශීලි දැක්ම, සුහදබව, ලෙන්ගතුකම, චාම් සරල පැවැත්ම ප්‍රකට කරන මෙම චීවර හුවමාරුව අපට මොනතරම් වටිනා පණිවිඩයක් ලබා දෙනවාද?
සාමාන්‍ය මිනිසෙකුට මෙන් බුදුරජාණන් වහන්සේට ද විවිධ ශාරීරික රෝගාබාධ ඇතිවිය. උපවාන හිමියන් උපස්ථායකයෙකු ලෙස කටයුතු කරද්දි බුදුරදුන්ට වාතාබාධයක් ඇතිවු බව සංයුක්ත නිකායේ දේවහිත සූත්‍රයෙහි සඳහන් ය. එහිදී බුදුරදුහු උපවාන හිමි අමතා උපවාන, මට උණුූදිය ටිකක් ලැබෙන්න සලස්වන්න, එහෙමයි, බුදුහාමුදුරුවනේ යනුවෙන් පිළිතුරු දුන් උපවාන හිමි දේවහිත බමුණාගේ නිවස වෙත ගොස් නිහඬව සිටියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේට අවශ්‍ය කුමක් ද? දේවහිත බමුණා ඇසී ය. බමුණා බුදුරදුන්ට වාතා බාධයක් සෑදී ඇත. උන්වහන්සේට උණුදිය අවශ්‍යව ඇත. එය ලැබෙන්න ක්‍රමයක් සලස්වන්න. දේවහිත බමුණා උණුදිය පිළියෙල කරවා හකුරු සමඟ උපවාන හිමියන්ට පිළිගැන්වීය. උපවාන හිමි බුදුරදුන් උණුදියෙන් නහවා උණුවතුරෙන් හකුරුද දියකර බුදුරදුන්ට පූජා කළේ ය.

බේලුව ගමෙහි දි ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවුවද එය සුවපත්ව තිබී දස මසක් ඇවෑමෙන් එය නැවැතත් මතු විය. සමාපත්ති බලයෙන් සිය රෝගය මැඩ පැවැත්විය හැකි වුව ද බුද්ධ ශරීරය පවා සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් රෝග පීඩාවන්ට ගොදුරු වන ආකාරය තම බුද්ධ ශරීරයම ආදර්ශයක් කර ගනිමින් ලෝවැසියාට පෙන්වා දුන්හ. එක්තරා අවස්ථාවක බුදුරදුන්ට මහත් පිපාසයක් දැනී. ආනන්ද මට හොඳටම පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙනත් දෙන්න. මෙසේ තුන් විටක් ම ප්‍රකාශ කරමින් පිපාසය සංසිඳවා ගැනීමේ බලවත් ඕනෑකම පෙන්නුම් කිරීම සාමාන්‍ය මිනිස් සිරුරක ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමකි.

එදා පරිනිර්වාණයට ආසන්නව සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වට කරගෙන
පරිසක්කෝ වයෝ මය්හං – පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි – කතං වෝ සරණමත්තනා

මහණෙනි, මම දැන් මහලුයි. තව ටික වේලාවයි ජීවත්වන්නෙ, ඔබ හැම දෙනාම දාලා මම යනවා, ඔබ වෙනුවෙන් කළ යුතු සියල්ල මා ඉටුකරලයි තියෙන්නෙ.

මේ ප්‍රකාශය දෙස බලන්න. මැරෙන්න ආසන්න පියෙකු තම දරුවන් වට කරගෙන කරන ප්‍රකාශනයක් බඳුයි. වයසට ගිය අයෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන “ආනන්ද දැන් මම ජරාවට, වයසට ගිහිල්ල ඉන්නෙ, දැන් මහලුයි වයස්ගතයි, හරියට දිරාගිය කරත්තයක් වගෙයි” දිරාගිය කරත්තයක් උපමා කර ගනිමින් වයසට ගිය මිනිසෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන මෙම ප්‍රකාශනය සාමාන්‍ය මිනිස් ජීවිතය යථාර්ථවත් ව විදහා දැක්වීමක් ලෙස සඳහන් කළ හැකිය.
මේ සඳහන් කළ කරුණු කිහිපය අනුව බුදුරජාණන් වහන්සේ යනු දෙවියෙකු හෝ මැවුම් කරුවෙකු හෝ ගැලවුම් කරුවෙකු හෝ නොව මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතර මනුෂ්‍යයකු ලෙස සඳහන් කළ හැකිය. මනුෂ්‍යයෙකු වී උප්පත්තිය ලැබු නිසාම උතුම් බුද්ධත්වය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවිය.