අසමසම බුදුරජාණන් වහන්සේ



බුදුරජාණන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරය. වැඩුනේ මනුෂ්‍යයන් අතරය. එසේ වුවද උන්වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙලෙස් කුණු තවරා නොගත් හ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයත්, සේතව්‍ය නුවරත් අතර මාර්ගයෙහි වැඩි සේක. එම මාර්ගයෙහි යමින් සිටි ද්‍රෝණ නැමැති බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක, “පුදුමයෙකි, ආශ්චර්යයෙකි, ඒකාන්තයෙන්ම මේ මිනිසෙකු ගේ පා සටහන් නොවනු ඇත. “යනුවෙන් සිතා බුදුරදුන් වැඩ සිටි දෙසට ගමන් කළේය. බුදුරදුන් ගසක් මුල වැඩ සිටිනු දැක උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
ඔබවහන්සේ දෙවියෙක් ද? බමුණ, මම දෙවියෙක් නොවෙමි, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද? බමුණ, මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබ වහන්සේ යක්ෂයෙක් ද? බමුණ, මම යක්ෂයෙක් නොවෙමි, ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? බමුණ, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

මේ ආකාරයට දෙවියෙක්, ගන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවේ නම් ඔබ වහන්සේ කවරෙක් ද? බමුණ ඔබ ඔය සඳහන් කළ අය ආශ්‍රවයන් ප්‍රහීණ කළ අය නොවෙති. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ අයෙක් වෙමි. මුදුන සිඳලූ තල් ගස් මෙන් නැවැත නූපදින තත්වයට මා පත්ව ඇත. නෙළුම් මලක් දියෙහි ඉපිද දියෙහි වැඩී දියෙන් මතු වී දියෙහි නොගැටී පවතින්නාක්මෙන් මමද ලෝකයෙහි ඉපිද, ලොව මිනිසුන් අතර හැදි වැඩී නමුත් ලෝකයා සමඟ නොගැටී නො ඇලී සිටිමි. මේ නිසාම මම බුදුවරයෙක් වෙමි, බමුණ, මා බුදුවරයෙකැයි සලකන්න. බුදුරජාණන් වහන්සේත් ද්‍රෝණ බමුණාත් අතර පැවැති මේ සාකච්ඡාව තුළින් කෙලෙස් සහිත සාමාන්‍ය මිනිසුන් ගණයට බුදුරදුහු අයත් නොවන බවත් මනුෂ්‍යයෙක් වුව ද කෙලෙස් රහිත බැවින් බුදුරදුහු උත්තරීතර මනුෂ්‍යයෙකු ලෙස දක්වා ඇති බවත් පැහැදිලි වේ.
නෙලුම් මල බුදුන් වදාළ ලොවුතුරු දහම සංකේතවත් කරයි. දියෙහි මෙන්ම මඩෙහිද නොතැවරී සිටීමේ හැකියාව නෙලුම් මලට ඇත. සිත අලවන, සිත කිලිටිකරන අරමුණුවල නො ඇලීම විමුක්ත සිතෙහි ලක්ෂණයයි.
බුදුදහම අන්ධ විශ්වාසයන්ගෙන් තොර ය. බෞද්ධයා කිසියම් පුද්ගලයෙකුට හෝ ග්‍රන්ථයකට වහලකු වන්නේ නැත. බෞද්ධයා යනු සිතීමේ නිදසම ඇත්තෙකි. බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වන්නේ නිවැරදි චින්තනය තුළිනි. තමන්ට ඇති පිහිට තමාමය යනුවෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව බුදුදහම අපට පෙන්වා දෙයි. ධර්මයට අනුව බුදුරදුහු බෞද්ධයන්ට පමණක් උරුම වූ අයෙකු නොවන අතර වර්තමාන ලෝකයා වඩ වඩාත් බුදුරදුන් වෙත ලංවන අයුරු අද අපට දැකගන්නට පුළුවන.

බුදුරදුහු මගධ රට චාරිකාවෙහි වඩින අවස්ථාවක රාත්‍රියෙහි කුඹල්හලක නවාතැන් ගත්හ. තමන් වහන්සේට කලින් එහි පැමිණි පැවිද්දෙක් ද එහි නවාතැන්ගෙන තිබිණි. දෙදෙනාම ඔවුනොවුන් නො හඳුනති. මේ පැවිද්දාගේ ඉරියව්,ඇවැතුම්, පැවැතුම් සංවරය, මේ නිසා ම බුදුරදුහු ඔබ පැවිදි වුයේ ඇයි? ඔබගේ ශාස්තෘවරයා, කවරෙක්දැයි විචාළහ.
“ඇවැත්නි” ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ යහ. උන්වහන්සේ සංසාර විමුක්තිය වෙනුවෙන් ධර්මය දේශනා කරන බව මම අසා ඇත්තෙමි. උන්වහන්සේ වෙනුවෙන් මම පැවිදි වුයෙමි. බුදුරදුහු “භික්ෂුව, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද? “ ඇවැත්නි, උන්වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටිති.” “භික්ෂුව ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තිබේද?
ඇවැත්නි, මා කිසිදිනෙක දැක නැත. දැක්කත් නො හදුනමි. මේ නොහදුනන තරුණයා පැවිදි වී ඇත්තේ තමන් උදෙසා ය. එසේ වුවද තමන් කවරෙක්දැයි නොකියා බුදුරදුහු ඔහුට ධර්මය දේශනා කළහ. මේ ධර්මය අසා අවසන් වන විට මා සමඟ මේ කතාකළේ මා සොයාගෙන යන ඒ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ බව මේ තරුණ පැවිද්දාට අවබෝධ විය.
 වහා නැගිට බුදුරදුන් පාමුල වැඳ වැටී නොදැනුවත්කමින් ඇවැත්නි කියා ඇමතීම ගැන සමාව ඉල්ලීය. තමාට මේ දේශනාව කරන ලද්දේ කවරෙක් දැයි මුලින් නොදැන සිටියත් මේ තරුණ භික්ෂුව සත්‍ය දුටුවේය. මෙම සිද්ධිය අපට කියාදෙන එක් පණිවිඩයක් නම් භක්තිය, අන්ධ විශ්වාසය නොව සත්‍ය දැකීමම බුදුදහමෙහි මුලික පදනම වන බවයි. මෙහි දී බුදුරදුන් කුඹල්හලෙහි වැඩ සිටි ආකාරයත්, මුලින් තමා කවරෙක්දැයි හඳුන්වා නොදීමත් තමන් වහන්සේගේ වැදගත්කම, ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් නොකිරීමත් තම දේශිත ධර්මය තුළින් තමා කවරෙක්දැයි අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදාකර ලීමත් බුද්ධ චරිතය තුළින් අප දකින සුවිශේෂී ගුණාංග කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය.
එක් දවසක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරන බුදුරදුහු ගසක් මුල වැඩ සිටින්නට සුදානම් වූහ. මහා කාශ්‍යප හිමියෝ තම සඟල සිවුර හතරට නමා ඒ මත වැඩ සිටින ලෙස බුදුරදුනට ආරාධනා කළහ. ඒ මත වැඩ සිටි බුදුරදුහු ඒ සිවුර පිරිමදිමින් කාශ්‍යප. ඔබේ මේ සඟල සිවුර ඉතා මෘදු මෙළොක්යැයි වදාළහ. මෙයට කන්දුන් මහා කාශ්‍යප හිමි ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්නා සේක්වා යි අයැද සිටියහ. කාශ්‍යප මා පොරවා පරණ වි ඇති හණවූලෙන් කර ඇති මගේ මේ පාංශුකූල චීවරය පොරවා ගැනීමට ඔබ කැමැතිද? එහෙමයි බුදුහාමුදුරුවනේ යනුවෙන් කාශ්‍යප හිමි පිළිතුරු දුනි. මේ අයුරින් කාශ්‍යප හිමියන් පෙර වූ මෘදු මොළොක් සඟළ සිවුර බුදුරදුන්ට දී බුදුරදුන් පෙර වූ හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හිමියෝ පොරවාගත්හ.

මිත්‍රශීලි දැක්ම, සුහදබව, ලෙන්ගතුකම, චාම් සරල පැවැත්ම ප්‍රකට කරන මෙම චීවර හුවමාරුව අපට මොනතරම් වටිනා පණිවිඩයක් ලබා දෙනවාද?
සාමාන්‍ය මිනිසෙකුට මෙන් බුදුරජාණන් වහන්සේට ද විවිධ ශාරීරික රෝගාබාධ ඇතිවිය. උපවාන හිමියන් උපස්ථායකයෙකු ලෙස කටයුතු කරද්දි බුදුරදුන්ට වාතාබාධයක් ඇතිවු බව සංයුක්ත නිකායේ දේවහිත සූත්‍රයෙහි සඳහන් ය. එහිදී බුදුරදුහු උපවාන හිමි අමතා උපවාන, මට උණුූදිය ටිකක් ලැබෙන්න සලස්වන්න, එහෙමයි, බුදුහාමුදුරුවනේ යනුවෙන් පිළිතුරු දුන් උපවාන හිමි දේවහිත බමුණාගේ නිවස වෙත ගොස් නිහඬව සිටියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේට අවශ්‍ය කුමක් ද? දේවහිත බමුණා ඇසී ය. බමුණා බුදුරදුන්ට වාතා බාධයක් සෑදී ඇත. උන්වහන්සේට උණුදිය අවශ්‍යව ඇත. එය ලැබෙන්න ක්‍රමයක් සලස්වන්න. දේවහිත බමුණා උණුදිය පිළියෙල කරවා හකුරු සමඟ උපවාන හිමියන්ට පිළිගැන්වීය. උපවාන හිමි බුදුරදුන් උණුදියෙන් නහවා උණුවතුරෙන් හකුරුද දියකර බුදුරදුන්ට පූජා කළේ ය.

බේලුව ගමෙහි දි ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවුවද එය සුවපත්ව තිබී දස මසක් ඇවෑමෙන් එය නැවැතත් මතු විය. සමාපත්ති බලයෙන් සිය රෝගය මැඩ පැවැත්විය හැකි වුව ද බුද්ධ ශරීරය පවා සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් රෝග පීඩාවන්ට ගොදුරු වන ආකාරය තම බුද්ධ ශරීරයම ආදර්ශයක් කර ගනිමින් ලෝවැසියාට පෙන්වා දුන්හ. එක්තරා අවස්ථාවක බුදුරදුන්ට මහත් පිපාසයක් දැනී. ආනන්ද මට හොඳටම පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙනත් දෙන්න. මෙසේ තුන් විටක් ම ප්‍රකාශ කරමින් පිපාසය සංසිඳවා ගැනීමේ බලවත් ඕනෑකම පෙන්නුම් කිරීම සාමාන්‍ය මිනිස් සිරුරක ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමකි.

එදා පරිනිර්වාණයට ආසන්නව සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වට කරගෙන
පරිසක්කෝ වයෝ මය්හං – පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි – කතං වෝ සරණමත්තනා

මහණෙනි, මම දැන් මහලුයි. තව ටික වේලාවයි ජීවත්වන්නෙ, ඔබ හැම දෙනාම දාලා මම යනවා, ඔබ වෙනුවෙන් කළ යුතු සියල්ල මා ඉටුකරලයි තියෙන්නෙ.

මේ ප්‍රකාශය දෙස බලන්න. මැරෙන්න ආසන්න පියෙකු තම දරුවන් වට කරගෙන කරන ප්‍රකාශනයක් බඳුයි. වයසට ගිය අයෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන “ආනන්ද දැන් මම ජරාවට, වයසට ගිහිල්ල ඉන්නෙ, දැන් මහලුයි වයස්ගතයි, හරියට දිරාගිය කරත්තයක් වගෙයි” දිරාගිය කරත්තයක් උපමා කර ගනිමින් වයසට ගිය මිනිසෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන මෙම ප්‍රකාශනය සාමාන්‍ය මිනිස් ජීවිතය යථාර්ථවත් ව විදහා දැක්වීමක් ලෙස සඳහන් කළ හැකිය.
මේ සඳහන් කළ කරුණු කිහිපය අනුව බුදුරජාණන් වහන්සේ යනු දෙවියෙකු හෝ මැවුම් කරුවෙකු හෝ ගැලවුම් කරුවෙකු හෝ නොව මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතර මනුෂ්‍යයකු ලෙස සඳහන් කළ හැකිය. මනුෂ්‍යයෙකු වී උප්පත්තිය ලැබු නිසාම උතුම් බුද්ධත්වය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවිය.

No comments:

Post a Comment