මිහිඳු මහරහතන් වහන්සේ |
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා රටවල් නවයකට භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ධර්මදූත පිරිස් පිටත්කොට යැවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අය අතුරෙන් ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර මිහිඳු මාහිමියන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිස රජ පවුලට අයත් අයගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි.
මිහිඳු මාහිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා කුමරියගේ පුතණුවන් වූ සුමන සාමණේරයන් වහන්සේ ද මිහිඳු මාහිමියන්ගේ මවගේ සහෝදරියගේ දියණි කෙනෙකුන්ගේ පුත්‍රයා වූ භණ්ඩුක උපාසක තුමා ද එම දූත පිරිසට අයත් වීම මේ රටේ දී උසස් පිළිගැනීමක් ඇතිවීම කෙරෙහි බලපෑවාට සැක නැත.
මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවා වැඩි කලක් ගතවීමට පෙර මේ රටේ බුද්ධ ධර්මය පමණක් නොව දේශපාලන, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයක ම ගුණාත්මක විප්ලවයක් ඇති විය. මහා වංශයෙහි විසිවන පරිච්ඡේදය කියවන විට පෙනී යන්නේ මහින්දාගමනයෙන් එක් වර්ෂයක් ගතවන විට සෑම අංශයක ම විශ්මිත දියුණුවක් ඇති වූ බවයි. ධර්මදූත පිරිස පැමිණීමත් සමග ඉමහත් දියුණුවක් ඇතිවීමට ප්‍රධාන ම හේතුව වූයේ මිහිඳු මාහිමියන් තුළ පැවති කැපී පෙනෙන සුවිශේෂ දක්ෂතාවන් ය. ලංකාවට වැඩම වූ පළමු වන දින මිහින්තලයේ දී පිරිස සහිත රජතුමා මුණ ගැසුණු අවස්ථාවෙහි එක් වරම ධර්ම දේශනා කිරීමට පෙර අඹ ගසක් මුල්කොට රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කිරීමට මිහිඳු මාහිමියන් ක්‍රියා කළ ආකාරය වැදගත් ය.
රජතුමාගේ ආරාධනයෙන් පසුදින අනුරාධපුර නගරයට වැඩම වූ දූත පිරිස රජතුමාගේ මහමෙවුනා උයනෙහි පිහිටි මාළිගාවේ වැඩසිටියහ. පසුදින රජතුමා මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව මිහිඳු මාහිමියන් එහි තැන් තැන්වලට වැඩමවමින් අනාගතයේ ථූපාරාමය, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන පිහිටුවීම පිළිබඳ සළකුණු කරවන ලද්දේ ඉතා දක්ෂ ඉංජිනේරුවෙකුගේ ස්වභාවයෙනි. අනුරාධපුර අගනුවර රජමැදුරට නුදුරින් පිහිටා තිබූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝ රත්නයට පූජා කිරීම ශාසනයේ හා රටේ අභිවෘද්ධිය සඳහා විශාල වශයෙන් හේතු විය. දීර්ඝ කාලයක් මහා විහාරය නමින් සංඝ රත්නයේ ප්‍රධාන ආරාමය බවට පත් වූයේ මේ ස්ථානය යි. මිහිඳු මාහිමියන් වැඩම වීමෙන් වර්ෂයක් ගත වන විට මේ රටේ ඉතා වේගයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට පහසු වූයේ කරුණු කිහිපයක් නිසා ය. එයින් ප්‍රධාන වන්නේ මේ රටේ ජීවත් වූ බොහෝ අය ඒ වන විට බුදු දහම පිළිබඳව දැන සිටීම යි. බුදු බවට පත්ව සත් සති ගෙවා අවසාන වූ දිනයෙහි ප්‍රථමයෙන් ම බුදුරදුන්ට උදෑසන දානය පිළිගන්වන ලද්දේ තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. පැහැදීමට පත් ඒ දෙදෙනා කළ ඉල්ලීමට අනුව බුදුරදුන් විසින් වැඳුම් පිදුම් කිරීම සඳහා තම හිස පිරිමැද කේස ධාතු දෙන ලද බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ.
තපස්සු - භල්ලුක වෙළෙඳ නායකයන් දෙදෙන ලංකාවට පැමිණ ඉහත කී කේස ධාතු වලින් කොටසක් තිරියායේ තැන්පත් කොට සෑයක් ඉදිකළහ. පසු කාලයේ ලියන ලද සෙල්ලිපියක ඒ වෙළෙඳුන් දෙදෙනාගේ නම් සහ කේස ධාතු පිළිබඳව සඳහන් වී තිබීම වැදගත් වෙයි. බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මස මහියංගනයටත්, පස්වන වස නාගදීපයටත්, අට වන වසරේ දී කැලණියටත් වැඩම කළ බව ප්‍රකට සිදුවීමකි. තෙවන වරට කැලණියට වැඩම වූ උන්වහන්සේ ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, කතරගම අනුරාධපුරය ඇතුළු ස්ථාන දහ තුනකට වැඩම වූ බවත්, බොහෝ ස්ථානවල දී ධර්ම දේශනා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අන්දමට බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩමවීම නිසා ලංකාවාසී බොහෝ අය බුදු දහම දැන වැළඳ ගත් බවට සැක නැත.
වංශකතාව සඳහන් කරන අන්දමට ලංකාවේ ආරම්භක රජතුමා විජය කුමාරයා ඇතුළු පිරිස ජීවත් වූයේ ඉන්දියාවේ වයඹ දිග කොටසේ ය. විජය කුමාරයා ඇතුළු හත්සියයක් පිරිස නැව් නංවා රටින් පිටුවහල් කරන ලද්දේ සම්බුදු රදුන් පිරිනිවන් පෑමට සූදානම් වන දිනයේ ය. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර දිවැස් යොමු කොට ලොව බලත් දී විජය කුමාරයා ප්‍රධාන පිරිස දැක ඔවුන් ලංකාවට පැමිණි පසු ආරක්ෂාව සලසන ලෙස සක්දෙව් රදුන්ට නියම කළ බව මහාවංශය සඳහන් කරයි. එම නියමය පිළිගත් සක් දෙවිඳුන් විසින් මෙහෙය වන ලද උපුල්වන් දෙවියන් තවුස් වේසයෙන් ගසක් මුල සිට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ආරක්ෂාව සැලසූ බව තවදුරටත් වංශකතාව සඳහන් කරයි. එම පිරිස බුදු දහම ගැන සෑහෙන අවබෝධයකින් සිටිය බව ආරක්ෂාව සඳහා පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීමෙන් පැහැදිලි වෙයි.
විජය රජතුමාගෙන් පසු රජ බවට පත් පණ්ඩුවාසදේව කුමාරයා අග බිසව බවට පත්කර ගන්නා ලද්දේ ඉන්දියාවේ සිට ගෙන්වා ගන්නා ලද භද්දකච්චානා කුමරිය යි. එතුමිය බුදුරදුන්ගේ පියාණන් වූ සුද්දෝධන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදන ශාක්‍ය රජුගේ දියණිය යි. ඇය කහවත් ඇඳ පැවිදි වෙසින් ලංකාවට පැමිණීමත්, බුදුරදුන්ට ළඟම ඤාතිත්වයක් තිබීමත් පිළිබඳව සිතන විට නිශ්චිතවම ඇය බෞද්ධ කාන්තාවක් බව පැහැදිලි වෙයි. ටික කලෙකින් භද්දකච්චානා කුමරියගේ සොහොයුරෝ හය දෙනෙක් ද ලංකාවට පැමිණ අනුරාධපුරය, කතරගම, රෝහණය, දිගාමඩුල්ල ආදී ස්ථානවල ගම් ඉදිකොට වාසය කළහ. කතරගම හාත්පස ප්‍රදේශවල ක්ෂත්‍රිය වංශිකයන් වාසය කළ බව බෝවත්තේගල සෙල්ලිපියෙහි ද, ධාතු වංශය ආදී ග්‍රන්ථයන්හි ද, සඳහන් වෙයි. මේ පිළිබඳව ලංකා ඉතිහාසය නමැති ග්‍රන්ථයට අගනා ලිපියක් සපයා ඇති මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කොට ඇත. ,ලක්දිව පදිංචියට පැමිණි මුල් පිරිසට පසුව මෙහි පදිංචියට පැමිණි සමහරු ශාක්‍ය වංශිකයෝ වූහ. බුදුරජාණන් වහන්සේ ද ශාක්‍ය වංශිකයෙකි. මේ කරුණු සැබෑ නම් ශාක්‍යයන් තමන්ගේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාගේ නමත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් දැන සිටින්නට ඇත., මේ අනුව මිහිඳු මාහිමියන් ලංකාවට වඩින විට බුදුරදුන්ගේ ලංකාගමනයේ සිට ඉහත දැක් වූ අවස්ථාවන්හි බුදුදහම වැළඳගෙන සිටි අයගේ පරම්පරාවන්ගෙන් පැවත එන අය විශාල වශයෙන් මෙරට ජීවත් වූ බව පෙනේ. මිහිඳු මාහිමියන්ගේ ධර්මදූත සේවාව වඩාත් පහසුවීමට එම පිරිස ද හේතු වූයේ යැයි සාධාරණ ය.
මිහිඳු මාහිමියන් වැඩම වූ දිනයේ මිහින්තලයේ දී දෙසූ ධර්මය අසා රජතුමා ප්‍රධාන පිරිස බුදු දහම වැළඳගත්හ. එයින් ටික කලකට පසු අරිට්ඨ මහා ඇමතිවරයා ඇතුළු උසස් පන්තියේ පිරිසත්, සංඝමිත්තාගමනයෙන් පසු අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ ද පැවිද්ද ලබා ගත්හ. මේ අන්දමට රජ පවුල ප්‍රධාන උසස් පන්තියේ අය බුදු දහම වැළඳ ගැනීම නිසා සාමාන්‍ය ජනතාව ද එය අනුගමනය කරන්නට පටන් ගත්හ. ලංකාව තුළ බුදු දහම ඉතා ඉක්මනින් පැතිර යාමට මෙය ද ප්‍රබල හේතුවකි.
ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට විසූ සමහර අය චිත්තරාජ, කාළවේල, වළවාමුඛී ආදී යක්ෂයන් ඇදහූහ. එපමණක් නොව ව්‍යාධදේව, කම්මාරදේව ආදී දෙවිවරුන් උදෙසා ද පුද පූජා පැවැත්වූහ. මිහිඳු මාහිමියන් අනුරාධපුරයට වැඩම වූ මුල් අවස්ථාවේ ම රජතුමා ප්‍රධාන ජනතාවට දේශනා කළ ධර්ම අතර විමාන වත්ථු හා පේත වත්ථු ඇතුළත් විය. දෙවියන් හා යක්ෂයන් අදහමින් සිටි ජනතාවට ඒ හා සමානකමක් පෙන්නුම් කරන ඉහත කී ධර්මය ගැටුමකින් තොරව පිළිගැනීමට පුළුවන්කම ලැබුණි. එපමණක් නොව තල් ගස් හා නුග ගස් ඇතුළු වෘක්ෂයන් වන්දනා කරමින් සිටි ලංකාවාසී ජනතාවට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවාගෙන අවුත් මහමෙවුනා උයනේ රෝපණය කොට වැඳුම් පිදුම් කිරීමට පියවර ගැනීමත්, වැදගත් ය. සැකෙවින් ගත් විට පෙනී යන්නේ ඉපැරැණි ආගමික විශ්වාසයන් සමග නොගැටී අර්ථවත් වූත්, ප්‍රඥාගෝචර වූත් බෞද්ධ වෘක්ෂ වන්දනා ක්‍රමයන් බුදු දහම මගින් ඉදිරිපත් කිරීම නිසා මිහිඳු මාහිමියන්ගේ බලාපොරොත්තු වඩාත් ප්‍රතිඵලදායක කර ගැනීමට පහසු වූ බවයි.
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
කොළඹ නව කෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
දිවියාගහ යසස්සි නාහිමි
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
කොළඹ නව කෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
දිවියාගහ යසස්සි නාහිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි.
No comments:
Post a Comment