Bakkula Maha Rahathan Wahanse Wandana Gatha බක්‌කුල මහරහතන් වහන්සේ වන්...

ඉල් පුර පසළොස්වකපොහොය වර්ණනාව

 


ඉල් මස පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය වශයෙන් සැලකිය හැකි ය. එයට අමතරව ශාසනික වූත්, ඓතිහාසික වූත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මුල් කර ගත් පොහොය දිනයක් වශයෙන් ද හැඳින්විය හැකි ය.

එනම්, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය ආදී සිදුවීම් රාශියක් මූලික වූහ.

මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම

තව්තිසා දෙව්ලොව වස් විසීමට වැඩ සිටි අප සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ වප් පුර පසළොස්වක පොහොය දින සංකස්ස නුවරට වැඩම කළහ. එහිදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේගේ අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රසාදයට පත් වූ මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පමණ පිරිවර ජනයා සමඟ ගෞතම බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. තවද චීවර මාසය අවසානයේ දී වස්සග්ගයෙහි තමන් වහන්සේට ලැබුණූ වස්ත්‍ර දෙකෙන් එක වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වියනක් කොට, බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තිබූහ.

මේ මහා දර්ශනීය පූජාව සර්වඥතා ඥානයෙන් දැක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදුවන්නෙහි යැයි නියත විවරණ ලබා දුන්හ.

තවදුරටත් ආර්ය මහා සංඝ රත්නය ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදු මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පරෙවි බමුණුහු භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහුගේ බෝ රදුන් වෙයි.” යනුවෙන් වදාළහ.

ඒ අවස්ථාවේ දී පාරමිතාවන් පුරණය කරන ලද මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දොහොත් මුදුන් දී වන්දනා කළහ. ආර්ය මහා සංඝරත්නය සාධු නාද පැවැත්වූහ. පී‍්‍රතියෙන් උද්දාමයට පත් දෙවියෝ දිව මලින් පිදූහ. මේ පිළිබඳ තොරතුරු චක්කවත්තී සීහනාද සූත්‍රය පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ.

ධර්ම දූත සේවය ආරම්භ වීම

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” යනුවෙන්

“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද, හිත පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මඟින් නොයන්න. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසුදු වූ බ්‍රහ්මචර්යාව ම ප්‍රකාශ කරන්න.” මේ ආකාරයෙන් බුද්ධ ශාසනයේ පස් නමකින් ආරම්භ වූ භික්ෂු සමාජයේ සැට නමක් පමණ වූ රහතන් වහන්සේ වෙත බුද්ධ අවවාද දෙමින් ප්‍රථම ධර්මදූත සේවය ආරම්භ කළහ.

බරණැස ඉතිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස්කාලය අවසන් වීමෙන් පසුව ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම චාරිකාවෙහි පිටත් කොට උන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරනු ලැබුවේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය. එහිදී උරුවෙල් දනව්වෙහි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නමින් හැඳින්වුණූ අතිශය මාන්නාධික වූ ජටිල තාපසයන් තිදෙනෙක් නේරන්ජනා නදී තීරය අසබඩ ආරාමයක් කර ගෙන විසූහ. උරුවෙල කාශ්‍යප තාපසයාට පන්සියයක් පිරිස සිටිති. නදී කාශ්‍යප තාපසයා හට තුන්සියයක් පිරිස සිටිති. ගයා කාශ්‍යප තාපසයා හට දෙසියයක් පිරිස සිටිති.

උරුවෙල කාශ්‍යපගේ ආරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි රැයක් නවාතැන් ගැනීමට ඉල්ලා සිටිය ද උරුවෙල කාශ්‍යප එයට අකැමැති වී විවිධ හේතු දක්වමින් ප්‍රමාණවත් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් බවත් එහි දරුණු නාගයකු සිටින බවත්, ප්‍රකාශ කළේය. එම ස්ථානයේ නවාතැන් ගැනීමට තමාගේ බාධාවක් නොමැති බව උරුවෙල කාශ්‍යප තවදුරටත් ප්‍රකාශ කළේ ය. ගිනිහල් ගෙට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තණ ඇතිරියක වැඩහුන් සේක.

නාගරාජයා බුදුරදුන් වෙත විෂ දුම් පිට කළේ ය. ක්‍රෝධයෙන් වෙළී දිලිසුණු නාග රාජයාට බුදුරදුන්ගේ ඍද්ධිමය බල නිසා මුළු ගිනිහල්ගෙය ම ගින්නෙන් වැසී ගියාක් මෙන් පෙනෙන්නට විය. පසුදා පහන් වූ පසු නාගරාජයා තමන් වහන්සේගේ පාත්‍රයෙහි දමා උරුවෙල් කාශ්‍යපට පෙන්වූහ. එවිට ‘මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂ ය. එහෙත් ඔබවහන්සේ මා රහත් බවට පත්ව නැතැයි ප්‍රකාශ කළහ.

තුන්බෑ ජටිලයන් තමන් රහත් බවට පත්ව ඇතැයි මානයෙන් මුළාවී සිටියහ. බුදුරජාණන් වහන්සේ ජටිලයන්ගේ මානය දුරු කිරීමට ප්‍රාතිහාර්ය පා වදාළහ. ඉක්බිතිව ඔවුන් තිදෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදි වූහ. අනතුරුව දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේ ද පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද අද වන් ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය.

අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ පිරිනිවීම

සැරියුත් හිමියන්ගේ ආයු කාලය අවසන් වී ඇති බවට උන්වහන්සේ දිවැසින් දැක ගැනීමත් සමඟ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස” මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමිණීමෙක් නැත. මේ අන්තිම ගමනයි. මේ මාගේ අන්තිම වැඳීමයි. මාගේ ආයුෂ ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලයයි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදි. යනුවෙන් වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයෙනි, තොපට කැමති සේ කරන්න. මින් පසු තොපගේ වැඩිමහලු, බාල සොහොයුරු භික්ෂු සංඝයාට තොප වැනි භික්ෂු නමකගේ දර්ශනය නොලැබෙන්නේ ය. ඔවුන්ට ධර්ම දේශනා කරන්න යැයි වදාළහ.

සැරියුත් හිමියෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කොට මෙසේ කීය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළවුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහි දී ඔබ වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා තොමෝ සමෘද්ධ වූයේ. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු විය. ඒ මාගේ ප්‍රථම දර්ශනයයි. මේ අන්තිම දර්ශනයයි. නැවත නුඹ වහන්සේ දැක්මක් මාගේ නැතැ’යි දොහොත් මුදුන් තබා වැඳ ගියහ. අනතුරුව බුද්ධ නියමය පරිදි භික්ෂූන් වහන්සේ සැරියුත් හිමියන්ගේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා වැඩම කොට උන්වහන්සේට ගෞරව දැක්වූහ. සැරියුත් හිමියෝ සත් දිනක් පුරා ලෝකාර්ථ චාර්යාවෙහි යෙදෙමින් සත්වෙනි දින ඉල්පුර පසළොස්වක පොහෝ දා පිරිනිවන් පා වදාළහ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

සුමන සමන් දෙවි කරුණ‍ාවෙන් නමදිමු සිරිපාද පියුම්

 


අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව නව මසක් ගත වූ තැන ලක්දිවට වැඩම කළ සේක.

යක්ෂයන් දමනයට මහියංගණයට වැඩි උන්වහන්සේ දහම් දෙසූ අවස්ථාවේ දී සුමන සමන් දෙව්රජු සෝවාන් ඵලයට පත් විය. දෙව් රජු වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී සියලු සත්ත්වයන්ට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු සිරස පිරිමැද නීලවර්ණ කේශ ධාතූන් වහන්සේ මිටක් ලබා දුන් සේක.

එය රන් කරඬුවකට පිළිගත් සුමන සමන් දෙවිඳුන් ධාතූන් වහන්සේ තැම්පත් කොට ලොව ඉදි කළ මුල්ම සෑය වූ මහියංගණ සෑ රදුන් වහන්සේ ඉදි කරන ලද බව මහාවංශයේ සඳහන්ව ඇත.

භාග්‍යවතුන් වහන්සේ මෙරටට බුදු සමය හඳුන්වා දීමෙන් පසු ධර්ම විනයත්, සංස්කෘතියත් මෙරට සමාජ භාවිතයට යොදවනු ලබන්නේ සුමන සමන් නමැති ප්‍රාදේශීය පාලකතුමන් විසිනි.

‘සුමන සමන්’ යනු අප රටෙහි ජීවත් වූ වැසියෙකි. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයකු ලෙසින් ද, ප්‍රාදේශීය රාජ්‍ය පාලකයකු ලෙසින් ද ඔහු තමන් වැළඳගත් මේ උතුම් දහම තම රට වැසි ජනතාවට හඳුන්වාදීමට කාරුණික විය.

සමනල අඩවවිය කේන්ද්‍ර කර ගත් මේ මහා රාජධානිය තුළ එම උත්තම දහම පැතිර ගියේ සුමන සමන් දෙව් සංස්කෘතිය ලෙසිනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්විත මෙම සංස්කෘතිය මඟින් ගෝත්‍රික ජනතාව අතර එතෙක් පැවති මත ගැටුම්, අවි ගැටුම් නිරාකරණය කරමින් සමාජ සාමයක් ගොඩ නඟන්නට සමත් විය.

සාමය ස්ථාපිත වීමත් සමඟම ප්‍රදේශය සමෘද්ධිමත් විය. එයට නායකත්වය ලබා දෙන ලද්දේ සුමන සමන් පාලකයා විසිනි. මේ ධාර්මික පාලනය නිසාම එතුමාගේ අභාවයෙන් පසුව කෘතගුණ දත් ජනතාව එතුමා දේවත්වයෙහිලා සලකන්නට වූහ. ඒ සුමන සමන් දෙවි වන්දනාව සුමන සමන් සංස්කෘතිය බවට පත්විය.

භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාව මත සුමන කූඨයට වැඩම කොට උතුම් සිරිපා සලකුණ නිල් මාණිඛ්‍යයක් මත පිහිට වූ බව මහාවංශයේ සඳහන් ය. භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ සැලකීමට ලක් වූ මේ දෙවිඳාණෝ සතර දිසාවට අධිපති දෙවිවරු අතර එක් දෙවියෙකි.

විෂ්ණු දෙවිඳු දෙවිනුවරට ද, විභීෂණ දෙවිඳු කැලණියට ද, කඳ සුරිඳුන් කතරගමට ද, සුමන සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරු ලෙස සැලකේ. ඒ දෙවිවරු අතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව පිරි ප්‍රසන්න ලීලාවෙන් සුමන සමන් දෙවිඳු වැඩ වෙසෙත්.

සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතා වන අතර, එම ඇතා තම සොඬින් නෙලුම් මලක් දරා සිටියි.

එලෙසම සුමන දෙව් රජුගේ අතේ රැඳී ඇත්තේ සුදු නෙලුමකි. නෙළුම් මල පවිත්‍රතාවයේ සහ සත්‍යාවබෝධයේ සංකේතයයි. බෝසතාණන් වහන්සේගේ උපතේ සිට නෙළුම් මල බොහෝ සේ බුද්ධ ශාසනය වටා බැඳී පවතී.

වසරක් පාසා උදාවෙන සිරිපා වන්දනාව....

සිරිපා වන්දනා වාරයත්, සුමන සමන් දෙවිඳුනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. සිරිපා සමයේ පළමුකොට ම ඓතිහාසික මහා සමන් දේව ප්‍රතිමාව,ධාතු කරඬුව හා හින්දු දේව ප්‍රතිමාව ද පෙරහරකින් මහ මලුවට වැඩමවා එහි තැම්පත් කිරීම සිදු කරයි. එම ඓතිහාසික සඳුන් මුවා මහ සමන් දේව ප්‍රතිමාව දෙවැනි පැරකුම්බා රජුගේ අගමැති දේවපතිරාජ නම් ඇමැතිවරයා විසින් ගම්පොළ දී නිර්මාණය කළ බවට විශ්වාස කළ හැකි තොරතුරු පූජාවලියේ සඳහන් වේ.

උතුම් සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දින ආරම්භ වී වෙසක් පුර පෝ දිනෙන් අවසන් වේ. මෙම කාලය තුළ සිරිපා මලුව තුළ සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු තැම්පත් කර තිබේ. වන්දනා සමය අවසන් වන දින නැවතත් සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු මලුවෙන් පහළට වැඩමවීම සිදුවේ. මෙම දෙවි ප්‍රතිමාව සහ පූජා වස්තු සිරිපා අවාරේ තැම්පත් කර තිබෙන්නේ පැල්මඬුල්ල කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරයේ ය. අද වන විට එම විහාරය ශ්‍රීපාද විහාරය නමින් ව්‍යවහාරයේ පවතී.

කිසියම් වූ ශිෂ්ටාචාරයක්, සභ්‍යත්වයක්, සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ ආශි‍්‍රත සමාජ පරිසරය කේන්ද්‍ර කර ගනිමිනි. සමනල අඩවිය ද, සුමන සමන් දෙවි සංස්කෘතිය හැදී වැඩී පෝෂණය වන්නට කදිම සාර භූමියක් විය.

ලක් දෙරණ සිසිල් දියෙන් තෙත් කරවන, සශ්‍රීක කරවන මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සතරට ම ජල පෝෂක ප්‍රදේශය වන්නේ සිරිපා අඩවියයි. මෙම ගංගා සතර ආශි‍්‍රතව ජීවත් වූ ජනතාව ද සුමන සමන් දෙව් සංස්කෘතියෙන් පෝෂණය වූවෝ වෙති.

සුමන සමන් දෙවිඳුන් ගැන වංශ කතා, ජන කතා, ඉතිහාසය මෙන් ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි. අයහපත කිරීමට යන අයකුට සුමන සමන් දෙව් අඩවියේ යහපතක් නොවන බව විශ්වාසයක් පවතී. ශ්‍රී පාද අඩවිය පිළිබඳ ද එවැනි ජනප්‍රවාද කතා බොහෝ ය.

උඩ මලුවට යන සැදැහැවතුන්ගේ විශ්මයට තුඩු දෙන ඉර සේවය, සමනලගිරි හිස සෙවණැල්ල ආදී සියල්ල ම විශ්මය ජනක ය. සම්බුදු සිරිපා පිහිටි භූමි ප්‍රමාණය වශයෙන් ගත් කල කුඩා ප්‍රදේශයකි. නමුත් කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන් කිසිදු පාලනයකින් තොරව වන්දනා කරති. නිතිපතා එන සියලුම පිරිස නොකඩවා මලුව දක්වා ම කරුණා කරති.

කරුණා කිරීමට කොපමණ පිරිසක් පැමිණිය ද ඒ සියලු දෙනාට ම ඉඩකඩ ලැබෙනු ඇත. මෙම පුණ්‍ය භූමිය තුළ කිසිදු හිරවීමකින්, තෙරපීමකින් කිසිවකුට අනතුරක් වූ බවට සඳහනක් නැත. ශ්‍රද්ධාවන්ත සමන් දෙවිඳුගේ කරුණාව එය විය නොහැකි ද?

සමන් සුරිඳු කරුණාවෙන්
සමන් ගිරි හිසේ සුරැදුණු
ගොයුම් පා පියුම් සතුටින්
කරමු වන්දනා...

වප් පුර පසළොස්වක පොහොය වර්ණනාව

 


පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සිටම සම්මතව පැවැති අතර එකල විසූ ධාර්මික පුද්ගලයෝ සැමදාම මෙලොව කටයුතුවල පමණක් නොව පරලොව යහපත සඳහා ද සතියකට වරක් ආගමික වතාවත්වල යෙදුණහ. දින දර්ශන, ලිත් සුලභ ලෙස නොතිබුණ බැවින් අහසෙහි සඳ දෙස බලා එම සතියෙහි ආගමික දිනය වෙන්කොටගෙන තිබිණි.

ශ්‍රද්ධාවන්ත රජකු වූ බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ, අට්ඨමියාච පක්ඛස්ස සන්තිපතිතූන්ති

“මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, අටවක්හි රැස් වන්නට අනුදනිමි’ යි පොහොය දිනයන්හි පන්සල් යාම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයට ය.

බුද්ධ නියමයට අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයට පොහෝ දිනවල රැස් වුව ද, ධර්ම දේශනා කිරීමක් සිදුවී නැත. එයින් කනස්සල්ලට පත්ව සිටි ගිහි ජනතාව ධර්ම දේශනා නොකිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන්නට වූහ. එම තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති”

යනුවෙනි. ඒ අනුව පසළොස්වක පොහොය ධර්ම දේශනා කිරීම ආරම්භ වී ඇත.

කඨින චීවර පූජා කරන මාසයේ ආරම්භක දිනය ද අදට යෙදී ඇත. එනිසා ම මෙම මාසය චීවර මාසය නමින් ද හඳුන්වනු ලබයි. සෑම වසරකට ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙනවා සුතෙනවා පරිසංකාය වා, සාවො භවිස්සති. අඤ්ඤමඤ්ඤනුලොමතා ආපත්ති චුට්ඨාභතා, විනය පුරෙක්ඛාරතා”

මහණෙනි වස් විසූ භික්ෂූන්ට කරුණු තුනක් මුල්කරගෙන පවාරණය කරන්නට (තමාගේ වරදක් දොසක් පෙන්වා දෙන්නට අවසර දෙමි. එසේ අවසර දීම සංඝයා අතර ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මටත්, ඇවැත්වලින් නැඟී සිටීමටත්, විනයානුකූල පැවැත්මටත් හේතුවේ.

අදට යෙදී තිබෙන වප් පොහොය දිනය තුළ ශාසනික වශයෙන් සුවිශේෂී වූ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත. මාපලගම සෝමිස්සර නාහිමියන්ගේ පොහොය වර්ණනාව ග්‍රන්ථයේ සඳහන් තොරතුරු අනුව මේ ආකාරයෙන් සඳහන් කළ හැකි ය.

මෙතේ බෝසත්තුමා පැවිදිවීම

දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදුබව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන්හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයට සවන් දී සිටි මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ඉමහත් ප්‍රසාදයට පත්ව පැහැදී පැවිදි වූහ.

මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි බවට පත්ව වදාළේත් වප් පුන් පොහෝ දිනක ය.

රාජකීය දූත පිරිසක්

මහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නොවී ය. කාන්තා පක්ෂය ද පිරිමින්ට නොදෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා පළමුව මග ඵල ලැබුවේ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂයයි. ශාසනගතව ද පැවිදිකම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය.

අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධි ද්‍රැමයේ දක්ෂිණ ශාකාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන්ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමාගේ සන්දේශයත්, සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිට්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකාවාසී බෞද්ධ මහ ජනතාවගේ ඓතිහාසික ශ්‍රේෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ දක්ෂිණ ශාඛාවක් වැඩමවීමට රාජකීය දූත පිරිස යැවූ මෙ දවස හෙළ බොදු බැතිමතුන්ගේ හදවත් තුළ සැදැහැති බව වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.

විනය සංගායනාව

ලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මා හිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ “යි විචාළේ ය.

“එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැස නැත.” යනුවෙන් උන්වහන්සේගේ පිළිතුර විය. ශාසනය මුල්බැස ගන්නේ කසේදැයි තවදුරටත් රජු විසින් විචාරණ ලදුව“ යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහිදීම පැවිදිව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැයි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළහ.

ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නොපමවා ම විධිවිධාන යොදන ලදි. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල මහරහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරුන් අට සැට නමක් දහසක් බැගින් භික්ෂු පිරිවර ඇතිව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාම විහාර මධ්‍යයේ දී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙරවස් පවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළහ.

ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනාව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුන් පොහෝ දිනයක ය.

බෝධි අංකුරය

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටවනු පිණිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහ බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රත් කටාහයෙහි පිහිටා සිටියේ වප්පුර පසළොස්වක පොහෝ දිනක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාඛාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට

‘පුත මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීම්, එ තෙමේ ද මෙ පරිද්දෙන් ම මහා බෝධිය පුදාවා” යි දන්වා සිටියේ ය.

මේ ආකාරයෙන් බලන විට මහා පවාරණය, දේවාවරෝහණය, සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෛත්‍රී බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික සිදුවීම් රැසක් මෙම වප්පුන් පොහෝ දිනය තුළ සිදුවී ඇති බැවින් එය බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වශයෙන් සැලකිය හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

 


මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලබමින් උතුම් පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපති උත්තමාවියගේ උතුම් නාමය නිති සිහිවෙන බිනර පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ කාන්තාවනට විමුක්තිය සැලසු උතුම් දිනය යි.

එදින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි දිනයකි. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍ය‍වතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කරමින් මින් පෙර ද අවස්ථා දෙකක දී විමසූ අනගාරිකා පැවිදි බව ලබා ගැනීමේ ආයාචනය සිදු කළා ය. තෙවැනි වතාවේදීත් ශාස්තෘන් වහන්සේ වදාළේ,

“ගෞතමියනි, තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ති‍්‍රය විසින් ගිහිගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා! යනුවෙනි.”

දිනක් රෝහිණි නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද කෝලාහලයකට පිළිපන් මොහොතේ එම කලහය සංසිඳුවන්නට වැඩම කොට වදාළ බුදු සමිඳුන් දෙසු ශි‍්‍ර සද්ධර්මයේ පහස ලද ශාක්‍ය කුමාරවරුන් පන්සිය දෙනා උතුම් අරහත් ධජය දරමින් පැවිදිව සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්විය. එම කුමාරවරුන්ගේ ගිහි කල බිසෝවරු ගිහිගෙයි නො ඇලුණු සිත් ඇතිව පැවිදි බවට ම අසාවෙන් හුදකලා විවේකයෙන් ම සිටි මහා ප්‍රජාපතිය වටා එක්රොක් වූහ.

මේ වන විට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවෙහි ය. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය කෙස් සිඳවා මුඩුකරවාගෙන ශාක්‍ය ස්ති‍්‍රන් සමඟ විශාලා මහ නුවර කූටාගාර ශාලාව බලා පැමිණියහ. ඉදිමී ගිය පාදයන්ගෙන් යුක්තව දුහුවිලි වැකි ගිය සිරුරින් යුක්තව, දුකට පත් වූවා වූ, දොම්නස් වූවා වූ, කදුළු වැකුණු මුහුණින් යුතුව දොරටුවෙන් බැහැරව සිටියා වූ මහා ප්‍රජාපතී ගෞතමිය දුටු ආනන්දයන් වහන්සේ සියලු තතු දැන බුදු සමිඳුන් වෙත වැඩම කොට තමන් වහන්සේ ද තෙ වරක් කාන්තාවන් සඳහා පැවිද්ද ආයාචනා කොට වදාළ නමුත් බුදුරජාණන් වහන්සේ එය බැහැර කළ සේක.

ආනන්දයන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය.

“ භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන් සඳහා පැවිද්ද තෙවරක් ම ප්‍රතික්ෂේප කොට වදාළා. ඒ නිසා මම අන් මඟකින් විමසීම සුදුසු ය” යනුවෙනි.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහිගෙයින් නික්ම පැවිදි ව දිවි දෙවැනි කොට දහමෙහි හැසිරුණහොත් සෝතාපන්නවීම, සකදාගාමීවීම, අනාගාමීවීම, අරහත්වයට පත්වීම සිදු විය නොහැකි දෙයක් ද ?

භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි සච්ඡිකාතුන්ති.

- ගෝතමී සුත්‍රය

“ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ය.”

“ඉදින් ස්වාමීනී, ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමීඵලය ද, අනාගාමීඵලය ද, අරහත්ඵලය ද ලබන්නට සමර්ථ වන්නී නම්, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වූවා ය. සුළු මව් වූවා ය. අත් පා වැඩුවා ය. පෝෂණය කළා ය. භාග්‍යවතුන් වහන්සේගේ මව් කළුරිය කළ කල්හි කිරි පෙව්වා ය. ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහිගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති” වශයෙන් කරුණු වදාළ සේක.

එසේනම් පින්වත් ආනන්ද, ප්‍රජාපතී ගෞතමිය අෂ්ටගරු ධර්මයන් පිළිගන්නේ නම් එය ම ඇයගේ පැවිද්ද වන්නේ ය. උපසම්පදාව වන්නේ ය!

ඉනික්බිති ආනන්දයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද අෂ්ට ගරු ධර්මයන් මහා ප්‍රජාපතිය හට දන්වා සිටි සේක.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳීලි බැඳ වැඳීම්, යහපත්වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මයන් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නො එළඹිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීමත්, අවවාද ලැබීමට එළඹීමත් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසුදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

බරපතළ ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

දෙ වසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාරකොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නො කළ යුතු ය. පරිභව නො කළ යුතු ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නො වැසුණේ ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය යනුවෙනි.

අලංකාරය කැමති තරුණ දරුවකු හොඳින් දිය නා පිරිසුදු ව සිටින විට සමන් මල් දමක් හෝ මහනෙල් මල් දමක් දෝතින් ම පිළිගෙන හිසේ පැළඳ ගන්නේ යම් සේ ද මහා ප්‍රජාපතී ගෞතමිය ඒ උතුම් අෂ්ට ගරු ධර්මයෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දොහොත් මුදුන් දී පිළිගත්තා ය.

ඒ සුපින්බර දිනයේ පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපතී ගෞතමිය ශාක්‍ය මුනීන්ද්‍ර වූ බුදු සමිඳුන් විසින් දේශනා කොට වදාළ උතුම් සිරි සදහම් සිත්හි දරාගෙන සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්වී වදාළ සේක. ඒ අනුව යමින් පන්සියයක් වූ ශාක්‍ය දියණියන් මෙන් ම මෙතෙක් පටන් ඒ ඒ ගම් නියම්ගම් රාජධානින්හි වෙසෙන කුල කුමරියන්, කුල ස්ති‍්‍රහු ගෞතම බුදු සසුනේ සුපහන් සිතින් පැවිදිව ඒ අමා නිවන් සුව පසක් කරගත්තාහු ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හට අග්‍රස්ථානයන් පිරිනමන මොහොතේ

“ ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤූනං යදිදං මහාපජාපතිගෝතමී ” - ඒ්තදග්ගපාළි

යනුවෙන් පැවිදි වී බොහෝ කල් ගත වූ භික්ෂුණීන් අතර අගතනතුර පිරිනමමින් මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය හට ලබාදුන් සේක.

මෙසේ මහා ප්‍රජාපතී ගෞතමිය කාන්තාවන් හට උතුම් අරහත් ධජය දරමින් බුදු සසුනේ සසුන් බඹසර පුරන්නට උපකාර කළ සේක. ඒ උත්තම බුද්ධ මාතාව වූ මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය සිහිවන මේ උතුම් බිනර පුන් පොහෝ දවසේ පින්වත් ඔබ සියලු දෙනාට ම ශිී‍්‍ර සද්ධර්මයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා !

සමස්ත මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි