සුමන සමන් දෙවි කරුණ‍ාවෙන් නමදිමු සිරිපාද පියුම්

 


අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව නව මසක් ගත වූ තැන ලක්දිවට වැඩම කළ සේක.

යක්ෂයන් දමනයට මහියංගණයට වැඩි උන්වහන්සේ දහම් දෙසූ අවස්ථාවේ දී සුමන සමන් දෙව්රජු සෝවාන් ඵලයට පත් විය. දෙව් රජු වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී සියලු සත්ත්වයන්ට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු සිරස පිරිමැද නීලවර්ණ කේශ ධාතූන් වහන්සේ මිටක් ලබා දුන් සේක.

එය රන් කරඬුවකට පිළිගත් සුමන සමන් දෙවිඳුන් ධාතූන් වහන්සේ තැම්පත් කොට ලොව ඉදි කළ මුල්ම සෑය වූ මහියංගණ සෑ රදුන් වහන්සේ ඉදි කරන ලද බව මහාවංශයේ සඳහන්ව ඇත.

භාග්‍යවතුන් වහන්සේ මෙරටට බුදු සමය හඳුන්වා දීමෙන් පසු ධර්ම විනයත්, සංස්කෘතියත් මෙරට සමාජ භාවිතයට යොදවනු ලබන්නේ සුමන සමන් නමැති ප්‍රාදේශීය පාලකතුමන් විසිනි.

‘සුමන සමන්’ යනු අප රටෙහි ජීවත් වූ වැසියෙකි. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයකු ලෙසින් ද, ප්‍රාදේශීය රාජ්‍ය පාලකයකු ලෙසින් ද ඔහු තමන් වැළඳගත් මේ උතුම් දහම තම රට වැසි ජනතාවට හඳුන්වාදීමට කාරුණික විය.

සමනල අඩවවිය කේන්ද්‍ර කර ගත් මේ මහා රාජධානිය තුළ එම උත්තම දහම පැතිර ගියේ සුමන සමන් දෙව් සංස්කෘතිය ලෙසිනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්විත මෙම සංස්කෘතිය මඟින් ගෝත්‍රික ජනතාව අතර එතෙක් පැවති මත ගැටුම්, අවි ගැටුම් නිරාකරණය කරමින් සමාජ සාමයක් ගොඩ නඟන්නට සමත් විය.

සාමය ස්ථාපිත වීමත් සමඟම ප්‍රදේශය සමෘද්ධිමත් විය. එයට නායකත්වය ලබා දෙන ලද්දේ සුමන සමන් පාලකයා විසිනි. මේ ධාර්මික පාලනය නිසාම එතුමාගේ අභාවයෙන් පසුව කෘතගුණ දත් ජනතාව එතුමා දේවත්වයෙහිලා සලකන්නට වූහ. ඒ සුමන සමන් දෙවි වන්දනාව සුමන සමන් සංස්කෘතිය බවට පත්විය.

භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාව මත සුමන කූඨයට වැඩම කොට උතුම් සිරිපා සලකුණ නිල් මාණිඛ්‍යයක් මත පිහිට වූ බව මහාවංශයේ සඳහන් ය. භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ සැලකීමට ලක් වූ මේ දෙවිඳාණෝ සතර දිසාවට අධිපති දෙවිවරු අතර එක් දෙවියෙකි.

විෂ්ණු දෙවිඳු දෙවිනුවරට ද, විභීෂණ දෙවිඳු කැලණියට ද, කඳ සුරිඳුන් කතරගමට ද, සුමන සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරු ලෙස සැලකේ. ඒ දෙවිවරු අතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව පිරි ප්‍රසන්න ලීලාවෙන් සුමන සමන් දෙවිඳු වැඩ වෙසෙත්.

සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතා වන අතර, එම ඇතා තම සොඬින් නෙලුම් මලක් දරා සිටියි.

එලෙසම සුමන දෙව් රජුගේ අතේ රැඳී ඇත්තේ සුදු නෙලුමකි. නෙළුම් මල පවිත්‍රතාවයේ සහ සත්‍යාවබෝධයේ සංකේතයයි. බෝසතාණන් වහන්සේගේ උපතේ සිට නෙළුම් මල බොහෝ සේ බුද්ධ ශාසනය වටා බැඳී පවතී.

වසරක් පාසා උදාවෙන සිරිපා වන්දනාව....

සිරිපා වන්දනා වාරයත්, සුමන සමන් දෙවිඳුනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. සිරිපා සමයේ පළමුකොට ම ඓතිහාසික මහා සමන් දේව ප්‍රතිමාව,ධාතු කරඬුව හා හින්දු දේව ප්‍රතිමාව ද පෙරහරකින් මහ මලුවට වැඩමවා එහි තැම්පත් කිරීම සිදු කරයි. එම ඓතිහාසික සඳුන් මුවා මහ සමන් දේව ප්‍රතිමාව දෙවැනි පැරකුම්බා රජුගේ අගමැති දේවපතිරාජ නම් ඇමැතිවරයා විසින් ගම්පොළ දී නිර්මාණය කළ බවට විශ්වාස කළ හැකි තොරතුරු පූජාවලියේ සඳහන් වේ.

උතුම් සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දින ආරම්භ වී වෙසක් පුර පෝ දිනෙන් අවසන් වේ. මෙම කාලය තුළ සිරිපා මලුව තුළ සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු තැම්පත් කර තිබේ. වන්දනා සමය අවසන් වන දින නැවතත් සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු මලුවෙන් පහළට වැඩමවීම සිදුවේ. මෙම දෙවි ප්‍රතිමාව සහ පූජා වස්තු සිරිපා අවාරේ තැම්පත් කර තිබෙන්නේ පැල්මඬුල්ල කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරයේ ය. අද වන විට එම විහාරය ශ්‍රීපාද විහාරය නමින් ව්‍යවහාරයේ පවතී.

කිසියම් වූ ශිෂ්ටාචාරයක්, සභ්‍යත්වයක්, සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ ආශි‍්‍රත සමාජ පරිසරය කේන්ද්‍ර කර ගනිමිනි. සමනල අඩවිය ද, සුමන සමන් දෙවි සංස්කෘතිය හැදී වැඩී පෝෂණය වන්නට කදිම සාර භූමියක් විය.

ලක් දෙරණ සිසිල් දියෙන් තෙත් කරවන, සශ්‍රීක කරවන මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සතරට ම ජල පෝෂක ප්‍රදේශය වන්නේ සිරිපා අඩවියයි. මෙම ගංගා සතර ආශි‍්‍රතව ජීවත් වූ ජනතාව ද සුමන සමන් දෙව් සංස්කෘතියෙන් පෝෂණය වූවෝ වෙති.

සුමන සමන් දෙවිඳුන් ගැන වංශ කතා, ජන කතා, ඉතිහාසය මෙන් ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි. අයහපත කිරීමට යන අයකුට සුමන සමන් දෙව් අඩවියේ යහපතක් නොවන බව විශ්වාසයක් පවතී. ශ්‍රී පාද අඩවිය පිළිබඳ ද එවැනි ජනප්‍රවාද කතා බොහෝ ය.

උඩ මලුවට යන සැදැහැවතුන්ගේ විශ්මයට තුඩු දෙන ඉර සේවය, සමනලගිරි හිස සෙවණැල්ල ආදී සියල්ල ම විශ්මය ජනක ය. සම්බුදු සිරිපා පිහිටි භූමි ප්‍රමාණය වශයෙන් ගත් කල කුඩා ප්‍රදේශයකි. නමුත් කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන් කිසිදු පාලනයකින් තොරව වන්දනා කරති. නිතිපතා එන සියලුම පිරිස නොකඩවා මලුව දක්වා ම කරුණා කරති.

කරුණා කිරීමට කොපමණ පිරිසක් පැමිණිය ද ඒ සියලු දෙනාට ම ඉඩකඩ ලැබෙනු ඇත. මෙම පුණ්‍ය භූමිය තුළ කිසිදු හිරවීමකින්, තෙරපීමකින් කිසිවකුට අනතුරක් වූ බවට සඳහනක් නැත. ශ්‍රද්ධාවන්ත සමන් දෙවිඳුගේ කරුණාව එය විය නොහැකි ද?

සමන් සුරිඳු කරුණාවෙන්
සමන් ගිරි හිසේ සුරැදුණු
ගොයුම් පා පියුම් සතුටින්
කරමු වන්දනා...

No comments:

Post a Comment