ඉල් මස පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය වශයෙන් සැලකිය හැකි ය. එයට අමතරව ශාසනික වූත්, ඓතිහාසික වූත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මුල් කර ගත් පොහොය දිනයක් වශයෙන් ද හැඳින්විය හැකි ය.
එනම්, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය ආදී සිදුවීම් රාශියක් මූලික වූහ.
මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම
තව්තිසා දෙව්ලොව වස් විසීමට වැඩ සිටි අප සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ වප් පුර පසළොස්වක පොහොය දින සංකස්ස නුවරට වැඩම කළහ. එහිදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේගේ අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රසාදයට පත් වූ මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පමණ පිරිවර ජනයා සමඟ ගෞතම බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. තවද චීවර මාසය අවසානයේ දී වස්සග්ගයෙහි තමන් වහන්සේට ලැබුණූ වස්ත්‍ර දෙකෙන් එක වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වියනක් කොට, බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තිබූහ.
මේ මහා දර්ශනීය පූජාව සර්වඥතා ඥානයෙන් දැක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදුවන්නෙහි යැයි නියත විවරණ ලබා දුන්හ.
තවදුරටත් ආර්ය මහා සංඝ රත්නය ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදු මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පරෙවි බමුණුහු භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහුගේ බෝ රදුන් වෙයි.” යනුවෙන් වදාළහ.
ඒ අවස්ථාවේ දී පාරමිතාවන් පුරණය කරන ලද මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දොහොත් මුදුන් දී වන්දනා කළහ. ආර්ය මහා සංඝරත්නය සාධු නාද පැවැත්වූහ. පී‍්‍රතියෙන් උද්දාමයට පත් දෙවියෝ දිව මලින් පිදූහ. මේ පිළිබඳ තොරතුරු චක්කවත්තී සීහනාද සූත්‍රය පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ.
ධර්ම දූත සේවය ආරම්භ වීම
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” යනුවෙන්
“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද, හිත පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මඟින් නොයන්න. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසුදු වූ බ්‍රහ්මචර්යාව ම ප්‍රකාශ කරන්න.” මේ ආකාරයෙන් බුද්ධ ශාසනයේ පස් නමකින් ආරම්භ වූ භික්ෂු සමාජයේ සැට නමක් පමණ වූ රහතන් වහන්සේ වෙත බුද්ධ අවවාද දෙමින් ප්‍රථම ධර්මදූත සේවය ආරම්භ කළහ.
බරණැස ඉතිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස්කාලය අවසන් වීමෙන් පසුව ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම චාරිකාවෙහි පිටත් කොට උන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරනු ලැබුවේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය. එහිදී උරුවෙල් දනව්වෙහි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නමින් හැඳින්වුණූ අතිශය මාන්නාධික වූ ජටිල තාපසයන් තිදෙනෙක් නේරන්ජනා නදී තීරය අසබඩ ආරාමයක් කර ගෙන විසූහ. උරුවෙල කාශ්‍යප තාපසයාට පන්සියයක් පිරිස සිටිති. නදී කාශ්‍යප තාපසයා හට තුන්සියයක් පිරිස සිටිති. ගයා කාශ්‍යප තාපසයා හට දෙසියයක් පිරිස සිටිති.
උරුවෙල කාශ්‍යපගේ ආරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි රැයක් නවාතැන් ගැනීමට ඉල්ලා සිටිය ද උරුවෙල කාශ්‍යප එයට අකැමැති වී විවිධ හේතු දක්වමින් ප්‍රමාණවත් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් බවත් එහි දරුණු නාගයකු සිටින බවත්, ප්‍රකාශ කළේය. එම ස්ථානයේ නවාතැන් ගැනීමට තමාගේ බාධාවක් නොමැති බව උරුවෙල කාශ්‍යප තවදුරටත් ප්‍රකාශ කළේ ය. ගිනිහල් ගෙට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තණ ඇතිරියක වැඩහුන් සේක.
නාගරාජයා බුදුරදුන් වෙත විෂ දුම් පිට කළේ ය. ක්‍රෝධයෙන් වෙළී දිලිසුණු නාග රාජයාට බුදුරදුන්ගේ ඍද්ධිමය බල නිසා මුළු ගිනිහල්ගෙය ම ගින්නෙන් වැසී ගියාක් මෙන් පෙනෙන්නට විය. පසුදා පහන් වූ පසු නාගරාජයා තමන් වහන්සේගේ පාත්‍රයෙහි දමා උරුවෙල් කාශ්‍යපට පෙන්වූහ. එවිට ‘මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂ ය. එහෙත් ඔබවහන්සේ මා රහත් බවට පත්ව නැතැයි ප්‍රකාශ කළහ.
තුන්බෑ ජටිලයන් තමන් රහත් බවට පත්ව ඇතැයි මානයෙන් මුළාවී සිටියහ. බුදුරජාණන් වහන්සේ ජටිලයන්ගේ මානය දුරු කිරීමට ප්‍රාතිහාර්ය පා වදාළහ. ඉක්බිතිව ඔවුන් තිදෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදි වූහ. අනතුරුව දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේ ද පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද අද වන් ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය.
අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ පිරිනිවීම
සැරියුත් හිමියන්ගේ ආයු කාලය අවසන් වී ඇති බවට උන්වහන්සේ දිවැසින් දැක ගැනීමත් සමඟ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස” මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමිණීමෙක් නැත. මේ අන්තිම ගමනයි. මේ මාගේ අන්තිම වැඳීමයි. මාගේ ආයුෂ ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලයයි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදි. යනුවෙන් වදාළහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයෙනි, තොපට කැමති සේ කරන්න. මින් පසු තොපගේ වැඩිමහලු, බාල සොහොයුරු භික්ෂු සංඝයාට තොප වැනි භික්ෂු නමකගේ දර්ශනය නොලැබෙන්නේ ය. ඔවුන්ට ධර්ම දේශනා කරන්න යැයි වදාළහ.
සැරියුත් හිමියෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කොට මෙසේ කීය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළවුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහි දී ඔබ වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා තොමෝ සමෘද්ධ වූයේ. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු විය. ඒ මාගේ ප්‍රථම දර්ශනයයි. මේ අන්තිම දර්ශනයයි. නැවත නුඹ වහන්සේ දැක්මක් මාගේ නැතැ’යි දොහොත් මුදුන් තබා වැඳ ගියහ. අනතුරුව බුද්ධ නියමය පරිදි භික්ෂූන් වහන්සේ සැරියුත් හිමියන්ගේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා වැඩම කොට උන්වහන්සේට ගෞරව දැක්වූහ. සැරියුත් හිමියෝ සත් දිනක් පුරා ලෝකාර්ථ චාර්යාවෙහි යෙදෙමින් සත්වෙනි දින ඉල්පුර පසළොස්වක පොහෝ දා පිරිනිවන් පා වදාළහ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
No comments:
Post a Comment